දහම් ගීතය

cmadurawala
9 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

චන්ද්‍ර මාස ක්‍රමයට අනුව උදාවන මැදින් පොහොය දිනය ව්‍යවහාර දින දර්ශනයට අනුව මාර්තු මාසයේ යෙදෙයි. බුදු සිරිතේ විශේෂ සිදුවීමක් මැදින් පොහොය දින සිදුවූ බව සඳහන්ය. ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට සිය ජන්ම ගම වූ ශාක්‍ය ජනපදයට වැඩම කරන ලද දිනය වීම එහි විශේෂයයි. අද බැති ගීය සඳහා තෝරා ගනු ලැබුවේද එම සිදුවීම යම් පමණකට සඳහන් වීම පාදක කරගෙනය. බොදු බැති ගීවල සිදුහත් කුමරුගේ පියාගේ නම සඳහන් වන්නේ කලාතුරකිනි. එච්.ආර්. ජෝතිපාල ප්‍රකට ප්‍රේම ගීත ගායනයේ ප්‍රමුඛයකු මිස බොදු බැති ගී ගායකයකු ලෙස නොවේ. එහෙත් ඔහු ගැයූ බොදු බැති ගී අතළොස්ස අතර ජනප්‍රිය “සුගත ලෝනා සම්බුද්ධ රාජා” යන ගීතය. මෙහි පද රචනය කරුණාරත්න අබේසේකරයන් විසිනි. මෙම ගීතයෙහි සඳහන් සුද්ධෝදන පුතු දම් නායක වී…” යෙදුම බුදුන් වහන්සේගේ උපන් ගම මෙන්ම දෙමාපියන්ද මතකයට නගයි. උන්වහන්සේගේ කිඹුල්වත් පුරට වැඩම කරවීම සිදුවූ මැදින් පෝ දිනට උපයෝගී කරගනු ලැබුවේ එබැවිනි.

සුගත ලෝනා සම්බුද්ධ රාජා
ශ්‍රී පද පද්මෙ පුදනේමි දී භක්ති පූජා
දී භක්ති පූජා

භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රාජ සම්පත් හැරදා නික්මී ගියා
පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා

තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
අහස දෙදරා ගියා පොළොව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා

ගීතය ආරම්භ වන්නේ බුදුන් වහන්සේගේ නාම විශේෂණ කීපයකින් ගෞරව පූර්වකව හඳුන්වමිනි. “සුගත” යන නව අරහාදි බුදු ගුණයෙන්ද එකකි. ඉතා සරළව එම අදහස බුදුගුණාලංකාරයෙහි දැක්වේ.

යහපත් කොට යෙතැ යි
සුන්දර තැනට සැපතැ යි
සොඳුරු බස් කියතැ යි
කියති ඒ මුනි රජුට සුගතැ යි

(265 පද්‍යය)

“ලෝනා” යනු ලෝකයට නායක වූ යන්නය. බුදුන් වහන්සේට තිලෝනා යනුවෙන්ද ව්‍යවහාර වේ. එනම් දිව්‍ය මනුෂ්‍ය තිරිසන් (ප්‍රේත) යන තුන් ලොවටම අධිපති යන අර්ථයෙනි. එසේ තුන්ලොවටම නායක වන්නේ කවර අයුරින් දැයි භක්ති ශතකයෙහි මෙසේ දැක්වේ.

ප්‍රසීදේශ දෙවෙශ ලොකෙශ
ජගද්චන්ද්‍ය මද්වන්ද්‍ය සද්වන්ද්‍ය බුද්ධ
අඝාරෙ භවාරෙ ස්මරාරෙ තමොරෙ
තවෛවාස්මි භක්තො වපුර්වාංමනොහි:
– 31 ශ්ලෝකය

පරාර්ථකරණයෙහි සමර්ථ වූ ඉන්ද්‍රාදි දෙවියන්ට නායක වූ සත්ත්ව ලෝකයා හට ඊශ්වර වූ මාරයා ජයගන්නා සුලු වූ, ලෝකවාසීන් වැන්ද යුතු වූ මා විසින් වැන්ද යුතු වූ සරස්වතීය පුත්‍රාදි බුද්ධිමතුන් විසින් වැන්ද යුතු වූ සර්‍වඥයන් වහන්ස, පැහැද වදාළ මැනව. පව් නසන්නා වූ සංසාරෝත්පත්ති නසන්නා වූ කාම තෘෂ්ණා නසන්නා වූ, මෝහාන්ධකාරය නසන්නා වූ තථාගතයන් වහන්ස, කාය වාක් මනස යන ද්වාරත්‍රය කරණකොට ගෙන ඔබ වහන්සේට භක්ති ඇත්තේ වෙමි.

ගීතයේ මුල් ස්ථායී කොටසට ඉහත දැක්වූ නිරුක්ති හා මනාව ගැළපේ.

ගීතයේ අන්තරා කොටස ඇරඹෙන්නේ “භව රෝගෙට ඔසුවක් සොයනා නියා” යනුවෙනි. සංසාර රෝගය යනුද මෙයම වේ. සංසාරික ගමනට හේතුව වන්නේ භව රෝගය හෙවත් යළි යළිත් ඉපදිමය. එය ලෝකයේ තිබෙන වඩාත්ම භයානක රෝගය වෙයි. බුදුන් වහන්සේ ප්‍රතිකාර කළේ එම භව රෝගයටය. ඒ අර්ථයෙන් උන්වහන්සේ වෛද්‍යවරයකුද වේ. ලෝවැඩ සඟරාව ඇරඹෙන්නේද උන්වහන්සේගේ එම දුකට වෙදාණන් වූ බව කියමිනි.

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණ න්
සත්හට වන බව දුකට වෙදාණ න්

යනුවෙන් දැක්වෙන්නේ ලෝක සත්වයා හට වැළඳෙන භව දුකට වෛද්‍යවරයා වූ බවය. ගීතයෙහි දැක්වෙන ඔසුව නම් නිර්වාණයයි. එම ඖෂධය සොයා ගැනීමේ මුල් පියවර ගීතයෙහි දැක්වෙන ලෙසට රාජ සම්පත් හැරදා ගිහිගෙයින් නික්මීම හෙවත් මහාභිණිෂ්ක්‍රමණයයි. කවර හෝ තැනැත්තෙක් ගිහිගෙයින් පිටත්වීම අභිනිෂ්ක්‍රමණයක් වන නමුත් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස ගිහිගෙයින් නික්ම යන්නේ බෝධිසත්ත්වයකු පමණි. එම අර්ථයෙන් එය මහා නික්මීම හෙවත් මහාඅභිනිෂ්ක්‍රමණය නම් වේ. අනතුරුව සඳහන් වන්නේ බුදුන් වහන්සේ මහා බෝධි මූලයේ මාර පරාජය කර බුද්ධත්වයට පත්වූ බවය. ඒ සඳහා පැමිණි දිර්ඝ සංසාර ගමනේදී බුද්ධත්වය ලැබීම සඳහා පාරමිතා හෙවත් පූර්ණ කළ යුතු පින්කම් මාලාවක්ද සපුරාලන ලදී. අති දුෂ්කර වූ එම පාරමී දහම් පිරීමද සිදු කර බෝධි මූලයේදී වෙසඟ දින බුද්ධත්වයට පත්වීමද ඒ සඳහා රාජශ්‍රීය හැරදා ගිහිගෙයින් පිටවීමේ පුවතද එළු සිලෝ ශතකයෙහි වඩා විස්තරාත්මක ලෙස මෙසේ දැක්වේ.

සුරපුර ලෙස තෙවුනා වූ කිඹුල්වත්පුරේහි
රසසිරි හරිමින් ගොස් බෝ මූලේ වූ තුදුස් හත්
වැඩ හිඳ විදුරස්නේ පස්මරුන් සුන් කෙරෙම් හී
බුදුව ලොවට මොක් දුන් ඒ තිලෝනා වඳිමි මම්
– 21 පද්‍යය

ගීතයෙහි ඝොර මර සෙන් යනුවෙන් ගීතයට උචිත ලෙස සංක්ෂිප්තව දැක්වුවද මාර සේනාව යනු සංකීර්ණ බලවේගයකි. එය වඩාත් කෙටි කර පස් මරුන්, දස මරුන් ආදී ලෙස පොත්පත්වල සඳහන්ය. පෙර සඳහන් පද්‍යයේ පස්මරුන් ලෙස දැක්වෙන්නේ ක්ලේශ මාර – කෙලෙස් නැමති මාරයා, අභිසංස්කාර මාර – භවගාමී කුශලාකුශල නම් මාරයා, මෘත්‍යමාර – මරණ නමැති මාරයා, ස්කන්ධ මාර – පක්‍ද්චස්කන්ධය නමැති මාරයා, දේවපුත්‍ර මාර – වශවක්ති නම් මාරයා වේ.

ගීතයෙහි අවසන් කොටසෙහි තුන් ලොවට ආලෝකය දි බුද්ධත්වයට පත් වූයේ සුද්ධෝදන රජුගේ පුත්‍රයා බව දැක්වේ. සංක්ෂිප්තව කරුණු කීම ගීතයට අවශ්‍ය අගයක් බැවින් සුද්ධෝදන පිය රජු පිළිබඳව පමණක් ගීතයෙහි දැක්වුවද බුදුන් වහන්සේගේ දෙමාපියන් හා උපන් රාජකීය කුලයද උපතද මනහර ලෙස ගෙත්තම් කළ පද්‍යයක්ද එළු සිලෝ ශතකයෙහි සඳහන්ය.

නෙක රජ කිරුළග් මින් කැත් තොසින් පා පියුම් දෙමු
සගකුලග සුදෝනා කැත්තුමාණන් නිසා‘ මුත්
බිහිව එමහමායා මවු කුසින් පින්පිඬක් සේ
හැම සතට අමාමොක් දුන් තිලෝනා වඳිම් මම්

මෙහි කිරුළග් මින් කැත් තොසින් යනුවෙන් දැක්වෙන්නේ කිරුළ අග ඇති මැණික් නොහොත් කිරුලෙහි ප්‍රධාන මැණික යන්නය. තොයින් යනු ජලයයි. ඉන් අදහස් වන්නේ ප්‍රධාන මැණිකේ රශ්මිය නමැති ජලදහර යනුය.

මෙම විචිත්‍ර වැනුම ගීතයෙහි රචකයා වචන නවයකින් සංක්ෂිප්ත ලෙස දක්වා එහි අගය එලෙසෙම රැක ගැනීමට සමත් වී ඇත. එය ගීත ප්‍රබන්ධකයන් මෙන්ම කවීන්ටද ඇති නිසග හැකියාවකි. ඒ සඳහා භාෂාව දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර භාෂා ප්‍රයෝග මෙන්ම භාෂාව රසවත් ලෙස භාවිත කිරීමද අත්‍යවශ්‍ය වේ. සුද්ධෝදන රජුගේ පුත්‍රයා ලොවට දම් නායක වී තුන්ලෝකයම පුබුදා ආලෝකවත් කළ බවද එම කොටසෙහි දැක්වේ. ලෝකයට ආලෝකමත් වීම දෙයාකාරයකට ගත හැකිය. පළමුවැන්න නම් කෙළෙස් අඳුර දුරලා නිවන් මඟ ආලෝකවත් කිරීමය. දෙවැන්න සවනක් බුද්ධ රශ්මියෙන් ආලෝකවත් වීමය. පළමුවැන්න අදෘශ්‍යමාන වන අතර දෙවැන්න දෘශ්‍යමාන වේ. එම දෘශ්‍යමාන ආලෝකමත් බව භක්ති ශතකයෙහි මෙසේ විස්තර කෙරේ.

ක්වචින්නීලං පීතං ත්වදපි ච රක්තං ත්වචිදපි
ක්වචිච්චන්ද්‍රච්ඡායං ක්වදපි ච මාක්‍ද්ජිෂ්ඨරුචිරම්
ක්වචිත් ප්‍රභාස්වර්යං යදදති ච වර්ණව්‍යතිකරාච්
ඡික්‍ඛාෂට්කං තෛස්තෛර්වාතධදුපකරි තද්වස්තු ශරණම්
9 ශ්ලෝකය

යම් වස්තුවෙක් සමහර තැනෙක් හි නිල් පැහැයට ද සමහර තැනෙක් හි රන්වන් පැහැයට ද සමහර තැනෙක් හි රත් පැහැයට ද සමහර තැනෙක් හි චන්ද්‍රකාන්තියට බඳුවූ සුදු පැහැයට ද සමහර තැනෙක් හි මනෝඥ වූ මදටවුත් පැහැයට ද සමහර තැනෙක් හි නීලපීතාදි වූ ඒ ඒ වර්ණයෙන් උපරි මස්තකයෙහි සිළු සයක් ඇති සිරස්පතක් උසුලන්නා වූ (යම් වස්තුවක් ඇද්ද) ඒ වස්තුව (මට) පිහිට වේවා (මෙහි යම් වස්තුවක් ලෙසින් දක්වා ඇත්තේ බුද්ධ කාය වේ)

මෙම බුදුරැස්, බුද්ධකායේ ඒ ඒ අංග ආශ්‍රිතව විහිදුණු බව ප්‍රකට කරුණකි. කෙසේ වුවද ගීතයේ දැක්වෙන “තුන් ලෝකෙම පිබිදි ආලෝකෙ දි” යන්නට උන්වහන්සේගේ රශ්මි කදම්බය මෙන්ම මෝහාන්ධකාරය දුරු වී ලබන බුද්ධි ආලෝකයද අයත් වේ.

ගීතය අවසන් වන්නේ පෘථග්ජන පුද්ගලයාගේ සිත කම්පනය වන තරම් වූ බුදුගුණය පිළිබඳ පවසමිනි. එනම් ලොව්තුරා බුද්ධත්වය ලැබූ මොහොත් අහස පොළොව ඇතුළු සක්වල තලයම වංචලව කම්පිත වූ පුවත සිදුවීමය. මෙම සිදුවීම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල විවිධ ආකාරයෙන් විචිත්‍ර ලෙස දක්වා ඇත. පහත දැක්වෙන්නේ “අමාවතුරෙහි” එම සිදුවීම දක්වන අයුරුය.

“මෙ සෙහෙයින් මහපුරිසා හිරි නොඑප්පෙන තුරු මාර විජය කොටැ පෙරයම්හි නොඑක් ඉකුත් දෑ කෙළෙසුවහස්හි නොපැකිලැ පවත්නා පුවෙණිවස්නුවරණ ලදින් මැදම්යම්හි අනත්අපරිසෙ ලෝධාහි තමන් තමන් කළ කැමින් දුක් විදුනා සුව විදුනා සතුන් නිරවසේනෙන් දක්නා දිවසක් නුවණ උපයා අලුයම්හි දොළොස් ඇඟින් යුත් පිළිසමුමුපා වටවිවට විසින් අනුලොම් පිළිලොම් විසින් සිවිදුක් සමිඳුන් දසදහසක් සක්වල දිය පොළොව අවසන් කොටැ දොළොස් වටෙකැ කම්පිත වී යැ. මහසත් වනාහී දසහස් ලෝධා ගුගුරුවා අරුණු නැගෙන තුරු සව් කෙලෙස් පහා බුදු වී” (අමාවතුර – 36 පිටුව)

ගීතයේ සඳහන් ශාක්‍ය රජ මේ වෙසඟෙ බුදු වූ නියා යන යෙදුමෙන් අදහස් වී ඇත්තේ ශාක්‍ය වංශයේ රජු යන්න නොව “ශාක්‍යසිංහ” යන්නය. “රජ” යන අර්ථයෙන් ලැබෙන ලෞකික අර්ථයට වඩා ශාක්‍යසිංහ යන්නෙහි පුළුල් අර්ථයක් ඇත. ගීතයේ යෙදුම ගීතයට උචිත ලෙස යෙදි ඇත. බුදුන් වහන්සේ “සෑසි” යනුවෙන්ද හඳුන්වන්නේ සෑ – ශාක්‍ය – සී ු සිංහ ු ශාක්‍යසිංහ යන අරුතිනි. බුදු වූ නියා හෙවත් බුදුවූ ලෙසින් යන අර්ථයට, හා ඒ කෙසේද යන්න පෙර සඳහන් “අමාවතුර” පාඨය පිළිතුරු සපයයි.

දක්ෂ ගායන ශිල්පියකු අසවල් අසවල් ගී ගැයීමට පමණක් සීමා නොවේ, යන්නට කදිම නිදසුනකි එච්.ආර්.ජෝතිපාල නමැති ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා බුද්ධාලම්බන ප්‍රීතිය මැනවින් දනවන ලෙස මෙම බුදු ගුණ ගීතය ගැයීම. පද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පුළුල් බෞද්ධ සාහිත්‍ය දැනුම එම ගායනයෙන් යළි යළිත් පසක් කෙරේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *