ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්
බලය යනු යමක් කිරීමට අපට ඇති හැකියාවයි. අපට නිදහසේ අප කැමැති දෙයක් කිරීමට ඇති හැකියාව බලයෙහි මූලික ම අවස්ථාවයි. අපට අවශ්‍ය දෙය අන් අය ලවා කරවාගැනීම හෙවත් පාලනය, එහි දෙවැනි අවස්ථාවයි. මජ්ක්‍ධිම නිකායෙහි, උපරි පණ්ණාසකයෙහි, විභංග වග්ගයෙහි, චූලකම්ම විභංග සූත්‍රයට අනුව අපට බලය ලැබෙන්නේ අප කළ කුසල්වල ප්‍රතිඵලයක් ලෙස ය. කුසලය යනු කුසලතාවය හෙවත් යමක් කිරීමට අප සතු හැකියාවයි. අපට කුසලයන් වර්ධනය කරගත හැක්කේ, එම කුසලයෙහි අප වඩ වඩාත් නිරත වීම තුළිනි. බලය ප්‍රාර්ථනා කර පමණක් ලබාගත හැක්කක් නො වේ. අපට යම් බලයක් ලබාගැනීමට නම් ඒ හා අදාළ කුසල්වල අප නිරත විය යුතු ය.
කුළාවක ජාතකය මෙයට කදිම නිදසුනකි. මඝ යන නමින් මචල ගමෙහි උපත ලද බෝධිසත්ත්වයන්වහන්සේ නිත්‍ය ව පංචශීලය ආරක්ෂා කරමින් පාලකයකු සතු විය යුතු ඉවසීම, මෛත්‍රිය, කරුණාව, ආදි ගුණ ප්‍රගුණ කළ හ. එසේ ම අන් අයගේ යහපත හා පහසුව සලසා දීමට නොයෙක් සුබසාධක කටයුතු කළ හ. මඝ මානවකයන්ගේ ක්‍රියාවන් කෙරෙහි පැහැදුණු එගම පුද්ගලයෝ තිස් දෙනෙක් ද මෙම කටයුතුවලට එකතු වූ හ. නොයෙක් බාධක මධ්‍යයෙහි වුව ද සිය ප්‍රතිපදාව කඩ නො කර රැකගැනීමට මෙම පිරිස සමත් වූ හ. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිසට නායකත්වය දුන් මඝ මානවකයන් දෙ දෙව් ලොවට අධිපති සක්‍ර දෙවියන් ලෙසත්, මඝ මානවකයන් අනුගමනය කළ තිස් දෙනා පිරිස් බලය සහිත දෙවිවරුන් ලෙසත් දෙව්ලොව උපත ලැබූ හ.
ධම්මපද අටුවාවෙහි හමු වන වත්මන් සක්දෙවිඳුන් හා තිස් තුන් කෝටියකට අධිපති දෙව් පුතුන් තිස් දෙනාගේ කථාව ද කුළාවක ජාතකයට බෙහෙවින් සමාන ය. මෙම කථාවස්තූන් දෙක ම පැහැදිලි කරන්නේ බලය ලබාගැනීමට නම් අප ඒ හා අදාළ කුසලයන් ප්‍රගුණ කළ යුතු බව ය. ඉහත දැක්වූ ලෙස අපට යමක අධිපතිත්වය ලැබෙන්නේ පෙර කරන ලද කුසලයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙසේ ලැබුණු බලය නිවැරැදි ව හැසිරවීමෙන් මෙලොව පරලොව යහපත තමාට මෙන්ම අන් අයට ද උදාකර දිය හැකි ය.
යම් සමාජයක වර්ධනය හෝ පිරිහීම රඳා පවතින්නේ එම සමාජයෙහි මූලිකන්වය ගන්නා, එනම්, එම සමාජය හැසිරවීමෙහි බලය ඇති පුද්ගලයාගේ ධාර්මිකත්වය මත බව, බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරති (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, අභිඤ්ඤා වග්ගය, කුල සූත්‍රය). යම් කුලයක සිල්වත් ස්ත්‍රියක හෝ පුරුෂයකු අධිපත්ත්වයෙහි තැබුව හොත් එම කුලය සමෘද්ධිමත් වේ. දුසිල්වත් ස්ත්‍රියක හෝ පුරුෂයකු අධිපතිත්වයෙහි තැබුව හොත් එම කුලය පිරිහේ.
දීඝ නිකායෙහි, පාථිකවග්ගපාලියෙහි, අග්ගඥඤ්ඤ සූත්‍රයට අනුව යම් කණ්ඩායමක් පාලනය කිරීමට එම කණ්ඩායම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සමාජ අවශ්‍යතාවක් පැන නඟින්නේ, එම සමාජය තුළ විෂමාචාරයන් පහළ වූ විට එවැනි තත්ත්වයන් පාලනය හා ඇති වීම වළක්වා ගැනීම සඳහා ය. ඒ සඳහා, එම සමාජය පාලකයාව නඩත්තු කිරීම සඳහා තමා උපයන දෙයින් කොටසක් දෙයි. වත්මන් පාලන ක්‍රමය තුළ පවා මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. රටක වැසියන් බදු ගෙවා රජය නඩත්තු කරයි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව රජයට එහි වැසියන් බදු ගෙවීමේ ක්‍රමවේදය මෙලොව පහළ වූයේ, සමාජයේ ඇති වන විෂම චර්යාවන් නිවාරණය පිණිස රජය කරන කාර්යභාරය සඳහා ය. එම වගකීම භාරගන්නා රාජ්‍ය පාලකයන් ධාර්මික වීම අත්‍යවශ්‍ය වනුයේ ස්වයං විනයකින් තොර වූ පුද්ගලයකුට අන් අයව සංවර කිරීම කළ නොහැකි නිසා ය. බලයට පත් වන පුද්ගලයා ධාර්මික නො වන්නේ නම්, අන් අයව ධාර්මිකත්වයට පත් කර ගැනීම කළ නොහැකි ය. එම නිසා අන් අය විෂයෙහි බලය හැසිරවීමට අපට ඇති මූලික සුදුසුකම වන්නේ ධාර්මිකත්වයයි. මේ නිසා ම අන් අය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා අන් අයව හැසිරවීමෙහි බලය ඇති තනතුරු සඳහා පුද්ගලයන් පත් කර ගන්නා සෑම අවස්ථාවක ම, එම පුද්ගලයා සතර අගතියට නො ගිය පුද්ගලයකු විය යුතු බව බුදුරජාණන්වහන්සේ අවධාරණය කර තිබෙනු දැකිය හැකි ය (විනය පිටකය).
රාජ්‍ය පාලකයාගේ ධාර්මිකභාවය, එහි සාමාජීය හා පාරිසරික තත්ත්ව විෂයෙහි තීරණාත්මක සාධකයක් වන බව අංගුත්තර නිකායෙහි, චතුක්ක නිපාතයෙහි, පත්තකම්මවග්ගයෙහි, අධම්මික සූත්‍රය දක්වයි. රාජ්‍ය පාලකයාගේ ධාර්මික බව, සියලු වැසියන්ගේ ධාර්මික බවටත්, පරිසර සමතුලිතතාවටත්, එම පරිසරයෙන් යැපෙන පුද්ගලයන්ගේ මනා සෞඛ්‍යයටත්, හේතු වන බව එම සූත්‍රය සඳහන් කරයි. සූත්‍රයට අනුව රාජ්‍ය පාලකයා ධාර්මික වූ විට ඔහුගේ සමීපතමයෝ, ධාර්මික වෙති. මෙලෙස ක්‍රමයෙන් පියවරෙන් පියවර ඔහුගේ වැසියන් දක්වා ම එම ධාර්මිකත්වය පැතිරේ. ඒ හේතුවෙන් සියලු පරිසර ක්‍රියාවලීින් නිසි ලෙස සිදු වේ. යහපත් පරිසරයක් තුළ ඇති වන ආහාර භෝග අනුභව කිරීම, පුද්ගලයන්ගේ නීරෝගී බවට, පැහැපත් බවට, මෙන්ම දීර්ඝායුෂයට ද හේතු වේ. ධාර්මික ව බලය හැසිරවීම සමාජයට හා පරිසරයට බලපාන ආකාරය පහත ආකාරයට දැක්විය හැකි ය.
රාජ්‍ය පාලකයා ධාර්මික වීම → රාජ්‍ය සේවකයා ධාර්මික වීම → බ්‍රාහ්මණ ගෘහපතිවරුන් ධාර්මික වීම → නිගම ජනපදවාසීන් ධාර්මික වීම → නක්ෂත්‍ර තාරකා රූප සම ව වැටීම → චන්ද්‍ර සූර්යයන් සම ව වැටීම → දිවාරාත්‍රී සම ව වැටීම → මාස අර්ධ මාස සම ව වැටීම → සෘතු සංවත්සර සම ව පැවතීම → වාතය සම ව හැමීම → නිසි ලෙස වැසි වැටීම → දේවතාවන් ප්‍රීති වීම → භෝග සම ව පැසීම → එම භෝග අනුභව කරන සත්ත්වයන් දීර්ඝායුෂ්ක, සුඛවරණ, ශක්තිමත් හා ආබාධ රහිත වීම.
එසේ ම රජ දරුවන්ගේ අධාර්මිකත්වය ඔවුන්ගේ පාලනයට නතු වූ සියලු ජනයාගේ අධාර්මිකත්වයට හේතු වේ. මෙසේ සියලු වැසියන් අධාර්මික වූ විට එය පරිසරයට සෘජු ව ම බලපායි. එනම් වැසියන්ගේ අධාර්මිකත්වය නිසා හිරු සඳු විෂම ව පායයි. නක්ෂත්‍ර තාරකා රූප, දිවා රාත්‍රිය, මාසයන්, සෘතූන්, විෂම ව ඇති වීම සිදු වේ. එම නිසා වාතය විෂම ව හමයි. මේ නිසා නිසි කල වැසි නො වසී. නිසි කල වැසි නො පැවතීම නිසා විෂම ව පැසෙන ආහාර භෝග අනුභව කරන මිනිස්සු ඒ හේතුවෙන් දුර්වර්ණ ද අල්පායුෂ්ක ද බොහෝ රෝගආබාධවලට ගොදුරු වන්නෝ ද වෙති. එම ක්‍රියාවලිය ද පහත ආකාරයට පැහැදිලි කළ හැකි ය.
රාජ්‍ය පාලකයා අධාර්මික වීම → රාජ්‍ය සේවකයා අධාර්මික වීම → බ්‍රාහ්මණ ගෘහපතිවරුන් අධාර්මික වීම → නිගම ජනපද වාසීන් අධාර්මික වීම → නක්ෂත්‍ර තාරකා රූප විෂම ව වැටීම → චන්ද්‍ර සූර්යයන් විෂම ව වැටීම → දිවාරාත්‍රී විෂම ව වැටීම → මාස අර්ධ මාස විෂම ව වැටීම → සෘතු සංවත්සර විෂම ව පැවතීම → වාතය විෂම ව හැමීම → නිසි ලෙස වැසි නො වැටීම → දේවතාවන් කුපිත වීම → භෝග විෂම ව පැසීම → එම භෝග අනුභව කරන සත්ත්වයන් අල්පායුෂ්ක, දුර්වර්ණ, දුර්වල, ආබාධ සහිත වීම.
අන් අය විෂයෙහි බලය පැවැත්වීම භාරධුර කටයත්තක් බව අධාර්මික සූත්‍රයට අනුව පැහැදිලි වේ.
බලය නිසි ලෙස කල්පනාකාරී ව නො යෙදුව හොත්, එම නිසා ම බලය හසුරුවන්නා දුගතිගාමී වීම ද විය හැකි ය. තේමිය ජාතකය මෙයට එක් නිදසුනකි. එම ජාතකයට අනුව බෝධිසත්ත්වයෝ තේමිය නමින් බරණැස් රජුගේ රජකමට උරුම කියන පුතු ව උපත ලැබූ හ. රාජ්‍යය විචාරණ පිය රජාණන්වහන්සේගේ උකුලෙහි සිටි බෝධිසත්ත්වයන්වහන්සේට, තමා පෙර භවයක වසර විස්සක් රජකම් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඔසුපත් අපායෙහි වසර අසූ දහසක් විපාක වීඳීමට සිදු වූ බව මතක් විය. එම නිසා තේමිය කුමරා, තමා නැවත දුගතියක ඉපදීමෙන් වළක්වාගැනීමෙහි අරමුණින්, තමා රජ වීමට සුදුසුකම් නොමැති බව අන් අයට ඇඟවීම සඳහා, වසර දහ සයක් ම ගොළුවෙකු, කොරෙකු, බිහිරෙකු ලෙස බොහෝ දුක් දරාගත්තේ ය. තේමිය කුමරා එසේ කළේ, එම දුක් සියල්ලට ම වඩා බලය ලබාගැනීමෙන් තමනට වන විපත භයානක බව වටහාගත් නිසා ය.
මේ නිසා බලය හැසිරවීම බොහෝ පරිස්සමින් කළ යුතු ය. එය නිසි ලෙස හැසිරවුව හොත් එය අපව සුගතියකට ගෙන යයි. අනිසි ව භාවිත කළ හොත්, පෙර කුසලයන් නිසා ලැබෙන බලය නිසා ම අප දුගතිගාමී ද විය හැකි ය.