සුප්පාවාසා කෝලියධිතු උපාසිකාව

rashi
By rashi
10 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්

සිතින්, කයින්, වචනයෙන්, අප වර්තමානයේ කරන ක්‍රියාවන් අපගේ අනාගතය තීරණය කරයි. අපගේ සිතට පැමිණෙන සිතුවිලි, හා ඒ මත පදනම් වූ වාචසික හා කායික ක්‍රියාවන් අපව සුගතිය හා නිවන වෙත මෙන්ම දුගතියටද යොමු කළ හැකිය. එමනිසා බුදුරජාණන්වහන්සේ, තමන්ගේ දෙමාපිය ඥාතීනට ද වඩා, අපට යහපත කිරීමට හෝ, අපගේ සතුරන්ටද වඩා අපට අයහපත කිරීමට හෝ අපගේ සිතට හැකි බව ප්‍රකාශ කළ සේක (චිත්තවග්ගය, ධම්මපද ඛුද්ධක නිකාය). අප කරන ක්‍රියාවන්හි ධාර්මික හා අධාර්මික බව අපගේ සසර ගමනේදී කෙසේ බලපාන්නේ ද යන්න වටහා ගැනීමට සුප්පාවාසා කෝලියධිතු උපාසිකාවගේ චරිත කථාව උපකාර වේ.

සුප්පාවාසා කෝලියධිතු උපාසිකාව ගෞතම බුදු සසුනෙහි අගතනතුරක් දරන උපාසිකාවකි. එතුමිය රසවත් දේ දෙන උපාසිකාවන් අතරින් අග තනතුර දරන්නීය. සුප්පාවාසාව යනු බුදුරජාණන්වහන්සේ පළමුව හමුවූ අවස්ථාවෙහිදී ම දහම් අසා සොවාන් පලයට පත්වූ උපාසිකාවකි. එසේම ගෞතම බුදු සසුනෙහි ලාභයන් අතර අග තනතුර දරන සීවලී මහා රහතන්වහන්සේගේ මෑණියන්වහන්සේ ද වන්නීය. සීවලී මහා රහතන්වහන්සේ මෙන්ම සුප්පාවාසාවද, මෙම තනතුරු ප්‍රර්ථනා කරන්නේ පියුමතරා බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි එම තනතුරු ලබාදෙනු දැකීමෙනි (මනෝරථපූරණි, සීවලීථෙර වස්තුව හා සුප්පාවාසා වස්තුව).

රසවත් දේ දෙන උපාසිකාවන් අතරින් අග තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් කල්ප ලක්ෂයක් තිස්සේ දෙව් මිනිස් ලොව සැරිසරණ අතරතුර සුප්පාවාසාව එක් භවයක බරණැස් නුවර ඉපිද කසී රජුගේ අගමෙහෙසිය බවට පත්වූවාය. එකල කොසොල් රජ, බරණැස් රජු මරා නුවර අල්ලාගෙන කසී රජුගේ අගමෙහෙසියව සිය අගමෙහෙසිය කර ගත්තේය. එවිට ඔහුගේ පුත්‍රයා රහස් දොරටුවෙන් පලාගොස් සිය නෑ හිත මිතුරන් එකතුකරගෙන, බලසේනා රැස්කරගෙන බරණැසට නුදුරෙහි කඳවුරු බැඳ, රජය දීම හෝ යුද්ධයට ඒම, යන දෙකෙන් එකක් කරන ලෙසට හසුන් පත් යැවීය. ඒ පිළිබඳව ඇසූ රජ කුමරුගේ මව, යුද්ධයෙන් වැඩක් නැති බවත්, සියළු දිසාවන්ගෙන් නුවර වට කර දර, දිය, ආහාර, නැතිවීමෙන් කළාන්තවන නුවර වැසියන්ව යුද්ධයෙන් තොරව අල්ලා ගන්නා ලෙසත්, දන්වා කුමරුන්ට හසුනක් යැවීය. කුමරුද, මවගේ උපදෙස් පරදි, වසර සතක් නුවර වටකරගෙන මහා වාසල් දොරටු රැකගෙන සිටියේය. නුවරුන් කුඩා දොරටුවලින් සිය අවශ්‍යතා සම්පූර්ණ කර ගත්හ. එය දැනගත් මව් බිසව, සිය පුතා උපායන් නොදන්නා බව සිතා, කුඩා දොරටුත් මුර කරන ලෙස උපදෙස් දී රහසින් හසුනක් යැව්වාය. කුමරුන් ද මෑණියන්ගේ උපදෙස් අනුව ක්‍රියා කලේය. පීඩාවට පත් වැසියෝ රජුගේ හිස කපා කුමරුන්ට දුන්හ. කුමරුන් නුවරට පිවිස රාජ්‍යය භාර ගත්තේය. එහෙත් නගර වැසියන් පීඩාවට පත් කිරීමෙහි කර්ම විපාකය ලෙස අවසන් භවය දක්වාම මව් පුතු දෙදනම නොයෙක් කළ පීඩා වින්දහ (සීවලීථෙරාපදානය, භද්දීය වග්ගය, අපදානපාලි, ඛුද්ධක නිකාය හා සුප්පාවාසා සුත්‍ර වර්ණනාව, උදාන අට්ඨකථා)

අනතුරුව කුසල් සම්පූර්ණ කර, අප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කෝලීය නුවර ක්‍ෂත්‍රිය කුලගෙයක සුප්පාවාසා යන නමින් උපත ලැබුවාය. වියපත් වූ සුප්පාවාසාව, ශාක්‍ය කුමරුවෙක් හා විවාහ පත් වූවාය (මනෝරථපූරණි, සුප්පාවාසා වස්තුව). පෙර බරණැස් රජුගේ අගමෙහෙසිය වූ සමයෙහි සිය පුතු වූ කුමරා සුප්පාවාසාවගේ කුසෙහි පිළිසිද ගත්තේය. පෙර බරණැස් නුවර රජුව කළ කර්මයෙහි විපාකයක් ලෙස දරුවාත්, කුමරුට උපදෙස් දීමෙහි කර්මය නිසා සුප්පාවාසාවත්, යන දෙදනාම පීඩාවට පත් කරමින්, වසර සතකුත් දින හතක් යන තුරු දරුවා බිහි නොවීය. පිළිසිද ගෙන වසර හත අවසන දරුගැබ හැරුණ මුත් දින හතක් යන තුරු ප්‍රසූතිය සිදු නොවීය. වසර හතක් නුවර වසා සිටීම නිසා ලොකුබු නිරය වැනි වූ මව් කුසෙහිත්, කුඩා දොරටු පවා වසා තැබීම හේතුවෙන් විළිරුදාවෙන් දින හතකුත්, ගත කිරීමට මෙම දරුවාට සිදුවිය. එම මුළු කාලයම සුප්පාවාසාව දරුවා කුස තුළ දරාගෙන සිටීමෙන් පීඩා වින්දාය. (සීවලීථෙරාපදානය, භද්දිය වග්ගය, අපදානපාලි, ඛුද්ධක නිකාය හා සුප්පාවාසා සුත්‍ර වර්ණනාව, උදාන අට්ඨකථා)

සුප්පාවාසාව සිය කුස තුළ හරස් අතට හැරී එහෙත් දරුවා බිහි නොවී සිටීම නිසා විදි අධික වේදනාව, පහත දැක්වෙන ත්‍රිවිධ විතර්කයන් සිහිකරමින් විද දරාගත්තාය.

“යම් කෙනෙක් මෙබඳු දුක් නැති කිරීමට ධර්මය දේශනා කරන සේක් ද, ඒ භාග්‍යවතුන්වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධය. යම් කෙනෙක් මෙබදු දුක් නැති කිරීමට පිළිපන්නේ ද, ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් මනාව පිළිපන්නේය. යම් නිවනක මෙබදු වූ දුකක් නොමැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය ය.”

දරාගැනීමට ඉතා අපහසු තත්වයක පවතිද්දී පවා එම වේදනාව සමනය කර ගැනීමට තෙරුවන් ගුණ සිහිකිරීම අපට උපකාර කරයි. අපට පීඩා පැමිණෙද්දී මේ අප පෙර කළ අකුසලයන්ගේ විපාකයයයි සිතමින් උකටලී වනවාට වඩා, තෙරුවන්ගේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් එවා පසුකරයාමට මෙන්ම එවැනි පීඩාවන්ගේ බලපෑම අවම කර ගැනීමට වඩ වඩා කුසලයට යොමුවීම සුප්පාවාසා උපාසිකාව අපට දෙන එක් ආදර්ශයකි. මෙසේ සත් දිනක් මෙසේ වේදනාව දරාගත් සුප්පාවාසාව සිය සැමියා අමතා බුදුරජාණන්වහන්සේ මුණගැසීමට යන ලෙසත්, තමාගේ නාමයෙන් උන්වහන්සේගේ පා වැද සුප්පාවාසාව උන්වහන්සේගේ සුව දුක් විමසන බවත්, ඇය සත්වසක්, දරුගැබ දරන බවත්, ගැබ හරස් අතට වැටී දින හතක් තිස්සේ පීඩා විදින බවත්, එම වේදනාව තුන් විතර්ක සිහි කරමින් ඉවසන බවත්, පවසන ලෙස ඉල්ලා සිටියාය.

සුප්පාවාසාගේ කීම පිළිගත් ඇයගේ ස්වාමියා බුදුරජාණන්වහන්සේ හමුව සුප්පාවාසාවගේ පණිවිඩය දැනුම් දුන්නේය. සුප්පාවාසාවගේ සැමියා වූ කොලිය පුත්‍රයාගෙන් පණිවිඩය ඇසූ බුදුරජාණන්වහන්සේ “සුප්පාවාසා කොලිය දුවණිය රෝග නැති සුව ඇත්තියක වේවා. නිරෝගී පුතකු වදාවා“ යි වදාළ සේක. බුදුරජාණන්වහන්සේගේ එම ප්‍රකාශය සමඟම සුවපත් වූ සුප්පාවාසාව, නිරොගී පුතකු බිහි කළාය. බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය පිළිගත් කොලිය පුත්‍රයන්, බුදුරජාණන්වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කර සිය නිවසට ගිය විට සිය බිරිද සුවපත්ව නිරෝගී පුතකු බිහිකර ඇති බව දැක බුදුරජාණන්වහන්සේගේ ආනුභාවය පිළිබඳව සතුටට පත් විය.

සිය සැමියා ඇමතූ සුප්පාවාසාව බුදුරජාණන්වහන්සේ මුණගැසීමට යන ලෙසත්, සුප්පාවාසාව හිස නමා බුදුරජාණන්වහන්සේ වදින බවත්, ඇය සුවපත්ව සත්වසක්, හා සත් දිනක් කුස දරා සිටි දරුවා නිරෝගීව බිහිකළ බවත්, සත් දිනක් බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයට ආරාධනා කරන බවත්, පවසන ලෙස පැවසූවාය. සුප්පාවාසාගේ කීම පිළිගත් ඇයගේ ස්වාමියා බුදුරජාණන්වහන්සේ හමුව සුප්පාවාසාවගේ පණිවිඩය දැනුම් දී එම ආරාධනය පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

එම අවස්ථාව වන විට මුගලන් මහා රහතන්වහන්සේගේ උපස්ථායකයකු වූ උපාසකයකුගේ දානයක් පසු දිනට යෙදී තිබිණි. එමනිසා බුදුරජාණන්වහන්සේ සුප්පාවාසා උපාසිකාවගේ හත්දින දානයට හේතුව දන්වා දානය දෙන දිනය වෙනස් කර ගැනීම, හා එම උපාසකගේ දානයට වෙනත් දිනයක වැඩීමට එකඟ කර ගැනීම, මුගලන් මහා රහතන්වහන්සේට භාර දුන් සේක. එම උපාසකයා ද ජීවිතය, භෝගය, හා ශ්‍රද්ධා කරුණු තුන විෂයෙහි මුගලන් තෙරුන්වහන්සේ ඇප වන්නේ නම් තමා දානයෙහි දිනය වෙනස් කිරීමට එකඟ වන බව පැවැසුවේය. එවිට මුගලන් මහා රහතන්වහන්සේ ජීවිතය, භෝගය, යන කරුණු දෙක විෂයෙහි තමාට ඇප විය හැකි බවත්, ශ්‍රද්ධාව විෂයෙහි උපාසකයාම ඇප විය යුතු බවත්, පැවසීය. එවිට උපාසකයා ජීවිතය, භෝගය, මුගලන් කෙරුන්වහන්සේ ඇප වන්නේ නම් තමා ගත් දිනය සුප්පාවාසාට දී පසු දිනයක් ගැනීමට උපාසකයා එකඟ විය. මුගලන් මහා රහතන්වහන්සේ උපාසකයාගේ එකඟතාව බුදුරජාණන්වහන්සේට දැනුම් දුන් සේක (සුප්පාවාසා සුත්‍රය, මුචලින්ද වග්ගය, උදාන පාලි, ඛුද්ධක නිකාය). දානයක් සඳහා ලබාදුන් දිනයක් බුදුරජාණන්වහන්සේ ලෙහෙසියෙන් වෙනස් නොකළ සේක. නගරශොභනියක වූ අම්බපාලියගේ දානයට වූ ආරාධනය පිළිගත් බුදුරජාණන්වහන්සේ ඉන්පසු දානයට ආරාධනා කළ, එරට රජ වූ වජ්ජි රජදරුවනගේ ආරාධනය පවා භාරගැනීම ප්‍රතික්ෂේප කළ සේක. (මහාපරිනිබ්බාන සූත්‍රය, මහාවග්ගපාලි, දීඝ නිකාය). එහෙත් එම සම්ප්‍රදායෙන් වෙනස් වෙමින්, මෙලෙසින් භාරගත් උපාසක දානයක් වෙනස් කර සුප්පාවාසාවගේ සත්දින දානයට ඉඩහසර සළසා දීමට තරම් සුප්පාවාසාව හා එතුමියගේ පුතුණුවන් වූ සීවලී කුමරුන් කෙතරම් කුසල් රැස් කර තිබුනේද යන්න පැහැදිලි කරයි. අප කළ අකුසලයන් අප පීඩාවට පත් කරන්නාසේ ම කරන කුසලයන් අපව නිවනට යොමු කරන බව සුප්පාවාසාවගේ කථා පුවත අපට පැහැදිලි කර දෙයි.

සත්දිනක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ප්‍රනීත දානයක් සියතින්ම දන් දී දරුවා ලවා බුදුරජාණන්වහන්සේ හා සංඝයාවහන්සේ වැන්දවූවාය. එවිට සැරියුත් මහා රහතන්වහන්සේ සීවලී කුමරුන්ගෙන්, කිමෙක්ද දරුව ඉවසිය හැකිද? යැපිය හැකිද? කිසි දුකක් නැත්දැයි, විමසූ සේක. එවිට සීවලී කුමරුන් ද “ස්වාමිනී මට ඉවසීමක් කොයින් ද, යැපීමක් කොයින් ද, සත්වසක් ලෝ දීය සැලියෙහි විසුවෙමි ” යි පැවසූවේය. සුපාපාවාසාව මෙසේ සිය පුතුණුවන් ධර්ම සේනාධිපති වූ සැරියුත් මහා රහතන්වහන්සේ සමඟ කථා කරන බව දැක සතුටට පත් වූවාය. මෙසේ සතුටට පත් වූ සුප්පාවාසාව දුටු බුදුරජාණන්වහන්සේ,

“සුප්පාවාසාව ඔබ තවත් මෙබඳු පුතකු කැමති වන්නේ ද?” යි විමසූ සේක. “ස්වාමිනී මම මෙබඳු පුතුන් සත් දෙනකු කැමති වන්නෙමි”යි, එයට පිළිතුරු දෙමින් සුප්පාවාසාව පැවසුවාය (සුප්පාවාසා සුත්‍රය, මුචලින්ද වග්ගය, උදාන පාලි, ඛුද්ධක නිකාය). පින්වත් දරුවන් ලබන්නට ශ්‍රද්ධාවත් උපාසකයන් තුළ පවතින කැමැත්ත සොවාන් පල ලාභි සුපාපාවාසාව තුළ පවා පැවති බව මෙම සිදුවීම පැහැදිලි කරයි. මෙලෙස සසුනට වැඩැති පින්වත් දරුවන් හැදීම ධාර්මික උපාසක උපාසිකාවන් ශ්‍රද්ධාවෙන්ම කළ යුතු කාර්යයකි.

සුප්පාවාසාව විසූ සජ්ජනේල නම් කොලීය නියම් ගමට වැඩි බුදුරජාණන්වහන්සේ එතුමියගේ නිවසට දානය පිණිස වැඩි අවස්ථාවක, රසවත් දේ දෙන උපාසිකාවන් අතරින් අග තනතුර දරන සුප්පාවාසාවට භෝජනයන් දීමෙහි ආනිසංසයන් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ සේක. එනම් භොජණය දෙන ආර්ය ශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයාට ආයුෂය, බලය, සැපය හා වර්ණය, ලබා දෙන බවත්, එම කුසලය හේතුවෙන් දෙවියන් හෝ මනුශ්‍යයන් අතර ආයුෂයට, බලයට, සැපයට හා වර්ණයට, කොටස් කාරයන් වන බවත් ප්‍රකාශ කළ සේක. එය තව දුරටත් පැහැදිලි කළ බුදුරජාණන්වහන්සේ,

“පිරිසිදු වූ, ප්‍රනීත වූ, රසයෙන් යුක්ත වූ, මනාව සකස් කළ භෝජනය යම් තැනැත්තියක්, දෙයිද, චරණ ධර්මවලින් මහත්වයට පැමිණි, සෘජුව ගියවුන් (රහතන්වහන්සේ) කෙරෙහි ඒ දක්ෂිණාව දුන්නේද, පිනෙන් පින සසදන මෙබදු දානය සිහිකරමින්, මෙලොව වෙසෙත්ද, එම තැනැත්තිය, මසුරු මල සංසිඳුවා නින්දා රහිත සුගතියට පැමිණේ,” යි ප්‍රකාශ කළ (සුප්පාවාසා සුත්‍රය, පුඤ්ඤාභිසනන්ද වග්ගය, චතුත්කනිපාතපාලි, අංගුත්තර නිකාය).

මේ අනුව තමන් ලබා දෙන භෝජන දානය, පිරිසිදු ව, ප්‍රනීත ව, රසයෙන් යුක්ත වූ, මනාව සකස් කර ප්‍රිය උපදවන ලෙස ලබාදීම මෙන්ම එය සිල්වත් ප්‍රඥවත් උතුමන්ට ලබාදීම යන කරුණු මෙන්ම තමා කළ කුසලය නිතර නිතර මෙනෙහි කිරීම ද සිදු කළ යුතු බව පැහැදිලි වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *