නිවන අවුරණ සතුරන් පස්දෙනෙක්

rashi
By rashi
5 Min Read

පඤ්ච නීවරණ ධර්‍ම 04

උද්ධච්ච කුක්කුච්ච නීවරණය.

පඤ්ච නීවරණයන්ගේ සතරවැන්න උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි. උද්ධච්ච – කුක්කුච්ච යනුවෙන් දැක්වෙන්නේ ක්ලේශධර්‍ම දෙකකි. නැතහොත් අකුශල චෛතසික දෙකකි. අකුශල චෛතසික දෙකක් එක් නීවරණයක් ලෙස දක්වන්නේ මේ චෛතසික දෙක එකවර එකට උපදින චෛතසික දෙකක් නිසාය.

ලෝභ – දෝස – මෝහ යනු අකුශල මූල තුනකි. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යනු අකුශල සාධාරණ චෛතසික සතරකි. මෙම චෛතසික සතර සෑම අකුශල සිතකම පහළවන නිසා මේවා අකුසල සාධාරණ චෛතසික ලෙස හැඳින්වේ. උද්ධච්චය ලෝභ මූලික සිතකත්, ද්වේෂ මූලික සිතකත්, මෝහ මූලික සිතකත් ඉපදිය හැකිය. මෙම උද්ධච්චය කුක්කුච්චය යන චෛතසිකය සමඟ එකට ඉපදීම ලක්‍ෂණයයි.

පළමුවෙන්ම “උද්ධච්චය” යන්නෙන් දක්වන්නේ කුමක් දැයි හඳුනාගත යුතු වෙයි. සිතේ ඇතිවන නොසන්සුන්තාව, සිතේ අවුල්සහගත ස්වභාවය, සිතේ ක්ලාන්ත සහගත ස්වභාවය, කැළඹීම් සහගත ස්වභාවය උද්ධච්චයයි. ධර්‍මයේ “උද්ධච්චන්ති උද්ධතාකාරා” යනුවෙන් මෙය විග්‍රහකර ඇත. උපමාවකින් දක්වන්නේ “අළු ගොඩකට ගල්කැටයක් ගැසුවාක් වැනිය” යනුවෙනි. අළු ඉතා පහසුවෙන් විසිරීයාමට පත්වේ. මෙවැනි සිතේ විසිරුණු ස්වභාවයක් ඇතිවන විට සිතේ ක්ලාන්ත ගතියක් ඇතිවේ. එය ශරීරයේ ක්ලාන්ත බවක් නොව සිතේ ක්ලාන්ත බවකි. උද්ධච්ච යන පදය සාමාන්‍ය ව්‍යවහාරයේදී “උඩඟුකම” වශයෙන් හැඳින්වීමට පුරුදුවී ඇත. එහෙත් ධර්‍මයේදී ලබාදෙන්නේ එම අදහස නොවෙයි. නිශ්චිත එක් අරමුණක සිත සමාධිගත නොවූ ස්වභාවය උද්ධච්චයයි. මෙය තවත් උපමාවකින් දක්වන්නේ ගස් මුදුනක හෝ කඳු මුදුනක බඳින කොඩියක් ලෙසටය. මෙසේ වූ මෙම උද්ධච්චය සෑම අකුශල සිතක් සමඟ ඉපදුණද එය නීවරණයක් බවට පත්වන්නේ දෝස මූලික සිතක් සමග හටගන්නා අවස්ථාවකදී පමණි.

මීළඟට කුක්කුච්චය යනු කුමක් දැයි පැහැදිළි කර ගැනීමට අවශ්‍යවේ. ඉතා සරලව ගත්විට කුක්කුච්චය කියන්නේ පසුතැවීමටයි. ධර්‍මයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ “පච්චානුතාපන ලක්‍ඛණං” යනුවෙනි. ඒ අනුව කුක්කුච්චයේ සාමාන්‍ය ලක්‍ෂණය වන්නේ පසුතැවීමයි. මෙම පසුතැවීම සෑම කෙනකුටම පාහේ පවතින්නකි. අප බොහෝ විට “මට අසවල් දේ කරගැනීමට ලැබුණේ නැහැ” යනුවෙන් පසුතැවිලි වීම දකින්නට ලැබෙන්නකි. විශේෂයෙන් කරගැනීමට නොහැකි වූ යහපත් දේ ගැන සිතා පසුතැවිලිවීම. එසේම තමා අතින් සිදු වූ යම් යම් වැරදි, අඩුපාඩුකම්, අකුසල් ගැන සිතා ද පසුතැවීමට පත් වේ. එහෙත් එය සිදු නොකළ යුත්තකි. තමා අතින් කවර වරදක් අඩුපාඩුවක් සිදුවුවද එය නැවත නැවත නොසිතා එය අමතක කර දැමිය යුතුය.

“යොච පුබ්බේ පමජ්ජිත්වා – පච්චා සො න පමජ්ජති
සො ඉමං ලෝකං පභාසෙන්ති – අබ්භා මුත්තෝව චන්දිමා”

ධම්මපදයේ ලෝක වග්ගයේ සඳහන් වන මේ ගාථාව භග්‍යවතුන් වහන්සේ “සම්මඤ්ජණී තිස්ස” නම් තෙරුන් අරභයා දේශනා කරන ලද්දකි. උදේ දවල් සවස යන සෑම වේලාවකම ඇමදීමේ යෙදී සිටි මේ භික්‍ෂුව භාවනා ආදියට යොමුවී නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම නිසා ඒ පිළිබඳව පසුතැවිලි නොවීය. පසුතැවෙන සෑම වේලාවකම සිතේ ඇත්වන්නේ ද්වේෂයයි. එහෙත් එසේ ද්වේශයක් තමා තුළ ඇතිවන බවක් ඔහු නොදනී. මේ අනුව නොකළ හොඳ දේ ගැනත් කළ නරක දේ ගැනත් පසුතැවිලි වීම කුක්කුච්චයයි. මෙසේ සිතේ නොසන්සුන්කම හෙවත් සිතේ විසිර යාමත්, පසුතැවිලි වීමත් යන උද්ධච්චය හා කුක්කුච්චය යන චෛතසික දෙක එකවර එකට උපදින නීවරණ ධර්‍මයක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත.

බොහෝ පින් දහම් කළ, සිල් ආරක්‍ෂා කළ කෙනකුට වුවද ජීවිතයේ අවසාන මොහොතේ මෙම නීවරනය හෙවත් පසුතැවීම ඇතිවුව හොත් මරණින් පසු දුගතිගාමී වීමට එය හේතුවිය හැකිය. “ඒරක පත්ත” නාගරාජයාගේ කතා පුවත මෙයට උදාහරණයක් සේ ගත හැකිය.

ජීවිත කාලය පුරාම ඉතා මැනවින් සතර සංවර සීලය ආරක්‍ෂා කළ භික්‍ෂුවක් දිනක් ඔරුවකින් ගමන් කරද්දී අසල තිබූ පඳුරක අත්තක් අල්ලා ගනිද්දී එහි කොළ කිහිපයක් කැඩුණි. උපසම්පදා භික්‍ෂුවක විසින් ගහක වැලක කොළයක් කැඩීම කුඩා ඇවතකි. එය අපායගාමී වීමට තරම් අකුශලයක් නොවෙයි. දුක්කට ආපත්ති දේශනා කිරීමෙන් පිරිසිදුවිය හැක්කකි. එහෙත් මේ භික්‍ෂුව අවසන් භාගයේ තමාගේ ජීවිත කාලය සිහි කරද්දී මෙය සිහි වී පසුතැවිල්ලට පත්වී ඇත. ඒ හේතුවෙන් මරණින් පසු නාගයකු ලෙස ඉපදී ඇත. මේ නිසා ඉතා ප්‍රවේශම් විය යුතුව ඇත.

මෙ නීවරණය දුරුකරගන්නේ කෙසේ ද?

මෙම නීවරණය දුරුකර ගැනීමට කළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ සිත එකඟතර ගැනීමයි. මේ සඳහා මජ්ක්‍ධිම නිකායේ ඇතුළත්වන විතක්ක සනණ්ඨාන සූත්‍රයේ ඉගැන්වෙන කරුණු කීපය ඉතා වැදගත් කොට සැළකිය හැකිය. කිසියම් විතර්කයක් ඇති වූ විට එය දුරුකර ගැනීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පහක් එම සූත්‍රයේ උගන්වා ඇත.

1. අඤ්ඤා නිමිත්තං මනසි කරෝහි. (වෙනත් නිමිත්තක් මෙනෙහි කිරීම.)

2. ආදීනවං උප පරික්‍ඛිතබ්බං. (ඇතිවූ එම සිතුවිල්ලෙහි ආදීනව මෙනෙහි කළ යුතුය.)

3. අසති අමනසි කාතරා. (එම විතර්කය හෙවත් සිතුවිල්ල මෙනෙහි නොකිරීම.)

4. විතක්ක සප්තඨානං මනසිකාතබ්බං. (එම විතර්කයේ මූලය මෙනෙහි කිරීම.)

5. අභිනිග්ගන්හි තබ්බං. (තමා විසින්ම තමාගේ සිතට තර්ජනය කර ගැනීම.)

මේ කරුණු එකින් එක පියවර වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් මෙම නීවරණය යටපත්කොට දුරුකර ගැනීමට හැකිවේ.

අනුරපුර උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝරදුන් අභියස “සන්නිපාත ශාලාවේ” සෑම පුර පසළොස්වක පෝදාකම පස්වරුවේ ගිහි පැවිදි උගත් පඬිවරුන් එක්ව සිදුකරන දහම් සාකච්ඡාවේ දී පඤ්ච නීවරණ ධර්‍ම පිළිබඳව විශ්‍රාමික ගුරු උපදේශක, ශාස්ත්‍රපති, ධර්මාචාර්ය වඩුගේ කරුණාරත්න සුරීන් විසින් මෙහෙය වූ දේශනය අළලා බුදුමඟට යොමු කළේ සෙනරත් පොන්නම්පෙරුම මහතාය.

සෙනරත් පොන්නම්පෙරුම ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *