විනාශයේ දොරටු මත්පැන් පානය

cmadurawala
7 Min Read

කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණෝ

මත්පැන් පානය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකා සමාජයේ උද්ගත වන වෙනත් විවිධ ප්‍රශ්නයන්ට එක් ප්‍රධාන හේතුවක් වශයෙන් ඇත්තේ ද අධික මත්පැන් පානයය. පවුල් ප්‍රශ්න, මිනීමැරුම්, රිය අනතුරු, ස්ත්‍රී දූෂණ, සොර-මැරකම්, මංකොල්ලකෑම්, ආරවුල් පමණක් නොව සියදිවි නසා ගැනීම්වලට ද මත්පැන් පානය ප්‍රබල ලෙස බලපාන බව ඉතා පැහැදිලිය. මත්පැන් පානය නිසා ඇතිවන ශාරීරික දුබලතා රටේ ශ්‍රම බළකාය දුර්වල කිරීමට හේතුවක් වේ. මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වූවකු සමාජයට වැඩක් නැති අයකු බවට පත්වේ. එපමණක් නොව, ඔහු සමාජයට බරක් ද වේ. ක්‍රමක්‍රමයෙන් ජීවිත සාරය දියකර හරින මත්පැන් ශරීර අවයව විනාශ කර මනස ද විකෘත කරයි. මෙවන් තත්ත්වයකට පත්වන පුද්ගලයා තම පවුලට, සමාජයට රටට වැඩක් නැති පුද්ගලයකු පමණක් නොව, තමන්ට ද වැඩක් නැති අයකු බවට පත්වෙයි.

සෑම දෙනාම මත්පැන් පානය අරඹන්නේ ‘එක උගුරක්’ පමණක් ගැනීමෙනි. මෙසේ පටන් ගන්නා අයගෙන් සෑහෙන පිරිසක් කෙළවර වන්නේ බේබද්දන්ගේ තත්ත්වයට පත්වීමෙනි. එනිසා ඉතාම නුවණට හුරු – දෙය නම් මත්පැන් බීම පටන් නොගැනීමය. මෙය නොකළ හැකි දෙයක් නොවනවා සේම, එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් ද නොවේ. පන්සිල් පද පහ අතරින් රැකීමට අපහසුම සිල්පදය මෙය බව කිව හැකිය. සෙසු සිල්පද කැඩීමට නම් යටත් පිරිසෙයින් තවත් එක් අයකුගේවත් සහභාගීත්වය අවශ්‍යය. ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම තනිව කළ හැකි ක්‍රියා නොවේ. එහෙත්, මත්පැන් පානය එසේ වේ. මේ සඳහා වෙනත් කිසිවකු අවශ්‍ය නැත. හුදකලාව මත්පැන් බොන අය කොපමණ සිටිත් ද? මෙය කෙතරම් භයානක ක්‍රියාවක් ද? උත්සවයකදී, මිතුරන්ගේ, හමුවකදී මත්පැන් බීමට වඩා භයානක ක්‍රියාව හුදකලාව මත්පැන් බීමට පුරුදු වීමය.

පස්වන සිල් පදයෙන් ගිහියන්ට මත්පැන් බීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරී නැතැයි සමහරු තර්ක කරති. මෙහි එක්තරා සත්‍යයක් නැත්තේ ද නොවේ. ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යනුවෙන් අදහස් කෙරෙන්නේ සුරා හා මේරය මගින් මත්වීමටත් ප්‍රමාදයටත් පත්වීමෙන් වැළකී සිටීමට තමන්ම තමන්ට පොරොන්දුවක් දී ගැනීමය. එනිසා කයට හා මනසට බල නොපාන තරමට මත්පැන් පානය කිරීමේ දෝෂයක් නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙය තර්කයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් නොවේ. මත්පැන් සිරුරට හිතකරද, මනසට හිතකරද? සුළුවෙන් කට ගෑමෙන් ඇරඹෙන මත්පැන් පානය ඒ මට්ටමේ ම පවත්වාගෙන යා හැකිද? සුළුවෙන් හෝ මත්පැන් බීම අවශ්‍යද? සුළුවෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් අයහපතක් සිදුනොවේද? ආදී වඩා ප්‍රායෝගික ප්‍රශ්න වෙත අවධානය යොමු කළ යුතුය. තර්කයට වඩා ප්‍රායෝගික අංශය ගැන සිතා තීන්දුවක් ගැනීම හිතදායක ය.

මත්පැන් පානය භෝග අපාය මුඛයක් නැතහොත් වස්තුව විනාශ වීමේ මාර්ගයක් බව සිගාලෝවාද සූත්‍රයේ දැක්වේ. වස්තුව වැනසී යෑම, කලකෝලාහල නඩුහබවලට පැටලීම, නොයෙකුත් රෝග හටගැනීම, අපකීර්තියට පත්වීම, ලජ්ජා-භය නැති වන අන්දමේ ක්‍රියාකිරීමට යොමුවීම, නුවණ දුර්වල වීම ආදිය මත්පැන් පානයට ඇබ්බැහි වීම හේතුකොට ගෙන ඇතිවිය හැකි නොයෙකුත් දුර්විපාක බව මෙම සූත්‍රයේ දැක්වේ. සුත්තනිපාතයේ ධම්මික සූත්‍රයට අනුව මත්පැන් උන්මාදනීය පානයකි. එය ‘අපුඤ්ඤායතනයකි’ නැතහොත් නොයෙකුත් ආකාරයේ අවැඩවලට හේතුකාරක වන්නකි. පන්සිල් අතුරෙන් සෙසු සිල්පද හතරම රැකීමට බොහෝ දෙනෙක් සිතාමතා ම උත්සාහ දරති. ප්‍රාණඝාතයෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් සහ බොරු කීමෙන් වැළකීමට බොහෝ අය උත්සාහ ගනිති. ඒ අතරම මත්පැන් පානයට අවස්ථාවක් ඇති කරගැනීමට උත්සුක වීමත් බොහෝ දෙනකුගේ සිරිත ය. පඩිය වැඩි වුණොත්, පත්වීමක් ලැබුණොත්, ජයග්‍රහණයක් ලැබුවහොත්. උපන්දිනයක් පැමිණියහොත් බොහෝ අය මීවිතක රස බැලීමට එය අවස්ථාව කර ගනිති. මොනයම් ක්‍රමයකින් හෝ උත්සාහ ගන්නේ ජනවහරේ දැක්වෙන පරිදි බෝතල් පාටියක් දැමීමටය. මත්පැන් පානයට මිනිසුන් කෙතරම් ගොදුරුවී ඇද්දැයි මෙයින්ම පැහැදිලි වේ. මත්පැන්වලට ඇබ්බැහි වීම ජීවිතය කාලකණ්ණි කිරීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නැත. වකුගඩු, පෙනහලු කුණුවී, දියවී ගියත්, ඒ බව දැන දැනත් එම විෂ පානයෙන් ඈත්වීමට මිනිසුන්ට සිත සදාගත නොහැකි ඇයි ද? රෝගීන් බවට පත්ව, දුක්විඳ මියැදෙන බව දැනගෙනත් දිගින් දිගට මත්පැනට ඇලෙන්නේ මන්ද? ලජ්ජා බය නැති ලෙස හැසිරෙමින් සමාජයේ ගැරහුමට ලක්වෙමින් මත්පැනට ම ඇබ්බැහි ව සිටීම කෙතරම් ඛේදජනක ද?

මත්පැන්වලට ඇබ්බැහි වුණු ස්වාමිපුරුෂයින් නිසා බිරියන්ටත්, දූ දරුවන්ටත් වන දුක් ගැහැට, අපකීර්තිය ආදිය ගැන සිතා සලකා බලාවත් මෙයින් වැළකී සිටිය නොහැකි ද?

මත්පැන්වලට ඇබ්බැහි වුණු පිරිමින් මෙන්ම ගැහැනුන් ද සිටින බව රහසක් නොවේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එබඳු ගැහැනුන්ගේ සංඛ්‍යාව අඩු වුවත් එය අවාසනාවන්ත තත්ත්වයක් බව ඉතා පැහැදිලි ය. දරුවකු පිළිබඳ සිටින අවස්ථාවක මත්පැන් පානය කිරීමෙන් කුසෙහි සිටින දරුවාටත් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. බිරිඳක් සුළු වශයෙන් හෝ මත්පැන් පානයට හවුල් වීම සැමියාට බේබදුකමට තල්ලූ කිරීමට උදව් දීමකි. එය පනින රිළවුනට ඉණිමං බැඳීමක් වැනි ය.

අධිවේගයෙන් විපරීත වී ගෙන යන මේ නූතන සමාජයේ එකට එක්ව මත්පැන් පානය කරන අඹු-සැමියන් පමණක් නොව, මව්-පිය දූ-දරුවන් ද, ගුරුවර-ගෝලයන්, සහෝදර-සහෝදරියන් ආදිය ද සිටින බව වරින් වර වාර්තා වේ. සියවස් විස්සකට අධික කාලයක් බුදුදහමින් හා බෞද්ධ ජීවන රටාවකින් පෝෂණය වුණු ශ්‍රී ලංකාව වැනි රටක මෙවන් තත්ත්වයක් උද්ගතවීම කෙතරම් ඛේදජනකද? උසස් පුරවැසියන් මෙන්ම පෞද්ගලිකව සෑම දෙනාම අද පවතින මේ තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කළ යුතුය. කසිප්පු උවදුරෙන් ජනතාව බේරා ගන්නට කියා අරක්කු තැබෑරුම්, රටබීම සාප්පු විවෘත කිරීම මෙයට ඇති හොඳම ප්‍රතිකර්මය නොවන බව නම් ඉතා පැහැදිලිය.

දුම්බීම

දුම්බීම මත්පැන් පානයට කිසිසේත් දෙවනි නැත. වෛi මතය අනුව රෝග කාරකයන් වශයෙන් දුම්බීම මත්පැන් පානයට ද වඩා භයානකය. වෙනත් අතුරු දුර්විපාක අඩු වූවත්, දුම්පානය ද කිසිසේත් හිතකර නැත. හෘද රෝගවලට ප්‍රධාන හේතුවක් වශයෙන් වෛiවරුන් දක්වන්නේ දුම්පානය ය. දුම්වැටියක් උරන්නට පටන් ගන්නේ සෙල්ලමට වගේය. එය කිසිදු අවශ්‍යතාවක් නිසා ආරම්භ කරන පුරුද්දක් නොවේ. බොහෝ විට මෙය සිදුවන්නේ වැඩිහිටියන්ගේ යහළු මිත්‍රයින්ගේ ක්‍රියා කලාපයන් අන්ධ ලෙස අනුගමනය කරන්නට යෑමේ හේතුවෙනි. දුම්වැටියක් උරා දුම්වළලු පිට කරන පුරුදුකාරයකු දෙස බලා සිටින නවකයකුගේ සිතෙහි ඒ පුරුදුකාරයා අනුගමනය කිරීමට කිසියම් ආශාවක් ඇතිවන වා විය හැකිය. ජැන්ඩියට ඇඳ පැළඳ දෑඟිලිවලින් සැහැල්ලුවෙන් දුම්වැටිය රඳවා ගෙන කට කොණකින් දූමකේතු පිට කරමින් උජාරුවට සිටින වැඩිහිටියකු දකින ළාබාල අයකු තුළ අමුතු චමත්කාර හැඟීමක් දනවනවා විය හැකිය. මේ කිනම් හේතුවක් නිසා ඇරඹුවත් දුම්පානය අහිතකර පුරුද්දකි. මේ අහිතකර පුරුද්ද වඩාත් ප්‍රචලිත කරවීමට රූපවාහිනිය, චිත්‍රපට හා වෙනත් මාධ්‍යයන් මගින් කෙරෙන ප්‍රචාරක කටයුතු ළාබාල දරුවන් මේ පුරුද්දට නැඹුරු කරවා ගැනීමට බෙහෙවින් සමත් වී ඇත. සාහිත්‍යයේ, කලාවන්ගේ හා විවිධ ක්‍රීඩාවන්ගේ දියුණුවට ඉමහත් සේ ආධාර – උපකාර කරන මුවාවෙන් මේ දුම්වැටි නිපදවන මහා ව්‍යාපාරික ආයතන සිය ප්‍රචාරක දැල එලා නවකයින් දුම්පානයට ගොදුරු කර ගන්නා අයුරු ඉතා පැහැදිලිව දක්නට ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *