බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි
හැබෑම සත්පුරුෂයා නම් කවරෙක් ද? මෙහි ‘සත්පුරුෂයා’ යැ යි නම් කළත් ස්ත්‍රී පුරුෂ නම් දෙපාර්ශ්වය ම ‘සත්පුරුෂ’ නම් වූ වචනයෙන් අදහස් කෙරේ. වර්තමානයේ සත්පුරුෂයන් ලෙස සත්පුරුෂ නො වූ ප්‍රතිරූපකයෝ පෙනී සිටිති. මේ නිසා බෞද්ධ දර්ශනය අනුව සත්පුරුෂයා නම් කවරෙක් දැ යි නිවැරැදි ව හඳුනාගැනීම අවශ්‍යයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබේ. යම් පුද්ගලයෙකු ප්‍රාණඝාතයෙන් වැළකේ ද, සොරකමින් වැළකේ ද, රහමෙර පානයෙන් වැළකේ ද, ඒ සත්පුරුෂයාගේ චරිත ස්වභාවයයි. ඒ පමණක් නො ව, සත්පුරුෂයා තමා එම දුෂ්චරිතයන් ගෙන් වැළකී අන් අය ද එම දුෂ්චරිතයන් ගෙන් වළක්වා සුචරිතයට යොමු කරයි. එහි උනන්දු කරවයි. ඒ මඟට උපකාර කරයි. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂයාගේ ලක්ෂණ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. සත්පුරුෂයා බොහෝ දෙනාට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. යහළුවන්ට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. පැවිදි උතුමන්ට ද වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. එමෙන් ම සත්පුරුෂයා සැදැහැවත් අයෙක් වෙයි. පවට අවබෝධයෙන් යුතු ව ලජ්ජාවක් බියක් ඇති කර ගනියි. බහුශ්‍රැත වූයේ, දැනුමෙන් සහ අවබෝධයෙන් යුතු වූයේ වෙයි. නොපසුබට වීර්යයෙන් යුතු වූයේ වෙයි. මනා වූ සිහියෙන් යුතු වූයේ වෙයි. ඥානවන්ත වෙයි. මෙම විස්තරය උපුටා ගනු ලැබුවේ අංගුත්තර නිකායේ චතුක්ක සහ පඤ්චම නිකායන් ගෙනි.
සත්පුරුෂයාගේ ගති ලක්ෂණ තේරුම් ගන්නා විට අසත්පුරුෂයා නම් කවුරුන් දැ යි ඉතා ම හොඳින් පැහැදිලි වෙයි. ප්‍රාණඝාත කරන හෝ අන් අයට කරදරකාරී ව ජීවත් වන, සොර මැරකම් කරන, කාම මිථ්‍යාචරයෙහි හැසිරෙන, බොරු කියන, කේළාම් කියන, පරුෂ වචන කියන, හිස් වචනයෙන් යුතු, මත් වතුරට ඇබ්බැහි වූ, පාපයන්ට බර වූ දරදඬු චරිතයක් ඇති පුද්ගලයා අසත්පුරුෂයෙකු බව පැහැදිලි ය. සැබැවින් ම සමාජයේ වඩාත් ම නින්දාවට මෙන්ම දෝෂ දර්ශනයට ලක් වන්නේ මෙම අසත්පුරුෂයන් ය. එනමුත් පව්කාරයන්ට, අසත්පුරුෂයන්ට, අකෘතඥ පුද්ගලයන්ට, අමනුෂ්‍ය ගති ප්‍රකට කරන්නන්ට, නින්දා අපහාස, අවමාන ගති ප්‍රකට කරන්නන්ට නින්දා අපහාස අවමාන උරුම දෙයක් ලෙස සලකා සමාජය ඒ ගැන විශේෂ සැලකිල්ලක් නො දක්වයි. එමෙන් ම එවැනි අසත්පුරුෂ පුද්ගලයෝ ද මතුපිටින් නො පෙන්නුව ද, වචනයෙන් සහ ඉරියව්වලින් නො පෙන්නුව ද තමන්ගේ සිතුවිලි වචන සහ ක්‍රියාවන්ට ලැබෙන ප්‍රතිචාර එය ම බව දනිති. මේ නිසා එවැනි පුද්ගලයන් සිතින් සිතන්නේ “මට කොහොමත් එකයි” යන අදහස ය. වැඩියෙන් ම බැනුම්, නින්දා, අපහාස ලැබෙන්නේ අසත්පුරුෂයන්ට ය. සිංහල සංස්කෘතික බස් වහරෙහි ප්‍රකට ආකාරයෙන් ‘කම්මලේ බල්ලා’ මෙන් එවැනි පුද්ගලයන්ට එවැනි නින්දා අපහාස සාමාන්‍ය දෙයකි. ඇතැම් තැනෙක අසත්පුරුෂ පුද්ගලයෝ අසත්පුරුෂකම් කරමින් ඒවා වසාගෙන සත්පුරුෂයන් ලෙස අන් අයට පෙන්වාගෙන ජීවත් වෙති. එවැනි අසත්පුරුෂයන් ධර්මයෙහි හඳුන්වන්නේ ‘ලපනා කුහනා’ නම්වලිනි. එනම් නැති ගුණ පෙන්වන, චාටු බස් කියන කපටි කෛරාටික පුද්ගලයන් හැටියට ය. එවැනි පුද්ගලයන්ට ද නින්දා අපහාස ලැබුණ ද ඔවුහු කපටිකමෙන් සහ චාටු බස් කියමින් ‘හොඳ මූණක්’ පෙන්වාගෙන සිටිති. එසේ මෙවැනි පුද්ගලයෝ තවත් ආකාරයකින් සමාජයේ ගරු බුහුමන් ලබති. ප්‍රශංසා ලබති. සම්මානයට ද පාත්‍ර වෙති. කපටිකමින් සැබෑ සත්පුරුෂයන්ට හිමි විය යුතු ගෞරවය සහ සම්මානය ද ඔවුහු ලබා ගනිති.
මෙහි දී මතු වන්නේ සැබෑ සත්පුරුෂයන්ට නින්දා අපහාස ලැබෙන්නේ කවර හේතු නිසා ද යන ප්‍රශ්නය ය. සත්පුරුෂයන්ට නින්දා නො කළ යුතු ය නම් වූ අදහසෙහි අපි සියලු දෙනා ම සිටිමු. මේ නිසා සත්පුරුෂයෙකුට ස්වල්ප වූ නින්දාවක් හෝ පැමිණෙන්නේ නම් එය සිත්වලට තදින් දැනේ. සත්පුරුෂයන්ට යම් වූ ද නින්දා අපහාස ලැබෙන්නේ නම්, ඒ සත්පුරුෂ ගති ලක්ෂණ, පැවතුම් නිසා ය. නිදසුන් ලෙස සිතා බලන්න. අන් අයට ගරු කරන, වචනයෙන් හෝ වරදක් නො කරන, කෙටියෙන් සඳහන් කරන්නේ නම්, පස්පව්වලින් සහ දස අකුසලයන් ගෙන් වැළකුණ අයට පස්පව් සහ දස අකුසල් කරන සහ ඔවුන්ගේ සමීපතමයන් ගෙන් ගැටලු මතු විය හැකි ය. සත්පුරුෂයා දහමෙහි පෙන්වා දෙන වැරදි සිදු නො කරනවා පමණක් නො ව සමාජ සම්මතයෙහි පවත්නා නීතිරීතිවලට ද ගරු කරන පුද්ගලයෙකි. එබැවින් ඔහු හෝ ඇය අන් අය ද යහපත් වූ දෙයට යොමු කරයි. පොලඹවයි. අසත්පුරුෂයා අසත්පුරුෂකම්වලට මිනිසුන් පොලඹවද්දී සත්පුරුෂයා මිනිසුන් සත්පුරුෂකම්වලට පොලඹවයි. මෙහි දී අසත්පුරුෂයා සත්පුරුෂයාට නින්දා අපහාස මෙන්ම තාඩන පීඩන ද කළ හැකි ය. පසුගිය දිනෙක මතට එරෙහි ව ක්‍රියා කළ මහත්මයකුට පීඩා කළ පුද්ගලයන් පිළිබඳව අසන්නට ලැබිණි. සමාජයේ පිරිහීමට කටයුතු කරන පුද්ගලයන්ට අවවාද දෙන පැවිදි උතුමන්ට ද, සත්පුරුෂ ගුරු මාපියන්ට ද, පරුෂ වචනයෙන් බැන වදින පුද්ගලයෝ බොහෝ සේ සිටිති.
එසේ ම, සන්සුන් ව කිසිවකුටත් නො දැනෙන ලෙස නිශ්ශබ්ද ව සත්පුරුෂ ව කල්‍යාණවන්ත ව ජීවත් වන අය ද සිටිති. එවැනි අයට ද යම් විටෙක බැනුම් අසන්නට සිදු වෙයි. නපුරු පුද්ගලයන්ට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරගන්නට නොහැකි වන විට හොඳ නරක නො පෙනේ. මත් වතුරට ඇබ්බැහි වූ පුද්ගලයකුට බෝධිසත්ත්ව උතුමෙකුට වුව ද නින්දා කළ හැකි ය. එමෙන් ම සමාජය අපේක්ෂා කරන්නේ යහපත් වූ ඇවැතුම් පැවැතුම් ඇති මනුෂ්‍යයන් ගෙන් ස්වල්ප වූ ද වැරැද්දක් සිදු නො විය යුතු ය යනුවෙනි. එවැනි අයෙකු ගෙන් සිදු වන අත්වැරැද්දක් හෝ පිට වන ස්වල්ප වූ වචනයක් හෝ මහත් වැරැද්දක් ලෙස සලකා නින්දා අපහාස කරති. එම සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගති නො දකිමින් සිටි පුද්ගලයෝ ස්වල්ප වූ අඩුපාඩුව ඉස්මතු කරමින් පෙන්වා දෙති. මෙය වඩාත් ම සිදු කරන්නේ එම සත්පුරුෂයන් ගෙන් උදව් උපකාර ලැබූ පුද්ගලයන් ම විය හැකි ය.
සත්පුරුෂයන් සහ කල්‍යාණවන්තයන් ද, ගුණගරුක මනුෂ්‍යයන් ද නපුරු මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ කම්පා නො විය යුතු ය. මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් පිරිපුන්, සියලු සත්ත්වයන් කෙරෙහි අසිරිමත් ලෙස පිහිට වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට ද බැන වැදුණු, නින්දා අපහාස කළ, අභූත චෝදනා කළ මරන්නට උත්සාහ කළ ලෝකයක් තුළ සාමාන්‍ය මනුෂ්‍යයන්ට නින්දා අපහාස ලැබීම පුදුමයට කරුණක් නො වේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලොව බැනුම් නො ඇසූ පුද්ගලයෙකු නොමැති බව ය. එයිනුත් රටට, ලොවට, ගමට, පළාතට මනුස්සකමට ගරු කරන, වැඩ කරන, සෙත සලසන පුද්ගලයන්ට ද නින්දා අපහාස ලැබේ. තුන් ලොවක් සැනසූ තමාට විරුද්ධකම් කළ දෙව්දත් තෙරුන්ට ද මෛත්‍රිය පැතිරූ බුදු උතුමන්ටත් ‘මුඩු මහණ, වසලයා” යැ යි බැන වැදුණු, නින්දා අපහාස කළ මෙවැනි ලොවක් තුළ ඔබටත් මටත් නින්දා අපාසයන් ගෙන් මුළුමනින් වැළකී සිටිය හැකි ද? ‘ලෝකයෙන් පලා ගොස්’ කැළෑවක හුදකලා වී සිටිය ද යම් අයෙකු දොස් කියනු ඇත. එය මේ ලෝකයේ ස්වභාවයයි. සත්පුරුෂකම් අත් නො හරින්න. ඇනුම් බැනුම් ඉදිරියේ කම්පා නො වන්න. ඔබ ද මා ද අවංක ව ම සත්පුරුෂයන් නම් අන් අයගේ නින්දා අපහාසවලින් අපගේ සිත් පීඩාවට පත් නො කරගනු ඇත. ඒවා අපට සසරගත අපේ ම කර්ම දෝෂ පමණෙකි. අවසන් වශයෙන් බුදුරදුන්ගේ උතුම් වූ ඉගැන්වීමක් ඔබට සිහිගන්වමි.
“අහං නාගෝව සංගාමේ
චාපාතේ පතිතං සරං
අතිවාක්‍යං තිතික්ඛිස්සං
දුස්සීලෝහි බහුජ්ජනෝ”
“ලෝකයේ බොහෝ දෙනා දුස්සීල ය. එනම් නරක ය. ඒ නිසා යුද බිමෙහි දී දුන්නෙන් පැමිණි ඊ පහර වැදීත් ඉවසන ඇතකු මෙන් මම ද නොයෙක් දෙනාගේ පරුෂ වචන සහ ඇනුම් බැණුම් ඉවසමි.