අනුරාධපුර අභයගිරිය රාජමහා විහාරාධිකාරී,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි
සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද
වප් පුර පසළොස්වක පොහොය දිනයට පසු දින (අවපෑළවිය) සිට ඉල් පුර පසළොස්වක පොහොය දිනය දක්වා වූ කාලය චීවර මාසයයි. වස්සාන සමයෙහි පෙර වස් විසූ භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජාව සිදු කරනු ලබන්නේ මෙම චීවර මාසය තුළ දී ය.
කඨින පූජාව සඳහා සම්බන්ධ වූ භික්‍ෂු සංඝයාට දානය පිරිනැමීම ද පෙර සිට පැවත එන වැදගත් චාරිත්‍රයකි. මෙය හඳුන්වනු ලබන්නේ ‘කඨින දානය’ නමිනි. තවද අටපිරිකර, ලඝු භාණ්ඩ, ගරු භාණ්ඩ, කප්රුක් ආදිය ද කඨින චීවරය සමග පූජා කරනු ලැබේ. වස් විසූ භික්‍ෂු සංඝයා ඉදිරියෙහි කඨිනය සඳහා චීවරයක් හෝ වස්ත්‍රයක් හා අවශ්‍ය පිරිකර ආදිය පූජා කළ විට දායක පක්‍ෂයට මෙන්ම ප්‍රතිග්‍රාහක පක්ෂයට ද කඨිනානිසංස ලැබේ. (ලඝු භාණ්ඩ හෙවත් සෙසු පිරිකර යනු සුළු පිරිකර වේ. ගරු භාණ්ඩ යනු වටිනාකමින් අධික වූ භාණ්ඩ වේ.)
කඨින පූජා පින්කම් පැවැත්වෙන සමයේ බහුල ව සිදු කරන කප්රුක් පූජාව පිළිබඳ ව මෙහි දී විමසා බලමු.
ආමිස දානය, ධර්ම දානය හා අභය දානය යනුවෙන් දානය ත්‍රිවිධාකාර වේ. මින් ආමිස දානයට කප්රුක් පූජාව අයත් වේ. කප්රුක (කල්ප වෘක්‍ෂය) යනු සිතූ පැතූ සම්පත් ලබා දෙන වෘක්‍ෂයක් වන අතර එය ආසන්නයට ගොස් තමන් සිතූ පැතූ දෑ ප්‍රාර්ථනා කළ විට වෘක්‍ෂයෙන් ඒ ඒ දේ ලැබෙන බව විශ්වාස කෙරේ. බෞද්ධ සාහිත්‍යයට අනුව කප්රුක උතුරුකුරු දිවයිනෙහි පවතින බව සැලකේ. සංස්කෘත සාහිත්‍යයට අනුව ද කප්රුක ඇත්තේ දෙව්ලොව ය. හින්‍දු දේව කථා අනුව ද කප්රුක ඇත්තේ ස්වර්ගයෙහි ය.
ශ්‍රී සද්ධර්ම කෝෂය සඳහන් කරන අන්දමට කප්රුක කල්පාන්තය දක්වා ම නො නැසී පවත්නා (කල්පස්ථායී) වෘක්‍ෂයකි. කප්රුක, කල්ප වෘක්‍ෂය, සංකල්ප වෘක්‍ෂය, කල්ප ද්‍රැම, කල්ප පාදප, කල්ප තරු, දිව්‍ය වෘක්‍ෂය යන නම්වලින් ද හැඳින්වේ.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ මහා පුණ්‍යවන්තයන්ගේ කුසල මහිමය නිසා කප්රුක පහළ වන බවයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කථාවෙහි නන්දිය රජුට කල්ප වෘක්‍ෂ දෙතිසක් (32) පහළ වූ බවත්, ඉන් ජනතාවට කැමැති පරිදි දිව්‍ය වස්ත්‍ර ලබාගත හැකි වූ බවත් සඳහන් වේ. විමාන වත්‍ථු අට්ඨ කථාව හෙවත් පරමත්‍ථදීපනී ග්‍රන්ථයෙහි කප්රුක, චින්තාමාණික්‍යය (සිතූ පැතූ සම්පත් දෙන මැණික) හා සම්බන්ධ කොට ඇති අතර එහි සිතූ පැතූ සම්පත් ලබා දෙතැ යි කියන කල්පලතාව, භද්‍ර ඝටය, සුරභිධේනුව ගැනත් සඳහන් වේ.
මේ අනුව කප්රුක් පූජාවෙන් සිතූ පැතූ සම්පත් ලබා ගැනීමට හැකි වන බවට ඇති විශ්වාසය නිසා ලක්වැසි බෞද්ධයන් අතර කප්රුක් පූජාව ප්‍රචලිත ය. ගසක බොහෝ අතු රිකිලි ඇති අත්තක් කපා එහි පත්‍ර යම් ප්‍රමාණයකට අඩු කොට සංකේතාත්මක ව කප්රුක සකස් කොට ගනු ලැබේ. වර්තමානයේ ඇතැමෙක් එම අත්තෙහි පත්‍ර සියල්ල ම ඉවත් කොට සව් කඩදාසි වැනි විචිත්‍ර කඩදාසිවලින් ඔතා සරසති. ඊට විදුලි බුබුළු ද යොදා අලංකාර කරති. කප්රුක ධර්මශාලාවේ හෝ විහාර මන්දිරයේ හෝ පසෙක ඉදි කරනු ලැබේ. බොහෝ විට කොස්, අඹ, ඇට්ටේරියා වැනි ගස්වර්ගවල අතු කප්රුක සකසා ගැනීමට භාවිත කෙරේ. මේ සඳහා වියළී ගිය අතු යොදා නො ගැනේ.
මෙසේ සකසා ගත් කප්රුකෙහි පරිභෝගයට සුදුසු වූ විවිධ භාණ්ඩ එල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනු ලැබේ. කප්රුක් පූජාවේ දී පහත සඳහන් ගාථා භාවිත කරනු ලැබේ.
සබ්බසම්පත්ති දාතාරං
සබ්බලෝක හිතංවරං
කප්පරුක්ඛේන පූජේමි
කප්පරුක්ඛූපමං ජිනං
“සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා දෙන්නා වූ සකල ලෝකයට හිත වූ උත්තම කප්රුකක් වැනි වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේට මේ කප්රුක පූජා කරමි.”
සම්මා සම්බුද්ධ නාමයෝ
තිලෝක පච්චයාරහෝ
පූජේමි කප්පරුක්ඛේන
කප්පරුක්ඛූපමං ජිනං
“සම්‍යක් සම්බුද්ධ නමින් යුත් තුන්ලොව ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූ උත්තම කප්රුකක් වැනි වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේට මේ කප්රුක පූජා කරමි.”
කප්රුක් පූජාව බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය ආදි ථේරවාද බුදුදහම පවතින රටවල ද සිදු කරනු දැකිය හැකි ය.
හින්‍දු ධර්මයේ එන බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර (ත්‍රිමූර්තිය) යන දෙවිවරුන් උදෙසා පූජා කරන කල්ප පාදප නම් දානය සඳහා රනින් කරන ලද වෘක්‍ෂයක ආකෘතියක් යොදා ගැනේ.
කඨින චීවර පූජාවේ දී කප්රුක් පූජාව බොහෝ විට සිදු කරනු දක්නට ලැබේ. විහාරස්ථානයන්හි කඨින පින්කම් අවසානයේ පවත්වනු ලබන පරිත්‍රාණ ධර්ම දේශනාවේ දී (පිරිත් සජ්ඣායනාවේ දී) කප්රුකක් සාදා තැබීම මෑත අතීතයේ සිට පවත්නා චාරිත්‍රයකි. ඉහත සඳහන් කළ ආකාරයට ධර්ම ශාලාවේ පසෙක කප්රුක සාදා ගනු ලැබේ. කප්රුකෙහි දායකකාරකාදීන්, උවසු උවැසියන් විසින් පරිභෝගයට සුදුසු පූජා භාණ්ඩ එල්ලා පූජා කරති. එල්ලා තැබීමට නොහැකි/අපහසු ගරු භාණ්ඩ, ලඝු භාණ්ඩ කප්රුක පාමුල තබා පූජා කරති. මෙම අවස්ථාවේ දී කප්රුක් පූජාව කිරීම තුළින් කඨින චීවර පූජාවෙන් ලැබෙන්නා වූ ආනිසංස මහත්ඵල කර ගැනීම අදහස් කෙරේ. (අලුයම් කාලයේ දායක නිවසක සිට කඨින චීවරය හෝ වස්ත්‍රය විහාරස්ථානයට පෙරහැරකින් වැඩම කරන විට කප්රුකක් ද සකසා වාහනයක තබා රැගෙන යෑම ඇතැම් විට සිදු කරනු ලැබේ. මඟ දෙපස සිටින බැතිමත්හු කප්රුක සඳහා විවිධ පූජා භාණ්ඩ පූජා කරති.)
මීට අමතර ව ජනතාව අතර කප්රුක් පූජා යනුවෙන් හඳුන්වනු ලබන පූජා විශේෂයක් ද වේ. ඒ චෛත්‍යයේ බඳ වටා (පේසා වළලුවලට ඉහළින්) තිරස් අතට රෙදිවලින් සැකසූ පළඳනාවක් පළදවා කරනු ලබන පූජාවය. ඇතැමෙක් මෙයට ‘වටතිර පූජාව’, ‘කඤ්චුක පූජාව’ යන නම් ද භාවිත කරති. එක පෙළට සිටින සේ රෙද්දෙහි මුද්‍රණය කළ බෞද්ධ කොඩි ලෙස හෝ අඟල් 36 හෝ 45 පළලින් යුත් කහ, තැඹිලි ආදි සිවුරට යොදා ගනු ලබන වර්ණයෙන් යුත් රෙදි මේ සඳහා යොදා ගැනේ. මෙම පූජාව සොළොස්මස්ථානයට අයත් චෛත්‍යවලට හා පොළොන්නරුව සෝමාවතී චෛත්‍යයට සිදු කරනු දක්නට ලැබේ. ඉනුත් බෞද්ධයන් වැඩි නැඹුරුවක් දක්වන්නේ රුවන්වැලි සෑයට හා පොළොන්නරුව සෝමාවතී චෛත්‍යයට මෙම පූජාව සිදු කිරීමට ය.
වස්ත්‍ර පූජාවෙන් ශරීර වර්ණයත්, දිව්‍ය සළුපිළි ආදියත් ලැබෙන බව දැක්වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දවස පැවිදි ව නිවන් අවබෝධ කර ගත් කප්පරුක්ඛීය රහතන් වහන්සේගේ ප්‍රකාශය මෙසේ ය.
චතුන්නවුතිතෝ කප්පේ
යං රුක්ඛං ඨපයිං අහං
දුග්ගතිං නාභිජානාමි
කප්පරුක්ඛස්සිදං ඵලං
“කල්ප අනූ හතරකට පෙර කිසියම් ගසක් සිටුවන ලද්දේ ද මම දුගතියට නො ගියෙමි. කල්ප රුක්ඛ පූජාවේ විපාකය මෙයයි.”
කප්පරුක්ඛීය රහතන් වහන්සේ මීට කල්ප අනූ හතරකට පෙර භවයක දී සිද්ධාර්ථ නම් බුදුන්වහන්සේගේ චෛත්‍යය සමීපයෙහි විචිත්‍ර වූ වස්ත්‍රයක් එල්ලා කප්රුකක් සාදා තැබූ හ. එම පිනෙන් උපන් ආත්මභවයන්හි වාසස්ථාන අලංකාර කරමින් කප්රුක් පිහිටියේ ය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප්රුක්වලින් වස්ත්‍ර ගෙන රිසි සේ පරිභෝග කළ හ. මෙසේ ඒ පිනෙන් කල්ප අනූහතරක් දෙව් මිනිස් සැප විඳ ගෞතම බුදුන්වහන්සේ දවස කප්පරුක්ඛීය රහතන් වහන්සේ නමින් පැවිදිව නිවන් දුටු සේක.

