ඤායපටිපන්නෝ

cmadurawala
6 Min Read

ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝො” අංගුත්තර නිකායාදී නොයෙක් ධර්ම ග්‍රන්ථවල සඳහන් පරිදි බුදුරජුන් වදාළ සඟගුණ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්නය යනු ඉහත සඳහන් පාඨයේ අදහසයි. මෙහි සාවක සංඝ යනුවෙන් දැක්වෙන්නේ ආර්ය මහා සංඝ රත්නය බව අටුවාවල එන විස්තරවලින් පෙනේ. මෙහිදී විස්තර කළ යුත්තේ “ඤායපටිපන්න” යන්නයි. මෙහි “ඤාය” යන්න තෝරා තිබෙන අටුවා ටීකා පාඨ කීපයක් මෙසේ ය:

“ඤායො චුච්චති අරියො අට්ඨඬ්ගිකො මග්ගො” යනු දීඝනිකාය අටුවා යි. මෙහිදී අර්ය අෂ්ටාංගික මාර්ගයට “ඤාය” යැයි කියනු ලැබේ. “ඤාය පටිපන්නොති කාරණ පටිපන්නො” යනු පාසාදිකසූත්ත අටුවා යි. මෙහි “කාරණ” යනුවෙන් අදහස් කළේ ද ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. “ඤායස්ස ධම්මස්සාති අරිය මග්ග ධම්මස්ස” යනු මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාව යි. ඤාය ධර්මය යනු ආර්යමාර්ග ධර්මතාව යි.

“ඤායයන්ති එතෙන චතුසච්ච ධම්මං යාථාවතො පටිවිජ්ඣන්තීති ඤායො ලොකුත්තර මග්ගොති ආහ” යනු දීඝනිකාය ටීකා යි. මේ හේතුවෙන් චතුරාර්යසත්‍ය ධර්මයන් යථා ස්වභාවයෙන් අවබෝධ කරත්නුයි ලෝකෝත්තර මාර්ගයට “ඤාය” යයි කීහ.
“ඤායති මුත්ති ධම්මො එතෙනාති ඤායො” යනු ද දීඝ නිකාය ටීකා යි. මේ ටීකා පාඨයෙහි “මුත්තිධම්මො” කීවේ නිවන යි. එය අවබෝධ වීමට යමක් කාරණා වේ නම් එය ඤාය නමී. මේ සෑම අටුවා ටීකා පාඨවල ම දක්වා තිබෙන්නේ අෂ්ටාංගික මාර්ගය “ඤාය‘’ වන බවයි. “ඤායොවුච්චති නිබ්බානං, තදත්ථාය පටිපන්නත්තා ඤායපටිපන්නෝ යන විසුධිමග්ග පාඨයෙන් නිවන “ඤාය” බවත්, ඒ සඳහා වූ පිළිවෙත් පුරණ ආර්ය ශ්‍රාවකයා “ඤායපටිපන්න” බවත් දක්වා තිබේ.මේ අටුවා ටීකා පාඨ අනුව “ඤාය” යන්නෙහි අර්ථ දෙකකි.

පළමු වැනි අර්ථය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. දෙවැන්න නිවන යි. පළමු වැනි අර්ථය අනුව “ඤාය” යන වචනය “ඤා” අවබෝධනේ යන ධාතුවෙන් කරණ කාරකයෙහි සිද්ධ ය. “ඤායති අනෙනාති ඤායො” යනු විග්‍රහය යි. යමක් කරණ කොටගෙන චතුරාර්ය සත්‍යය හා නිවන අවබෝධ කරනු ලැබේ නම් එය ඤාය නමී. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ අරිඅටඟි මගට පිළිපන්, එයට පැමිණි චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන නිවන් දුටු පුද්ගලයා ඤායපටිපන්න නමි. ඤායයයි නිවනට ද කියනු ලැබේ.

“ඤාවතෙති ඤායො” යනු කර්මකාරක විග්‍රහය යි. “ඤා” අවබෝධනේ යන ධාතුවෙන් කෘදන්ත “ණ” ප්‍රත්‍යය ව “ආකාරන්තානමායො” යන සූත්‍රයෙන් ධාත්වන්තයට “ආය” ආදේශ ව සිද්ධ යි. “තදත්ථාය පටිපන්නත්තා ඤායපටිපන්නෝ යන විසුද්ධිමග්ග පාඨය අනුව ඒ නිවන පිණිස පිළිපන් පුද්ගලයා ඤායපටිපන්න නමි. යට කී අරිඅටහි මග හා නිවන මදක් විස්තර කළ යුතුය. කරණ කාරක වශයෙන් හා කර්ම කාරක වශයෙන් මේ දෙකට ම ඤාය යන වචනය ව්‍යවහාර කර ඇති බැවිනි. එහෙත් මේ වචන පිළිබඳ සෑහෙන විස්තරයක් කිරීමට අපට මේ ලිපියට ඇර තිබෙන ඉඩ ප්‍රමාණය බාධක ව සිටී. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යනු අරි අටඟි මගයි. උතුම් නිසා අරිය නමි. කොටස් අටක් ඇති බැවින් අට්ඨංගික නමි. නිවනට යන උපාය මාර්ගය බැවින් මග්ග යැයි ද කියනු ලැබේ.

මේ මග හැර නිවනට අන් මගක් නැත. “එසොව මග්ගො නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා” යන බුදුවදනින් එය පැහැදිලි වේ. එහි සම්මාදිට්ඨිය කීවේ පඤ්ඤා චෛතසිකයට ය. සම්මාසංකප්ප යැයි කීවේ විතක්ක චෛතසිකයට ය. සෙස්ස චෛතසික නාමවලින්ම දක්වා තිබේ. ධ්‍යාන පාදක කර නොගෙන විදර්ශනා භාවනා කර සෝවාන් ආදී මග ඵල ලබන විට ඒ එක් සිතක ලැබෙන චෛතසික ගණන තිස්හයකි. එනම් අඤ්ඤසමාන චෛතසික දහතුන හා මෙත්තා කරුණා දෙක හැර සොභන චෛතසික විසිතුනය යන චෛතසික තිස්හය ය. මේ තිස් හයෙන් මග්ග යන නම ලබන්නේ සම්මාදිට්ඨී ආදී අට පමණකි. ඉතිරි චෛතසික විසිඅට මග්ග යන නම නොලබයි. “මග්ගයුත්ත ඵලංචෙව, චතුසච්ච විනිස්සටා” යනු එහෙයින් කියන ලදී.

යටකී ඉතිරි චෛතසික විසි අට නිරෝධ ගාමිණි පටිපදා මග්ග යන්නට ඇතුළත් නොවේ. මේ මාර්ග අට එක්විට එක ක්ෂණික වශයෙන් අනූනව පහළවන්නේ සොතාපත්ති ආදී මාර්ග සතරෙහි හා ඵලසිත් සතරෙහි ය. වෙන කිසියම් සිතක මේ අට එකක් ක්‍ෂණිකව පහළ නොවේ. ඒ පහළ නොවන්නේ ලෞකික සිතවලය. ලෞකික සිතක උඩත් පිරිසෙයින් පහළ විය හැක්කේ මින් හයකි. සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, යන තුනින් එකක් මිස තුනම ලෞකික සිතක එකවර නොලැබේ.

“විරතියො පන තිස්සොපි අට්ඨසූ ලොකුත්තර චිත්තෙසු සබ්බථාපි නියතා එකතොව ලබ්භන්ති. ලොකියෙසු පන කාමාවචර කුසලෙස්වෙව කදාචි සන්දිස්සන්ති විසුනං විසුං” යනුවෙන් එය දැක්වේ. මේ මාර්ගාංග අට මාර්ග සිත් සතරෙහි හා ඵල සිත් සතරෙහි එකක් ක්ෂණික ව එක් විට ම පවතී. එසේ පවත්නා මාර්ගාංග අටට ඤාය යන නම බුදුරදුන් විසින් වදාරණ ලදී.

නිවන් මගට පිළිපන් අවස්ථා සලකා මාර්ගස්ථයන් සිව්දෙනාට ඤාය පටිපන්න යැයි කියනු ලබන බවද, එය අතීත අවස්ථාව සලකා ඵලස්ථයන් සතර දෙනාට ද ඤායපටිපන්න යැයි කියන බවද විශුද්ධිමාර්ගයෙහි දක්වා තිබේ. මාර්ග වීථියෙහි තික්ඛපඤ්ඤ මන්දපඤ්ඤ පුදගලයන් අනුව හතරවෙනි ජවනය හෝ පස්වෙනි ජවනය මාර්ග සිත ය.

මේ මාර්ගාංග අට එකක් ක්‍ෂණික ව පහළ වන්නේ ඒ චිත්ත වීථියෙහි වේ. ඉතිරි දෙසිත හෝ තුන්සිත ඵල සිත් ය. ඒ සිත්වලද මේ මාර්ගාංග ඒකක්‍ෂණිකව ලැබේ. මේ මාර්ග සිත්වලට හා ඵල සිත්වලට අරමුණු නිවන ය. හතරවන ජවනයට මුලින් ඇති ජවන් සිත්වලට අරමුණු වන්නේ නිවන නොවේ. අනිච්ච දුක්ඛ අනත්ත යන ලක්ෂණ තුනෙන් එකකි. ඒවා ලෞකික සිත්ය. එහෙත් ගෝත්‍රභූ සිතටත් නිවන අරමුණු වේ. එහෙත් ක්ලේශයන්ගේ ක්ෂය කිරීමක් එයින් සිදුනොවේ. මෙකී පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න නම් වෙති.

පූජ්‍යපාද හඟුරන්කෙත විමල නාහිමි ✍️
 

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *