අපේ ගමේ වෙසක් පොහොය

cmadurawala
5 Min Read

සුජාතා සුමනසේකර ප්‍රාථමික පුහුණු ගුරු

වෙසක් පොහො එළැඹී තිබෙනවා. අපේ මිදුලේ අඹ ගස යට සිටින විට අඹ අතුවල එතී ඇති වෙසක්, මල් පඳුරුවල මල් පිපිලා… පොරි වගේ සුළඟට වැනෙනවා. ඒ මල් දුටු මගේ සිත මගේ පුංචි කාලෙට පාවෙලා ගියා අවුරුදු 50ක ඈත අතීතෙට.

මේ වගේම වෙසක් පොහොයට සතියකට කලින් උදෙන්ම අවදි වුණු තාත්තා “ඉස්කෝලෙ හාමිනේ, අද නේද පාර පිරිසිදු කරන ශ්‍රමදානේ?” කියා ඇසුවා. “ඔව්, ඔව්, අපේ මහත්තයා. අපි සංග්‍රහයක් ලෑස්ති කරමු නේද?” අම්මා පිළිතුරු දුන්නා. “කිරිබත් ටිකක් හදලා… කෝපි ටිකක් දෙමු” තාත්තා කිව්වා. අම්මා සංග්‍රහයට සූදානම් වෙන්න පටන් ගත්තා. ලිලි අක්කා උදව් කළා. කිරිබත් කන්න ලිලි අක්කා ලුණු මිරිස් කොටලා, ඒක තෙල් දානවා. එතකොට හරිම රසයි. සුවඳයි. තාමත් මට ඒ සුවඳ හා රස දැනෙනවා වගෙයි.

ඒ කාලේ වෙසක් පොහොයට සතියකට පෙර පාරවල් පිරිසිදු කරන්න පටන් ගන්නවා. ගමේ හැමෝම හරිම සමගියෙන් තමයි මේ වැඩ කළේ. හැම දෙනාම එක පවුලක අය වගේ බැඳීමෙන් කටයුතු කළා. දැන් වගේ ඉඩම් වටේට තාප්ප, වැටවල් ඒකාලේ තිබුණේ නැහැ. එක ගෙදරකින් තව ගෙදරකට ගියේ ඉඩම් මැද හදාගත් අඩි පාරක් දිගේ තමයි. ගම පුරාම ගස් වැල් පිරිලා පලතුරු හැදිලා පොඩි කැලෑවක් වගෙයි.

දවල් වෙනකොට අහල පහළ ගෙවල්වල ඉන්න සිරිපාල මාමා, සිරිසේන මාමා, නිමල් අයියා, නිහාල් අයියා ආදී මෙකී නොකී සියලු දෙනා එකතුවෙලා හරිම සමගියෙන් පාර එළිපෙහෙළි කළා. අපේ තාත්තා හැමෝටම ඇහෙන්න කිව්වේ “මඝ මානවක” කතාව. පාරවල් පිරිසිදු කරපු මඝ මානවක නම් තරුණයා මරණින් පසු දෙදෙව්ලොවට අධිපති සක් දෙවියන් ලෙස ඉපදුණු හැටි තමයි ඒ කතාවෙන් කියවුණේ. කවුරුත් මහන්සි නිවාගන්න කිරිබත් කාලා, කෝපි බීලා ආයෙත් වැඩ පටන් ගත්තා. පාර පිරිසිදු කරලා, කුණු එකතු කළාම සිතට දැනුණේ හරිම සැනසිලිදායක සතුටක් කියලා මට දැන් සිතෙනවා.

පසුදින කවුරුත් අපේ ගෙදරට එකතුවෙලා පාර දිගට පහන් වැටක් හදන්න වුණා නම් හොඳයි නේද? කියා යෝජනා කළා. කිහිප දෙනෙක් එකතුවෙලා පැටව් යෙදූ පහන් කූඩුවක් හදන බවත් කිව්වා. තරුණ කැළ එකතුවෙලා බෙලි මල් දන්සලක් දෙන බවත් තවත් පිරිසක් පන්සල් යන පින්වතුන්ට පූජාවට මල් දන්සලක් ද දීමට කතා වුණා. මල් දන්සලට මල් දුන්නේ කැන්දකොළ ගොට්ටකටයි.

ජේන් නැන්දා කිව්වා කුසුමක්කා හා පේමක්කා සමග බල්ලන්ට කරවල කටු දමා බත් සාදා දෙන බව.

වෙසක් පොහොය යෙදෙන වෙසක් සතිය පුරාම ඒ කාලේ ගම්මුන් පිළී ආහාර ගත්තේ නෑ. ඔවුන් එළවළුත් සමග තමයි බත් කෑවෙ. වෙසක් පොහොයට දිනකට කලින් තාත්තා උදෙන්ම අටුවට නැග්ගා. පරිස්සමට තබන දේවල් මෙන්ම වී, කුරහන්, තල ආදියත් ගබඩා කළේ අටුවේම තමයි. හොඳට ආවරණය කර තිබූ එළිය පෙට්ටි පහළට ගෙනාවා. ළිඳ ළඟට ගොස් ඒවා සෝදා අඩුපාඩු සකස් කළා. තාත්තා එළිය පෙට්ටි රත්‍රන් බඩුවක් වගේ පරිස්සම් කළා. එළිය පෙට්ටි වේලුණු පසු සත් සතියට අයිති කොළ අලවනවා. ඒ කාලේ දැන් වගේ එළිය දෙන්න විදුලි බුබුළු තිබුණේ නැහැ. ඉටිපන්දම් පත්තු කරලයි එළිය කළේ. ලිලි අක්කා මාවත් අඬගසාගෙන ගොස් පහන් තැටි සෝදනවා. “මේවා සේදුවේ නැත්නම් තෙල් බී ගන්නවා.” ඇය මට කියනවා “තෙල් වැඩිපුර වියදම් වෙනවා.” මට ඒක තේරුණේ පස්සෙ කාලෙක තමයි. ඒ කියලා තියෙන්නේ වියළි ගතියෙන් යුතු පහන්වලට වැඩිපුර තෙල් උරා ගන්නා බවයි.

තාත්තා අම්මාට කියලා පාප්ප හදවගෙන මාවත් ළං කරගෙන තමයි එළිය පෙට්ටි ඇලෙව්වේ. ලස්සනට පාට කරපු පින්තූරවල පළමු සතිය ‘බෝමැඬ’, දෙවන සතිය “අනිමිස ලෝචන පූජාව” ලෙස සති හතට ලස්සන පින්තූර හතක් තිබුණා. ඒවා පෙට්ටියේ ඉදිරිපසට අලවා රැලි කපා, රැලි අලවනවා. ඉදිරිපස බිත්තියේ පිළිවෙළින් ඒවා එල්ලා පත්තු කරනවා. මට ඒවා පෙනුණේ කුඩා ගෙවල් වගෙයි.

වෙසක් දිනට පෙර දින කවුරුත් එකතු වෙලා වෙසක් පහන් වැට හදනවා. කෙසෙල් කොටවලට ඉරටු රවුම් කර ගසා ඒ මත පහන් තැටි තබනවා. වෙලේ ඇළ අයිනේ ඇති කදුරු ගස්වලින් කලින්ම ඔය පහන් තැටි ආකාරයේ කදුරු පලු සොයා ගන්නවා. ඒවාට තෙල් දාලා පත්තු කරනවා. වෙසක් පොහොය දා රෑට පාර පුරාම හරිම එළියයි. පොහොය දා පාන්දරම අම්මා සිල් සමාදන් වෙන්නට පන්සලට යනවා. ඒකාලේ දැන් වගේ නෙවෙයි, සිල් ගන්න යන උපාසක උපාසිකාවෝ එන්නේ පහුවදා උදේටයි.

රෑ මැදියම වන තුරු නොයෙක් වැඩසටහන්, බණ කතා ආදිය කියා දෙනවා. සිල් ගත් උපාසක ඇත්තන්ට බොහෝ අය තේ, කෝපි ආදී ගිලන්පස වර්ග රාත්‍රියට පූජා කරනවා.

වෙසක් පොහොය දිනට උදේ දහය වන විට ගමේ හැම ගෙදරකින්ම බුද්ධ පූජාව රැගෙන පන්සල් යනවා. ඒවා බුදු මැඳුරට ගොස් පූජා කරනවා. බුද්ධ පූජා බඳුන්වලින් බුදු ගෙය පිරී යනවා. පූජාව අවසානයේ තමන්ගේ පූජා බඳුන සෙවීම හරිම අසීරු කරුණක්. හැමෝම මේ බඳුන් සොයන නොසන්සුන් ආකාරය, බුදුහාමුදුරුවන් වහන්සේ මහා කරුණාවෙන් බලා ඉන්නවා වගෙයි මම දැක්කේ. ඉස්සර හැමෝම වෙසක් බලන්න රෑට යනවා. ඒ ඇවිදගෙන තමයි ගියේ. වාහන තිබුණේ නැහැ. සැතපුම් දහයක් දොළහක් වගේ ඇවිදල වෙසක් බලා සතුටු වෙනවා. පාර පුරා ලෙළදෙන බෞද්ධ කොඩි වැල් සිත නිවාලන්න වගේ පවනේ සැලුණා.

ඉතින් ඒ අතීත වෙසක් සිරි මතක් වනවිට අදත් මගේ සිත නිවී යනවා. පින් සිතිවිලිවලින් පිරී යනවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *