මත්පැන් පානය සහ අවුල්

cmadurawala
7 Min Read

ආනන්ද ගුරුගේ

විවාහක කාන්තාවක් තමන්ගේ සැමියාගෙන් දික්කසාද වීම පිණිස පවුල් අධිකරණයක් (දැනට දිසා අධිකරණය) හමුවට පැමිණියා ය. අනුමිත ද්වේෂ සහගත හැරයාම මත පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණ. එයින් දක්වා තිබුණේ සැමියාගේ වරද නිසා විවාහක නිවස අතහැර යෑමට ඇයට සිදු වූ බවයි. නඩු විභාගයේදී අනාවරණය වූයේ සැමියා අධික ලෙස මත්පැන් බීමට පුරුදු වී සිටි බවයි. මේ හේතුවෙන් නිවසේ පැවතියේ නොසන්සුන් තත්ත්වයකි. ඇයට වද හිංසාවලට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා එමට ය. ඒ සියල්ල විඳ දරාගෙන ඉවසා සිටි ඇයට තව දුරටත් විවාහක නිවසේ ජීවත් වන්නට නොහැකි තත්ත්වයක් එක් දිනක උදා විය.

දිනක් සැමියා අධික ලෙස මත්පැන් පානය කොට රාත්‍රි කාලයේ නිවසට පැමිණියේ ය. බිරිඳ ගේ ඇඳේ ඔවුන්ගේ එක ම දියණිය(වයස අවුරුදු දොළහක) නිදාසිටිනු දිටි. පියා දියණිය සමග ලිංගික සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ දැරුවේ ය. බිරිඳ ඔහු සමග බලවත් සටනක යෙදී දියණියගේ චරිතය කෙලෙසන්නට ඉඩ නුදුන්නා ය. එහි ප්‍රතිඵලය වූයේ බිරිඳට පහරදීම්වලට මුහුණ පාන්නට සිදුවීම යි. ඕ පසු දින සිය දියණිය ද සමග පොලිසියට ගොස් පැමිණිල්ලක් කර දෙමාපියන් ගේ නිවසට පැමිණියා ය. සිදුවන්නට ගිය මහත් විපතින් අසරණ දියණිය බේරා ගෙන ඇත්තේ ගැහැට, හිංසා, හිරිහැර බොහෝ එම රාත්‍රියේ විඳීමෙන් ය.

විත්තිකරු වූ සැමියා උසස් රැකියාවක යෙදී සිටි අතර වත්පොහොසත්කම්වලින් කිසිදු අඩුවක් නොතිබුණු බව සාක්කි වලින් එළිදරව් විය. පවුල් ජීවිතය අවුල්වන්ට මුල්ම හේතුව වූයේ ඔහුගේ මත්පැන් පානය යි. ඔහු එතරම් බීමට පුරුදුව සිටියේ ය. කොටින් ම එයට වහල් වී සිටියේ ය. මත්පැන් පානය කළ විට සිහිය විකල් ව තිරිසනකුගේ කටයුතුවලට නොදෙවෙනි ලෙසින් හැසිරුණේ ය. පෙර රාත්‍රියේ හැසිරෙන්නට ගියේ ඒ අන්දමින් ය. තමන්ගේ දියණිය ගැනවත් නොසලකා භයානක අපරාධයක් කරන්නට සූදානම් වූයේ ය. වාසනාවට ඇගේ මව නිසා එවැනි අපරාධයක් කරන්නට ඔහුට නොහැකි විය.

මත්පැන් පානය නිසා එවැනි අවාසනාවන්ත සිද්ධියක් වූයේ නම් අසරණ, අහිංසක දැරියගේ ජීවිතයට යන කලදසාව කුමක් ද? ඇගේ චරිතය සදහට කෙලෙසී ගියා වන්නට ඉඩ තිබිණ. ඔහු තමන්ගේ දියණිය දූෂණය කිරීමේ වරදට අධිචෝදනාවක් ලැබ අපරාධ අධිකරණයක් හමුවේ පෙනී සිටිනවාට සැකයක් නැත. මේ සියල්ලට ම මුල මත්පැන් පානය කිරීම නොවේ ද? පවුල් අසරණ වී, අඹු සැමියන් බේද වී, දරු පැටවුන් අනාථ වී, පවුල් දෙකඩ වී අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් හැටියට පෙන්වා දිය හැක්කේ සුරාවට වහල් වී කටයුතු කරන හෙයිනි. සුරාවට ගිජු වූවෝ කොතෙකුත් සමාජයේ සිටිති. ආහාර නොගෙන සිටියත්, මත් පැන් පානය නොකර සිටින්නට ඇතැම් අය කැමැති නැත්තෝ ය. ඔවුනට මත්පැන් තරම් ඉහළ දෙයක් ලොව නැත. එහෙත් වන්නා වූ විපත, හානිය ගැන කිසිම තැකීමක් නැත.

මත්පැන් දිගට ම පානය කොට ඒ නිසාම අසනීපයට පත්ව රෝහලේ ඇඳේ වැතිර සිටින අවස්ථාවේදී ද අරක්කු ටිකක් ගෙන දෙන ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටි එක් ලේඛකයෙක් සිටියේ ය. එසේ ඉල්ලා ඇත්තේ මිය යන්නට සුළු වේලාවකට ඉහත දී ය. මැරෙන්නට පෙර අරක්කු ටිකක් බී පරලොව යන්නට ඔහුගේ බලවත් අදහස වූයේ ය. එතරම් ම සුරාව ගැන ගිජුකම ඔහුගේ සිතෙහි මුල් බැසගෙන තිබුණේ ය. ඇයි මෙසේ වන්නට හේතුව? තමන්ගේ සිත තමන්ට පාලනය කර ගැනීමට නොහැකි වීමයි. අසනීප වී රෝහල් ගතවීමට හේතු වූයේ අධික මත්පැන් ගැනීම යි. එය එක් දවසකින් සිදු වූ දෙයක් නො වේ. කාලයක් සිට මත්පැනට පුරුදු වීමේ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍යය පිරිහී යන්නට පටන් ගත්තේ ය. ඔහු මත්පැන් පානයට පුරුදු වන්නට ඇත්තේ ඉතා ස්වල්පයක්, මඳක් ගැනීමෙන් ය. කල්යත් යත් ම දවසකට බෝතලයක් වුව මදි වන්නේ ය. මත්පැන් ගැනීමට පුරුදු වූ විට ක්‍රමයෙන් එය දියුණුවීම නොවැළැක්විය හැකි දෙයකි.

සුරාවට ගිජු වී, වහල් වී ගත කරන ජීවිතය නිසා සිදුවන විපත් සහ ආදීනව ගැන කල්පනා කරන්නේ නම් සැබවින් ම එය පාවිච්චි නොකර සිටීමේ ප්‍රබල අදිටනට එළඹෙන්නට අපහසු කමක් නැත. ‘සිරෝසිස්’ නමැති රෝගය සෑදීමට ප්‍රධාන හේතුවක් හැටියට මත්පැන් පානය සඳහන් කළ හැකි ය. එ බඳු රෝගයකින් පෙළෙන විට ඇතැම් අය ගෙන ගිය වැරදි ජීවන රටාව ගැන සිතා පසුතැවිලි වෙති. එසේ පසුතැවිලි වනවිට රෝගියකුගේ තත්ත්වයට පත් වී අවසන් ය. බුදුන්වහන්සේ සිඟාල සූත්‍රයේ මත්පැන් බීමෙහි දොස් හයක් පෙන්වා දුන් සේක. ඒවා නම්,

මෙලොවදී ම ධනය විනාශ වීම, කෝලාහල වැඩි වීම, දරුණු රෝග පීඩා විඳින්නට සිදු වීම, නරකයෙකැයි තම අපකීර්තිය පැතිර යෑම, ලැජ්ජා නොමැති ව හැසිරීම, කල්පනා ශක්තිය දුර්වල ව නැණ බල හීන වීම.

පෙර සඳහන් ආදීනව මැනවින් සලකා බැලීමේ දී මත්පැන් පානය කරන්නවුන් කොතෙකුත් අප රටේ වසන බව අමුතුවෙන් කිය යුතු නොවේ. සුරාවට ගිජු වූ අයට සිටින මිතුරෝ බොහෝ වෙති. නැති යහළුකම් ද ඉතා පහසුවෙන් ඇතිකරගත හැකි ය. ඒ සැම ‘බෝතලේට එකතු වූ යහළුවෝ වෙති. වෙරි වූ පසු පණ දෙන්නට කතා කරති. සගයා මත්පැන් බීමෙන් අසරණ තත්ත්වයට පත් වූ දවසට සිටි යහළුවන් ගෙන් කී දෙනකු ද යන්න විමසා බලන්න. එදාට ඉතුරු ව ඇත්තේ හිස් බෝතල් පමණ ය. ‘බෝතලේ මිතුරෝ’ අසලකවත් නොසිටිති.

සිරුරේ පැවැත්මට සුරාව අවශ්‍ය නැත. එය හිතකර නැත. සෞඛ්‍යය පිරිහීමට හේතු වනවා මිස එය වර්ධනයට හේතු නොවේ. එහෙත් බීමට පුරුදු වූවාම තමන්ගේ ශරීර සනීපය ගැන සිතන්නේ නැත. ඒ ගැන සෑම පුද්ගලයකුම සැලකිලිමත් විය යුතු ය. ශරීර සනීපය මනාව පවත්වා ගෙන යෑම දිගු කලක් ජීවත්වීමට හේතු වේ. මත්පැන් පානය නිසා අකාලේ මියයන බොහෝ දෙනා සිටිති. ඔවුන් මියගිය පසු දුක් විඳින පවුලේ අය ද වෙති. මේවා ගැන කල්පනා කරන්නේ නම් මත්පැන් පානය කිරීමේ පුරුද්දෙන් වැළකෙන්නට කෙනකුට පුළුවන් කම තිබේ. සිතට වහල් වී තමන්ගේ වටිනා ජීවිතය කාලකණ්ණි එකක් බවට පත්කර ගන්නේ ඇයි? සැබවින් ම ඔබ මත්පැන් වලට වහල් වී ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන්නකු බවට පත්ව සිටිත්නම් වහා මත්පැන් බීමේ ආදීනව ගැන නිතර නිතර සිතන්න. දැනටමත් ක්‍රම ක්‍රමයෙන් ඔබට සිදුවන අවැඩ, වියදම් වන, අපතේ යන මිල මුදල් ගැන සහ පවුලේ අය ගෙන් මතුවෙන විරෝධතා ගැන සිතන්න.

මත්පැන් පානයෙන් වැළකී සිටීමට තීරණයක් ගත යුතු පුද්ගලයා ඔබ බව මඳකටවත් අමතක කළ යුතු නැත. ඔබේ ම යහපතට, පවුලේ යහපතට, තමන්ගේ බිරින්දෑ සහ දරුවන්ගේ යහපතට, සුබසිද්ධියට මෙම පළක් නැති අහිතකර දෙයින් නොපමා ව මිදෙන්නට අදිටන් කර ඒ අනුව ක්‍රියා කිරීම සෑම අතින් ම සැපත, දියුණුව ළඟාකර ගැනීමකි. අවශ්‍ය මත්පැන්වල පවතින භයානක ප්‍රතිඵල සහ සිත දැඩිකොට එයින් වැළකී සිටීමේ අදිටන ක්‍රියාවට නැංවීමයි. ‘සිත ඇත්නම් පත කුඩා නොවේ’ යන සිංහල කියමන නිකමට පවසා නැත. බලවත් සිතුවිල්ලකට කළ හැකි දෙයක් නොමැත.

මෙම කවිය ද කියවා රස විඳින්න

සුරා මතින් සිත විපරිත වූ කලට
මිනිහා යකෙකි පවුලට මෙන් මුළු රටට
බීමෙන් පලක් නැත යන අදහස සිතට
ගනිමින් දවස අරඹනු හිතවත හොඳට

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *