දැහැමින් හැඟුම් මුදා…

rashi
By rashi
12 Min Read
කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම මහා විහාරාධිපති ව වැඩවිසූ පණ්ඩිත කීර්ති ශ්‍රී පූජ්‍ය මොරගල්ලේ සිරි ඤාණෝභාසතිස්ස නාහිමි විසින් ‘සම්මා සඞ්කප්පය’ මාතෘකා කොට පවත්වන ලද දම්දෙසුමක් ඇසුරින් සැකැසුණු ධර්ම ඛණ්ඩයකි. පූජ්‍ය මොරටුවේ සිරි සාසනවංස නාහිමියන් විසින් සංස්කරණය කරන ලදුව, වර්ෂ 1951 දී මුද්‍රිත ‘ආර්යවංශ ධර්ම පුස්තක මාලා - 04 වැනි වෙළුම’ නම් ග්‍රන්ථයෙන් මෙය උපුටාගන්නා ලදි.

නෙක්ඛම්ම සංඥාව

නෛෂ්ක්‍රම්‍ය සංඥාව නම් කම්සැප හැර ගිහිගෙන් නික්මෙන හැඟීමයි. එය හට ගැනෙන්නේ අලෝභ චේතනාව මුල් ව ම ය. පස්කම් සැප පිළිකුල් කොට වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට වනයට හෝ පැවිද්දට තපස්

රැක්ම සඳහා නික්මීමට ඇති වන යම්කිසි හැඟීමක් වේ නම් ඒ නෛෂ්ක්‍රම්‍ය සංඥාව ය යි දත යුතු.

බෝසත් මඛාදේව රජතුමාට අපමණ රජ සැප හැර දමා වනයට ගොස් පැවිදි ව තපස් කිරීමට නෛෂ්ක්‍රම්‍ය සංඥාව ඇති වූයේ අලෝභ චේතනාව මුල් ව ම ය. ඒ හිසැ එක ම නරකෙසක් (පැසුණු කෙස් ගසක්) දැකීමෙන් ය. එක නරකෙසක් තබා මුළු ඔළුව ම පුළුන් සේ නරකෙස් (සුදු) වුව ඒ ගැන නො සලකා නො බලාත් අඹු-දරු, ගේ-දොර, ඉඩකඩම්, රන්-රිදී, මුතු-මැණික් ආදී නොඑක් ඉසුරට මසුරු ව සිට මරණයට පත් වෙතත් වනයට ගොස් හෝ පැවිද්දට පැමිණ තපස් රැක්මට සංඥාවක් (හැඟීමක් කල්පනාවක්) මෙකල කිසිවෙකුට ඇති බව නො පෙනේ.

රේවත කුමරුට නෛෂ්ක්‍රම්‍ය සංඥාව ඇති වූයේ විවාහ මඟුල් දා සිය පෙම්වත් කුමරි සමග අතිනත ගෙන සිටි අවස්ථාවෙහි දී ම ය. ඒ කතා ප්‍රවෘත්තිය බොහෝ දෙනා ඇසීමට කැමැති ඇති බැවින් සැකෙවින් දක්වමි.

රජගහනුවරට නුදුරු ව පිහිටි උපතිස්ස බමුණු ගමැ දෙටු බමුණු-බැමිණියන් වූ උපතිස්ස, සාරි යන දෙමාල්ලනට උපතිස්ස, චන්‍ද, උපසේන, රේවත යන කුමරුන් සිවුදෙනෙක් හා චාලා, උපචාලා, සිසුපචාලා යන කුමරියන් තුන් දෙනෙක් ද වූ හ. දෙටු කුමරු බුදුසස්නෙහි මහණ ව (පියා නමින්) උපතිස්ස ය යි ද, (මවු නමින්) සාරිපුත්ත ය යි ද පසිඳු විය. බොහෝ විට සාරිපුත්ත නමින් ම හැඳිනුණ ඒ අගසවු තෙරුන්ගේ උපදෙස් ඇසුරු කළ චන්‍ද, උපසේන යන සොහොයුරෝ ද චාලා, උපචාලා, සිසුපචාලා යන සොහොයුරියෝ ද පැවිදි ව රහත් වූ හ. පවුලේ සත් අසූකෙළක් පමණ වූ මහ ඉසුරට හිමි වූයේ ඒ පවුලෙන් ම බාල රේවත කුමරු පමණකි.

ඒ පවුලේ මෑණියෝ රේවත කුමරුත් මහණ වූවොත් පරපුරත් ඉසුරුත් නැසෙයි සිතා ඒ කුමරුට උසස් කුලවත් කුමරියක සරණ කර දීමට යුහුසුලු වූ හ. රේවත කුමරු වයසින් කුඩා වුවත් වැඩුණු නුවණැත්තෙකි. විවාහ මඟුල් සිදු කළ වේලෙහි දෙපස නෑයෝ උදන් අනමින්, “මේ කුමර-කුමරියෝ මේ මුත්තණු-මුත්තණියන් සේ දිගාසිරි විඳිත් ව” යි කී හ. ඒ නැණවත් කුමරු නෙත් කොනින් බලා “මුහුණ රැළි ගැසී හොකු හැකිළී, දත් වැටී හිස පැසී පුළුන් ගොඩක් සේ වී, ඇඟ සැම තැන රැළි ගැසී ගිය වකු ගැසුණු වෙව්ලන සිරුරු හා හිස ඇති මේ මුත්තණු-මුත්තණියන් සේ සිටීමට මටත් ආසිරි වඩති” යි සිතා මුළු ගිහිගෙට ම කලකිරී ගිහි සැප හැර යෑමට නෛෂ්ක්‍රම්‍ය සංඥාව එකෙණෙහි පහළ විය.

“මාගේ දෙටු සොහොයුරු සොහොයුරියෝ එහි රහස දැන එයින් මිදුණ හ. උතුම් මිදුම ජරාවෙන් මිදුම ය” යි සිතා ගති. ඔවුන්ගේ ඒ ආසිරි මඟුල් වදන් රේවත කුමරුට සසර ගැලවුමට බණක් මෙන් ද, ජරාවෙන් වැතිරුණු සිරුරු දැක්ම නෛෂ්ක්‍රම්‍ය සංඥාවට පෙරනිමිත්තක් මෙන් ද විය. එතැන් සිට රේවත කුමරුට ඇති වූයේ බලවත් කලකිරුමකි. විවාහ පත් යුවළ එක ම මඟුල් රියක එකට හිඳ අන් රියවලින් පිරිවැරුණු නෑ පිරිස් සමග මඟුල් උළෙලෙන් මාළිගය කරා එන කලැ කුමරු කම්රස රිසියෙන් නෙත් කොනින් වත් කුමරි දෙස නො බැලී ය.

රේවත කුමරු මඟුල් රියෙන් පැන යෑමට ඉඩකඩ හා වේලාව සොයමින් මඟ දෙපස පිරික්සා බලයි. එක් වන පෙදෙසක අතරැමඟැ මඟුල් රිය නවතා සිරුරු කිස සඳහා රියෙන් බැස යන ගමනක් සේ හඟවා රියෙන් බැස වන මැදින් පලා ගියේ මහත් වේගයෙනි. බොහෝ දුර ගිය පසු තිස් නමක් පමණ භික්ෂූන් භාවනාවෙහි යෙදී වෙසෙන තැනක් දැක ඉතා සතුටින් එතැන්හි පැමිණ මහණකම අයැදී ය.  කුමර ඇඳුමෙන් (මඟුලට) සැරැසී සිටි ඒ කුමරුගේ විලස් දුටු ඒ භික්ෂූහු රජ කුමරෙකැ යි හෝ සිටු කුමරෙකැ යි සිතා ඒ අයදුම ඉටු නො කළ හැකි බව දැන්වූ හ. ඒ තෙරුන්ගේ බියසුලුකම දුටු කුමරු “මා මහණ කිරීමට මැලි වෙත් නම් මාගේ දෙටු සොහොයුරු වූ සාරිපුත්ත තෙරුන් වෙත යවනු මැනව” යි කීයේ ය. ඒ ඇසූ ඒ භික්ෂූහු “සැරියුත් මහ තෙරුන් විසින් රේවත කුමරු පැවිදි වීමට කැමැති ව අයැදුවොත් පැවිදි කළ යුතු ය” යි කලින් කරන ලද නියමය මතක් වී මහණ කළ හ. එතැනින් කිහිරි වනයට වැඩ විදර්ශනා භාවනා වඩා රහත් වූ හ.

නෛෂ්ක්‍රම්‍ය සංඥාව ඇති වූ කල්හි නුවණැති අය කලකිරී මේ අන්දමින් සිය අදහස් මුදුන් පමුණුවාගනිති. නුවණ මඳ අයට ඒ හැඟීම දියුණු කරගත නොහැකි ය.

අව්‍යාපාද සඥාව

අව්‍යාපාද සංඥාව නම් ද්‍රෝහ (දරුණු) සිතිවිලිවලින් දුරු වන හැඟීමයි. එය ඇති වන්නේ අද්වේෂ චේතනාව මුල් ව ය. “සියලු සත්හු නිදුක්, නීරෝගී, සුවපත් වෙත් වා” යනුවෙන් මෙත් සිත් වැඩීම සිත්හි දියුණු කොට වෛර නො කොට විසීමේ යම් හැඟීමක් ඇති වේ ද ඒ අව්‍යාපාද සංඥාව බව දත යුතුයි.

ක්‍රෝධ චේතනාවෙන් දුරු වූ යම්කිසි හැඟීමක් ඇති වේ නම් ඒ අද්වේෂයයි. මෛත්‍රී, කරුණා, මුදිතාදී ගුණ හා ප්‍රඥාවත් දියුණු වන්නේ අද්වේෂ සංඥී පුද්ගලයා හට ම ය. ද්වේෂ සංඥී පුද්ගලයාගේ ක්‍රෝධය ද, ඒ නිසා හටගත් වෛරය ද, පලිගැනීම් ද දියුණු වෙයි. භවයක් භවයක් පාසා ඒ ක්‍රෝධය ගෙන යයි. ආත්ම සිය දහස් ගණනක දීත් ඒ ක්‍රෝධය අත නො හැරීම නිසා එහි අති දරුණු විපාක විඳීමට සිදු වන බව පෙනේ. ද්වේෂ(ක්‍රෝධ)ය සියලු අපරාධයන්ට ආකරයකි. “නත්‍ථි දෝස සමෝ කලි” ද්වේෂය හා සම වූ අපරාධයෙක් නැතැ යි යන බුද්ධ වචනයෙන් ද ඒ බැව් පැහැදිලි වේ.

එහෙයින් ක්‍රෝධශීලී පුද්ගලයා බලවත් අපරාධකාරයකු වන බව ද, දරුණු විපාකවලට මුහුණපාන්නකු වන බව ද දත යුතුයි. දෙව්දත් තෙර බලවත් අපරාධකාරයකු වූයේත්, දරුණු විපාකවලට මුහුණපාන්නකු වූයේත් ක්‍රෝධශීලිත්වය ම නිසයි. අප මහ බෝසත් තුමා බුදුකුරු දහම් පුරණ කල්හි ම දෙව්දත්තෙර අනුවණකම් කොට වෛර බැඳගත්තේ ද්වේෂ සංඥාවෙනි. බුදු බවට පැමිණ වදාළ පසුත්, බුදුසසුන පැවිදි වත් ඒ ද්වේෂය සංසිඳුවාගත නොහැකි ව දරුණු අපරාධයන්ට පත් වූ සැටි දක්නා ලැබේ.

ඒ දෙව්දත් තෙර, සුප්‍රබුද්ධ ශාක්‍ය රජතුමාගේ පුත්‍රයෙකි. බිම්බා බිසොවුන් (යසෝධරා දේවීන්) ගේ සොහොයුරු ය. ගිහි නෑකමෙන් බුදුරජාණන් වහන්සේට මස්සිනා ය. දෙව්දත් තෙර කවදත් ලාභ ලෝභ කැමැත්තෙකි. බුදුකුරුදම් පුරන කල්හි පවා බෝසතුන් සමග වෛර බැඳගෙන ක්‍රෝධ කිරීමට පටන් ගත්තේ ලාභ ලෝභකම් නිසා ම ය. මේ අත්බැව්හි බුදු සසුනේ සම වයස් ඇති අන් කැත් කුමරුන් සමග මහණ විය. බුදුරජාණන් වහන්සේ සියලු කල්හි ම දෙව්දත් හට කෙළේ මෛත්‍රිය ම ය. නමුත් ඔහුගේ ද්වේෂය මෛත්‍රී නමැති ජලයෙන් සෝදා හැරිය නොහැකි විය. ශ්‍රද්ධාවත්හු දිනපතා බුදුරදුන් හා දෑගසවුවන්, අසූ මහ සවුවන් ගරු සැලකිලි දක්වමින් පුදති. දෙව්දත් තෙරුන්ට එසේ කරන කෙනෙක් නැත. තමන්ගේ තත්ත්වය තේරුම් නො ගත් ඒ තෙර ක්‍රෝධයෙන් බැඳී පලිගැනීමට සිතුයේ බුදුරදුන් ගෙන් හා අසූ මහ තෙරුන් ගෙන් ය.

අජාසත් කුමරු පොලඹවාගෙන ඒ කුමරුගේ පියා වූ ද, බුදුරදුන්ගේ මහා දායක වූ ද බිම්බිසාර මහ රජු මරවා රජකම කුමරුට ගැනීමටත්, බුදුරදුන් නසා තමා (දෙව්දත්) බුදු වීමටත් කුමරු සමග ගිවිසගති. මේ ගිවිසුමට ඒ කුමරු බැඳුණේ දෙව්දත් සේ ම දරුණු ළයැති බැවිනි. අජාසත් කුමරු පියරජු මරා රජය ලත් බැවින් එක් අදහසක් ඉටු විය. දෙව්දත්හු බුදු වීම සඳහා බුදුරදුන් නැසීමට වෑයම් කෙරෙත්, උපා යොදත්. අජාසත් රජුගේ නියෝගයෙන් බුදුරදුන් නැසීමට එක් තිසක් පමණ වූ රණසූර සෙබළ මුළක් පවා යැවී. එය සපල නුවූ කල්හි දෙව්දත් තෙර ම ගිජුකුළු පව්වට නැඟී බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළී ය. එයින් නැඟි ගල්පටිකාව (ගල් පතුර)කින් බුදුරදුන්ගේ සිරුරෙහි ලේ සෙල්වීමෙක් විය. එයින් ද තෘප්තියට නො පැමිණ මහ බලැති නාලාගිරි ඇත් රජු පොලඹා එවරත් අදහස ඉටු නො වූ නිසා ද්වේෂය ම බලපවත්වන්නට විය.

මේ කළ හැම දෙයකින් ම ළඟා වූයේ තමන්ගේ පිරිහීම ය. තවත් කළ හැකි දෙයකට පෙනුණේ සඟ පිරිස භේද කිරීම පමණකි. සංඝයා භේද කොට තමාට අවනත පිරිසක් ඇති කරගත් නමුත් ඒ පිරිස දේවදත්ත තෙරුන් හැර දැම්මේ වැඩිකල් නො ගොස් ය. දෙව්දත් තෙර අසරණ වූයේ ය. බුදුරජාණන් වහන්සේ ගෙන් පිළිසරණ සොයන්ට සිතුණේ නව මසක් පමණ බලවත් ව රෝ දුකින් පෙළෙන අතර ය. ලෙඩ ඇඳේ වැතිරගෙන “මට බුදුරදුන් දක්වන්න” ය යි නිතර මුවින් පිට වන්නට විය. ඒ බලවත් කැමැත්ත ඉටු කරනු කැමැති අතවැසි කීප දෙනෙක් දෙව්දත් තෙර ගිලන් ඇඳක හොවා ඔසවාගෙින දෙවුරම් වෙහෙර කරා ගෙන ගිය හ.

දෙවුරමට නුදුරු ව පොකුණ ළඟ ඇඳ තබා ඒ අතවැසිහු පා දෝවනය සඳහා පොකුණට ගිය හ. ඒ අතර දෙව්දත් තෙර නැඟිට දෙවුරම් වෙහෙර බැලීමට බිම පා තැබූ කල්හි පොළොව විවර කරගෙන අවීචි මහා නිරයෙහි පතිත විය. ද්වේෂ සංඥී පුද්ගලයා කවරෙකු හෝ වේ වා ඔහු දෙලොව ම පිරිහෙන්නකි. වහා දුකට පැමිණෙන්නෙකි. ඒ බැව් උසස් ශාක්‍ය රාජකුමාරයෙකු වූ මේ දේවදත්තගේ කතාවෙන් පැහැදිලි වේ. මෙලොව තැවෙමින් පිරිහීමත්, පරලොව නිරය දුකට පත් වීමත් නොවැළැක්විය හැකි ය. ක්‍රෝධයෙන් යුක්ත වීම හා

පලිගැනීමට තැත් කිරීම තරම් අශිෂ්ට ගතියක් නොමැත. එහෙයින් මනුෂ්‍ය සන්තානයෙන් නොඑක් දරුණු ගති පහළ කරන ක්‍රෝධ සිතුවිලිත් පලිගැනීම් වශයෙන් හට ගැනෙන සියලු නින්දිත අදහසුත් දුරු කර ලෑමට නුවණැතියන් තරයේ සිතට ගත යුතුයි.

අවිහිංසා සඥාව

අවිහිංසා සංඥාව නම් සතුන් වෙහෙසීම්, හිරිහැර කිරීම්, මැරීම් යන මෙයින් වැළකෙන හැඟීමයි. එය ඇති වන්නේ අමෝහ චේතනාව මුල් ව ය. සියලු සතුන් කෙරෙහි කුළුණු, මෙත් සිත් උපදවා හිංසායෙන් වැළකීම සඳහා ඇති වන හැඟීම අවිහිංසා සංඥාවයි.

සුඛ කාමාති භූතානි

යෝ දණ්ඩේන න හිංසති

අත්තනෝ සුඛමේසානෝ

පෙච්ච සෝ ලභතේ සුඛං

සිය කයේ හා සිතේ සැප බලාපොරොත්තු වන යමෙකු තමා සේ ම (කය සිත දෙකේ සැප කැමැති) නොඑක් සතුන් අත්පා, ගල්, දඬු, මුගුරු, සැත් ආදියෙන් හිංසාවට (වෙහෙසීමට හෝ මැරීමට) නො පමුණුවන්නේ නම් ඒ තැනැත්තා පරලොව සැප ලබන්නේ ය යි බුදුරජාණන් වහන්සේ වදාළේ ළමා පිරිසකට ය.

සැවැත් නුවර දී ළමා පිරිසක් එක් ව තැති ගැනීම් සහිත ව සතකුට හිංසා පීඩා කෙරෙති. එදා ඒ වේලාවේ දෙවුරම් වෙහෙර සිට බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වඩනා අතරැමඟ දී ළමයින් පිරිසක් එක් ව තැති ගැන්මකින් නො සන්සුන් ව හැසිරෙන බැව් දුට හ. එතැනට වැඩි බුදුරදුන්ට දකින්ට ලැබුණේ සමහර ළමයින් දඬු, මුඟුරු ගත් අත් ඇති ව ද, සමහර ළමයින් ගල්, මුල් ගත් අත් ඇති ව ද සතකුට කරන තැලීම්, පෙළීම්, හිංසා ය.

බුදුරදුන් : ළමයිනි! ඔය මොකෙක් ද?

ළමයි: මහ දැව කළු නයෙක්

බුදුරදුන්: ඔය නයාට දඬු, මුගුරු, ගල්, මුල්වලින් තලන්නේ ඇයි?

ළමයි: අපව කනවා, කෑවොත් විසපත්තු වී මැරෙනවා. ඒ නිසා මේ නයා මරන්ට ඕනෑ

බුදුරදුන්: ළමයිනි! ගෙවලට යන්න. නයාට නො තලන්න. ඔය ළමයින් නො කා නයා කැළයට යා වි

ළමයි බුදුරජාණන් වහන්සේ දෙස ඇස් හෙළා බැලූ හ.

බුදුරදුන්: ළමයිනි! නුඹලාගේ ඇඟට අතින්, පයින් හෝ දඬු, මුඟුරු, ගල්, මුල්වලින් හෝ ගසා පෙළා තලනවාට, වේදනා ඇති කරනවාට නුඹලා කැමැති ද?

ළමයි: නෑ, නෑ, අප කැමැති නෑ

බුදුරදුන්: ඒ ඇයි?

ළමයි: අපට දුක් වේදනා ඇති වන නිසා කැමැති නෑ

බුදුරදුන්: නුඹලා දුක් විඳින්න කැමැති නෑ. එසේ ම මේ සතාත් දුකට කැමැති නෑ. හිරිහැර වේදනා විඳින්ට කොහෙත් ම කැමැති නෑ. නුඹලා සේ ම සියලු සතුන්ගේ බලාපොරොත්තුව ශරීරයට තැලීම්, පෙළීම් ආදියෙන් කරදරයක්, හිරිහැරයක්, වේදනාවක් නැති ව සැප විඳින්නයි. එහෙයින් තමන් සේ ම අන් සතුනටත් සැප සැලසීම මිනිසුනට අයිති උතුම් ගතියයි. සත්පුරුෂකමයි.

බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදය මුදුනෙන් පිළිගත් ළමෝ සන්සුන් වූ හ. සත්ත්ව හිංසාවෙන් දිවිතෙක්ම වැළකුණ හ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *