බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි
කර්ම භවය සහ උත්පත්ති භවය ලෙස කොටස් දෙකකින් බෙදා දැක්වෙයි. මේ ආකාර දෙකටම මූලික හෙවත් පාදක වන්නේ ස්කන්ධ පඤ්චකයයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වීමම භවගාමිත්වයයි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඉපදෙමින් මරණයට පත්වීම නම් වූ ස්කන්ධ පඤ්චකයේ හටගැනීම සහ විසිර යෑමයි. අවිද්‍යාව හෙවත් මුළාව හේතුකොටගෙන සංස්කාර හෙවත් කර්ම රැස්වීමෙන් ස්කන්ධ පඤ්චකයේ හටගැනීම හෙවත් භවගාමී ජීවිත සකස් වෙයි.
මෙම භවගාමී ජීවිතයේ යථා ස්වභාවය කෙසේද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව මෙසේ තේරුම්ගත හැකියි. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තයට අනුව, ‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො, පුබ්බාකෝටින පඤ්ඤායති, අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංඝරතං” යනුවෙන් විස්තර කෙරේ. “මහණෙනි, මේ සසරෙහි කෙළවරක් දකින්නට නැතිය. පූර්වාන්තයක් හෙවත් ආරම්භයක් නොපැනේ. අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයෝ සසරෙහි දුවමින් හැසිරෙමින් පවතින්නෝය.” “තිබ්බං පච්චනුභූතං, ව්‍යසනං පච්චනුභූතං, කඨසි වඩ්ඩිතා, දීඝරත්තං වො භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං” මේ සසර පැවැත්මෙහි සියලු සත්ත්වයෝම තියුණු ලෙස දුක් වින්දෝය. මහත්සේ ව්‍යසනයන්ට මුහුණපෑවාහුය. සියලු මහ පොළව නුඹලාගේ මියගිය මළ සිරුරුවලින් පෝෂණය වූයේය. එනම් සුසාන භූමියක් බවට පත්වූයේය. දීර්ඝ කාලයක් හෙවත් අප්‍රමාණ කාලයක් සියලු සත්ත්වයෝම සසරෙහි දුක් වින්දෝය.” භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය හෝ සරණ යන ගිහි හෝ පැවිදි හෝ වේවා සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් මේ ඉගැන්වීම පිළිබඳව මනාසේ සිත් පිහිටුවිය යුතු වන්නේය. බුදු නැණසින් වදාළ සසරේ අතිභයානක බව සිතෙහි මනාකොට භාවිතව පැවතිය යුතු වන්නේය.
තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය හා සමගින් ත්‍රිවිද්‍යා ඤාණයන් ද උපදවා ගත්හ. එනම් පුබ්බේනිවානුස්සති, චුතූපපාත සහ ආසවක්ඛය නම් වූ ඤාණයන්ය. මෙහිදී තමන් වහන්සේගේ සහ සසර චුති උපත් පිළිබඳව දුටහ. අවබෝධ කරගත්තේ කුමක්ද? තමන් වහන්සේ ඇතුළු තිස් එකක් වූ සියලු සක්වළ සියලු සත්ත්වයෝම ඔවුන්ගේ අතීතර සසර ගමනේ වඩාත්ම උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බවය. නරකයේ කොටස් එකසිය තිස් හයකි. තිරිසන් ලෝකය ප්‍රමාණවත් කළ නොහැකිය. ප්‍රේත විෂයෙහි ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. මනුෂ්‍ය ලෝකයේ සිට අනුමෝදන් කරන පිනක් අනුමෝදන් විය හැක්කේ ප්‍රේත විෂයෙහි පරදත්ථුපජීවී ප්‍රේත කොටසෙහි පමණකි. නරකයෙහි ඒ ඒ නිරයෙහි විඳීමට සිදුවන ආයු කාලය වෙන වෙනම සඳහන් වෙයි. අවීචියෙහි සහ මහා නිරයෙහි ඇතුළුව කල්ප ගණනකි. ඒවා මෙහි දක්වන්නේ නැත. මනුෂ්‍ය ලෝකයෙන් උපරිම වූ අවුරුදු සීයත් මේ සඳහන් කරන දුගතීන්හි ආයු කල්ප ගණන් පිළිබඳවත් නුවණින් මෙනෙහි නොකරන්නේ මන්ද? ඔබ සහ අප විසින් අවබෝධයෙන් යුතුව සරණ යන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හෙවත් ඉගැන්වීම් ගැන සිතට නඟාගැනීමේදී ගැටලු පවතින්නේද? ධර්මය කෙරේ මනාකොට සිත පහදවාගෙන නැවත නැවතත් ඒ දහම කෙරේ සිත පුරුදු නොකිරීම නිසා ලෞකික අරමුණුවල ආශාව හෙවත් තණ්හා, මද, මාන, දිට්ඨීන්ගෙන් බැඳේ. මෙම අරමුණු තාවකාලික බවත් මොහොතකින් සියල්ල වෙනස් විය හැකි බවත් කෙසේ වෙතත් උපරිමය මිනිස් ආයුෂ සියයකට සීමා වන බවත් සිත්වලට නොනැඟේ. සසරේ බියකරු බව පිළිබඳව මොළය ආශ්‍රිතව පවත්නා වූ දැනුමක් තිබේ. එනමුත් භාවිත බහුලීකන බව නොමැති නිසා ලෞකික අරමුණු කෙරේ බැඳෙන්නාවූ ආශාවන් ඉදිරියේ එම දැනුම යටපත් වෙයි. එනම් අභිජ්ඣා නම් වූ දැඩි ලෝබය සහ දොම්නස එම සියලු දැනුම ආවරණය කොට මමය, මාගේය නම් සක්කාය දිට්ඨියට හසුවෙයි. මෙහිදී කැමැති අරමුණුවල උපාදානය හෙවත් දැඩිව ගැනීමත් අකැමැති අරමුණුවල ගැටීම හෙවත් තරහවක් ඇතිවෙයි. මෙහි ප්‍රතිඵලය නම්, කෙටියෙන් සඳහන් කරන්නේ නම් පස් පව්, දස අකුසල්වලට යොමුවීමයි. සරල වචනයන්ගෙන් සඳහන් කරන්නේ නම් දැඩි ආශාව, අතෘප්තිකර ආශාව, ගිජු බව, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, බද්ධ වෛරය, මානය, ගුණමකු බව, අකෘතඥ බව ආදී බොහෝ ක්ලේශයන්ට ගොදුරු වෙයි.
තම ජීවිතය ලෙස පවත්වා ගන්නා වූ ස්කන්ධ පඤ්චකය දිරාගෙන යෑම, ලෙඩදුක් ඔස්සේ මරණය වෙතට සමීප වන බව මෙම අභාවිත සිත්වලට නොහැඟෙයි. යම් ආකාරයකින් සිතට නැඟුණ ද ප්‍රබල වූ ආශාව හෝ තරහව ඉදිරියේ ජීවිතයේ යථාර්ථය දැකීම දුර්මුඛ වෙයි. යටපත් වෙයි. මෙම කරුණම තවත් ආකාරයකින් මෙසේ ප්‍රශ්න කරගනිමු. “කවුද නොදන්නේ ඕනෑම මොහොතක මමය, මාගේය කියන සියල්ලම මෙලොව තබා යන්නට වෙනවා කියලා.” “කාටද කියන්න පුළුවන් මොන විදියේ ලෙඩදුක්වලට මුහුණ පාන්නට සිදුවෙයි කියලා.” “කවුද නොදන්නේ කවා, පොවා, නහවා පිරිසිදු කරමින් හැඩගන්වන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් හැබෑ අයිතියක් නැහැ කියලා.”
එනමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යන බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කායික සහ වාචසික හැසිරීම ඔස්සේ ඔවුන්ගේ මානසික හෙවත් චිත්ත චෛතසික ස්වභාවය තේරුම්ගත හැකි නොවේද? එනම් සෑම මොහොතක් පාසාම සිත් පරම්පරා හෙවත් චිත්ත වීථීන් ලෝබ, දෝස, මෝහ මුල්කොට අකුසල පථ බවට පත්වීමයි. පදුට්ඨ චිත්ත හෙවත් දූෂ්‍ය වූ සිතකින් සකස් වෙන්නා වූ සෑම චිත්තක්‍ෂණයක්ම අකුසල බවට පත්වෙයි. මේවා භවාංගයෙහි තැන්පත් වෙයි. අලෝබ, අදෝස, අමෝහ මුල්කොටගත් කුසලාරම්මණ ද නැත්තේ නොවේ. එනමුත් අභාවිත සිත් ඇත්තාගේ සිත වඩාත් ප්‍රබලව නැඟීසිටින්නේ අකුසලාරම්මණයන් සමගින්ය. මෙයට කදිම නිදසුන් වන්නේ බොහෝ “පින් කළේය” කියන යම් අය ලෙඩදුක් ඉදිරියේ ද ප්‍රිය විප්‍රයෝගය, බලාපොරොත්තු කඩවීම, මරණාසන්නවීම ඉදිරියේ ද හැසිරෙන ආකාරයන්ය. උඩට ගත් ආශ්වාසය ප්‍රශ්වාස කොට නැවත ආශ්වාසය නොහැකිවීමම මරණය දැක්වීමකි. එම අවස්ථාව නුවණින් සිහිපත් කරන්නේ නම් මෙම ජීවිතයේ සිතන, කරන, කියන සියල්ලේම හැබෑ අරමුණ කුමක් විය යුත්තේදැයි සිහිපත් විය යුතුය. අනවබෝධයෙන් ආදරයෙන් බැඳෙන තරහවෙන් ගැටෙන සියල්ලේම හැබෑ ප්‍රතිඵලය නම් සතර අපායට මඟ සකසා ගැනීමය. එය නිමාවක් දැකීමට අපහසු දුකකි.
සීලය හෙවත් අවබෝධයෙන් යුතු විනය, සංවරයෙන් යුතුව ලෞකික ජීවිතය පවත්වා සතර අපාය වළක්වන ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගත යුත්තේ නොවේද? මෙලොව පවත්නා පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන්ගේ සම්බන්ධකම් මෙලොවටම පමණකි. එය තාවකාලිකය. මේවා නිසා දුකින් පිරි සසරක් නිර්මාණය කරගත යුතුද? අනන්ත සසරේ අපමණ දුක්විඳ දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයෙන් උතුම්ම ඵලයක් ලබාගත යුතු නොවේදැයි සිතමු.

