දුකින් මිදීමට අනිත්‍යය යොදාගනිමු – II කොටස

cmadurawala
9 Min Read

කපිල පීරිස්

මේ ලෝකයේ පංච නියාමය තුළ ක්‍රියාත්මක වන සත්ත්ව ක්‍රියාවලිය යනු නාම-රූප ක්‍රියාවයි. මෙය චිත්ත (වීථී) චෛතසික සහ රූප (අට විසි රූප) ඇසුරෙන් ගොඩනැඟේ. ඉන්ද්‍රිය අරමුණු සමග ගැටුණ විට චිත්ත වීථී හටගන්නා අතර මේ චිත්ත වීථීයේ විවිධ සිත්වල විවිධ චෛතසිත හට ගනී.

අභිසංකරණ සංඛාර ඇසුරු කරගෙන ය අපේ සිත්වල දිට්ඨීන් සකස් වන්නේ. (චෛතසික ලෙස) එනම් පංච නියාමය තුළ ක්‍රියාත්මක වන ලෝකයේ කෘත්‍රිම ව (මායා ලෙස) ගොඩනැඟෙන සක්කාය දිට්ඨිය තම සතුට-සොම්නස කැමැත්ත වෙනුවෙන් කෘත්‍රිම ව නිමවාගන්නා ආකෘතීන් ය. තව ලෙසකින් සඳහන් කරන්නේ නම් මේ ලෝකයේ යම් යම් සිද්ධීන් මේ මේ ආකාරයට විය යුතු ය, මා සොම්නස් වන්නේ එවිට ය ලෙස සාදාගත් දෑ ය. එහෙත් ලෝකය (සංසිද්ධීන්) මේ දිට්ඨි සමග අනුගත වන්නේ නැත. එය දුකකි. එපමණක් නො ව මේ දිට්ඨි අතිශය අනිත්‍ය ය. බාහිර සාධක එලෙස ම පැවතියත් කිසිදු දිට්ඨියකින් එක දිගට සොම්නස ලැබෙන්නේ නැත. අපට සොම්නස ලැබෙන්නේ බාහිර ෂඩ් ඉන්ද්‍රිය ඔස්සේ ලැබෙන සංවේදන සහ දිට්ඨි එකට පෑහෙන අතිශය සුළු කාලවල දී පමණි. එය දිට්ඨිවල ස්වභාවයයි.

මේ අනිත්‍යය නො දන්නා විට අපි නිරතුරු ව වෙනස් වන බාහිර ලෝකය මෙන්ම දිට්ඨි ද නැවත නැවත විවිධාකාරයට ගොඩනඟමින් සොම්නස සොයමින් යමු. මේ තමයි දුක. මේ දුකින් මිදීමට නම් මේ අපේ කැමැත්ත – සොම්නස වෙනුවෙන් නිමවාගත් දිට්ඨිවලින් මිදිය යුතු ය. එවිට ලෝකය පංච නියාමය තුළ ක්‍රියාත්මක වන අතර ඒ තුළ අපේ කාර්ය භාරය ඉතා හොඳින් කළ හැකි වනු ඇත. (ලද දෙයින් සතුටු වීම, අල්පේච්ඡ ජීවිතය යනු මෙයයි). දිට්ඨිවලින් මිදුණු සිත යනු ප්‍රභාෂ්වර සිතයි. විසංඛාරගත සිතයි. අනිදස්සන විඥානයයි. කෙලෙස්වලින් මිදුණු සිතයි. සතර බ්‍රහ්ම විහරණයෙන් පිරුණු සිතයි. (කෙලෙස්වල ප්‍රධාන කොටස් මේ දිට්ඨිවලට ගොනු වේ.) අනෙක් කොටස වන්නේ මේ දිට්ඨිවලට ඇති තණ්හාව – ආශාව – රාගය ආදියයි.)

මේ දිට්ඨිවලින් මිදීමේ එක් ප්‍රධාන ප්‍රවේශයක් වන්නේ මේවායේ අනිත්‍යය ප්‍රකට කරගැනීම ය. එනම් අනිත්‍ය සංඥා වැඩීම ය. අපට සොම්නස් – දොම්නස් – උපේක්ෂා වේදනා හට ගන්නේ මේ දිට්ඨි නිසා ය. ඉතින් මේ වේදනාවල මෙන්ම ඒවාට පාදක වන දිට්ඨීවල ද අනිත්‍යය – ප්‍රකට කරගත හැකි නම් ඒවා අතහැරිය හැකි ය. (ඇත්තට ම අත්හැරේ.) මේ දිට්ඨි යනු දිය මත ඇඳි සටහන් මෙන් ය. ඒවා මත පදනම් වූ දැක්මක සිට කිසිදු වේදනාවක් විඳිය යුතු නැත. ඒවා හිස් වේදනා ය. අපට සොම්නස්, දොම්නස්, උපේක්ෂා වේදනා හටගන්නේ අපේ අත්දැකීම් (සංවේදන) මේ දිට්ඨි සමග ගැටෙන විට ය. බාහිර අරමුණු වෙනස් වීම නිසා මෙන්ම දිට්ඨි වෙනස් වීම නිසා ද මෙය සිදු වේ. ඉතින් මේ අනිත්‍ය වූ දිට්ඨි එලෙස ම ප්‍රකට කරගත හැකි නම් එවිට ම ඒවා වියැකී යනු ඇති අතර ඒවා පදනම් කර ගත් වේදනා ද දුරු වී යයි.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ශාන්ත භාවය යනු මේ වේදනාවලින් මිදීම ය. (අවේදයිත සුඛය.) දිට්ඨිවලින් මිදුණු විට මෙය සිදු වේ.

පංච නියාම තුළ ක්‍රියාත්මක වන බාහිර ලෝකයේ අනිත්‍යය – වෙනස් වීම යනු ඇත්තට ම විපරිණාමයයි. එහි අවුල් සහගත අධිච්ඡසමුපන්නභාවයක් නැත. ඒ සියල්ල පරමාර්ථ සත්‍ය ඇසුරින් සෑදුණු සම්මුති සත්‍යයන් ය. (ඒවා ද සත්‍යයන් බව අමතක නො කළ යුතු ය.)

එහෙත් අපේ සිත්වල පවත්නා අපේ තණ්හා – ආශා- කැමතිකම් – සොම්නස උදෙසා සකස් කර ගන්නා දිට්ඨි (අභි සංඛාර) යනු අතිශය අවුල් සහගත ව වෙනස් වන්නා වූ දෑ ය. අපට දුක උපදවන්නේ මේ අනිත්‍යයයි. දුකින් මිදීමට නම් අප ප්‍රකට කරගත යුත්තේ මේ අනිත්‍යයයි. මේ වෙනස් වීම – අනිත්‍යය සඳහා කිසිදු උපමාවක් සඳහන් කළ නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ වදාළ හ.

මේ දිට්ඨි – සංඛාර අනිත්‍ය බව සහ එය සත්ත්වයාගේ දුකට හේතු වන අයුරු හෙළිදරව් කෙරුම ය භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ. ගහ කොළවල, ගෙවල් දොරවල, යාන වාහනවල අපේ සිරුරුවල අනිත්‍යය – වෙනස්වීම මෙන් නො ව මේ චිත්ත සන්තානගත දිට්ඨි – සංඛාරවල අනිත්‍යය දැන – දැකගැනීම යනු ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා තම අභ්‍යන්තරයට යොමු වූ සැබෑ විද්‍යාත්මක පර්යේෂණයේ එනම් ආර්ය පර්යේෂණයේ යෙදිය යුතු ය. අද විද්‍යාඥයන් කරන්නේ තම පංචේන්ද්‍රිය ගෝචර සීමාවේ බාහිර ගහ කොළ ග්‍රහලෝක ආදිය ගැන හිතළු අධ්‍යයනයක් පමණි. ඒවා මුළුමනින් ම අනාර්ය ය. බාහිර ගහ කොළවල භෞතික ද්‍රව්‍යවල අණු පරමාණු, ක්වාර්ක ආදි කොපමණ කුඩා අතිශය වේගයන් සහිත දෑවල (ඇතැම් විට තරංග, ශක්ති ආදි ලෙස) කොපමණ වේගවත් වෙනස්වීම් ගැන කතා කළත් මේ කිසිවකින් දුකින් මිදිය නොහැකි ය. දුකින් මිදීමට නම් සන්තානගත දිට්ඨි – සංඛාරවල අනිත්‍යය දැන දැක ඉන් මිදිය යුතු ය. විද්‍යාඥයන් කරන්නේ තම සතුට – සොම්නස උදෙසා තව තවත් දිට්ඨි සැකසීමයි.

ලෞකික ව ගත් කල අපේ සිත්වලට සතුට – සොම්නස කැමැත්ත පරිදි යම් යම් දේ සිදු වීම අවශ්‍ය ය. සිතට ජවයක් ලැබෙන්නේ එවිට ය. අප සොම්නස් වේදනා පසුපස දිව යන්නේ මේ නිසා ය. දොම්නස් වීමෙන් සිතේ ජවය සිඳේ. අපි සොම්නස – දොම්නස විදිමින් ඒ තුළ ක්‍රියාත්මක වෙමු. එනම් සොම්නස් – දොම්නස්හි හුදු විඳින්නන් බවට පත් වී සිටිමු. එහෙත් අපට මේ සොම්නස් දොම්නස් විඳීමෙන් මිදී ඒවා දැන – දැක ගන්නන් බවට පත් විය හැකි නම්, ඒ තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සොබාදහමේ නියමයන් ප්‍රකට කර ගත හැකි නම්, එමගින් සිතේ ජවයක් ඇති කර ගත නොහැකි ද? මේ ජවය තුළ සිතේ පවතින දිට්ඨි මළවල අනිත්‍යය දැන ගත හැකි නම් ඉන් මිදීමට එය පහසුවක් නො වනු ඇත් ද? මෙමඟින් තමා සංසාරයේ පරම විද්‍යාව සපර්ශ කළේ යැ යි කොපමණ සතුටක් ලද හැකි ද?

සිහිනුවණින් (ධර්මයේ මූලික සැකිල්ල දැන සිහියෙන් යුතු ව) හිඳිමින් සියලු වේදනාවන්හි නො ගිලී හුදු විඳින්නෙකු නො වී ඒවා දැනගත හැකි නම් කොපමණ අගේ ද? මේ දැන ගන්නේ කවුද? මේ සතුට විඳින්නේ කවුද ආදි ප්‍රශ්න ගොඩනැඟිය හැකි වූවත් ඒවා සිතේ ම හට ගන්නා තවත් දොම්නස් වේදනා පමණක් බව දැනගෙන හුදු දැනගැනීම දිගින් දිගට ම වැඩිය යුතු ය. කිසිදු වේදනාවකට හොද – නරක විනිශ්චයන් නො දී, විග්‍රහයක් නො කොට ඒවා හුදෙක් දැන ගැනීම පමණ ය, කළ යුත්තේ දිගින් දිගට ම දැන ගැනීම පමණ ම ය.

මේ හුදු දැන ගැනීම යන්නෙන් මිදී වේදනා ඔස්සේ සිතීමට ගිය විට ය, තවත් දිට්ඨි සංස්කාර ගොඩනැඟෙන්නේ. මේ හුදු දැනගැනීමේ ක්‍රියාවලිය තුළ වේදනා සමනය කර ගෙන ඊට පාදක වන දිට්ඨි වළකාගත හැකි නම්, දිට්ඨිවලින් මිදී අපට සොබා දහම තුළ මනා ව ක්‍රියාත්මක විය හැකි ය. දිට්ඨි නිසා ඇති වන වේදනා තවත් දිට්ඨි සෑදීම මගින් සමනය කළ නොහැකි ය. කළ යුත්තේ මේ බැව් දැනගෙන දිගින් දිගට ම එය දැන ගැනීමක් ම බවට පත් කරගෙන ඒවා වියකා දැමීම ය.

මේ දැන ගැනීම තුළ වේදනා – දිට්ඨිවල අනිත්‍යය ප්‍රකට වීම තුළ ය, ඒවා වියැකෙන්නේ. ජලය මත ඇඳි සටහන්වලටත් වඩා අනිත්‍ය වූ දිට්ඨි අපි නිත්‍ය සංඥාවෙන් ගෙන සිටිමු. අප දුක් විඳින්නේ ඒ නිසා ය. මේ අනිත්‍යය ප්‍රකට වුව හොත් එයමයි දිට්ඨිවල ප්‍රහාණය. එයමයි දුකින් මිදීම. අනිත්‍ය ධර්මතාවය කොපමණ ගැඹුරු ද? කොපමණ ආශ්චර්ය ද? සංතානගත අනිත්‍යය ප්‍රකට වුව හොත් ඒ තරම් සුඛයක් තවත් තිබිය හැකි ද? අපේ සියලු‍ දුක් නිවාලන ඒ පරම විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගැනීම කෙලෙස් මල සපිරි නූතන ඉහළ ම විද්‍යාඥයා ලබන සතුටට කෙසේ නම් සැසඳිය හැකි ද? සොම්නස සඳහා වන කිසිදු දිට්ඨියකින් නො බැඳී, උපාදාන නො වී, කොපමණ සතුටෙන් ලෝකයේ ක්‍රියාත්මක විය හැකි ද? බාහිර ලෝකයෙන් සතුට – සොම්නස නොසොයා එය දැනගෙන ඒ තුළ කුසලයෙන් ක්‍රියාත්මක වීමෙන් කොපමණ සතුටක් ලද හැකි ද?

ඉහත දැක්වූ ලෝකයේ සංඛත සංඛාර ඇසුරු කරගෙන අභිසංස්කරණ ක්‍රියාවලිය සිදු වන අයුරු විදහා දැක්වීමට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනයක දී පහත දැක්වෙන උපමාව ගෙනහැර දැක්වූ සේක. එනම් පරමාර්ථ ධර්ම ඇසුරින් සංඛත සංඛාර ගොඩනැඟීම පොළොවෙන් මැටි ගෙන වළඳක් සෑදීමට සම ය. එම වළඳ යම් කෙනෙකු මිල දී ගෙන එය මගේ ය, මට ඕනෑ අයුරු මෙය තිබිය යුතු ය ආදී වශයෙන් ගැනීම, එනම් වළඳ තම සුඛය (වේදනාව) වෙනුවෙන් යොදාගැනීම සංඛත සංඛාරය අභිසංස්කරණය කිරීමක් බඳු ය. දුක හට ගන්නේ මේ අභිසංස්කරණ ක්‍රියාවලිය නිසා ය. මන්ද ඒ අභිසංස්කරණයන් අනිච්ච වන නිසා ය. අභිසංස්කරණය නො කළ සංඛත සංඛාරයක් වූ වළඳ බිදී ගිය විට දුකක් නොමැත. එහෙත් වළඳ අභිසංස්කරණය කළ විට එය බිඳී ගිය විට පමණක් නො ව වළඳ එලෙස ම තිබිය දී පවා මුලින් ඒ අභිසංස්කරණය තුළ තිබූ සුඛ වේදනාව අනිච්චය තුළ වැය වූ විට ද දුක හටගනී.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *