අසිරිමත් ඇසළ පොහොය අදයි

thilina
By thilina
8 Min Read

බෝසත් චරිතයේ බුද්ධ චරිතයේ ශාසන ඉතිහාසයේ ඒ වගේම අප රට තුළත් සිදුවී ඇති විශේෂ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති උතුම් පුර පසළොස්වක පොහොය තුනක් එක ළඟම පවතී. ඒ වෙසක් පොහොය, පොසොන් පොහොය හා ඇසළ පොහොයයි. අද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයයි. ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් බෞද්ධ අපි මේ පොහොය ත්‍රිත්වය තුළ කටයුතු කිරීම සුවිශේෂී වේ. ඒ වගේම තොරණ ඉදිකිරීම හා දන්සැල් පැවැත්වීම ද මේ කාලය තුළ තරගයට මෙන් සිදුකෙරේ. ඇසළ පොහොය දිනයේදී සිදුවී ඇති වැදගත් කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ පිළිබඳව කෙටියෙන් විමසා බලමු.

මනුලොව පහළවීමට පෙරුම් පුරන බෝසතාණන් වහන්සේ මනුලොව පහළවීමට පෙර කාලය ගතකරනුයේ තුසිත දිව්‍ය ලෝකයේයි. ඒ හතරවැනි දිව්‍ය ලෝකයයි. මෙහි වැඩ වෙසෙන මහ බෝසතාණෝ මනුලොව ඉපදිමට පෙර කාලය, දීපය, දේශය, කුලය, මාතාව යන පස්මහ බැලුම් බලයි. ඒ බව ඔබ අපි හොඳින් දන්නවා. ඒ අනුව නිසි කාලය තුළ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ ඒ වනවිට උතුම් කුලය වන ශාක්‍ය කුලයේ සුදොවුන් මහ රජුට දාව ඉතා පින්බර ගුණවත් පස්පව් දස අකුසල් නොකරන, පෙහෙවස් සමාදන්වන ඉතා රූමත් මහාමායා නම් තරුණ දේවියගේ කුසෙහි අප මහා බෝසතාණෝ පිළිසිඳ ගන්නවා. එම සිදුවීම සිදුවුණේ අද වැනි උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය. එසේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක මනුලොව කාන්තාවක කුස තුළ පිළිසඳගත් එම බෝසත් කුමාරයා දසමස් ඇවෑමෙන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී උපත ලබයි. මෙසේ හැදී වැඩෙන බෝසත් සිදුහත් කුමාරයා 16 වන වියේදී දෙව්දහ නුවර සුප්‍රබුද්ධ රජුගේ දියණිය වූ භද්දකච්චානා හෙවත් යශෝධරා කුමරිය සමග විවාහ දිවියට පත්වේ. මේ විවාහයෙන් වසර 13කට පසු මොවුන් දෙදෙනාට පුතෙකු ලැබෙයි. හෙතෙම රාහුල නමින් හැඳින්වෙනවා. එම දිනයේම සිදුහත් කුමාරයා සසර කලකිරී අභිනිෂ්ක්‍රමණය කරනවා. මේ අනුව රාහුල කුමාරයා උපත ලැබීමත්, සිදුහත් බෝසතාණන් අභිනිෂ්ක්‍රමණය කිරීමත් සිදුවනුයේ අදවන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය.

එදා විසිනව වියේදී අභිනිෂ්ක්‍රමණය කළ සිදුහත් බෝසතාණන් වසර හයක් දුෂ්කරක්‍රියා කර තිස්පස්වන (35) වියෙහිදී ලොව්තුරා බුද්ධත්වයට පත්වුණ බව ඔබ අප කවුරුත් හොඳින් දන්නවා. එය සිදුවූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී. ඉන්පසු සත්සතිය ගතකරමින් එම කාලවකවානුව අවසන් වූ පසු සහම්පති බ්‍රහ්ම රාජයාණෝ බුදුන් වහන්සේට ධර්‍මය දේශනා කරන ලෙසට ආරාධනා කරනවා. එම ආරාධනාව මත අප ගෞතම බුදුන්වහන්සේ තමන් ඉතා වැර වීර්යයෙන් තමන්ගේම උත්සාහයෙන් අවබෝධ කරගත් ධර්‍මයේ හරය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව නමින් පස්වග තවුසන්ට දේශනා කරනු ලබයි. එය සිදුවූයේත් අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය.

ඇසළ පොහෝදා සිදුවූ ඉතාම වැදගත් කාරණය මෙයයි. බරණැස ඉසිපතන මිගදායේදී මෙම දේශනාව පවත්වන ලදී. මේ නිසා ලෝකයේ ධර්‍මය පහළ විය. ඒ නිසාම විiාව පහළ විය. ආලෝකය උදාවිය. ප්‍රඥාව පහළ විය. එම දේශනාව අසා සිටි පස්වග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාණෝ සෝවන් ඵලයට පත්වූහ. එදා එම ප්‍රථම ධර්‍ම දේශනාව මනුෂ්‍යයන් වශයෙන් පස්දෙනකු පමණක් ශ්‍රවණය කළ ද සදෙව් ලොව දෙවියන් හා අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා වූ බ්‍රහ්මයන් අටලොස් කෝටියක් පමණ අතුරු සිදුරු නැතිව ආකාශයේ සිට සවන් යොමු කළහ. ඊට අමතරව සාතාගිර නම් යක්‍ෂ සේනාපතියා ඇතුළු තවත් යක්‍ෂ සේනාපතිවරු පිරිසක් ද එම ධර්‍මය ශ්‍රවණය කළ බව සඳහන් වේ.

එයින් සාතාගිර නම් යක්‍ෂ රාජයා සෝවාන් ඵලයට පත්වී ඇත. සෝවාන් ඵලයට පත්වූ හෙතෙම තම කුළුපග මිතුරා වන හේමවත නම් යක්‍ෂ රාජයා සොයා අහසින් ගමන් කරනුයේ දෙදෙනා අහස් තලයේදී තමන් විසින් අසන ලද ධර්‍මය පිළිබඳව සාකච්ඡාවක යෙදේ. මෙය සිදුවූයේ රජගහ නුවර ‘කාලි’ නමැත්තියගේ නිවස ඉහළ ආකාශයේ සිටියදීය. මේ ධර්‍ම සාකච්ඡාවට සම්බන්ධ වූ හේමවත යක් සෙනෙවියාත් ඒ දෙදෙනාගේ සාකච්ඡාවට සවන් යොමු කරමින් සිටි ‘කාලී’ නමැත්තියත් සෝවන් ඵලයට පත්වී ඇත. එදිනට රාත්‍රි ගැබ්බර වී සිටි කාලි නමැත්තිය පුතකු ප්‍රසූත කළ අතර ඔහුට ‘සෝණ’ යන නම තබන ලදී. මේ සිදුවීම් සිදුවූයේ ද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය.

මේ වනවිට බුදුන් වහන්සේත් උන්වහන්සේගේ ධර්‍මයත් පස්වග තවුසන් මහණ උපසම්පදාව ලැබීම නිසා මහා සංඝ රත්නයත් එනම් ත්‍රිවිධ රත්නයම මේ මනුලොව පහළවී ප්‍රචලිත වී ඇත. ඉන්පසු බුදුන් වහන්සේ සහ පස්වග භික්‍ෂුන් වහන්සේලා ප්‍රථම වස් එළැඹීම සිදුකරනුයේ ද අද වැනි ඇසළ පුන් පොහෝ දිනයකදීය. එය අසිරිමත් සිදුවීමකි. පෙර වස් විසීම නමින් අද දක්වා ද භික්‍ෂුන් වහන්සේලා ඇසළ පොහොය දිනයේදී වස් විසීම ආරම්භ කෙරේ.

තීර්ථකයන්ගේ මානය දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ ද ඇසළ පුර පසළොස්වක දිනකදී වන අතර, බුද්ධත්වයට පත්වී වසර හයක් ඉක්ම ගිය පසු උන්වහන්සේ සත්වෙනි වස ගතකිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කළේ ද අද වැනි දිනයකදී ය. එහිදී උන්වහන්සේ තම මෑණියන් වන මාතෘ දිව්‍යරාජයාණන්ට මේ වස් තුන් මාසය තුළදී විජම් බණ හෙවත් අභිධර්‍මය දේශනා කරන ලදී. ඉහතින් දැක්වූයේ බෝසත් චරිතයේ හා බුද්ධ චරිතයේ ඇසළ පුර පසළොස්වක පොහොය දින සිදුවූ අසිරිමත් සිදුවීම් අතර කිහිපයකි. පොතපත කියවා ඒවා පරිශීලනය කර ධර්‍ම දේශනාවන්ට හා ධර්‍ම සාකච්ඡාවලට සවන්දී ඔබේ දහම් දැනුම තව තවත් මුවහත් කරගන්න.

ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් බුද්ධ පරිනිර්‍වාණයෙන් තෙමසකට පසු සිදුවේ. දෙව්දත් තෙරුන්ගේ පංච වස්තුව, කොසඹෑ නුවර ධර්‍මධර විනයධර භේදය, ජබ්බග්ගිය භික්‍ෂූන්ගේ අවිනීත ක්‍රියා, සුභද්‍ර භික්‍ෂුවගේ අභද්‍ර වචනය ආදී හේතූන් නිසා ධර්‍ම විනය එක්රැස්කොට තැබීමේ අවශ්‍යතාව දැඩිසේ මතුවේ. ඒ නිසා ධර්‍ම සංගායනාවක් පැවැත්වීමට සාකච්ඡා වේ. ඒ අනුව එම ප්‍රථම ධර්‍ම සංගායනාව නිකිණි පොහෝදා සිදුකළත්, එහි මූලික කටයුතු ආරම්භ කළේ අද වැනි ඇසළ පොහෝ දිනකදීය

ඊළඟට මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අප රට සම්බන්ධයෙන් වැදගත් වන ආකාරය පිළිබඳව කෙටියෙන් විමසා බලමු. මුලදී සඳහන් කළ පරිදි ලංකා ශාසන ඉතිහාසය පිළිබඳව කරුණු විමසා බැලීමේදී සුවිශේෂී කරුණු කිහිපයක් සිදුවී ඇති බව පෙනේ. දේවානම්පියතිස්ස රජ සමයේදී මිහිඳු මහ රහතන්වහන්සේ අප රටට වැඩම කරවීමේ තැන් පටන් අද දක්වා සිදුවී ඇති වැදගත් සිදුවීම් ලංකා ශාසන ඉතිහාසය ලෙස අදහස් කෙරේ.

දේවානම්පියතිස්ස මහ රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දූත පිරිසට හා අරිට්ඨ මහ රහතන් වහන්සේ ඇතුළු භික්‍ෂු පිරිසට වැඩ වාසය කිරීම සඳහා අටසැට ලෙන් කරවා පූජා කළේ අද වන් ඇසළ පොහොය දිනකදී ය. බු.ව. 236දී අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහණ උපසම්පදා කර ඇත්තේ ද ඇසළ පොහොය දිනකය. ලක්දිව ප්‍රථම වස් සමාදානය සිදුවීම ද වැදගත් කරුණකි. දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුර රුවන්මැලි සෑය ඉදිකිරීමට මුල්ගල තැබුයේත්, එම සෑරදුන්ගේ ධාතු නිධානෝත්සවය සිදුකර ඇත්තේ ද අද වැනි ඇසළ පොහොය දිනකදීය. හේමමාලාවන් හා දන්ත කුමාරයා විසින් දන්ත ධාතූන් වහන්සේ අප රටට රැගෙන ආවේත් එම දන්ත ධාතූන් වහන්සේ උදෙසා දළදා පෙරහැර පැවැත්වීම ආරම්භ කර ඇත්තේ ද අද වැනි උතුම් දිනකය. මේ දක්වා එය අඛණ්ඩව පවත්වාගෙන ඒම ද සුවිශේෂී කාරණයකි.

ලක්දිව උපසම්පදාව නැතිවී ගිය කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් දේශයට දූත පිරිසක් පිටත්කර යවා එම රටින් උපාලි ස්ථවිර ඇතුළු භික්‍ෂු පිරිසක් වැඩම කරවා ලක්දිව නැවත උපසම්පදා විනයකර්‍මය ආරම්භ කරන ලද්දේ ද, අද වගේ ඇසළ පෝය දවසකදීය. ඉහතින් කෙටියෙන් සඳහන් කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට අදාළ වන කාරණා කිහිපයකි. මේ කාරණා ඔස්සේ තවදුරටත් කරුණු විමසා බලා පොත පත පරිශීලනය කර, ධර්‍ම දේශනාවන්ට සවන්දී ධර්‍ම සාකච්ඡා කර ඔබගේ දහම් දැනුම වැඩිකර ගැනීමට උත්සාහ කරන්න. ඔබ දන්නා කරුණු දහමට ළැදි පිරිස් සමග සාකච්ඡා කරන්න. එය ධර්‍ම දානමය පින්කමකි.

ගුණපාල කාරියවසම්

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *