දානය පිළිබඳව, සදහම් සිතුවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීම ද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අප ද දානය පුරුදු කළ යුතුය. අප යමක් මේ ජීවිතයේ ලබා ඇත්නම් එය සසරෙහි පුරුදු කරන ලද දානයේද ඵල විපාකවල බලපෑමක් ලෙස ද මෙනෙහි කළ යුතුය. අපට යමක් ලබන්නට තරම් අවස්ථාව නොලැබී ඇත්තේ ද දන්දීම පුරුදු නොකරන ලද නිසාය. අපට පින් හෝ යහපත් කර්මයක් තිබේ නම් සියල්ල නිතැතින්ම ලැබේවි යනුවෙන් පවසා වීර්යයෙන් සහ නුවණින් යුතුව කටයුතු නොකොට අලසව සිටින්නට යයි මින් අදහස් නොකෙරේ.
පින මතු කරගන්නට ද උත්සාහයෙන් ද වීර්යයෙන් ද නුවණින් ද කටයුතු කළ යුතුය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ඔබට යමක් ලැබී ඇත්නම්, එනම් ධනවත් නම්, අඩුම තරමේ කාගෙන්වත් නොඉල්ලා තමන්ගේ සහ පවුලේ කටයුතු කරගැනීමට තරම් ධනයක් තිබේ නම් මෙසේ සිතන්න. “අපට යමක් ලැබුණේ, ලැබූ දේ ආරක්ෂා කරගෙන හෝ වැඩි දියුණු කරගෙන සිටිමින් යම් සැපතක් ලබන්නට හැකියාව ලැබුණේ සසරෙහි දන්දී තිබෙන නිසායි. අනුන්ගේ දේවල් හොරකම්, නොකොට සහ වංචා නොකොට හැකි අයුරින් බොහෝ අයෙකුට උදව් උපකාර කොට ඇති නිසාය.
ඒ නිසා මේ ජීවිතයේත් දන් දෙනවා. හැකි අයුරින් අන් අයට උදව් උපකාර කරනවා.” ඔබට යමක් අවශ්‍ය පරිදි නැතිනම්, එනම් අඩුපාඩු බොහෝම නම්, අඩුම තරමේ ජීවත්වන්නට තමන් ගේම කියා ගෙයක් දොරක් නැතිනම්, එදාවේල පිරිමසා ගන්නේ අපහසුවෙන් නම් මෙසේ සිතන්න. “අපට යමක් නොලැබුණේ සසරෙහි දානය පුරුදු නොකරන ලද නිසයි. යමක් උපයාගන්නට උත්සාහයෙන් ද, වීර්යයෙන්ද කල්පනාකාරීව ද කටයුතු කරනවා. මම දුප්පත් වුවත් අනුන්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. මම උත්සාහයෙන් කටයුතු කොට ලද දෙයින් සතුටු වෙනවා. මට හැකි අයුරින් තවත් කෙනෙකුට යමක් දෙනවා. උදව් වෙනවා. අඩුම තරමේ ශ්‍රමදානයක් ලෙස ශ්‍රමයෙන් හෝ උදවු වෙනවා.” මම මෙසේ විස්තර කොට සඳහන් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සංයුක්ත නිකායේ, සුඛිත සහ දුග්ගත සූත්‍ර දෙක අනුසාරයෙනුයි.
ධනවත් හෝ යමක් තිබෙන අය දන්දෙන විට පරිවාර සම්පත්තිය හෙවත් පිරිවර එකතුවෙයි. කීර්ති, ගුණ, ප්‍රශංසා පැතිරෙයි. ලෙඩ දුක් වැනි ස්වාභාවික විපතකදී පවා බොහෝ අයගේ පිහිට සහ උපකාරය ලැබෙයි. ලැබූ අය ඒවා නිසා සතුටුවෙන විට අපමණ ප්‍රීතියක් හටගනී. දුප්පත් හෝ ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තිබෙන අය සොරකම්, වංචා නොකොට දුසිරිත්වල නොයෙදී ධාර්මිකව ජීවත්වන විට ධනය ඇති අයගෙන් ලැබෙයි. රැකියාව කරන තැන ද, ගෙදරක වැඩකට ගියද, ගමේ පළාතේ අහිංසකව සිටියද අන් අයගේ කරුණාවට ලක්වෙයි. බොහෝ උදව් උපකාර ලැබෙයි. ඉගෙනීමට හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට උදව් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති.
කොපමණ නැති වුවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්ථාවක විනා කිසිවෙකුගෙනුත් නොඉල්ලිය යුතුය. හැකිතාක් දුරට ඉල්ලීම අඩු කළ යුතුය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දියයුතු දේ සහ දියයුතු අවස්ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන්ට ද එපාවෙයි.
ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද හිතවතුන් අතරද අසල්වැසියන් අතරද එසේමය. පැවිදි පක්ෂය සහ දායකයන් අතර ද එසේමය. පැවිදි පක්ෂය වුවද නිතර නොයෙක් දේ ඉල්ලා දායක ඇත්තන්ට කරදර කරන්නේ නම්, එහි හටගන්නේ කළකිරීමකි. එපාවීමකි. කොපමණ උගත්කමක් පැවතියද, රූපයක් තිබුණ ද, තනතුරු තිබුණද ඉල්ලූ විට පහත් බවට ඇද වැටෙයි. පින් දහම් සහ සමාජසේවා කටයුතු සඳහා යම් යෝජනා ඉදිරිපත් කළ හැකිය. එනමුත් කරදරයක් වන ආකාරයට ඉල්ලීම නම් නොකළ යුතු.
ඔබ මෙවැනි අදහස් සමාජයේ අසා තිබේද? “ඒ අය නම් කවදාවත් තියෙනවා කියා හෝ “ඇතියි” කියලා නම් කියන්නේ නැහැ. කට ඇරියොත් කියන්නේ “නැහැයි” කියලා. නැත්නම් “මදියි” කියලා. “ඔය මිනිස්සු නම් කවදාවත් සතුටු වෙන්නෙත් නැහැ. සතුටු කරන්නත් බැහැ” ඔබ දුප්පත් වුවත් ධාර්මික නම්, සිල්වත් නම් එම ගුණය කෙතරම් අගනේද? උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව නැගී සිටීමට ධාර්මිකවම කටයුතු කරනවා. ‘යථාලාභ සන්තුට්ඨි” හෙවත් ලද දෙයින් සතුටු වන්න.
අට්ඨිසේන ජාතකයෙහි සඳහන් මෙම පුවත කියවා යමක් සිතට ගන්න. තාපසයෙක්ව සිටි බෝධි සත්වයන් වහන්සේ කෙරේ පැහැදුණු රජතුමා විසින් රාජ්‍ය ද ඇතුළු ඕනෑම දෙයක් අවශ්‍යය නම් ඉල්ලන්නට යයි කියා තිබුණද බෝධිසත්ව උතුමෝ කිසිවක් කිසිදා නොඉල්ලූහ. දිනක් රජතුමා මෙසේ බෝධිසත්වයන්ගෙන් මෙසේ ප්‍රශ්න කළහ. මා නොහඳුනනා බොහෝ දෙනා මා වෙත පැමිණ බොහෝ දේ මගෙන් ඉල්ලති. කැමති දෙයක් ඉල්ලන්නට යයි මා ඔබ වහන්සේට පවසා තිබුණත් කිසිවක් නො ඉල්ලන්නේ කවර හේතු නිසා දැයි ප්‍රශ්න කළේය. බෝධිසත්වයෝ මෙසේ පිළිතුරු දෙති. “ඉල්ලන තැනත්තා අප්‍රිය වෙයි.
ඉල්ලූවිට නොදෙන තැනැත්තා ද එසේම අප්‍රිය වෙයි. මේ නිසා අප දෙදෙනා අතර අමනාපයක් ඇති නොවේවායි සිතා මම ඔබතුමාගෙන් කිසිවක් නොඉල්ලුවෙමියි” පැවසූහ. මණිකණ්ඨ ජාතකයට අනුව තාපසයෙක් වෙතට නිතර පැමිණීමට පුරුදු වී සිටි නාගයෙක් සිටියේය. මෙම නාගයාගේ ගෙලෙහි මාණික්‍යයක් තිබුණි. දිනක් තාපස තුමා එම මාණික්‍ය නාගයාගෙන් ඉල්ලීය. ඊට පසුවදා පටන් නාගයා තාපසතුමා වෙතට නොපැමිණියේය.
කෙසේ වෙතත්, යම් කෙනෙක් යමක් ඉල්ලුව්ද හැකි අයුරකින් දීම කළ යුතුය. ඉල්ලන ලද තැනැත්තා හෝ තැනැත්තිය මනසින් ඉතාමත් පීඩාවකට පත්ව එම ඉල්ලීම කළ හැකිය. නැතිබැරිකමට යයි පවසා ලජ්ජාව යටපත් කරගෙන යමක් ඉල්ලා සිටිය හැකියි. සත්පුරුෂයෝ එවැනි අවස්ථාවල පිහිට වෙති. පරිත්‍යාගය පුරුදු කිරීම පිණිස ඉල්ලන්නා කෙරේ ඔබට මෙසේ සිතිය හැකිය. “මේ ඉල්ලන අය මගේ අම්මා වී සිටියා නම් මට කුමක්ද සිතෙන්නේ? මෙවැනි සිතුවිලි ඔබගේ සිත මෘදු බවට පත් කොට දානය, පරිත්‍යාගය කෙරේ නැඹුරු කරනු ඇත.
වර්තමාන පරිසරයෙහි විවිධ ආකාරයෙන් පෙනී සිටිමින් ඉල්ලාගෙන පැමිණෙන අය සිටිති. මේ අය අතර මත්වතුරට, මත්ද්‍රව්‍යයන්ට සහ විවිධ දුරාචාරයන්ට පුරුදු වූ අය ද සිටිති. මෙවැනි අවස්ථාවල නිර්ලෝභී පරිත්‍යාගී චේතනාව මෙන්ම නුවණ ඇතිවම ක්‍රියා කළ යුතුය. සුදුසුම අයෙකුට සහ සුදුසුම ස්ථානයකට දීම මේ නිසා වැදගත්ය.
දානයේ දී ධර්ම දානය ද උතුම්ම දානයකි. බුදුදහමට අනුව තමා පඤ්චසීලය ආරක්ෂා කරමින් අන් අය ද පඤ්ච සීලය රකින්නට ආදර්ශයෙන්ම පෙළඹවීම ධර්ම දානය ආරම්භ කිරීමකි. මීළඟට දාන, සීල, භාවනා ප්‍රතිපත්තින්හි ඇති වටිනාකමද උතුම් බවද ආධ්‍යාත්මික සුවය ද අවබෝධ කොට දිය හැකිය. එමෙන්ම “ඒහි පක්ෂිකෝ” නම් දහම් ආරාධනය අනුව මේ ධර්මය වෙතට අවුත් නුවණින් පරීක්ෂාකොට බලන්නට යයි ආරාධනා කළ හැකිය. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට කිසිවෙකුත් බලයෙන් හෝ වංචාවෙන් හෝ රවටා සමීප කළ නොහැකිය. එමෙන් ම බලයෙන් ද අවබෝධ කළ නොහැකිය. මෙම ධර්මය අවබෝධ කළ හැකි වන්නේ අන්ධ භක්තියෙන් තොරව තමා විසින් ම නුවණින් පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුවමය. එම උතුම් දහම ප්‍රකාශ කිරීමෙන් හෝ ධර්මය වෙතට කැඳවාගෙන යාමෙන් හෝ දහම් පොත පත ලිවීමෙන් හෝ ප්‍රකාශයට පත් කිරීමෙන් හෝ ධර්ම දානය සම්පූර්ණ කළ හැකිය.
අභය දානය යම් මනුෂ්‍යයෙකුට හෝ සතෙකුට ජීවිතය ද රැකගන්නට උපකාරී වීමයි. එසේත් නැතිනම් මරණයෙන් ගළවා ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා ගවයන්ට අභය දානය දෙති. කිසිදු සත්වයෙකුට හිංසාවක් හෝ පීඩාවක් නොකොට මරණයට පත් නොකොට අභය දානය දිය යුතු වන්නේය. මනුෂ්‍යයන් පමණක් නොව සියලුම සත්වයෝ තම ජීවිතවලට ප්‍රිය කරන්නේය.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් “සබ්බපාණ භූත හිතානුකම්පී” “සියලු සත්වයන් කෙරේ හිතානුකම්පී වන්න” යනුවෙනි. තමන් තමාගේ ජීවිතයට දක්වන ප්‍රියබව මෙන්ම මෙලොව සියලු සත්වයෝම තමන්ගේ ජීවිතවලට දක්වන බව සිතා අනුන්ට හිංසා නොකළ යුතුය. ජීවිත නොනැසිය යුතුය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ආහාරපාන ආදිය දීමෙන් අන් අයගේ ජීවිත රැකගන්නට උපකාරී වෙන්න. ධර්මය හෙවත් හොඳ සහ නරක කියා දීමෙන් මනුෂ්‍යයන් යහමඟට ගන්න. අන් අයගේ ජීවිතවලට හිංසා නොකිරීමෙන් අභය දානය හෙවත් සියලු දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්නට ඉඩ හරින්න. සැමට උතුම් ධර්මාවබෝධයම වේවා. උතුම් තුණුරුවන් සරණයි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය
මිරිස්සේ ධම්මික නාහිමිපාණෝ

