පී.චන්ද්‍රරත්න
වෙසක් උත්සවය වනාහී බෞද්ධ සැදැහැතියන්ගේ අප්‍රමාණ ගෞරවයට බඳුන් වූ සේම මහත් විචිත්‍ර ලෙස අනුස්මරණය කෙරෙන මහෝත්සවයකි. බොදු බැති ගී විමසුම සඳහා අද තෝරාගත් ගීතය ද වෙසක් උත්සවය සැමරුම වෙනුවෙන් හෙවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවන්පෑම යන ත්‍රිවිධ මංගල්‍යය පිළිබඳව රචිත වඩාත් ජනප්‍රිය හා හරවත් ගී බොදු බැති ගී ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්වූ ගීතයයි. “රන්මුතු දූව” චිත්‍රපටයේ පසුබිම ගායනයක් ලෙස ගැයූවක් නමුදු අමරදේවයන් සමග නන්දා මාලනී ගැයූ “පාරමිතා බල පූරිත පූජිත,” අනාගතයේදී ද අසමසම වෙසක් ගීතය ලෙසම පවතිනු ඇත. සිංහල පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ හසළ දැනුමකින් යුත් අසහාය ගීත නිබන්ධක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් මෙම ගීතය රචනා කර ඇත.
පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු, පිහිනමු බුදු ගුණ මූදේ
සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධී
සනරාමර ගුරු ලෝක සිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදු රැස් කැටිවී නැඟි ආලෝකේ
පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ
ගීතයෙහි පද විමසුමට පෙර සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් මෙම නිර්මාණය සිංහල ගීත වංශයට එක් කළ නව ආකෘතිය හා සුවිශේෂී යෙදුම් කීපයක්ම පිළිබඳවය. ගීතය ආරම්භ වන්නේ තෙවරක් සාධු නාදය පැවැත්වීමෙනි. අනතුරුව නමස්කාර පාඨය කියැවේ. එහි ගායන ප්‍රයෝගයද මනහරය. රචිත ගීය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
පාරමිතා බල පූරිත, බුද්ධ දිවාකරයාණෝ, පුණ්‍ය මහෝදධි, සනරාමර ගුරු, වැනි යෙදුම් මුල්වරට සිංහල ගීතයට එක්වන්නේ මෙම ගීයෙනි. රචකයා වූ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පුළුල් පඨනය ඉන් හඳුනාගත හැකිය.
ගීය ආරම්භ කෙරෙන පාරමිතා යන වචනය බොහෝ දෙනා අසා ඇති නමුත් එය පාරමිතා බල පූරිත පූජිත ලෙස යොදා ගැනීමට සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍යයෙන් ලද ආභාසය හමුවේ. “දහම් සරණ” කෘතියෙහි පාරමී සම්මර්ශනය යන්න යටතෙහි ඇති කොටසෙහි “දිවාකර වැ පූරිත පාරමිතා ලතා” යන යෙදුම හමුවේ. මානවසිංහයන්ගේ පාරමිතා බල පූරිත පූජිත යන යෙදුම භක්ති ශතකයෙහි ද පහත දැක්වෙන ශ්ලෝකය සිහිගන්වයි.
ස්වයම්භූතාහිඥම් භවභයරම්භීතිරහිතං
ස්ථුරද්භාග්‍යම් භොගොජ්ක්‍ඨිතමහතවිර්යං මදනජිත්
චතුර්මාර්ගං ශුද්ධප්‍රකෘති ච තථා කර්තෘකමිදම්
මුදාං ලෝකොත්කෘෂ්ටා’ මතනු තනුතාං වස්තු ජගකාම්
(8වන ශ්ලෝකය)
“පාරමිතා ආනුභාවයෙන් සිදුවූ උසස් අවබෝධය ඇති සසර බිය දුරු කරන, බිය රහිත, බබළන භාග්‍යය ඇති පස්කම් සැප විඳීම අත්හළ නොනැසුණු වීර්යය ඇති, මරුන් දිනූ, සසර මඟට පැමිණි පවිත්‍ර ස්වභාවය ඇත, නැවත ඉපදීමක් නැති, මේ බුද්ධ පදාර්ථය ලෝකවාසීන්ට ලෝකෝත්තර වූ සතුට නොමදව කෙරේවා” (භක්ති ශතකය – පණ්ඩිත සිරි තිලකසිරි සංස්කරණය)
එසේම දහම් සරණෙහිද මෙසේ සඳහන්ය.
“(දීපංකර බුදුහු) එසමයෙහි පූරිත පාරමිතාබල ප්‍රතිලබ්ධ වූ ප්‍රඥා පරිණාම ඇති බුදුවන” (15 පිටුව, කිරිඇල්ලේ ඤාණවිමල සංස්කරණය)
ගීතයෙහි ස්ථායී කොටසෙහි එන බුද්ධ දිවාකරයාණෝ යෙදුම ද විශේෂය. දිවාකර යනු දහවල උදා කරන්නා හෙවත් හිරුය. මෙහිදී සංසාර නමැති මෝහාන්ධකාරය දුරු කරනු ලබන්නා යන අරුතින් “බුද්ධ දිවාකරයාණෝ” යන්න යොදාගෙන ඇත. මෙම යෙදුම දහම් සරණෙහි හා පූජාවලියෙහි ද සඳහන්ය.
“සකල ලෝක ශාන්තිකර වූ, කරුණාකර වූ, මෝහාන්ධකාර දිවාකර වූ, සූක්ති සූධා නිෂේක නිසාකර වූ, ක්ෂේමංකර වූ, මාරභයංකර වූ දීපංකර නම් ස්වාමි දරුවෝ” (දහම් සරණ – 16 පිටුව)
අපගේ මේ භද්‍රකල්පයට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට සාරමණ්ඩල නම් කල්පයක් වීය. ඒ කල තණ්හංකරය, මේධංකරය, සරණංකරය, දීපංකරයයි බුද්ධ දිවාකරයෝ සතර දෙනෙක් පහළ වූහ.” (පූජාවලිය – 20 පිටුව,
වේරගොඩ අමරමොලි සංස්කරණය)
ගීතයෙහි එන වෙසක් පොහෝ දින, යන්න බෞද්ධ ජනයාහට අනන්‍ය වූ දිනයක් නමුදු “වෙසක්” යන්නෙහි කිසිදු බෞද්ධ අර්ථයක් නොමැත. බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් පොහෝ දිනවල බව සඳහන්ය. වෙසක් යන්න වෙසඟ යන්න සංස්කෘත වෛශාඛ (වෛශාඛ්‍ය) යන්නෙහි සිංහල රූපයයි. හින්දූන් විසින් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සකසා ගත් වර්ෂයෙහි “විශාඛ” නම් මාසයෙහි සිදුවූ බුද්ධත්වය පිළිබඳ “දාඨා වංශ ව්‍යාඛ්‍යා” වෙහි මෙසේ සඳහන්ය.
විශාඛ මාසස්ස’ථ පුණ්ණමාසියං
උපෙච්ච මූලං සහජාය බොධියා
තිනාසනෙ චුද්දසහත්ථි සම්මිතෙ
අධිට්ඨහිත්වා විරියං නිසජ්ජ සො
ඉක්බිති හෙතෙම වෙසක් මස පුන් පොහෝ දින එක් දින උපන් බෝධීන් වහන්සේගේ මුලට පැමිණ තුදුස් රියන් පමණ වූ කුසතණ ආසනයෙහි වීර්‍ය්‍යය අධිෂ්ඨාන කොට වැඩ හිඳ” (ඇල්.ගුණරත්න සංස්කරණය – 37 ගාථාව)
ගීතයෙහි එන පුණ්‍ය මහෝදධි යෙදුම ද සිත් තුළ මහත් භක්ති රසයක් ජනනය කරයි. මහෝදධි යනු පාලි භාෂාවෙන් මහා සාගරය යන අර්ථයයි. මානවසිංහයන් ඊට පුණ්‍ය යන විශේෂණය යොදමින් බුදුරජාණන් වහන්සේ පුණ්‍ය මහෝදධි හෙවත් පින් නමැති මහා සාගරය යනුවෙන් හඳුන්වා ඇත. ගීතයෙහි පළමු අන්තරා කොටසෙහි එන පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ යන යෙදුම හා පුණ්‍ය මහෝදධි යන්න මනාව සංයෝජනය වේ.
මානවසිංහයන් ගීත සාහිත්‍යයට එක් කළ තවත් අපූර්ව යෙදුමක් ඊ ළඟට හමුවේ. “සනරාමර හිමි ලෝක සිවංකර” යෙදුම ඔහුගේ ප්‍රතිභාවට නිදසුනකි.
“සනරාමර ගුරු” යෙදුම සද්ධර්මරත්නාකරයෙහි සනරාමර ගුරු දිවකුරු බුදුන් හමුවෙහි” යනුවෙන් සඳහන්ය. (එච්.එම්.මොරටුවගම සංස්කරණය – 2 පිටුව) සනරාමර යන්නෙහි අරුත සෆ නරෆ අමරෆ සනරාමර හෙවත් මිනිසුන්ට හා දෙවියන්ට යන්නය. සනරාමර ගුරු යනු එම දෙපක්ෂයටම ගුරු වූ බවය. ධර්‍මප්‍රදීපිකාවෙහි එය මෙසේ සඳහන්ය.
බුදුන් හැම සන්තනට අග්‍ර පරිදි කිසෙ යැ යත්?
බුදුහු එදවස් එවැනි මර පිරිස් දැක ද හුනස්නෙන් නොනැඟී තමන් බෝසත් කල්හි පවා ඔහු වස්වන නවවිධවර්‍ෂා පරාංමුඛ කොට මරසෙනඟ බිඳ ප්‍රලය කොට සම්‍යයක් සම්බුද්ධ වැ අසාධාරණ ගුණයෙන් යුක්ත වූහ. එයින් බුදුහු සනරාමරලෝකයහට අග්‍ර වූහ.” (ධර්‍මප්‍රදීපිකා – 182 පිටුව)
සද්ධර්මාලංකාරයෙහිද “සනරාමර” යෙදුම දක්නට ලැබේ.” එකල්හි සනරාමර ලෝකෙන ශාස්තෲ වූ සර්‍වඥයන් වහන්සේ” (140 පිටුව – ශ්‍රී ලංකා භාෂෝපකාර සමාගමේ සංස්කරණය)
එසේම ලෝක සිවංකර” යන්න ද බුදුන්ට විශේෂණ නාමයක් සේ යොදාගෙන ඇත. සුමංගල ශබ්දකෝෂයට අනුව එහි අරුත ශාන්තිය ඇති කරන යනුය. ක්ෂේමය කරන යන ශබ්දයෙහි තත්සම රූපය ලෙස “සිවංකර” යොදා ඇත. ශිවාකර යනුවෙන් තවත් ශබ්දයක් අති අතර එය හින්දු සම්භවයකින් උතුම් තැනැත්තා යන අරුතෙන් යුතුය. (මීට පෙර දිවාකර අරුත දැක්වීමට උපුටාගත් දහම් සරණ පාඨයෙහි ක්ෂේමාකර යෙදුමද සඳහන්ය.
මෙම සියලු විශේෂණ අවසානයෙහි බුද්ධ දිවාකරයාණෝ යැයි දැක්වේ. ගීතයෙහි නමස්කාර පාඨය සඳහන් ආරම්භයෙහි “සම්මා සම්බුද්ධෝ” යනුවෙන් සඳහන් වුවද පසුව බුද්ධ යන්න පමණක් සඳහන්ය. මෙහිදී පාඨකයාට බුද්ධ හා සම්මා සම්බුද්ධ යන යෙදුම් දෙක කවර අර්ථ ගන්නේදැයි සඳහන් කළ යුතුව ඇත.
‘අභිඤෙඤය්‍යං අභිඤඤාතං – භාවෙතබබං ච භාවිතං
පහාතබබං පහීනං මෙ – තසමා බුදෙධා’සම්බ්‍රාහ්මණ
බමුණ මා විසින් අභිඥෙය ධර්‍ම අභිඥාතය. ප්‍රභාතව්‍ය ධර්‍ම ප්‍රහීණය. භාවිතව්‍ය ධර්‍ම භාවිතය. එහෙයින් මම බුද්ධ වෙමි යනු අර්ථයයි.
තවද භාග්‍යවතුන් වහන්සේ ඒ චතුසත්‍යය ආයතන විඤ්ඤාණා දි වශයෙන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ වන සේකැයි දක්වති.’ (සිංහල විශුද්ධි මාර්‍ගය 294 පිටුව – මාතර ශ්‍රී ධම්මවංශ සංස්කරණය)
ගීතය අවසානයෙහි සඳහන් බුදුරැස් පැතිරී නැඟි ආලෝකේ – පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ, යන යෙදුමද මානවසිංහයන්ගේ ප්‍රතිභාව ඉහළින්ම දක්නට ලැබෙන්නකි. බැලූ බැල්මට ඉතා සරල යෙදුමක් නමුදු බුද්ධ රශ්මියෙන් ලෝකයේ ගනඳුර කෙසේ දුරුවන්නේ දැයි හෙවත් එම බුද්ධ රශ්මියේ ස්වාභාව කෙසේ දැයි පහත දැක්වෙන ධර්‍මප්‍රදීපිකා පාඨයෙන් මානවසිංහයන් අදහස් කළ අරුත වටහා ගත හැකිය.
නීල පීත ලොහිතාවදාතාදි සවණක් ඝන බුදුරැස්හු දිලිසෙමින් තෙව්මින් සකල ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මුණුහු. නික්මෙන්නාහු. ආවර්ජනාදීන් විනා මැ සුසිල් සිනිඳු කෙස්ධයින් ඉඳුනිල්මිණි රසදහරා සෙයින්, සකල ශරීරයෙන් රන්රස දහරා සෙයින්, පාදපාණිතලයෙන් හා ඔෂ්ඨයෙන් පබල රසදහරා සෙයින්, උණු ලොබ්ධයන් හා දසන් පෙළ නියපෙළින් රිදී රසදහරා සෙයින් තල්කද සා රථරක්සා කුළාරගේ හා රසකළඹක්හු නික්ම දෙව්දෙනුදහස් සඳදහස් හිරුදහස් නඟි කල් සෙයින් දසනු දස දල්වමින් අනෙකලොකධාතු ඒකාලෝක කෙරෙමින් නික්මිණිහු. මෙසේ නිල්මහනෙල්දම් සෙයින්, කිණිහිරිමල්දම් සෙයින්, බදුවදමල් සෙයින්, මලිගියමල්දම් සෙයින්. නන්රුවන්දම් සෙයින් දසදෙසෙහි දිවන සවණක් රැස් විහිද ආකාශය සේ ගැඹුරුව අනන්තාපරිමාණ ධර්‍මයන් නිරන්තරයෙන් සමමර්‍ශතා කරන්නාහු ඥානගති අතිශීඝ්‍ර වන බැවින් සත් රූ සත්දමාලකින් මස්තකප්‍රාප්ත කළෝ. (ධර්‍මප්‍රදීපිකා – 20 පිටුව, වී.ඩී.එස්.ගුණරත්න සංස්කරණය)
බොදු ජනතාවගේ ඒකායන විශ්වාසය නම් මෙලොව සිදුවූ අසිරිමත් ම සිදුවීම නම් ලොව්තුරා බුද්ධත්වය ලැබීම යන්නයි. ඒ අසිරිමත් සිදුවීම විචිත්‍ර ලෙස ප්‍රකාශ කිරීමට මෙම ගීතයෙහි සුවිශේෂී භාෂා රටාව පිළිබඳව තව බොහෝ සෙයින් විස්තර කළ හැකි නමුත් ඉහත සඳහන් යෙදුම් පිළිබඳව පමණක් අවබෝධයෙන් යුතුව සවන් දෙන්නේ නම් ලැබෙන බොදු බැති රසය වඩාත් තීව්‍ර වෙතැයි අදහස් කරමු. එසේම කවර හෝ ගීත රචනයේ දී ඇසූපිරූ බවෙහි ඇති වැදගත්කම ද අවබෝධ කරගැනීමට මෙම ගීතය කදිම නිදසුනකි.

