මග නොමග නිවැරදිව අවබෝධ කර ගැනීම නිසා මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධියෙන් පිරිසිදු භාවයට පැමිණි යෝගාවචරයා ආර්යමාර්‍ගයට පමුණුවන ඤාණයන්ගෙන් පිරිසිදු භාවයට පැමිණීම පටිපදා ඤාණ දස්සන විසුද්ධියයි. (එබඳු ඤාණ නවයක් ඇත.) “අටවැදෑරුම් ඤාණයන් ගෙන් මුදුන්පත් වූ විදර්ශනාවක් නව වැනි සච්චානුලෝමික ඤාණයත් යන මේ පිළිවෙළ පටිපදා ඤාණ දස්සන විසුද්ධියයි.” එම ඤාණ මෙසේය.
- උදයබ්බයානු පස්සනා ඤාණය.
- භංගානු පස්සනා ඤාණය.
- භයතුපට්ඨාන පස්සනා ඤාණය.
- ආදීනවානු පස්සනා ඤාණය.
- නිබ්බිදානු පස්සනා ඤාණය.
- මුඤ්චිතුකම්‍යතා ඤාණය.
- පටිසංකානු පස්සනා ඤාණය.
- සංඛාරුපෙක්ඛා ඤාණය.
- සච්චානුලෝමික ඤාණය.
- උදයබ්බයානු පස්සනා ඤාණය. (උදය + වය + අනුපස්සනා)
නාම රූප ධර්‍මයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ යථාවබෝධය මෙයින් අදහස් කෙරේ. දිට්ටි විසුද්ධියෙන් මේ වනවිට නාමරූප ධර්‍මයන්ගේ යථා ස්වභාවය මෙනෙහි කොට ඇති නිසා නැවතත් ඒ පිළිබඳව භාවනා කිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි සිතිය හැක. එහෙත් එසේ කළ යුත්තේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ ස්වභාවය සිහිතබා ගැනීම සඳහා යැයි විශුද්ධි මාර්‍ගය සඳහන් කරයි. ඉහත දැක්වූ ඕභාස ආදී දසඋපක්ලේශයන් ගෙන් කිළිටිවීම නිසා නිසි පරිදි තිලකුණු මෙනෙහි කිරීමට නොහැකි වේ. නැවතත් උදය – වය මෙනෙහි කිරීම නිසා නාමරූප ධර්‍මයන්ගේ අනිත්‍ය බව සහ අනාත්මීය බව වැටහේ.
- භංගානු පස්සනා ඤාණය. (භංග + අනුපස්සනා)
උදයබ්බයානු පස්සනාවෙන් සංස්කාරයන්ගේ ඇත්වීම හා නැතිවීම පිළිබඳව බැලූ යෝගාවචරයා නැවත ඇතිවීම ගැන නොසලකා නැතිවීම පිළිබඳම පමණක් නුවණින් බැලීම භංගානුපස්සනාවයි. මෙහා අනුපස්සනා යන පදයෙන් නැවත නැවත බැලීම යන අර්ථය ලබා දෙයි. මෙසේ භංගය (විනාශය) නැවත නැවත බලන යෝගාවචරයා සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බැලීම නිසා සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි. සතුටු නොවෙයි. නො ඇලෙයි. එසේ දකින යෝගාවචරයාට ආනිසංස අටක් ඇති භංගානුපස්සනා ඤාණය බලවත් වෙයි. එම ආනිසංස අට නම්,
- භව තණ්හාව හෙවත් ශාස්තව දිට්ඨිය ප්‍රහීණ වෙයි.
- ජීවිත ආශාව ඉවත්වෙයි.
- නිතර භාවනාවට සැදී පැහැදී සිටී.
- සම්මා ආජීවයට යොමුවෙයි.
- ලෞකික කටයුතු කෙරෙහි උද්‍යොගය අඩු වෙයි.
- බිය පහවී යයි.
- ඉවසීම හා මුදිතාව දියුණු වෙයි.
- උකටලී බවින් හා කාමයන්හි ඇලීමෙන් තොරවෙයි.
මෙසේ වූ යෝගාවචරයා ඇඳිවත ගිනිගත් අයෙකු එම ගින්න නිවා ගැනීමට උත්සාහ ගන්නකු මෙන් විය යුතුය.
- භයතුපට්ඨාන ඤාණය. (භය + උපට්ඨාන)
සියලු සංස්කාරයන්ගේ විනාශය දකින යෝගාවචරයාට, මේ සංස්කාරයෝ මහත් බිය උපදවන්නේ යැයි අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්‍තමාන සංස්කාරයෝ ද නිරුද්ධ වෙති. අනාගත සංස්කාරයෝ ද විනාශ වන්නාහුය යන භයතුපට්ඨාන ඤාණය උපදී. මේ බව උපමා කිහිපයක් මඟින් විසුද්ධි මාර්‍ගයේදී පෙන්වා දී ඇත. එකක් පමණක් දක්වමි.
එක් මවකට දරුවන් තිදෙනෙකි. ඒ තිදෙනාම අපරාධකරුවන් වීම නිසා හිස් ගසා දැමීමට නියම වෙයි. ඔවුන්ගේ මව ද ඔවුන් සමඟ වධක භූමියට ගියාය. ඇය බලා සිටියදීම වැඩිමලා ඝාතනය කළේය. දෙවැන්නාගේ ගෙල සිඳීමට සූදානම් වද්දී මව එම දරුවා පිළිබඳ ආලය අත්හරී. තුන්වන්නාට ද එසේ බව සිතා ඔහු කෙරෙහි ද ආලය අත්හරී.
යෝගාවචරයාද මෙසේ අතීත සංස්කාරයන් පිළිබඳවත්, වර්‍තමාන සංස්කාරයන් සහ අනාගත සංස්කාරයන් පිළිබඳවත් ඇලීම අත්හළ යුතුය.
- ආදීනවානුපස්සනා ඤාණය. (ආදීනව+ අනුපස්සනා)
මෙසේ සංස්කාරයන් පිළිබඳ බිය දකින යෝගාවචරයා සංස්කාරයන්ගේ ආදීනව නැවත නැවත මෙනෙහි කරයි. සංස්කාරයන්ගේ ඉපදීමද, පැවැත්මද, නිමිත්තද (සියලු සංස්කාර නිමිති) ආයුහනයද (කර්ම රැස්කිරීම), ප්‍රතිසන්ධිය ද යන පස් තැනෙක ආදීනව දකී. මෙසේ දැකීමේ ඤාණය ආදීනවානුපස්සනා ඤාණයයි.
- නිබ්බිදානුපස්සනා ඤාණය. (නිබ්බිදා + අනුපස්සනා)
නිබ්බිදා යනු කලකිරීමයි. සංස්කාරයන්ගේ ආදීනව අවබෝධකරගත් යෝගාවචරයා සංස්කාරයන් පිළිබඳව කලකිරීමට පත්වෙයි. එහි නොඇලෙයි. නොඉපදීමෙහිම ඇලෙයි. මෙසේ උපදවා ගන්නා ඤාණය නිබ්බිදුනුපස්සනා ඤාණයයි.
- මුඤ්චිතුකම්‍යතා ඤාණය
ඉහත කී නිබ්බිදානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් කෙරෙහි කලකිරීමට පත්වන යෝගාවචරයාගේ සිත කිසිදු සංස්කාරයෙක්හි නොඇලේ. එයින් මිදෙනු කැමතිවෙයි. දැලකට හසුවූ මත්ස්‍යයෙක්, සර්පයෙකුට හසුවූ මැඩියෙකු මිදෙනු කැමතිවන්නාසේ ම සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමති ඔහුට මෙම මුඤ්චිතුකම්‍යතා ඤාණය උපදී.
- පටිසංඛානුපස්සනා ඤාණය. (පටිසංඛා + අනුපස්සනා)
ඉහත සඳහක් කළ ආකාරයෙන් සංස්කාරයන්ගෙන් මිදෙන කැමතිව නැවතත් සංස්කාරයන් ප්‍රත්‍යවේක්‍ෂා කරමින්, ත්‍රිලක්‍ෂණයට නගා විග්‍රහකරමින් බලයි. ඒ කුමක් නිසාද? සංස්කාරයන්ගෙන් මිදෙනු පිණිසය. මේ සඳහා විශුද්ධිමාර්‍ගයේ උපමාවක් දක්වා ඇත.
එක්තරා පුරුෂයෙක් මසුන් අල්වා ගැනීම සඳහා කෙමණක් (කරකක් විය හැකිය) දියෙහි බහා ඒ තුළට අත දැමූ පසු සර්පයෙක් අසුවෙයි. ඔහු සිතන්නේ ලොකු මසෙකු කියාය. සතුටට පැමිණි ඔහු අත දමා තදින් අල්ලාගෙන උඩට ගත්කල සර්පයෙකු බව හඳුනාගෙන බියට පත්වෙයි. සර්පයාගෙන් මිදීමට අදහස් කරයි. ග්‍රහණය තදකොට අතෙහි වෙලාගෙනසිටි නගුට ඉවත්කොට අත ඔසවා හිසවට තෙවරක් කරකවා සර්පයා දුර්‍වලකොට ඈතට වීසිකරයි.
යෝගාවචරයාද අනාත්මභාවය ලැබී සතුටුවීම පුරුෂයා මසකු අල්වාගතිමි යැයි සතුටු වූවා වැනිය. සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය දැකීම සර්පයාගේ සෝවස්තිකය දැක හඳුනාගැනීම වැනිය. යෝගාවචරයාගේ භයතුපට්ඨාන ඤාණය සර්පයා දැක බියට පත්වීම වැනිය. ආදීනවානුපස්සනා ඤාණය සර්පයාගේ ආදීනව දැකීම වැනිය. මුඤ්චිතුකම්‍යතා ඤාණය සර්පයා මුදාහැරීමට අදහස් කිරීම වැනිය. පටිසංඛානුපස්සනා ඤාණය මඟික් සංස්කාරයන් ත්‍රිලක්‍ෂණයට නැගීම සර්පයා මුදාහැරීමට උත්සාහ කිරීම වැනිය.
- සංඛාරූපෙක්‍ඛා ඤාණය. (සංඛාර + උපෙක්‍ඛා)
සංස්කාරයන්ගෙන් මිදීමේ මාර්‍ගය අවබෝධකරගත් යෝගාවචරයා සියල්ල ශුන්‍යතාවශයෙන් දකී. එවිට එතෙක් පැවති දැඩි වීර්‍ය්‍යය ලිහිල්කොට උපේක්‍ෂාව උසස්කොට පිළිගෙන සියල්ලෙහි මැදහත්වෙයි. එසේ උපේක්‍ෂාව ඇතිකරගැනීමේ ඤාණය සංඛාරුපෙක්‍ඛා ඤාණයයි.
- සච්චානුලෝමක ඤාණය. (සච්ච + අනුලෝමක)
සංඛාරුපෙක්‍ඛා ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය සහ පටිසංඛානුපස්සනා ඤාණය යන ඤාණ දෙක සමඟ අර්ථවශයෙන් සමාන වන බව විශුද්ධිමාර්‍ගය සඳහන් කරයි. සංඛාරුපෙක්‍ඛා ඤාණය උපදවාගැනීමෙන් පසු “අධිමොක්‍ඛ” නම්වූ බලවත් ශ්‍රද්ධාව උපදී, ඒ සමගම සම්මා සතිය ඇතිවේ. සිත සමාහිත වේ. නැවතද සංස්කාරන්ගේ ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් අනුලෝම ඤාණය උපදවා ගනී.
මෙම නවවිධ විදර්ශනා ඤාණය විවිධ උපමා මඟින් විශුද්ධි මාර්‍ගය පැහැදිලි කර ඇත. ඒ අතර ගෘහ උපමාව මෙහිලා දැක්වේ.
එක් ගෙහිමියෙක් රාත්‍රී ආහාරගෙන නින්දට ගිය පසු ඔහුගේ ගෙය ගිනිගනී. ඒ බව දැනගත් ගෙහිමියා බියට පත්ව වහා පිටවී යාමට සිතයි. අවට බලයි. එවිට යාමට මඟක් දකී. ඒ මඟින් වේගයෙන් ගොස් බියනැති තැනක නවතී.
● ආහාර ගෙන නිදාගැනීම පෘථග්ජනයා පඤ්චකාම සම්පත් මගේ කරගැනීමට සමානය.
● ගේ ගිනි ගැනීමෙන් බියට පත්වීම භයතුපට්ඨාන ඤාණයයි.
● පිටවීයාමට මඟක් සෙවීම මුඤ්චිතුකම්‍යතා ඤාණයයි.
● මඟ දැකීම අනුලෝම ඤාණයයි.
● වේගයෙන් යාම මාර්‍ග ඤාණයයි.
● භය ස්ථානයේ සිටීම ථල ඤාණයයි.
අනුරපුර උතුම් ජයසිරිමා බෝ සෙවනේ සන්නිපාත ශාලාවේදී සෑම පසළොස්වක පෝ දිනකම පස්වරුවේ ගිහි පැවිදි ධර්මධර උගත් පඬිවරුන් පවත්වනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ මෙවර රථවිනීත සූත්‍රයේ එන සත්ත විසුද්ධිය අළලා විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න සූරීන් විසින් පැවැත්වූ දෙසුම ඇසුරින් බුදුමඟට සකස්කළේ සෙනරත් පොන්නම්පෙරුම

