පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි
සළායතන
ගියවර ලිපියෙන් ස්පර්ශය පිළිබඳව සාකච්ඡා කළෙමු. අද අපට සාකච්ඡා කරන්නට තිබෙන්නේ ස්පර්ශය හට ගන්නා ආයතන හය පිළිබඳවයි. එනම් චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන ආයතන හයයි.
රූප දැනගැනීම නම් වූ චක්ඛු විඤ්ඤාණය පහළ වන ස්ථානය වන්නේ චක්ඛායතනය හෙවත් චක්ඛු ප්‍රසාදයයි. ශබ්ද දැනගැනීම නම් වූ සෝත විඤ්ඤාණය පහළ වන ස්ථානය වන්නේ සෝතායතනය හෙවත් සෝත ප්‍රසාදයයි. ගන්ධය දැන ගැනීම නම් වූ ඝාණ විඤ්ඤාණය පහළ වන ස්ථානය ඝාණායතනය හෙවත් ඝාණ ප්‍රසාදයයි. රස දැනගැනීම නම් වූ ජිව්හා විඤ්ඤාණය පහළ වන ස්ථානය වන්නේ ජිව්හායතනය හෙවත් ජිව්හා ප්‍රසාදයයි. මෘදු මෙලෙක් බව, තද රළු බව, සිසිල් බව, උණුසුම් බව ආදිය දැනගැනීම නම් වූ කාය විඤ්ඤාණය පහළ වන ස්ථානය වන්නේ කායායතනය හෙවත් කාය ප්‍රසාදයයි. ශරීරයෙහි කෙස් නිය ආදි ස්වල්ප වූ ස්ථාන කීපයක් හැර අනෙක් බොහෝ තැන්හි කාය ප්‍රසාදය පිහිටා ඇත. අරමුණු දැනගැනීම නම් වූ මනෝ විඤ්ඤාණය පහළ වන ස්ථානය වන්නේ මනායතනයයි.
තිස් එක් තලයෙහි ම මෙම ෂඩායතන එලෙස ම ඇතැ යි ගත යුතු නො වේ. කාම ලෝක ධාතුව තුළ මෙම ආයතන හය ම පිහිටා තිබේ. කර්මානුරූප ව චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා යන ආයතන එසේ නො පිහිටන අවස්ථා ද ඇත. රූපාවචර ලෝක ධාතුවෙහි ඇත්තේ චක්ඛු, සෝත හා මන යන ආයතන තුන පමණි. අරූපාවචර ලෝකයෙහි මනායතනය පමණක් පවතී.
මෙම ආධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන හයක උදව් ලබාගෙන ක්‍රියාත්මක වේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම යනු ඒ බාහිර ආයතන හයයි. නාමරූප ප්‍රත්‍යයෙන් හටගත් සළායතන මඟින් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන ආයතන උදව් කරගෙන ස්පර්ශය ඇති වන ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත. ආධ්‍යාත්මික ඇසත් බාහිර රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය පහළ වේ. (චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං) ඒ ආධ්‍යාත්මික ඇසත් බාහිර රූපයත් චක්ඛු විඤ්ඤාණයත් යන තුනෙහි එකතුවට කියන වචනය ඵස්ස යන්නයි. (තිණ්ණං සංගති ඵස්සෝ) එය චක්ඛු සම්ඵස්සය ලෙස හැඳින්වේ. සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන සම්ඵස්සයන් ද හටගනු ලබන්නේ ඒ ඒ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ඒවා නිසා හට ගන්නා විඤ්ඤාණත් යන තුනෙහි එකතුව නිසා ය.
ආයතන විසින් කරනු ලබන්නේ සසර දිගු කිරීමයි. සසර සැකසීම යන අර්ථයෙන් ම ඒවාට ආයතන යැ යි කියනු ලැබේ. ආයතන හටගනු ලබන්නේ නාමරූප ප්‍රත්‍යයෙනි. නාමරූප පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා නො කෙරෙන මුත් මෙහි ලා යමක් සඳහන් කළ යුතු ය. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන මේවා රූපයන්ට අයත් ය. එවිට රූප නිසා රූප හටගන්නවා යැ යි කීමෙන් කෙනෙකුට ගැටලුවක් ඇති විය හැකි ය. එය මෙහි ලා විසඳාගත යුතු ය. මුලින් ම මවුකුසෙහි විඤ්ඤාණය බැසගන්නා විට හටගන්නා කලල රූපය තුළ චක්ඛු සෝත ආදි රූප හටගෙන නොමැත. ඒවා හටගන්නේ පසු ව ය. මනායතනයත් එසේ ම ය. නාම යැ යි කී විට එතැන දී ද මනායතනය ගැන කියවෙයි. එහෙත් නැවත නාම නිසා මනායතනය හටගන්නවා යැ යි කීමෙන් අදහස් කරන්නේ හටගත් විඤ්ඤාණය නිසා නැවත නැවත විඤ්ඤාණ පහළ කිරීමයි. බීජයෙන් පැළයක් හට ගෙන ඒ පැළයෙන් නැවත බීජ හට ගන්නාක් මෙනි.
කර්මය විසින් සකසා දෙනු ලැබූ ආයතන විසින් රූපාදී අරමුණු නිසා විඤ්ඤාණ පහළ කර ස්පර්ශය සකසාගෙන ඒ තුළින් නිතර ම පංච උපාදානස්කන්ධයන් සකස් කරනු ලබයි. එහි අදහස මෙම ආයතන විසින් සසර පුරාවට ම සත්ත්වයාට දුක් ඇති කර දෙනු ලබන බවයි. ඇසින් රූපයක් දැකීම යනු රූප, සංඥා හා විඤ්ඤාණ ස්කන්ධ පහළ වීමයි. ඉන්පසු ඒ තුළින් වේදනා හා සංඛාර ස්කන්ධයෝ පහළ වෙති. යම් හෙයකින් එයට තණ්හාවෙන් ගැටගැසුණ හොත් උපාදානස්කන්ධයක් බවට පත් වෙයි. තෘෂ්ණාව ක්ෂය කරන තුරු එකිී උපාදානස්කන්ධ සකසා දෙමින් සංසාරයට සත්ත්වයා ඇද දැමෙන්නේ මෙම ආයතන විසිනි. ආයතන නිරෝධය කිරීමට නම් නාම රූප නිරෝධය කළ යුතු ම ය. ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.