වරදෙහි ස්වභාවය හඳුනාගෙන ක්‍රියා කරමු

rashi
By rashi
10 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්

නූතන නීති පද්ධතිය අපව හුරු කර ඇත්තේ ඕනෑ ම සමාජ විරෝධී ක්‍රියාවක දී එහි වරදකරු සොයා දඬුවම් කළ යුතු ය යන ආකල්පයෙන් ක්‍රියා කිරීමට ය. එහෙත් බුදුදහම අපව යොමු කරන්නේ සෑම සමාජ විරෝධී ක්‍රියාවක දී වරදෙහි ස්වභාවය හඳුනාගෙන ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීමට ය. භික්ෂු භික්ෂුණී සමාජ තුළ ඇති වන සාමාජීය ගැටලුවල දී ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරන විනය පිටකයෙහි වුල්ලවග්ගපාලි සමථක්‍ඛන්‍ධකය එවැනි අවස්ථාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වන බෞද්ධ ප්‍රතිපාදාව පැහැදිලි කරයි. විවිධ සංඝ සමාජ තුළ සමාජ විරෝධී ක්‍රියාවන් ඇති වූ අවස්ථාවල  බුදුරජාණන්වහන්සේ, වරද හා වරදකරු අනුව ගත යුතු ක්‍රියාමාර්ගය වෙනස් කළ යුතු බව පවසති. උන්වහන්සේ අවස්ථාව අනුව ගත යුතු ක්‍රියාමාර්ගයන් හතක් පෙන්වා දෙති.

1. සම්මුඛ විනය

2. සති විනය

3. අමූළහ විනය

4. ප්‍රතිඥාකරණය

5. යෙහුය්‍යසිකාව

6. තස්ස පාපිය්‍යසිකව

7. තිණවත්ථාරකය

යනු එම ක්‍රමවේද හතයි.

චූදිතයා හා චෝදකයා යන දෙපාර්ශවය, සංඝයා (ගැටලුව හා අදාළ සමාජයේ සාමාජිකයන් ) ධර්මය හා විනය යන කරුණු සතර සහිත ව අදාළ සමාජ විරෝධී ක්‍රියාවට අදාළ ගැටලුව විසඳීම සම්මුඛ විනයයි. මෙහි දී චෝදකයාට මෙන්ම චූදිතයාට ද සංඝයා ඉදිරියේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙයි.  අනතුරුව දෙපාර්ශවයේ ම එකඟතාවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ධර්ම විනයානුකූල ව තීරණය කිරීම සිදු කරයි. බුදුරජාණන්වහන්සේ හැකි සැම විට ම මෙම ක්‍රමවේදයට අනුව සංඝ සමාජය තුළ ඇති වන ගැටලු විසඳීමට උත්සාහ කරන ලෙස උපදෙස් දී තිබේ. එසේ ම යම් භික්ෂුවක හෝ භික්ෂුණියක වරදක් කළ බවට කවරකු හෝ චෝදනා කළ සෑම අවස්ථාවක ම, බුදුරජාණන්වහන්සේ චෝදනාවට ලක් වූ භික්ෂුව හෝ භික්ෂුණිය ගෙන්වා අදාළ චෝදනාව පිළිබඳව දැනුම් දී එම චෝදනාව සත්‍ය දැ යි විමසා, චූදිතයාගේ කරුණු දැක්වීමෙන් අනතුරු ව සංඝයා ඉදිරියේ දී ම ධර්ම විනයානුකූල ව එම ගැටලුව විසඳීම සිදු කළ හ. මෙසේ චූදිතයා හා චෝදකයා සමග මධ්‍යස්ථ සභාවක් ඉදිරියේ දී ගැටලුව ධර්ම විනයානුකූල ව විසඳාගත හැකි නම්, එම ගැටලුව එතැනින් ම සමථයකට පත් වේ. එවිට එම සමාජයෙහි සමගිය රැකගැනීම පහසු ය. එසේ ම මෙම ක්‍රමවේදය වරදකරුට ද තමා කළ වරද භාරගෙන එහි වගකීම ගැනීමට පහසුවක් සලසයි. විනය පිටකයෙහි හමු වන සෑම විනය නීතියක් ම සම්බන්ධ ගැටලුව ඇති වූ අවස්ථාවල දී, බුදුරජාණන්වහන්සේ ප්‍රථමයෙන් ම සිදු කළේ චූදිතයාව ගෙන්වා කරුණු විමසීමයි. අනතුරු ව ධර්ම විනයානුකූල ව ගැටලුව විසඳීමයි. 

වරදකරුවන් ලෙස චෝදනා ලබන සියලු ම දෙනා වරදකරුවන් නො වේ. නිර්දෝෂී පුද්ගලයන් ද ඇතැම් අවස්ථාවල අභූත චෝදනාවලට ලක් වේ. එවැනි අවස්ථාවල දී එම  චෝදනාවට ලක් වන පුද්ගලයා නිවැරැදි බව දැන සිටියත්, එම නිසා ම එය නො සලකා හැරීම ඇතැම් විට වැරැදි අවබෝධයන් ඇති වීමට හේතු විය හැකි ය. යම් පුද්ගලයකු වරදක් කළ බවට අභූතයෙන් චෝදනා කළ අවස්ථාවක ඒ ගැන සොයා බලා ක්‍රියා කළ යුතු ආකරය සති විනය නමින් හැඳින්වේ. එහි දී පෙර සඳහන් කළ සම්මුඛා විනය සිදු කරන ආකාරයට ම පාර්ශව හතර එක්තැන් කර කරුණු විමසා බලා අභූත චෝදනාවට ලක් වූ පුද්ගලයාව චෝදනාවෙන් නිදහස් කරනු ලැබේ. මෙවැනි අවස්ථා රැසක් ත්‍රිපිටකටයහි හමු වේ. අංගුත්තර නිකායෙහි, නවක නිපාතයෙහි, සිහනාද වග්ගයෙහි වන සාරිපුත්ත සිහනාද සූත්‍රයෙහි හමු වන සිදුවීම එවැනි එක් අවස්ථාවකි. බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන අවස්ථාවක, සැරියුත් මහා රහතන්වහන්සේ  බුදුරජාණන්වහන්සේ ගෙන් අවසර ගෙන චාරිකාවෙහි වැඩිය හ. අනතුරු ව බුදුරජාණන්වහන්සේ වෙත පැමිණි භික්ෂුවක්, සැරියුත් තෙරුන් තමනට බැණවැදී එයට පිළියමක් ද නො කර චාරිකාවෙහි වැඩි බව බුදුරජාණන්වහන්සේට පැවසී ය. එම චෝදනාවට සවන් දුන් බුදුරජාණන්වහන්සේ සැරියුත් මහා රහතන්වහන්සේ  කැඳවා උන්වහන්සේට ඇති චෝදනාව දක්වා එය සැබෑ ද යන්න විමසා වදාළ හ. එයට පිළිතුරු දෙන සැරියුත් මහා රහතන්වහන්සේ,

“ස්වාමීනි, යමකුට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නො සිටින භික්ෂුවක වන්නේ නම්, එම භික්ෂුව තව භික්ෂුවකට බැණවැදී එයට පිළියමක් ද නො කර චාරිකාවෙහි යෑම කළ හැකි ය. ස්වාමීනි, යම් සේ පොළොවෙහි පවිත්‍ර දෙය ද, අපවිත්‍ර දෙය ද දමන නමුත් පොළොව එයින් පීඩාවට, ලජ්ජාවට පත් නො වේ. පිළිකුල් නො කරයි. එලෙස ම මම මහත් බවට ගිය අපමණ අවෛරී වූ හිංසා රහිත වූ පොළොව හා සම සිතින් වාසය කරමි.” යි, තම නිදොස් භාවය ප්‍රකාශ කර දැක්වූ හ. එය ඇසූ චෝදක භික්ෂුව තමන් කළ අභූත චෝදනාව පිළිගෙන සමාව ඇයද සිටියේ ය. එවිට බුදුරජාණන්වහන්සේ, චෝදක භික්ෂුව කළ අභූත චෝදනාව නිසා එම භික්ෂුවගේ හිස සත්කඩකට පැළී යෑමට පෙර එම භික්ෂුවට සමාව දෙන ලෙස සැරියුත් තෙරුන් වහන්සේට පවසා එම ගැටලුව සමථයකට පත් කළ හ.

එසේ ම පියවි සිහිය අහිමි වූ සිහි මුළාවට පත් වූවකු කරන කියන දේ සිහිකල්පනාවෙන් නො කරන අවස්ථාවල එවැනි පුද්ගලයකුට චෝදනා කර වැඩක් නැත. ඒ එම පුද්ගලයාට තමන් කරන කියන දේ පිළිබඳව සිහි කල්පනාවක් නොමැති නිසා ය. එවැනි අවස්ථාවල එම පුද්ගලයාගේ මානසික තත්ත්වය සලකා බලා එම පුද්ගලයාව දඬුවමින් නිදහස් කිරීමේ ක්‍රමවේදය අමූළහ විනයයි. සිහි මුළා වූ භික්ෂුවක නොයෙක් විනය විරෝධී ක්‍රියාවන් කළ නමුත්, සංඝයා චෝදනා කළ අවස්ථාවෙහි, කළ පසු එවැනි දේ කළ බව අමතක වන නිසා, එම භික්ෂුවට ඒවා නැවත සිහි කිරීමට නොහැකි විය. ඒ පිළිබඳව බුදුරජාණන්වහන්සේට පැවසූ විට එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය ප්‍රකාශ කරමින් අමූළහ විනය ක්‍රමවේදය බුදුරජාණන්වහන්සේ හඳුන්වා දුන් හ. (විනය පිටකය, චුල්ලවග්ගපාලි, සමථක්‍ඛන්‍ධකය, අමූළහ විනය).

වරදකරු තමන් කළ වරද අවංක ව පිළිගනී නම් ඒ අනුව ක්‍රියා කිරීම (වරදට දඬුවම් කිරීම) ප්‍රතිඥාකරණය නමින් හැඳින් වේ. භික්ෂු භික්ෂුණීන් දෙසතියකට වරක් පාමොක් උදෙසීමෙහි දී අනුගමනය කරන්නේ මෙම ක්‍රමවේදයයි. ප්‍රාතිමෝකෂයට අනුව තමන් අතින් විනය ශික්ෂාවන් කඩ වී ඇත් දැ යි ස්වයං විචාරයක් කර එසේ වරදක් සිදු වී ඇත්නම් එය පිළිගෙන එයට අදාළ පිළිවෙත් අනුගමනය කර එම ඇවතින් පිරිසිදු වීම සිදු කරයි.

ඇතැම් අවස්ථාවල දී යම් සිදුවීමක් පිළිබඳව සංඝයාට එකඟතාවකට පත් වීමට අපහසු නම්, එය විසඳීමට යෑම නිසා සංඝයා අතර මතගැටුම් ඇති වන්නේ නම්, එවැනි අවස්ථාවල ඡන්දයක් පවත්වා එයට අනුව තීන්දුව දිය යුතු ය යි විනයෙහි දැක්වේ. මෙසේ ඡන්දයක් මගින් කළ වරදක් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීම යෙහුය්‍යසිකාව නම් වේ. ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීමට ඡන්දයකට යා යුත්තේ සම්මුඛා විනයෙන් එය විසඳිය නොහැකි ම අවස්ථාවක පමණි. හැකි හැම අවස්ථාවක ම උත්සාහ කළ යුත්තේ ගැටලුව සම්මුඛා විනයෙන් විසඳීමට ය. ඡන්දයකින් තීරණය කළ යුතු අවස්ථාවක, එය පැවැත්වීමට හා එහි තීරණය දැනුම් දීමට පත් කර ගත යුත්තේ ඡන්ද, දෝස, මෝහ, භය, යන සතර අගතියට නො ගිය තැනැත්තෙකි. එම තැනැත්තාව පත් කර ගත යුත්තේ ද සංඝයාගේ කැමැත්තෙනි. එසේම බහුතර මතය අධාර්මික නම් එය ක්‍රියාත්මක නො කළ යුතු ය. එම නිසා පත් කරගන්නා තැනැත්තා ලැබෙන ඡන්දයෙහි ප්‍රතිඵලය ධර්ම විනයානුකූල ද යන්න විමසා බලා එය අධාර්මික නම්, අවිනය නම්, ධර්ම විනයානුකූල විසඳුමක්  ලබාගැනීමට හැකියාවක් සහිත පුද්ගලයකු විය යුතු ය.

ඇතැම් අවස්ථාවල වරද කළ තැනැත්තා තමන් වරදක් කළ බව පිළිගැනීමට මැලි කමක් දක්වන අතර අන්අය ඉදිරියේ දී, කරන චෝදනාව නො තේරෙන ලෙස හැසිරෙමින් අන් අයව නොමග හැරීමට ද උත්සාහ කරයි. එවැනි අවස්ථාවන්හි දී ක්‍රියා කළ යුතු ආකාරය තස්ස පාපිය්‍යසිකාව නමින් හැඳින්වේ. කළ වරද පිළිගන්නවා වෙනුවට සංඝයා නොමග හැරීමට උත්සාහ කරන අවස්ථාවක, කළ වරදට අදාළ දඬුවමට අමතර ව, සංඝයා නොමඟ ඇරීමට උත්සාහ කිරීමෙහි වරදට ද දඬුවම් කිරීම තස්ස පාපිය්‍යසිකාවේ දී සිදුවේ. 

සෑම වරදක් ම වැදකරු සොයා දඬුවම් ලබා දීමෙන් විසඳිය නොහැකි ය. වරද පිළිබඳව කරන විමර්ශනය ඇතැම් විට එම අර්බුදය තවත් උග්‍ර අතට පත් වීමට හේතුවක් ද විය හැකි ය. විශාල පිරිසක් එක් ව කළ වරදක දී පිරිස් බලය වැඩි නිසා, තමන් නිවැරැදි බව තහවුරු කිරීමෙහි අරමුණින් කරන ක්‍රියා නිසා, එම පිරිස අතර තව තවත් දුෂ්ක්‍රියා ප්‍රකට විය හැකි ය. අසූචි ගොඩක් හමු වූ විට එය කූරු ගාමින් ගඳ ගැසීමට හේතු සොයනු වෙනුවට තණ පිඬක් ගෙන එහි ගද නො පැතිරෙන ලෙස වසා දමන ලෙස, එවැනි අවස්ථාවක දී සිදු වූ දෙය වරදක් බවත් එය විමර්ශනය වරදෙහි අප්‍රසන්න බව තව තවත් වැඩි වීමට හේතු වන බවත් හඳුනාගෙන, එය සංඝයාගේ යහ පැවැත්ම වෙනුවෙන් වසා දැමීම කළ යුතු ය. එම ක්‍රියාවලිය තිණවත්ථාරකය නමින් හැඳින්වේ.

භික්ෂු භික්ෂුණීන් වෙනුවෙන් හඳුන්වා දුන්න ද මෙම ක්‍රියා මාර්ග ගිහි අපට ද ප්‍රායෝගික ව යොදාගත හැකි ය. මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ වරද හා වරදකරුවකු විෂයෙහි බුදුදහම දක්වන ආකල්පයයි. වරදක් සමාජයේ ප්‍රකට වූ විට, බුදුදහම අවධානය ලබා දෙන්නේ, එම වරද නැවත ඇති වීම වළක්වාලීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් කෙරෙහි ය. වරදකරුට දඬුවම් ලබා දීම එහි මූලික අරමුණ නො වේ. වරදක් බව නො දැන එම ක්‍රියාව කරන්නා හෙවත් ආදිකම්මිකයාත්, උමතු පුද්ගලයාත්, වරදක් කිරීමෙහි චේතනාවක් නැති රහතන්වහන්සේත්, දඬුවමින් නිදහස් කර ඇත්තේ ඒ නිසා ය. එසේ ම කිසි ම  අවස්ථාවක අතීතයට බලපැවැත්වෙන පරිදි නීති පනවා හෝ දඬුවම් පනවා නැත. වරදකරුට දඬුවම් ලබා දීමට වඩා වරද නැවත ඇති වීම වළක්වාලීමට අප කුමක් කළ යුතු ද යන්න මූලික කර ගනිමින් ක්‍රියා කිරීමට අපටත් හැකි වුව හොත් වඩා සාමකාමී මානසිකත්වයක් අපට ගොඩනඟා ගත හැකි ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *