දුදනන් සහ සුදනන් කෙරෙහි ගැටෙන හැටි

rashi
By rashi
9 Min Read

පුහුදුන් කාටත් ද්වේෂය ආගන්තුක මනෝභාවයක් නො වේ. සමහරු නිතර කිපෙති. ඉවසන දනා ඉඳහිට කිපෙති. බැලු බැලු අත සිත පෙළනසුලු නිමිති පෙනෙද්දී එතෙක් ඉවසූ අයත් කිපෙති. ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයකට මැදි වීමෙන් රට ම කිපුණු සමයකි මේ.

ද්වේෂය ගින්නකි. එය උපන් සන්තානයත් බාහිර සමාජයත් යන දෙක ම දවයි. එගිනි නිවන මඟ සෙවීමට කරන උපකාරයක් වශයෙන් මෙම ලිපි පෙළ පළ කෙරේ. ලිපි පෙළ උපුටාගෙන පළ කිරීමට අවසර දුන් පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේට අපේ නමස්කාරපූර්වක පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමු.

පොකුණුවිට
ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය
ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

ඔබටත් පුළුවන් ද?

අපට මේ සමාජයේ කායික ව – වාචසික ව – මානසික ව යන ආකාර තුනෙන් ම විෂමාචාර පැවතුම් පමණක් තියෙන පුද්ගලයන් ඕනෑ තරම් හමු වෙනවා. අපේ කිරිඔරුවේ ධම්මානන්ද නායක හාමුදුරුවො, ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගේ කොතෙකුත් අඩුපාඩු තිබුණත් අනුකම්පා කරනවා. මේ මෑතක දිත් එවන් සිදුවීමක් සම්බන්ධ ව උන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා: ‘එතැන දී මට ඕන නම් තිබුණා සම්පූර්‍ණයෙන් ම ඒ මනුෂ්‍යයා ප්‍රතික්‍ෂේප කරන්න. නමුත් මම එතැන දී කල්පනා කළේ, මම ප්‍රතික්‍ෂේප කළොත් ඔහු නැසෙනවා. ඔහු විනාශ වෙනවා. ඔහු නැවත අකුසලයට බර වෙනවා. ඔහු නැවත පාප ධර්‍මවලට යොමු වෙනවා. ඔහු නැවත දරුණු වෙනවා. ඒ නිසා ඔහුට එවන් අභාග්‍යයක් උදා නො වේ වා! මට ඇති වුණු මානසික පීඩාව මම යටපත් කරගන්නවා. ඔහුට එවන් තත්ත්වයක් නො වේ වා කියන අදහසින්, ඔහුට ද්වේෂ කරලා ඈත් කරන්නේ නැති ව ඔහුට මගේ ඇසුර තව දුරටත් ලබා දෙන්නට ඕනෑ කියලා ඔහු රඳවාගත්තා.’ ඒ බව තේරුම්ගත් ඒ පුද්ගලයාත් යහපත් තත්ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා නැවත නැවතත් සුචරිතයට යොමු වෙනවා.

උන්වහන්සේගේ ඉවසීම දකින ඒ තැනැත්තාත් ඉවසන්නට පුරුදු වෙනවා. මේ හාමුදුරුවෝ මගේ වචන – මගේ ක්‍රියා මේ තරම් ඉවසුවා නම් මමත් ඉවසන්නට පුරුදු වෙන්න ඕන කියලා ඔහු තව තවත් සැකසෙනවා. බලන්න අපට මොන තරම් කුසලයකට දායක වෙන්න පුළුවන් ද? ඒ වෙලාවෙ අපි ආවේගකාරී ව – ද්වේෂසහගත ව ඒ පුද්ගලයාගෙන් පලිගන්න කියලා තමන්ගේ බලය පාවිච්චි කළා නම් අර මනුෂ්‍යයා සසරෙ අතරමං වෙනවා. ඒක පාප කර්මයක් විතරක් නෙවෙයි, අපට නිරන්තරයෙන් මනසට වද දෙන පසුතැවීමක් වෙනවා – මා නිසයි ඔහු විනාශ වුණේ කියලා!

අද කාලෙ වැරදි කරලා බන්‍ධනාගාරවල ඉන්න මිනිසුන්ට, ඔවුන් කරන වරද පෙන්වා දීලා සුචරිතයට යොමු කරන්න කෙනෙක් නෑ. සමහර විට සැබැවින් ම වරදක් නො කළ අය හිර ගෙවල්වල දඬුවම් විඳිනවා. ඒ අසාධාරණයෙන් ඔවුන්ගේ මනස ප්‍රකෝප කළහම ඔවුන් එළියට එන තුරු ඉන්නවා පලිගන්න. නැවත නැවතත් ඔවුන් දරුණු වෙනවා. මේ විදිහේ තත්ත්වයක් සමාජය තුළ උද්ගත වෙනවා.

ඒ නිසා සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා: අප කළ යුත්තේ, ඔහුගේ කායික ක්‍රියාවන් විෂමයි නම්

  • වාචසික ක්‍රියා විෂමයි නම් – ඔහුගේ මානසික ක්‍රියා විෂමයි නම් එවන් අය කෙරේ අනුකම්පා කරන්න. ඔහුගේ කිසි ම ඥාතිත්වයක් අවශ්‍ය නෑ; අනේ මේ මනුෂ්‍යයෙක් නෙ. තිරිසන් සතෙක් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් අපි ඌට කන්න ටිකක් දීලා සලකනවා නෙ. මනුෂ්‍යයෙක් ඊට වඩා වටිනව නෙ.

රිදවීම දුබලකමක්

මේ විදියට සසර භයානකකම පිළිබඳ ව කල්පනා කරලා යම් මනුෂ්‍යයෙක් සසරේ අතරමං නො වී බේරාගන්න පුළුවන් නම් ඒක මහා භාග්‍යයක්. මහා කුසල කර්මයක්. ආවේගකාරී හැඟීම්වලට වහල් වෙලා බලය පාවිච්චි කරලා අනෙක් පුද්ගලයාට රිදවීම දුබලකමක්. උඹ මෙහෙම කළා නම් මමත් මෙහෙම කරනවා; උඹ මට බැන්නා නම් මම උඹට ගහනවා; උඹ ගැහුව නම් මම උඹට ගහනවා ඇට කටු පොඩි වෙන්න. එහෙම තමන්ට යමක් කරන්න බැරි නම් ද්වේෂයේ ස්වභාවය තමයි ඔහුට නපුරක් වුණා ය කියලා ආරංචි වුණාම සතුටු වෙනවා – ආ ඔය මට කරපුවට තමයි පල දීලා තියෙන්නෙ කියලා. ඒ වෙලාවට මුකුත් කරන්නෙ කියන්නෙ නෑ. නමුත් ඔහුට මොකක් හරි වුණාම, ආ ඔය මට කරපුව පල දීලා තියෙන්නෙ කියලා කියනවා. ඒ මොකක් ද? ඒකට කියන්නෙ ව්‍යාපාදය කියලා. ඒකත් ද්වේෂය ම තමයි. යටපත් වෙලා තිබුණු ද්වේෂය සුදුසු අවස්ථාවේ දී මතු වෙලා එනවා. එහෙම මතු වෙන්නේ නැහැ උපන් අවස්ථාවේ දී ම ඒ ද්වේෂය නැති කළා නම්.

ඒ නිසා එවන් තත්ත්වයක් අනුන් පිළිබඳ ව අපේ මනසේ ඉස්මතු වෙලා එනවා නම්, අපි කල්පනා කරලා බලන්න ඕන මොහු පිළිබඳ ව මෙහෙම සතුටු වුණේ ඇයි මම? මෙහෙම සතුටු වෙන්නට තරම් කුරිරු මනසක් මට ඇති වුණේ කොහොම ද? ඔහු පිළිබඳ ව නපුරු සිතුවිල්ලක් කවදා ද මගේ සිතේ තැන්පත් වුණේ? එය මතු වෙලා එන නිසා තමයි ඔහුගේ පිරිහීම බලාපොරොත්තු වෙන්නෙ. ඒ නිසා එවන් තත්ත්වයක් ඇති නො වේ වා, ඔවුන්ට යහපතක් වේ වා කියන මේ සිතුවිල්ල උපදවන්නට අපි උත්සාහ කළ යුතුයි.

ඊළඟට පස්වෙනි පුද්ගලයා සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා: ‘ඉධ පනාවුසෝ එකච්චෝ පුග්ගලෝ පරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ, ලභති ච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං.’
තවත් පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ කායික හැසිරීම් යහපත්, වාචසික හැසිරීම් යහපත්, මානසික හැසිරීම් යහපත්. කයින් කුසල් කරනවා, වචනයෙන් කුසල් කරනවා, සිතින් කුසල් කරනවා. වටිනා මනුෂ්‍යයෙක්. ඔහු සම්බන්ධ ව යම්කිසි කාරණයක් නිසා ද්වේෂයක් උපදිනවා. එවන් මොහොතක ඔබට කැමැති ඕන ම ගුණයක් සිහි කරන්න – ඔහුගේ කායික යහපත් බව සිහි කරන්න පුළුවන්. ඔහුගේ වචනයේ යහපත් බව හෝ මානසික ගුණාංගවල යහපත් බව හෝ සිහි කරන්න පුළුවන්. යහපත් වූ කායික – වාචසික – මානසික කවර ගුණයක් හෝ සිහි කරලා ඔහු කෙරේ උපන්නා වූ ද්වේෂය දුරු කරන්න. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා: ග්‍රීෂ්ම කාලයේ පීඩාවට පත් වෙලා පිපාසිත ව එන මනුෂ්‍යයෙක් සිසිල් ජලයෙන් පිරුණු පිරිසිදු විලක් දකිනවා. මේ විල දැකලා සතුටින් වතුර බීලා නාලා සැහැල්ලුවෙන් ඒ ආසන්නයේ රුක් සෙවනේ සැතපී ඉන්නා වාගේ, ඔබට ඒ යහපත් පුද්ගලයාගේ කායික යහපත් බව ගැන කැමති නම් හිතන්න; ඔහුගේ වාචසික යහපත් බව ගැන කැමැති නම් හිතන්න; මානසික යහපත් බව ගැන කැමැති නම් හිතන්න. මේ කුමක් හෝ හිතලා අර උපන්නා වූ ද්වේෂය දුරු කරන්න. මානසික සැනසිල්ල ඇති කරගන්න කියලා සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා.

දූෂිත මනසින් බැලුවොත්

යම් පුද්ගලයෙකු ගෙන් කායික වත් වාචසික වත් අනෙක් අයට හිංසාවක් – පීඩාවක් කෙරෙන්නේ නෑ. මානසික වත් ඔහුගෙන් කාටවත් නපුරක් වෙන්නේ නෑ. නමුත් කෙනෙක් කරන හොඳ වැඩක් වුණත් අපේ සිතුවිලි අනුව නරකක් වගේ පෙනෙන්න පුළුවන්. අපි හිතමු සමාජයේ පොදු වැඩ කරන කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ පුද්ගලයා තරහ නැතත්, අපි අර මුලින් සඳහන් කළ විදිහට මොහු මාගේ සතුරාට පක්‍ෂපාත වුණා ය – මගේ මිතුරාට උපකාර කළේ නැත ය ආදී හැඟීම් නිසා ඔහු පිළිබඳ ව ද්වේෂය උපදින්න පුළුවන්. ඔහු පක්‍ෂපාත වුණේ මට විරුද්ධකමකට නෙවෙයි. මානුෂික හැඟීමෙන් අත්‍යවශ්‍ය තැනක දී ඔහු මගේ සතුරාට උපකාර කළා – මගේ සතුරාට පක්‍ෂපාත වුණා ය කියලා එයින් මගේ සිතේ ද්වේෂයක් ඇති වුණා. ඔහුගේ කායික ක්‍රියාවන්ගේ අයහපත් බවක් හෝ මානසික අයහපත් බවක් හෝ වාචසික අයහපත් බවක් හෝ නෑ. ඔහු මට රිදවන්නත් නෙවෙයි ඔහුට උදව් කළේ. ඔහු දුකට පත් වෙලා නිසා ඔහුට උදව් කළා. නමුත් මගේ විරුද්ධකාරයාට උදව් කළා ය කියලා අර පුද්ගලයා කෙරෙහි මට ද්වේෂය ඇති වෙනවා. තමා ම මනසින් නොයෙකුත් සිතුවිලි ඇති කරගෙන එහි ගැටෙනවා. එනිසයි මුලින් කිව්වෙ ලෝකය සිතුවිලි ගොඩක් පමණයි කියලා. ද්වේෂය උපදින්නෙත් සිතුවිලි අනුව. මම හිතන හැටියෙන් මට ද්වේෂය උපදිනවා. මම නපුරු විදිහට හිතනව ද ඒ ඒ විදිහට ද්වේෂය උපදිනවා. මම වැරදි විදිහට හිතනව ද ඒ ඒ තරමට ද්වේෂය උපදිනවා.

අපි හිතමු එක්තරා සලාක ක්‍රමයකට බෙදන දෙයක් මගේ මිත්‍රයෙකුට නැති වෙනවා. ඔහුට ඒක ලැබිය යුතු නැහැ, නමුත් අතිශයින් ම මේ පුද්ගලයා මට මිත්‍රයි. ඊට පස්සෙ මම ද්වේෂය උපදවාගන්නවා, මගේ මිතුරාට දුන්නේ නෑ කියලා. ඔහු ලැබිය යුත්තෙකු නෙවෙයි. නමුත් ඔහු මගේ මිත්‍රයා නිසා මා සිතනවා ලැබිය යුතුයි කියලා. ඒ නිසා මම නුදුන් කෙනා ගැන ද්වේෂය උපදවා ගන්නවා. නමුත් එය ද්වේෂය ඉපදවිය යුත්තක් නෙවෙයි. මෙන්න මේ විදිහට අයථා ආකාරයෙන් සිතීම නිසා – අයථා විදිහට කල්පනා කරන්න පුරුදු වීම නිසා යහපත් පුද්ගලයන් පිළිබඳව පවා ද්වේෂය උපදිනවා. බුදුහාමුදුරුවො කෙරෙහි මාගන්දියා වෛර බැඳගත්තේ ඇයි? බුදුහාමුදුරුවො කායික සමාචාරයන්ගෙන් පිරිසිදුයි. වචී සමාචාරයන්ගෙන් පිරිසිදුයි. මානසික සමාචාරයන්ගෙන් පිරිසිදුයි. නමුත් ඇය හිතුවා මොහු මට ස්වාමියා විය යුතුයි කියලා. එසේ වුණේ නෑ – ඒ නිසා ද්වේෂ කළා. ඇයගේ විෂමාචාර සිතුවිලි රටාව තුළින් ම ඇය ද්වේෂය උපදවාගත්තා. එය බුදුහාමුදුරුවන්ගේ වැරැද්දක් නෙවෙයි. දේවදත්ත හාමුදුරුවොත් ඒ විදිහයි. ඔහුගෙ ම විෂමාචාරයන් නිසා ඔහු ම ද්වේෂ සහගත සිතුවිලි උපදවාගෙන ඔහු ම වෛර බැඳගත්තා. ඒ ඔහුගේ වරද විනා බුදුහාමුදුරුවන්ගේ වරද නො වෙයි.

මතු සම්බන්ධයි…

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *