පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි
(පෙර පළ වූ ලිපි පෙළ හා සම්බන්ධයි)
ඵස්සය
පසුගිය ලිපියෙහි වේදනාව පිළිබඳව සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ වේදනාව හට ගැනීමට හේතු ප්‍රත්‍ය වන ඵස්සය පිළිබඳවයි. ඵස්ස යන පාලි වචනයෙහි තේරුම ස්පර්ශය යන්නයි. ස්පර්ශය යනු කරුණු තුනක එකතුවකි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන හයත් රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම යන බාහිර ආයතන හය සහ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන විඤ්ඤාණ කාය හය යන තුනෙහි එකතුවයි. (තිණ්ණං සංගති ඵස්සෝ) ඒ අනුව ස්පර්ශ කාය හයකි. ඇසත් රූපයත් චක්ඛු විඤ්ඤාණයත් යන තුනෙහි එකතුව චක්ඛු සම්ඵස්සයයි. කනත් ශබ්දයත් සෝත විඤ්ඤාණයත් යන තුනෙහි එකතුව සෝත සම්ඵස්සයයි. නාසයත් ගන්ධයත් ඝාණ විඤ්ඤාණයත් යන තුනෙහි එකතුව ඝාණ සම්ඵස්සයයි. දිවත් රසත් ජිව්හා විඤ්ඤාණයත් යන තුනෙහි එකතුව ජිව්හා සම්ඵස්සයයි. කයත් පහසත් කාය විඤ්ඤාණයත් යන තුනෙහි එකතුව කාය සම්ඵස්සයයි. මනසත් අරමුණුත් මනෝ විඥානයත් යන තුනෙහි එකතුව මනෝ සම්ඵස්සයයි.
ඒ අනුව අනිත්‍ය වූ ඇසකින් අනිත්‍ය වූ රූපයකින් අනිත්‍ය වූ චක්ඛු විඤ්ඤාණයකින් හටගන්නා වූ චක්ඛුසංස්පර්ශයද අනිත්‍ය වූවක් ම බව අවබෝධ කොටගෙන ස්පර්ශය නිසා හට ගන්නා වූ සැප හෝ දුක් හෝ ඒ දෙකෙන් ම තොර උපේක්ෂා වේදනාවෙහි හෝ ප්‍රපංචකරණයෙහි නො යෙදිය යුතු ය. සෙසු ඉන්ද්‍රියන් හා සම්බන්ධයෙන් හටගන්නා ස්පර්ශය පිළිබඳව ද එසේ ම සැලකිය යුතු ය.
භාග්‍යවතුන් වහන්සේ “ඵස්ස” සූත්‍ර දේශනාවේ දී වදාරා ඇත්තේ ඇසෙහි ස්පර්ශයත්, කනෙහි ස්පර්ශයත්, නාසයෙහි ස්පර්ශයත්, දිවෙහි ස්පර්ශයත්, ශරීරයෙහි ස්පර්ශයත් අනිත්‍යය, විපරිණාමීය හා අන්‍යතාභාවීය වශයෙන් විශ්වාස කරන්නා සද්ධානුසාරී වන බවත් ඔහු නිවන් මඟට බැස ගෙන ඇති බවත් සත්පුරුෂ භූමියෙහි සිටින්නකු බවත් පෘථග්ජන භූමිය ඉක්මවූවකු බවත්, යම් පවක් කොට සත්ත්වයා අපාය ගාමී වෙයි ද හෙතෙම එබඳු පාපයක් නො කරන්නකු බවත් ඒ තැනැත්තා සෝවාන් වී මිස මිය පරලොව නො යන බවත් ය. ඒ කාරණය ම ප්‍රඥාවෙන් ප්‍රමාණවත් පරිදි අවබෝධ කරගන්නා තැනැත්තා පෘථග්ජන භූමිය ඉක්මවා ගිය සත්පුරුෂ භූමියෙහි සිටින ධම්මානුසාරී උතුමෙකු බවත් වදාළ හ. යම් කෙනෙක් එකී ධර්මය එසේ අවබෝධ කරගන්නවා නම් එසේ දකිනවා නම් ඒ උතුමන්ට කියන්නේ සෝවාන් උත්තමයා කියා ය. ඒ උතුමා අපායට නො යන සම්බෝධිය ම නියත කොට ඇත්තෙකි.
ස්පර්ශයෙන් වැළකී සිටීමට කිසිවකුට නොහැකි හේතුව ඉන්ද්‍රිය නො බිඳී පවතින නිසා ය. භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශය උපමා කර දක්වන්නේ හම ගැසූ එළදෙනක ලෙසට ය. හම ගැසූ එළදෙන කොතනකට ගියත් අනිත් සතුන් ගෙන් පීඩා ලබන්නේ ම ය. එයින් මිදී සිටිය නොහැකි ය. එසේම කෙනෙකුට ස්පර්ශයෙන් මිදී සිටීමට නොහැකි ය. එහෙත් ස්පර්ශයෙන් ලැබෙන වේදනාවට නො ඇලී නො ගැටී නො මුළා ව සිටිය හැකි ය. ඒ තුළයි ජාති නිරෝධය කළ හැක්කේ.
සුතවත් ආර්ය ශ්‍රාවකයා චක්ඛු සම්ඵස්සයත්, සෝත සම්ඵස්සයත්, ඝාණ සම්ඵස්සයත්, ජිව්හා සම්ඵස්සයත්, කාය සම්ඵස්සයත්, මනෝ සම්ඵස්සයත් අනිත්‍ය වශයෙන් ද, දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද දැක ඒ කෙරෙහි කලකිරේ. (නිබ්බින්දති) කලකිරුණේ නො ඇලෙයි. (විරජ්ජති) නො ඇලුණේ සසරින් මිදෙයි. (විමුච්චති) සසරින් මිදුනේ මිදුණු බව දැන ගනියි. (විමුත්තමිති ඤාණං හොති) කළ යුතු දෙය කර අවසන් වූයේ වෙයි. (කතං කරණීයං) නැවත උපතකට නොයයි (නාපරං ඉත්ථත්තාය)