අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

rashi
By rashi
11 Min Read

අරහං බුදු ගුණය
සො භගවා ඉතිපි අරහං
අරහං වත සො භගවා
තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි
තං භගවන්තං අරහන්තං සිරසා නමාමි

  • ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවිද්‍යා, සංඛාර, විඥාණ, නාමරූප සළායතන, එස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, ව්‍යාධි මරණයෙන් ඉක්මවූ හෙයින් ද,
  • ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ යසස, කීර්තිය, ධනය, බලය, ශීල, සමාධි, ප්‍රඥා, ධ්‍යානාදී කිසි දෙයකින් මානයෙන් උඩඟු නොවූ හෙයින් ද,
  • දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදීන්ගේ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් ද,
  • රහසින්වත් පවක් අතිපාරිශුද්ධ චිත්ත සන්තානයෙන් සිදු නොකළ හෙයින් ද,
  • ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, ශරීරයෙන් ස්පර්ශ ලබා, මනසින් අරමුණු ගෙන නොඇලුණ සේක. නොගැටුණ සේක, මුලා නොවුණ සේක, ආශාව දුරු කළ සේක, නැවත නූපදින පරිදි කෙලෙස් 1500 ක් දුරු කළ සේක.

මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ…. ඒ අරහං බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සම්මා සම්බුද්ධ බුදු ගුණය

සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො
සම්මා සම්බුද්ධො වත සො භගවා
තං භගවන්තං සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි

  • ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් ම අවබෝධ කර ගත් සේක.
  • රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පඤ්ච උපාදානස්කන්ධය දුඃඛ සත්‍යයම බව පිරිසිඳ අවබෝධ කර ගත් සේක.
  • එම දුක උපදවන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක.
  • අවිද්‍යාව තණ්හාව නොපවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක.
  • නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා පිළිපැදිය යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මාර්ග සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක.
  • සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥප්ති, නිබ්බාන යන පස් වැදෑරුම් නෙය්‍ය ධර්මයන්, ගුරු උපදේශ රහිතවම තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය

සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො
විජ්ජාචරණ සම්පන්නං වත සො භගවා
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං තං
සරණං ගච්ඡාමි
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං තං
සිරසා නමාමි

  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ! අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අවබෝධ කරන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන් ද
  • තමන් වහන්සේගේ කයින් අන් කයක් මවාපාන්නා වූ මනෝමය සෘද්ධිවිධ ඥානයෙන් ද,
  • අසම සම වූ අනන්ත අපරිමාණ වූ සෘද්ධි ප්‍රාතිහාර්යයන් පාන්නා වූ සෘද්ධි ප්‍රාතිහාර්ය ඥානයෙන් ද,
  • මේ ලෝක ධාතුවේ පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේම අසා දැනගත හැකි නුවණ ඇති දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් ද,
  • අනුන්ගේ සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද,
  • පෙර ආත්මය ගැන දන්නා වූ පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් ද,
  • සත්ත්වයන් මැරි මැරී ගොස් උපදින තැන දැනගන්නා වූ දිබ්බචක්ඛු ඥානයෙන් ද,
  • කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්‍ෂය කරන ආශ්‍රව ක්‍ෂය කරන ඥානයෙන් ද,
  • ප්‍රාතිමෝක්‍ෂ ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය පමණ දැන ආහාර වැළඳීම කුසලාකුසල කර්ම කෙරෙහි ඇති ශ්‍රද්ධාව, හිරි ඔතප්, බහුශ්‍රැත භාවය, වීර්ය, සිහිය, ප්‍රඥාව ධ්‍යාන සතර යන පසළොස් චරණ ධර්මයන්ගෙන් ද සමන්නාගත වන හෙයින් ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ විජ්ජාචරණ සම්පන්න බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සුගත බුදු ගුණය

සො භගවා ඉතිපි සුගතො
සුගතො වත සො භගවා
තං භගවන්තං සුගතං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං සුගතං තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේ දීපංකර බුද්ධ ශ්‍රී පාද මූලයේ පටන් විජය ශ්‍රී ජය ශ්‍රී බෝ මැඬ දක්වාම ශාන්ත ගමනින් පැමිණි හෙයින් ද,
  • දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුක්ත වන හෙයින්ද, මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන හෙයින් ද,
  • කාමසුඛල්ලිකානු යෝගය, අත්ථකිලමතානු යෝගය යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් ද,
  • සත්‍ය වූද, සාරවත් වූද, අර්ථවත් වූද මුල, මැද, අග යහපත් වූ අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා කළ හෙයින් මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ සුගත නම් වන සේක.
  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ සුගතෝ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

ලෝකවිදු බුදු ගුණය

සො භගවා ඉතිපි ලෝකවිදු
ලෝකවිදු වත සො භගවා
තං භගවන්තං ලෝකවිදුං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං ලෝකවිදුං තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ! ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ගය ද,
  • සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රයන් ද,
  • අපාය භූමි සතර, කාම භූමි සත, රූප භූමි 16, අරූප භූමි සතර යන තිස් එක් භූමි තලයන් සහ අවශේෂ ලෝක ධාතූන් සම්මුති, පරමාර්ථ වශයෙන් අවබෝධ කරගත් හෙයින් මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.
  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ ලෝකවිදූ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

අනුත්තරෝ පුරිස දම්ම සාරථී බුදු ගුණය

සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරථි
අනුත්තරෝ පුරිසදම්ම සාරථී වත සො භගවා
තං භගවන්තං අනුත්තරෝ පුරිසදම්ම සාරථිං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං අනුත්තරෝ පුරිසදම්ම සාරථිං තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය ආදී චතුර්විධ ශීලයන්ගෙන් ද
  • ශීල විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී සප්ත විසුද්ධියෙන් ද,
  • ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් ද
  • ලොව කිසිවකුටත් දමනය කළ නොහැකි වූ චණ්ඩ වූ, පරුෂ වූ, ජෛනයන්, ජටිලයන්, තීර්ථකයන්, දෙවියන්, බඹුන්, මිනිසුන්, ප්‍රතිහාර්ය ඥානයෙන්, උපාය මාර්ගයෙන්, මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් දමනය කළ හෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වන සේක.
  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ අනුත්තරෝ පුරිසධම්ම සාරථී බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සත්ථා දේව මනුස්සානං බුදු ගුණය

සො භගවා ඉතිපි සත්ථා දෙව මනුස්සානං
සත්ථා දෙව මනුස්සානං වත සො භගවා
තං භගවන්තං සත්ථා දෙව මනුස්සානං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං සත්ථා දෙව මනුස්සානං තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව පරලොව යහපත සඳහා චතුරාර්ය සත්‍ය දේශනා කළ හෙයින් ද,
  • ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිස ද,
  • දාන, ශීල, භාවනා, කුසල විපාකයන් සඳහා ද
  • පස්පව්, දසඅකුසල්, පංච නීවරණයන් දුරු කිරීම සඳහා ද,
  • ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් ඉක්මවීම සඳහා ද
  • දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා ධර්ම දේශනා කළ හෙයින් සත්ථා දේව මනුස්සානං වන සේක.
  • මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ සත්ථා දේව මනුස්සානං බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සාධු! සාධු! සාධු!

බුද්ධො බුදු ගුණය

සො භගවා ඉතිපි බුද්ධො
බුද්ධො වත සො භගවා
තං භගවන්තං බුද්ධං තං සරණං ගච්ඡාමි
තං භගවන්තං බුද්ධං තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණී බුදුපියාණන් වහන්ස! ඔබ වහන්සේ දුකය, දුක ඇතිවීමය, දුක නිවීමය, දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ආදී වශයෙන් දොළොස් ආකාරයකින් ද,
  • පිළින, සංඛ්‍යාත, සංතාප, විපරිනාම වන දුඃඛාර්ථ සතරකින් ද,
  • ආයුභන, නිදාන, සංයෝග, පළිබෝධ යන සමුදාර්ථයන් සතරකින් ද,
  • නිස්සරණ, විවේත, අසංඛත, අමත යන නිරෝධාර්ථයන් සතරින් ද,
  • න්‍යායන, හේතු, දස්සන, ආධිපත්‍ය යන මාර්ගාර්ථයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස් ආකාරයකින් අවබෝධ කර දේශනා කළ හෙයින් ද,
  • අත්ථ පටිසම්භිදෙ, ධම්ම පටිසම්භිදෙ, නිරුත්ති පටිසම්භිදෙ, පටිභාන පටිසම්භිදෙ යන චතු විශාරද ඥානයෙන් ද,
  • ඉන්ද්‍රිය පරෝ පරියත්තෙ ඥානය, යමක පටිහාරියේ ඡානය, මහා කරුණා සමාපත්ති ඥානය, සබ්බ`ක්‍දුත ඥානය, අනාවරණ ඥානය යන ෂඩ් අසාධාරණ ඥාණයන්ගෙන් ද,
  • නව අරහාදී බුදුගුණ බලයෙන් ද, දසබල ඥාන බලයෙන් ද, සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන් ද, තෙසැත්තෑ ඥානයෙන් ද, සත් සත්තෑ ඥානයෙන් ද, අනන්ත අප්‍රමාණ වූ ඥානයන්ගෙන් සමන්නාගත වන හෙයින් බුද්ධ නම් වන සේක.
  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ ඒ බුද්ධෝ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සාධු! සාධු! සාධු!

භගවා බුදු ගුණය

සො භගවා ඉතිපි භගවා
භගවා වත සො භගවා
තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි
තං භගවන්තං භගවන්තං සිරසා නමාමි

  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේ ආශ්චර්ය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන භාග්‍යයන්ගෙන් ද,
  • ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර යන මාරයන් පරාජය කළ හෙයින් ද,
  • ස්කන්ධ, ධාතු, ආයතන, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්ම, දස අකුසල ධර්ම, දස කුසල ධර්ම, දස සංයෝජන ධර්ම, දස පාරමිතා, දස සංඥා සහ පංච නීවරණ ධර්මයන් මනාකොට අවබෝධ කළ හෙයින් ද
  • සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බෝජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ග, යන සත්තිස් බෝධි පාක්‍ෂි ධර්මයන් අවබෝධ කළ හෙයින් ද,
  • මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව, ත්‍රිවිධ චර්යා සහ පංච මහා දානයන්ගෙන් ද,
  • භාජනය කළ යුතු ගුණයක් භාජනය කළ හෙයින් ද විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හෙයින් ද, මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ භගවා නම් වන සේක.
  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ භගවා බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!
  • මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මම නිදුක් වෙම්වා! නිරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

ඒ අසීමිත ගුණාස්කන්ධය දොහොත් මුදුනත තබා මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පුරා කරමි. පූජා වේවා!

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”

දානයන් අතුරෙන් ධර්ම දානය උතුම් දානය වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *