අශෝකා අබේවර්ධන
ඉතා කුඩා දිය උල්පතෙකින් පටන් ගන්නා මහා ගංගාවෙක අසිරිමත් ගමන මහ සයුර හමු වීමෙන් නිමාවට පත් වේ. එහි මධ්‍යයත් අවසානයත් මහත් වුවත් සුන්දර වූවත් ඇරඹුම සිදු වන්නේ ඉතා ම කුඩා වූ දිය උල්පතෙකිනි. එපමණක් නො ව පහසුවෙන් සොයා ගන්නට අසීරු මහ වන රොදක් මධ්‍යයෙහි ය.
එසේම මහා ප්‍රඥා සම්පත්තියක් ඇති ව ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවන් අතුරෙහි අග්‍රස්ථානයට පත් ඛේමා මහ රහත් තෙරණින් වහන්සේගේ එම උතුම් පාරමිතා ගමන ද ආරම්භ වූවේ පියුමතුරා බුදු රජාණන් වහන්සේ සමයෙහි ඉතා දිළිඳු අනුනට බැල මෙහෙකම් කරන අසරණ දාසියක හැටියට ය. ඒ අවස්ථාව වන විටත් ඇය දුප්පත් නමුත් පිරුණා වූ මනෝ ප්‍රණිධියක් ඇති ව වෙසෙන්නට ඇතැ යි සිතිය හැකි ය.
පින්වන්ත වූ ඕතොමෝ අනුනට මෙහෙ කරමින් ජීවිකාව සලසා ගන්නී දිනක් පියුමතුරා බුදු රජුන්ගේ අග්‍ර ශ්‍රාවක සුජාත තෙරණුවන් පිඩුසිඟා වඩිනු දැක රසවත් අග්ගලා ගුලි තුනක් පූජා කරන්නට සිය පිං මහිමය බලවත් කොට ගත්තා ය. පිනෙන් ඔදවත් ව තෙදවත් වූ ඇය තම කෙස් වැටිය කපා මිල කොට එම තෙරණුවන්ට ම දන් වේලක් පූජා කරන්නට ද අවස්ථාව උදා කර ගත්තා ය. අනාගතයෙහි මහා ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙම් වා යි කළ උදාර ප්‍රාර්ථනාවක් ද ඇති ව දිවි ඇතිතෙක් ම පිං කිරීමෙහි අනලස් වී දෙව් මිනිස් දෙගතියෙහි සැපවත් ව සැරිසැරූ ඇය දෙව් රජවරුන්ට ද මිනිස් ලොව සක්විති රජවරුන්ට ද අග මෙහෙසින් වන්නට තරම් තම පිං මහිමය සරු කොට මහත් කොට ගත්තා ය. ඉතා කුඩා දිය උල්පතෙකින් පටන් ගන්නා පින් නදී තොමෝ මහත් ව ශෝභමාන ව නිවන් මහ සයුර දක්වා ගමන් කරන්නට සමත් වෙතැ යි මුල දී ම පැවසුවේ එම නිසා ය. ඒ පින්වන්ත සංසාර ගමනෙහි මුල දුක්බර වුවත් මධ්‍යයත් අවසානයත් හැබෑ ම අසිරිමත් ය.
මහාර්ඝ වූ බුද්ධ ශාසනයක ම පිංකෙතක ම වපුළ සාර පුණ්‍ය බීජයන් බඹසර සීල සම්පත්තියෙන් ද සරුකොට ගත් බැවින් බොහෝ පින් අස්වනු නෙළා ගන්නට ඇය පොහොසත් වූවා ය. ඇය පෙර දී විඳි දුක් ගැහැට පින් බලයෙන් ම නිමා කොට ගත්තා ය. විපස්සී බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද වයසින් වැඩුණු පසුව බුදුන් ගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදි ව වසර දස දහසක් කල් බඹසර හැසිරෙන්නී බහුශ්‍රැත ධර්ම කථිකාවක වී බොහෝ දෙනාට ධර්මය දේශනා කරමින් සෙස්සන්ගේ පමණක් නො ව තම ප්‍රඥා සම්පත්තිය ද පෝෂණය කොට ගත්තා ය. පිනෙන් පින වඩවා මහත් කොට ගත්තා ය.
මේ මහා භද්‍රකල්පයෙහි ද කකුසඳ කෝණාගමන යන බුදුවරුන්ගේ කාලවල සැප සම්පත්වලින් අනූන කුල ගෙවල ම ඉපිද සංඝාරාමයක් ද කරවා බුදුන් ප්‍රමුඛ මහා සඟනට පූජා කළා ය. කාශ්‍යප බුදු රජුන්ගේ කාලයෙහිද කිකී නම් රජුගේ සමණී නමින් වැඩිමහල් දියණිය ව ඉපිද බුදුන් ගෙන් බණ අසා අවුරුදු විසි දහසක් කල් ගිහිගෙයි වෙසෙමින් නමුත් කුමරි බඹසර රකිමින් සමණගුත්තා, භික්ඛුණී, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා ආදි තම සොහොයුරියන් සමග ඉතා මනහර වූ පිරිවෙනක් කරවා බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පූජා කළා ය.
බුද්ධ ප්‍රමුඛ මහ සඟරුවන උදෙසා ආරාම පූජාවක් සිදු කිරීම අටමහ කුසලයන්ට අයත් වූ මහර්ඝ පින්කමකි. සිව් දෙසින් වැඩම කරන භික්‍ෂු සංඝයා වහන්සේ එම ආරාමයෙහි වැඩවෙසෙමින් තම කායික මානසික වෙහෙස දුරු කොටගනිමින් ලෝකාර්ථචර්යාවෙහි යෙදෙති. ඉන් සෙත සැලසෙන්නේ එම භික්‍ෂුන් වහන්සේලාට පමණක් නො වේ. අමා දහම් රසය සොයා යන ගිහි උපාසක උපාසිකාවන්ට ද මහත් සෙත සැලසේ. පිනෙන් පින පෝෂණය වන බව මෙනෙහි කොට අප ද ඉතා ස්වල්ප වූ පිනක් කරන විට පවා චිත්ත ශක්තිය උද්දීපනය කොට ගත යුතු ය.
හැම භවයක දී ම මහත් වූ පින් රැස් කර ගනිමින් දෙව් ලෝවල ද උපත ලබමින් අපගේ ගෞතම නම් බුදු රජුන් ජීවමාන සමයෙහි මගධ රට සාගල නුවර මහා සාර රජ කුලයක උපන් ඇය ඛේමා නම් වූවා ය. සැබැවින් ම ඕතොමෝ රන්වන් වූ මනහර රූප ශ්‍රී ඇත්තී ය. නිසි වයස් එළඹි කල බිම්බිසාර මහ රජුගේ අගමෙහෙසිය බවට පත් වූවා ය. අනවරාග්‍ර වූ සසර පුරාවට බලවත් පින් කුසල් කරමින් පැමිණි ඇගේ සිත තුළ ද එම කුසල් බලය යටපත් වූ රූප මදයෙන් යුතු විය. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ රූපයෙහි දොස් දකිමින් රූපයට අවමන් කරති ය යි අසා තිබූ හෙයින් ඇය කිසි දා බුදුන් බැහැදැකීමට නො ගියා ය. බුදුන් වන්දනාවට නො ගියා ය.
නිසැක ව ම සතර අපායෙහි දොරගුලු ලා සෝවාන් ඵලයෙන් නිවන් මඟට පිවිස සිටි බිම්බිසාර මහ රජතුමා තම ඛේමා අගබිසව වේළුවන විහාරයට පිටත් කොට යවා බුදු සිරිපා වන්දනාවට යොමු කිරීමට උපක්‍රමශීලී ව කටයුතු කළේ ය. රට තුළ විසිරී සිටි දක්‍ෂ කවියන් ගෙන්වා වේළුවනයෙහි සොබා අලංකාරය වැණුම් කොට කවිපද බඳවා බිසොවට ඇසෙන සේ ගායනා කරන්නට කටයුතු සැලැස්වී ය. මන බඳනා වෙහෙර වැණුම ඇසූ බිසොව උයන හා වෙහෙර දකින කැමැත්ත ඇති ව ඒ බව රජතුමාට දැන්වූවා ය.
රජතුමා අතිශය සතුටට පත් ව ඒ සඳහා අවැසි සියලු කටයුතු මහත් වූ වුවමනාවෙන් සම්පාදනය කළේ ය. වේළුවනයෙහි සිරි නැරඹූ බිසොව බුදු රජුන් නො දැක මාළිගයට පෙරලා පැමිණීම නම් කිසි ලෙසකත් නො වටනේ ය යි අදහස් කොට බලයෙන් වුව ද නේකශ්‍රීන් බබළන රූ සිරි සපිරි බුදු පියාණන් වහන්සේ හමුවට දේවිය පමුණුවන හැටියට රාජපුරුෂයන් හට රහසේ ම දන්වා තිබිණ. සැබැවින් ම ඇය දහවල් කාලයේ දී උයනෙහි අසිරි සිරි නරඹා බුදුන් නො දැක ම පෙරළා මාළිගයට පැමිණීමට සැරසුණා ය. එවිට රාජපුරුෂයෝ ඇගේ කැමැත්ත නැති ව ම ඇය බුදුන් හමුවට පැමිණවූ හ. සර්වඥතා ඤාණයෙන් ලොව තතු මැනවින් දත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ඇය එනු දැක දිව්‍ය අප්සරාවක් වැනි මනහර ස්ත්‍රී රූපයක් මවා ඇය බුදුන් වහන්සේට පවන් සලන්නාක් මෙන් පෙනෙන්නට සැලැස්වූ හ. අභිරූපී කාන්තාවක් වූ ඛේමා බිසොව මේ අසිරිමත් ස්ත්‍රී රුව දැක මවිතයට පත් වූවා ය.
ඇයට ඇයගේ නෙත් යුග අදහා ගන්නට අපහසු විය. දිව්‍ය අප්සරාවන් වැනි ළඳුන් බුදුන් සමීපයේ සිටිති. මා මොවුන්ගේ සේවිකාවක වීමට පවා නුසුදුසු ය. බුදු රජුහු ද දැඩි සිත් ඇත්තෙකු නො වෙති. රළු දිවියක් ගත කරන්නෙකු ද නො වේ. මගේ මනස කිසිදු හේතුවක් නොමැති ව පවට නැඹුරු වී තිබුණා නො වේ ද? බුදු ගුණය නම් අසිරිමත් නො වේ ද? ඇයට සිය ඇසිපිය හෙළන්නට අපහසු විය.
මෙලෙස අවනත වූ දැමුණු සිතක් ඇති ව එයම නිමිති වශයෙන් ගෙන මෙනෙහි කරමින් ඒ ස්ත්‍රී රූපය දෙස බලාගෙන ම සිටියා ය. ඇය එසේ බලා සිටිය දී සර්වඥයන් වහන්සේ ස්වකීය අධිෂ්ඨාන බලයෙන් තමන් වහන්සේට පවන් සලන නව යෞවනිය ප්‍රථම වයස ඉක්මවා මැදි වයසට ද, මැදි වයස ඉක්මවා පසු වයසට ද පැමිණ දත් වැටී කෙස් පැහී ඇඟ රැලි වැටී දිරාපත් වූවා අත තුබූ තල් පතත් සමග ම මැරී බිම පතිත වන ආකාරයක් දැක්වූ සේක. ඇය එම අභිරුපී තරුණ ලිය ක්‍රමයෙන් විනාශ වී අනිත්‍ය භාවයට පත් වන ආකාරය ද මැනවින් දුටුවා ය.
ඛේමාවෝ පෙර කරන ලද ප්‍රාර්ථනාමය පුණ්‍ය සම්භාරය ඇත්තී මෙතෙක් සුන්දර ය යි සදාකාලික ය යි වටහාගෙන සිටි අස්ථිර වූ මේ කයෙහි ආදීනවය නුවණින් මෙනෙහි කළා ය. දෙවඟනක බඳු ස්ත්‍රියකටත් මෙබඳු විපත් සිදු විය. මගේ ශරීරය ද මෙබඳු අසාර වූ ස්වභාව ඇත්තේ ය. මේ කය නම් අසාර වන්නේ ය. සාර නො වන්නේ ම ය යි සිතමින් සිටිය දී කර්මණ්‍ය වූ ඇගේ සිත දුටු ශාස්තෘන් වහන්සේ ඇයට ගාථා ධර්මයක් දේශනා කළ හ.
යේ රාගරත්තානු පතන්ති සෝතං
සයං කතං මක්කටකෝව ජාලං
ඒතම්පි ඡෙත්වාන වජන්ති ධීරා
අනපෙක්ඛිනෝ සබ්බ දුක්ඛං පහාය
රාගයෙහි ඇලුණා වූ සත්ත්වයෝ, තමා විසින් ම වියන ලද දැලට වැටෙන මකුළුවකු මෙන් සැඩ පහරට වැටෙති. ධීරයෝ අපේක්‍ෂා රහිත ව දැල බිඳ දමා සියලු දුක් අතහැර ගිහිගෙයින් නික්ම යති.
බුදු මුවින් මේ උතුම් ගාථා ධර්මය දේශනා වනවාත් සමගම ඛේමාවෝ හටගත් සියලු සංස්කාර ධර්මයන් නිරෝධයට පත් වන්නේ ය යි අවබෝධයට පත් ව දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට පත් වූවා ය. බුදු සිරිපා වැඳ පෙරළා මාළිගයට පැමිණි ඇය බිම්බිසාර රජුට වන්දනා කොට පැවිදි වීම සඳහා අවසර ඇයද සිටියා ය.
මහත්සේ ප්‍රීති ප්‍රමෝදයට පත් මහරජතුමා ඈ දෙසට ඇදිලි බඳගෙන “සොඳුර, ඔබේ අදහස අනුමත කරමි. ඔබේ පැවිදි වීමේ අපේක්‍ෂාව ඉටු වේ වා” යනුවෙන් පැවසූ බව අටුවාවෙහි සඳහන් ය.
පැවිදි බව ලැබූ ඛේමා තෙරණින් වහන්සේ අඩමසක් යාදී භාවනා වඩන්නී පහන් දැල්ලෙක භාවය හා අභාවය දැක කලකිරුණු සිත් ඇත්තී සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරී හේතු ප්‍රත්‍ය අවබෝධ කොට සසර සැඩ පහර ඉක්මවා අතීත සියලු කෙලෙස් නසා දමා සිව්පිළිසිඹියා සහිත මහ රහත් භාවයට පැමිණිය හ. දිව්‍ය නෙත් ඇති ව සිය අතීත සංසාර ගමන මැනවින් දුටුවා ය.
මෙයින් කල්ප සියක් දහසකට පෙර මහා කරුණා නිධාන වූ පදුමුත්තර බුදුරදුන් සමයෙහි හංසවතී නුවර සැප සම්පත් යස ඉසුරින් අනූන සිටු කුලයක උපන් ඇය එම බුදුරදුන් වෙත ගොස් ධර්ම ශ්‍රවණය කොට පැහැද බුදුන් සරණ ගියා ය. එක් පින්බර දිනයක ඒ බුදුන් වහන්සේ එක්තරා භික්‍ෂුණියකට ප්‍රඥාවන්ත භික්‍ෂුණීන් අතර අග්‍ර වන්නේ ය යි අග තනතුර ප්‍රදානය කරනු දැක තමන්ටත් එබඳු පින් අසිරිසිරි ලබනු රිසි ව දන් පින් දෙමින් බොහෝ කුසල් රැස් කළා ය. පසුව සිය මාපියන් ද සමග බුදුන් වහන්සේ නිමන්ත්‍රණය කොට බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනට සත් දිනක් ම දන් පැන් පිළිගැන්වූවා ය. සත් දිනක් අවසානයේ ඈ සිය අභිප්‍රාය පැතුම බුදු පාමුල තබා අවසර පතා සිටියා ය.
එවිට පදුමුත්තර බදුන් වහන්සේ, “ඔබ භික්‍ෂු සංඝයා ඇතුළු බුදුන් වෙත කළ සත්කාරයන්හි අනුසස් අපමණ ය. එහෙයින් ඔබගේ ප්‍රාර්ථනාව නිසැක ව ම ඉටු වන්නේ ය” යනුවෙන් විවරණ ශ්‍රී ලබා දුන් සේක. මෙයින් කල්ප සියක් දහසක් මත්තෙහි ගෞතම නම් බුදුන් පහළ වන්නේ ය. ඒ බුදුන්ගේ ධර්මයට දායාද කරවූ ධර්මයේ නිර්මිත වූ එම අග තනතුරට පත් වන්නා වූ ඔබ ඛේමා නම් වන්නේ ය. එම බුදු බසින් ප්‍රමුදිත වූ ඇය එම පින්කම්හි චේතනාව පිහිටුවීමේ ඵල වශයෙන් ඒ භවයෙන් චුත ව තව්තිසා දෙව්ලොව උපන්නා ය.
උපනූපන් හැම කල්හි ම බඹසර බලයෙන් සෙසු සියල්ලන් ම අභිබවා සිටියා ය. හැම යස ඉසුරක් ම සුලබ ව නුවණින් ද රූ සිරියෙන් ද අගතැන්පත් වූවා පමණක් නො ව සුවච වූ කීකරු වූ විනීත වූ පිරිස් පිරිවරා සිටියා ය. නිවන් දක්නා ජාති දක්වා කිසි කලෙකත් දුගතියක් නම් නො දුටුවා ය. පිනවූ මනසකින් ම දිවි ගෙවූ ඇය විවා දිවියට පත් වූ කල සිය සැමියා කිසි විටකත් ඇයට අවමන් නො කළේ ය.
කෝසලාධිපති පසේනදී කොසොල් රජතුමන් විසින් භෝජන වස්තුව පිළිබඳව අසන ලද ප්‍රශ්න ඛේමා තෙරණින්වහන්සේ යථාකාරයෙන් දක්‍ෂ ලෙස විසඳූ හ. ඉක්බිති රජතුමා බුදුරදුන් වෙත ගොස් යථෝක්ත පැන විසඳූ ආකාරය බුදුනට දැන්වී ය. මහත්සේ සතුටට පත් වූ බුදුන් වහන්සේ තමන් වහන්සේ විසඳන ආකාරයට ම උන් වහන්සේ ද ඒ පැනය විසඳූ බව පවසා ඒ ගුණයෙහි පැහැද එය ම නිමිති කොටගෙන ප්‍රඥාවන්ත භික්‍ෂුණීන් අතරෙහි අග්‍රවන්නේ ය යි අග තනතුරු දී වදාළ හ.
ශක්‍රයාගේ නන්දන උයන පරයන බුදුන්ගේ පිනෙන් අලංකාර වූ වේළුවනයෙහි සිරි නරඹමින් සිටිය දී බුදු පියාණන් වහන්සේ කයෙහි අසුභය පහදා දෙමින් කළ ධර්මය අසා අවබෝධයට පත් ව පසුව සසුනෙහි පැවිදි ව බුදුන්ගේ ඔවදන ඉටු කළෙමි. මාර දිව්‍ය පුත්‍රයාට ද තම බල පෙන්නා සසර සයුර සුවසේ තරණය කළෙමි යි උදාන ගී ගැයුවා ය.
අපි සැම ද කුසල් අකුසල් දැන හැඳින ඉක්මන් භවයක දී ම සසර කතර තරණය කිරීමට වෙර වැඩිය යුත්තෝ වෙමු.
සැමට උතුම් තෙරුවන් සරණ වේ වා!