පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ (විශ්‍රාමික)
භාතිය සුමිත්‍රාආරච්චි
සටහන : ආර්. ඒ. නයනානන්ද
බු.ව. 236 වැන්නේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක දේවානම්පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණිය දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව සමග ලක්දිවට වැඩම කළ හ. අනුරාධපුරය මහමෙව්නා උයනේ රෝපණය කරන ලද එය ලොව ලිඛිත ඉතිහාසයක් ඇති පැරණි ම ඓතිහාසික වෘක්‍ෂය වෙයි.
ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමේ දී සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධිය අද දඹදිව බුද්ධගයාවෙහි දක්නට නැත. සතුරු උපද්‍රව හේතුවෙන් එය විනාශයට පත් විය. මෙකල දක්නට ලැබෙන්නේ පසුකාලීන ව පැනනැඟුණු බෝ රුකකි. එනමුත් ජය ශ්‍රී මහා බෝධිය ජීවමාන සමයේ දී ම ලක්දිවට වැඩම කළ එහි දක්‍ෂිණ ශාඛාව අනුරාධපුරය මහමෙව්නා උයනේ නිරුපද්‍රිත ව වැඩ සිටිති. බෞද්ධ ජනතාව ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වන්දනාමාන කරයි. එනිසා ‘බුදුන් උපන් දේශයටත් අහිමි ව ගිය’ ජය ශ්‍රී මහා බෝධියේ සාඩම්බර උරුමක්කරුවන්, භාරකරුවන් වන්නේ ලංකාවාසී බෞද්ධ ජනතාව ය. ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුරය මහමෙව්නා උයනේ රෝපණය කර අදට වසර 2453කි.
සොබා දහමේ විවිධ වෙනස්කම් හමුවේ පමණක් නො ව කෘමීන් ගෙන්, ක්‍ෂුද්‍ර ජීවීන් ගෙන් හටගන්නා විවිධ රෝගාබාධයන් ගෙන් ජය ශ්‍රී මහා බෝධිය ආරක්‍ෂා කර ගැනීම වගකීම් සහගත භාරදූර කාර්යයකි.
මෑත යුගයේ මහා බෝධියේ නීරෝගීකම හා චිර පැවැත්ම පිළිබඳ වගකීමදරන්නේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ ප්‍රධාන පාලකවරයා ඇතුළු කාර්ය මණ්ඩලයයි. 1983 වසරේ මාර්තු මාසයේ සිට මෙම වගකීම භාරගන්නා ලද්දේ උද්භිද විද්‍යාඥයෙකු වන භාතිය සුමිත්‍රාආරච්චි මහතා විසිනි. ඒ මහතා 2005 වසරේ දී විශ්‍රාම ගිය ද මහා බෝධියේ නීරෝගීකම හා චිර පැවැත්ම උදෙසා මේ වන තෙක් ම නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කරයි. වසර 40කට ආසන්න කාලයක් මහා බෝධියේ නීරෝගීකම ගැන සොයා බලන ‘බෝධියේ දොස්තර මහතා’ යන විරුදාවලිය ලත් භාතිය සුමිත්‍රාආරච්චි මහතා සමග කළ සාකච්ඡාවකින් මෙම ලිපිය සැකසෙයි.
1983 වසරේ දී මහා බෝධිය නිතර නිතර රෝගාතුර වන බව පෙනී ගියෙන් ඊට හේතු සොයා බලනු පිණිස මහා බෝධිය පිහිටි උඩ මළුවේ පස් සම්බන්ධ විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කෙරිණි. අඩි 5ක් පමණ ගැඹුරට නිරීක්‍ෂණ වළක් කැණ බැලූ විට මහා බෝධිය පිහිටි උඩ මළුවේ 80%ක් පමණ වැලි තට්ටුවලින් සමන්විත වන බව තහවුරු විය. ඒ හේතුවෙන් බෝධියේ වර්ධනයට අවශ්‍ය ඛණිජ ලවණාදිය ලැබීම දුර්වල කර ඇති අතර පසෙහි සජීවී බවක් ද නො වී ය. අනතුරු ව මහා බෝධියට සුදුසු පස පිළිබඳව විමර්ශනයක යෙදුණි. මාස 15කට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ විමර්ශන අනුව මහා බෝධියට උචිත වන්නේ ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන රතු දුඹුරු පස බව එවකට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ධුරය දැරූ ආචාර්ය සී. ආර්. පානබොක්ක මහතා ප්‍රමුඛ කණ්ඩායම තීරණය කළේ ය. ඒ අනුව මහා බෝධිය වැඩ සිටින උඩ මළුවේ වැලි සහිත පස මාරු කර රතු දුඹුරු පස යෙදිය යුතු බව නිර්දේශ විණි. ඒ සඳහා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අනුමැතිය ලබා දුන්නේ දීර්ඝ කරුණු විමසීමකින් අනතුරු ව ය.
තෝරාගත් ස්ථානවලින් රතු දුඹුරු පස් ට්‍රැක්ටර් ලෝඩ් 46ක් එකතු කර ගෙන ඒවා ජීවානුහරණය කෙරිණි. 1985 මැයි 30 වැනි දින සුබ මොහොතින් (පෙ.ව. 6.37) ප්‍රධාන පස් පිඬැල්ල ඉවත් කර ඒ වෙනුවට රතු දුඹුරු පස් මිශ්‍ර සාරවත් පස් කොටසක් එකතු කර මෙම වගකීම් සහගත භාරදූර කාර්යය ආරම්භ විය.
උඩ මළුවේ වැලි සහිත පස් ඉවත් කිරීම සඳහා පීඩන ජල නළ යොදා පස් සෝදා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය ජලය තිසා වැවෙන් ලබා ගැනුණි. මහා බෝධිය පිහිටි භූමියෙන් එක වර විශාල වශයෙන් පස් ඉවත් කිරීම එහි මූල පද්ධතියට හා ස්ථාවරත්වයට බලපෑමක් කළ හැකි බැවින් පස් සෝදා ඉවත් කිරීම හා අලුතින් පස් එකතු කිරීම කොටස් වශයෙන් සිදු කරන ලදී. පස් පිරවීමෙන් පසු ඉහළ ම අඩි දෙකක මට්ටමට එන විට කුඩු කරන ලද වියළි ගොම මිශ්‍ර කළ පස්, සාරවත් බව වැඩි කිරීමට යෙදිණි. මුල් වර්ධනයට හා ශක්තිමත් වීමට ඇවැසි රසායන පොහොර ද එක් කෙරිණි. වසර 30කට අධික කාලයක් තිස්සේ මහා බෝධියට පීඩා ගෙන දුන් වේයන් ගෙන් ආරක්‍ෂා කර ගැනීමට අවැසි ප්‍රතිකර්ම ද යොදන ලදී. මතු පිට උඳුපියලිය හා අස්වැන්න වගා කොට මහා බෝධිය වැඩ සිටින පරිසරය ස්වාභාවික පරිසරයක් බවට පත් කරන ලදි. ඒ තුළින් ශාක වැඩීමට අවශ්‍ය වන කාබනික, නයිට්රජන් පදාර්ථ සහිත පොහොර වර්ග මහා බෝධියට ලබා දීමත් අපේක්‍ෂා කෙරිණි. එමෙන් ම මහා බෝධියේ ඇති වන කිරි මුල් වැලි රත් වීම නිසා මිය යෑමට තිබූ ඉඩ ප්‍රස්තාව මඟහැර ගැනීමත් බලාපොරොත්තු විය. උඩ මළුවේ වැලි සහිත පස් ඉවත් කර අලුතින් පස් එකතු කිරීමේ කාර්යයට වසර දෙකක් පමණ ගත විය.
පස් අලුත් කිරීමේ කාර්යයේ දී මහා බෝධිය ආසන්නයේ ඇති පරිවාර බෝධීන්ගේ මුල් විශාල වශයෙන් මහා බෝධිය දෙසට යොමු ව ඇති බව දිස් විය. මේ අනුව මහා බෝධියට ලබා දෙන ඛනිජ ලවණ, පෝෂ්‍ය පදාර්ථ පරිවාර බෝධීන් ලබාගන්නා බව තහවුරු විය. එනිසා මහා බෝධිය දෙසට ඇති පරිවාර බෝධීන්ගේ මූල පද්ධතිය ක්‍රමානුකූල ව ඉවත් කිරීමට කටයුතු යෙදිණි. පසුව මහා බෝධිය හා පරිවාර බෝධීන් අතර අඩි 4ක් ගැඹුරට අඟල් 4ක් ඝනකමට භූගත කොන්ක්‍රිට් බිත්තියක් යොදා පරිවාර බෝධීන්ගේ මුල් මහා බෝධිය දෙසට ඇදී යාම වැළැක්වීමට කටයුතු කෙරිණි.
මහා බෝධියට සිදු කළ මෙම පුද සත්කාර, සංරක්‍ෂණ ක්‍රියාවලියෙන් පසු එය ශක්තිමත් ව හා නීරෝගී ව වර්ධනය වන්නට පටන් ගත්තේ ය. 1985 වසර අවසානයේ පමණ මහා බෝධියේ අධික ලෙස ඵල හට ගැනුණු අතර එම ඵලවලින් බීජ පැළ ලබා ගැනීමට කටයුතු යෙදිණි. එම බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කර අනුරාධපුරය බෝ මළුව පන්සලට ලබා දෙන ලදි. එම පැළ බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස ලොව පුරා ඇති රටවල විහාරස්ථානවලට (ඉල්ලීම පරිදි) ලබා දීමට කටයුතු සම්පාදනය විය. අටමස්ථානාධිපති හිමියන්ගේ උපදෙස් පරිදි සීමා සහිත ව හා පාලනයකට යටත් ව මහා බෝධියේ බීජ රෝපණ කටයුතු දිගින් දිගට ම සිදු කෙරේ. එසේ ම බීජ පැළ ලබා දෙනුයේ ද රෝපණය කරන ස්ථානය, එහි ආරක්‍ෂාව, නඩත්තු කටයුතු සිදු කිරීම යනාදි තොරතුරු සොයා බැලීමෙන් පසු ව ය.
අටමස්ථානාධිපති හිමියන්ගේ අවසරය ඇති ව වසර තුන හතරකට වරක් උඩ මළුවේ අඩි එක හමාරක් දෙකක් පමණ කැණීම් කොට හොඳින් වියළාගත් ගොම එකතු කෙරේ. එම අවස්ථාවේ දී පසෙහි ආම්ලිකතාවය ද සොයා බලන අතර අවශ්‍ය වුව හොත් ආම්ලිකතාවය සමනය කිරීමට පියවර ගනු ලැබේ.
මහා බෝධියේ සංරක්‍ෂණ ක්‍රියාවලියේ දී මුහුණ දෙන ප්‍රධාන බාධකය වන්නේ 1963 වර්ෂයේ දී ප්‍රධාන ශාඛාවේ දිරා ගිය කොටස් ඉවත් කර එම කඳ ඇතුළත වැර ගැන්වීම සඳහා යකඩ යොදා කොන්ක්‍රීට් ‘මදයක්’ දමා තිබීම ය. ඒ හේතුවෙන් මහා බෝධියේ පහළ කොටසේ පොත්ත කඳේ විෂ්කම්භයෙන් තුනෙන් එකක් පමණ වන ප්‍රමාණයෙන් අඩු වී ඇත. මේ නිසා මුල්වලින් ලබා දෙන පොහොර, පෝෂ්‍ය පදාර්ථ මෙන් ම ජලය ද එම තුනී පොත්ත තුළින් මහා බෝධියේ ඉහළ කොටස් වෙත පරිවහනය වීමේ දී අපහසුතා ගෙන දෙයි. ඊට පිළියම් ලෙස එම පොත්ත සක්‍රිය කරවා ගැනීමට 1984 වසරේ සිට වර්ධක හෝර්මෝන වර්ග හා පොහොර වර්ග ලබා දී තරමක ප්‍රතිඵල ලබා ඇතත් මෙය දීර්ඝකාලීන ව විසඳීම අපහසු කාර්යයකි. එනමුත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසර කිහිපයකට පසුව නව ශාඛා අංකුරයක් පැනනැඟුණි.
මෙම නව ශාඛා අංකුරය මේ වන විට සෑහෙන ප්‍රමාණයක ශාඛාවක් බවට පත් ව ඇත. නව ශාඛාව මනා තත්ත්වයක පසුවන හෙයින් ඉන් මුල් අද්දවා ගැනීමට අවශ්‍ය කටයුතු 2020 නොවැම්බර් මාසයේ දී සම්පාදනය කෙරිණි. ඒ තුළින් මහා බෝධියට ඇවැසි ඛණිජ ලවණ හා පෝෂ්‍ය පදාර්ථ තවදුරටත් ලබා දිය හැකි වෙයි. මුල් අද්දවා ගැනීමෙන් පසු උඩ මළුව ක්‍රමයෙන් තව අඩි තුනක් පමණ ඉහළට ගොඩනැඟිය යුතු වෙයි. එවිට මහා බෝධියට ඇවැසි පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම පහසු වනු ඇත. වසරකට අඟල් 10ක් පමණ සාරවත් පස් පුරවමින් කටයුතු කරන විට වසර තුන හතරකින් සමස්ත උඩ මළුව ම අඩි තුනකින් පමණ උස් වනු ඇත.
1994 ඔක්තෝබර් මස 09 වැනි දින සවස ඇති වූ දැඩි සුළඟකින් මහා බෝධියේ ප්‍රධාන ශාඛාවේ අහස දෙසට වැඩී තිබූ විශාලතම අත්ත බුදුමැඳුරේ වහලය මතට කඩා වැටුණි. එය කපා ඉවත් කර පසුව චාරිත්‍රානුකූල ව ආදාහනය කෙරිණි. අත්තෙහි ඉතිරි කොටස නැවත සුළඟකින් හෝ වර්ෂා කාලයක දී හෝ අනතුරකට ලක් නො වනු පිණිස පහත මළුවෙහි සිට අඩි 43ක් උසැති ත්‍රිපාද කුලුනක් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ඉදි කරන ලදී. මෙම කුලුන 2019 දී අලුත්වැඩියා කිරීම ද දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළේ ය.
80 දශකයෙහි මුල් භාගයෙහි මහා බෝධියේ ස්ථාවරත්වය සඳහා පිහිටුවන ලද ආධාරක කණු නවයෙහි උඩ ලෝහ කොටස් මත මහා බෝධියේ කඳ පතිත වන බැවින් ඒ සඳහා 1988 වසරේ දී පිළියම් යෙදිණි. මේ සඳහා ඇමෝනියා රහිත රබර් තට්ටුවලින් ආවරණය කරන ලද ලී කොට්ට අධාරක කණු මත සවි කෙරිණි. මෙහි බරපැන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් විසින් දරන ලදී. මෙම ලී කොට්ට 2018 වසර වන විට දිරාපත් වෙමින් පැවැති නිසා 2019 දී අලුතින් ලී කොට්ට සවි කිරීමට ද එම ව්‍යාපාරික ආයතනය විසින් කටයුතු යෙදී ය. ආධාරක කණු 2016, 2019 වසරවල දී ප්‍රතිසංස්කරණය කෙරුණු අතර ඒ සඳහා දානපතීහු කිහිප දෙනෙක් ඉදිරිපත් වූ හ.
මහා බෝධියට කෘමි උවදුරු හා දිලීර රෝගවලින් ද තර්ජන ඇත. දලු ලන අවධියේ දී මෙන් ම අධික වියළි කාලයකට කුඩා පත්‍ර ගොදුරු වන අවස්ථාවල දී ද බෝ දලු කුඩිත්තාගෙන් උවදුරු ඇති වීමේ ප්‍රවණතාවක් පවතී. සුදුමැස්සා ගෙන් ඇති වන පීඩාව ද පාලනය දුෂ්කර වී ඇත. මහා බෝධිය අවට භූමියෙන් මතු වී එන කුරුමිණි විශේෂයක් ද වේ. එම කුරුමිණි විශේෂය පහත අතුවල ඇති මෝරන ලද පත්‍ර කා දමති. 2016 දී මෙම කුරුමිණි උවදුර සඳහා පිළියම් යෙදිණි. දිලීර රෝගයක් වන කළුපුල්ලි රෝගය උත්සන්න වූ විට පත්‍ර හැලී යෑම ද සිදු වේ. මෙවැනි අවස්ථාවල දී දිලිරනාශක යොදා රෝග මර්දනය අපහසු බව වසර ගණනාවක ලත් අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ වී ඇත. 2014 දී යළිත් වේයන්ගෙන් උවදුරු ඇති වන්නට විය. ඒ සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද කෘෂිරසායන නොවන ‘ඇමක්’ භාවිත කර වේයන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කර මහා බෝධිය රැක ගැනීමට කටයුතු සම්පාදනය විය. මේ සඳහා පෞද්ගලික සමාගමක් අනුග්‍රහය දැක්වීය. එම ඇම නිතිපතා නිරීක්‍ෂණය කෙරන අතර එය වසරකට වරක් අලුත් කිරීම ද එම පෞද්ගලික සමාගම විසින් සිදු කරනු ලබයි.
මහා බෝධිය දලු ලන අවස්ථාවේ දී ඒවා කෑමට අවට සැරිසරන රිළවු හා වඳුරෝ පැමිණෙති. මහා බෝධියේ හා අවට ඇති බෝධීන්හි අතුවල ඇති බෙනවල ගිරවු බිත්තර දැමීමට පැමිණෙති. පැටවුන් බිහි වූ පසු ඔවුන් හොටවලින් ඇන එම බෙන ඇතුළත විශාල කර ගැනීමට යාම හේතුවෙන් බෝ අතු දුර්වල වේ. එමනිසා බෙන කටවල් යකඩ දැල්වලින් වසා දැමූ අතර ඒවායේ නඩත්තු කටයුතු ද වාර්ෂිකව සිදු කෙරේ. බෝධීන්හි ඵල හට ගන්නා කාලයේ දී එම ඵල කෑමට හීන්කොට්ටෝරු කුරුල්ලෝ ද පැමිණෙති. රිළවුන්, වඳුරන්, ගිරවුන් හා හීන් කොට්ටෝරුවන් පළවා හැරීම රාජකාරි ඇත්තන්ගේ, මුරකරුවන්ගේ කාර්යය අතර වේ.
මහා බෝධිය අවට පොල්තෙල් පහන් හා හඳුන්කූරු දැල්වීම විශාල වශයෙන් සිදු කෙරේ. පොල්තෙල් පහන් දැල්වෙන විට පිටවන වාෂ්පීකරණය වන පොල්තෙල් බොහෝ අවස්ථාවල දී බෝ පත්‍ර මත තැන්පත් වී කළු පැල්ලම් ලෙස දිස් වෙයි. හඳුන්කූරු දුම ද මීට දායක වන බව පෙනේ. එනිසා මහා බෝධියේ ආරක්‍ෂාව වෙනුවෙන් මීටර් 50ක් පමණ දුරට වන්නට පොල්තෙල් පහන් හා හඳුන්කූරු දැල්වීමට පහන් ගෙවල් සම්පාදනය කෙරිණි.
මහා බෝධියට ඇති වන යම් යම් උපද්‍රව ඉදිරියේ රට දැය මුහුණුපාන ව්‍යසනවල පෙර නිමිති බවට විශ්වාසයක් ද බොදු සමාජයේ ව්‍යාප්තව පවතී. 2004 දෙසැ. 12 දින මහා බෝධියේ වැලිමළුව (දේවාල මළුව) පරිශ්‍රයේ ඇති බෝධි ප්‍රාකාරය හදිසියේ ම කඩා වැටිණි. මෙය අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් බවට මත පළ විය. බෝධි ප්‍රාකාරයේ කඩා වැටීමෙන් මහා බෝධියට අනතුරක් නොවුණි. බෝධි ප්‍රාකාරය කඩා වැටී දින 14කට පසු (2004. 12. 26) මුහුද ගොඩ ගලා මහත් වූ ව්‍යසනයකට ලංකාද්වීපය ගොදුරු විය. බෝධි ප්‍රාකාරය යළි ගොඩනැගීමේ කාර්යය 2007 අප්‍රේල් මාසයේ දී අවසන් විය.
වසර 2010 දී පමණ මහා බෝධියේ ළපටි අතු යම්කිසි විජලනයකට ලක් වන බව පෙනී ගියේය. මේ තත්වය ඊට පසු වසර දෙක තුනේ දී ද දැක ගත හැකි විය. මේ පිළිබඳ ව පැලෑටි කායික විද්‍යාඥ මහාචාර්ය කුෂාන් තෙන්නකෝන් මහතා දැනුවත් කෙරිණි. ඒ අනුව මහා බෝධියට ජලය සපයන බෝ මළුව පන්සල ළිඳෙහි ඇති ජලයත්, තිසාවැවෙන් ලබා දෙන ජලයත් විශ්ලේෂණ කර වාර්තා ලබා ගැනුණි. එම වාර්තා සහ ජල මූලාශ්‍ර අධ්‍යයනය කළ තෙන්නකෝන් මහතා නිගමනය කළේ එම ජල මූලාශ්‍රවලින් ලබාගන්නා ජලය මහා බෝධියට ලබා දීම නුසුදුසු බවයි. වැසි ජලය පිරිසිදු කොට ලබා දීම සුදුසු බවත් යෝජනා විය. ඒ අනුව 2016 වසරේ දී පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වැසි ජලය පිරිසිදු කොට ගබඩා කිරීමට අවශ්‍ය ටැංකි ස්ථාපනය කිරීම ආරම්භ විය. එම කටයුතු වසරක් තුළ නිම කරන ලදී.