අප කෙතරම් සැලසුම්සහගත ව කටයුතු කළ ද නො සිතූවක් ම වෙයි. බාධක පැනනඟියි. වැරදීම් සිදු වෙයි. මතු වන සමහර බාධක හා සිදු වන සමහර වැරදීම් කෙතරම් ප්‍රබල ද යත් අපි ඇතැම් විටක අධෛර්යයට පත් වෙමු. කලකිරීම් ඇති කරගනිමු. එහෙත් කෙතරම් බාධක පැමිණියත්, කෙතරම් වැරදීම් සිදු වුවත් අපට ජීවිත ගමන අතරමඟ නතර කළ නොහැකි ය.
ජීවන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා යන මේ අභියෝගවලින් පිරි ගමනේ දී එක් සැලසුමක් ව්‍යර්ථ වූ විට අපට තවත් සැලසුමක් අත්හදාබැලීමට සිදු වෙයි. උපායමාර්ග වෙනස් කිරීමට සිදු වෙයි. මෙසේ අනවරත ව වෙනස් වෙනස් ක්‍රමවේද ගවේෂණය කරමින්, අත්හදා බලමින් යන ගමන ආස්වාදජනක යැ යි සමහරුන් පැවසුව ද එය ඇත්තෙන් ම වෙහෙසකර ය.
අපට ඕනෑ හැටියට, අප කැමැති හැටියට ජීවිතය හැඩගස්වා ගැනීමට අපහසු වීම අප තේරුම්ගත යුත්තේ කිසිවක් ස්ථිරසාර නැති මේ ලෝක ස්වභාවයේ පිළිබිඹුවක් ලෙස ය. උපන්නා නම් මේ වෙනස් වන ලෝක ස්වභාවයට අකැමැත්තෙන් නමුත් අනුගත වීමට අපට සිදු වෙයි. ඉන් පසු පැමිණිලි කිරීමෙහි, කනස්සල්ලට පත් වීමෙහි තේරුමක් නැත. සසර ගමන හෙවත් නැවත උත්පත්තිය සදහට ම නැති කරගන්නට වෑයම් කරගන්නා ලෙස බුදුදහම අවධාරණය කරන්නේ මේ නිසා ය.
නුවණැති ව සිතනවා නම් දැන් අපට කරන්නට තිබෙන්නේ එක ම එක දෙයකි. ඒ, පෙර භවයන්හි දී අපේ ම නො සැලකිලිමත්කම්වල ප්‍රතිඵලයක් වූ දැන් මේ හසු වී සිටින උගුලෙහි, වැල්පටවල් තවත් හිර නො වන ලෙස ඉවසිලිමත් ව, දුරදිග සිතා කටයුතු කිරීම ය. වෙනත් අයුරකින් කියනවා නම් නම් සසර චාරිකාව තුළ අනාගතයේත් අනන්තවත් මෙවැනි උගුල්වල හසු නො වනු පිණිස වගබලාගැනීම ය.
සාමාන්‍යයෙන් අප වැඩි දෙනකු කරන්නේ එහි අනෙක් පැත්ත ය. ජීවිතයේ මුහුණ දෙන අටෝරාසියක් වන කරදර බාධක හමුවේ, අපේ මඟ අවුරාගෙන සිටින බව පෙනෙන අය හමුවේ, අපි බාධකවලට, ඊට වගකිව යුතු පිරිස්වලට ද්වේෂ කරන්නෙමු. වෛර කරන්නෙමු. හැකියාවක් ඇත්නම් බාධක නරකින් හෝ මැඬපවත්වන්නෙමු. අප මුහුණ දෙන ප්‍රශ්නවලට වගකිවයුතු බාහිර සාධකයක් පෙනෙන්නට නැත්නම් අපි අපිට ම ශාප කරගන්නෙමු. කලකිරීම ද ද්වේෂයේ ම ආකාරයකි.
මෙයින් සිදු වන්නේ අප අපේ ම වරදින් දැන් පැටලී සිටින සසර උගුලෙහි තව තවත් සිර වීම ය. හොඳින් බැරි නම් නරකින් න්‍යාය අනුගමනය කරමින් කෙටිකාලීන ව යම් බාධකයක් අපට ජයගත හැකි වුව ද අප එයින් දිගුකාලීන ව කරගන්නේ අනර්ථයක් ම ය.
මේ ජීවිත ගමන නිවට නියාලු ලෙස යා යුතු ය යන්න මෙයින් අදහස් නො කෙරෙයි. දැහැමින් හා ප්‍රතිපත්තිගරුක ව ගමන් කිරීම නිවටකමක් නො වේ. උත්සාහය ද අත් නො හැරිය යුතු ය. එහෙත් උත්සාහයේ නිසි ප්‍රතිඵල නො ලබන කල්හි ද්වේෂසහගත ව, කලබල වී අන්‍යයනුත් තමනුත් විපතෙහි හෙළන කෙටි මාවත් නො සෙවිය යුතු ය. ඒ ශික්ෂණය අප සතු නො වේ නම් මීට ද වැඩි ගැහැටවලට සසර චාරිකාවේ දී අපට මුහුණ දීමට සිදු වීම වැළැක්විය හැකි නො වේ.