අශෝකා අබේවර්ධන
අනවරාග්‍ර වූ සංසාරය අල්ප ආශ්වාදයක් ඇතිව මුත් කොතරම් දිගු දැ යි ප්‍රත්‍යක්ෂ කොට දැන වදාළෝ නම් ලොව්තුරා බුදුවරු ම වෙති. එසේම එය කෙබඳු කටු අකුලක් දැ යි මැනැවින් දැන වදාළෝ ද සර්වඥතා ඥානයෙන් පරිපූර්ණ වූ ලොව්තුරා බුදු වරු ම වෙති. එසේ ම එම කෙලෙස් උගුලෙන් නිදහස් ව මිදී එගොඩ යා හැකි බවත් මරු කතර ඉක්මවා ගිය සිසිල් කෙම්බිමක් ඇති බවත් අසරණ ලෝකයාට දේශනා කොට දුක්ඛිතයන් සුවපත් කොට වදාළේත් ලොව්තුරා බුදු වරු ම වෙති. (අස්සාද ආදීනව නිස්සරණ ධර්මතාවයන්).
වහා ධර්මය අවබෝධ කරගන්නා මහ රහත් තෙරණියක වුවත් කෙලෙස් අන්ධකාර මෝහ දැලෙහි පැටලී මඟ නොමඟ තෝරා බේරාගත නොහැකි ව අවසන් අත් බවෙහි දීත් කල් ගත කළ හැටි කියවෙන කතා පුවතක් භද්දා කුණ්ඩලකේසී මහරහත් තෙරණින් වහන්සේගේ චරිතාපදානයෙන් කියවේ. සංසාරය නම් විටෙක මල් ද පිපෙන කටු අකුලක් ම යැ යි හැඟෙන්නේ එවන් කරුණු කාරණා හේතුවෙනි.
“කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං” කෘතවේදී කරුණාභරිතයන් ලොව ඉතා දුර්ලභ බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් නොයෙක් විට දේශනා කළ බව අපි දනිමු. මරණයට කැප කළ තවත් මොහොතකින් මරු තුරුලට වදින්නට වධක භූමියට ගෙන යමින් සිටිය දී උපායකින් ඔහු මුදවාගෙන ජීවිතය ලබා දී සැනසිලි සුවය ද ලබා දුන් තම ප්‍රගමනීය ප්‍රිය බිරිඳ කෙරෙහි ද කිසිදු කරුණාවක් නො දැක්වූ අකෘතඥ මිනිස්සු ද සමාජයේ බොහෝ වෙති.
එබඳු දුර්ජනයන් ගෙන් පරෙස්සම් විය යුතු බව ද මේ කථාන්දරයෙන් කියවේ. විවිධ චරිතයන් පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ අපගේ ප්‍රඥා ඇස පුබුදු කරවන්නට ද උපදෙස් මෙම කථාවෙන් ලැබේ.
බොහෝ බුදු සසුන්වල දී මහ පිංකම් කරමින් බඹසර සීලයෙහි පිහිටා හැසිරෙමින් දෙව්ලෝවල ම දිවි ගත කළ කුමරියක වූ ඇය අපගේ ගෞතම බුදුන් සමයෙහි මහ සිටු කුලයක ඉපිද භද්දා නම් වූවා ය. සී මැදුරු කවුළුවෙන් නගර සිරි නරඹමින් සිටි ඇයට ඝාතනය සඳහා වධක භූමියට ගෙන යන සන්තුක නම් සොරෙකු දක්නට ලැබිණ. දුටු සැණින් ම ඔහු කෙරෙහි බැඳුණු සිත් ඇති ඇය “ඉදින් ඔහු ලැබේ නම් ජීවත් වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි” යි දැඩි තීරණයකට එළඹ නිරාහාර ව සයනයෙහි වැතිර සිටියා ය.
මෙපුවත ඇසූ ඇගේ පියා තම එක ම දියණිය හෙයින් බලවත් සෙනෙහස ඇති ව වධකයනට දහසක අල්ලසක් දී උපායකින් සොරා මුදවාගෙන සුවඳ දියෙන් නහවා සර්වාභරණයෙන් ද ඔහු සරසා මාළිගයට ගෙන්වාගන සිය දියණිය ඔහුට විවාහ කොට දුන්නේ ය. භද්දාවෝ ද පිරිපුන් මනදොළ ඇත්තී විශේෂ ලෙස සැරසී සිටිමින් නොයෙක් ආකාරයෙන් ඔහුට සේවය කළා ය.
එසේ වී නමුත් සසර පුරා සොරකම් කරමින් පැමිණි පුරුදුතා ඇති සන්තුක නම් සොරුට සිය ගති ස්වභාවයන් අතහැරීම අපහසු විය. ඇය ගෙන් ලද සෙනෙහස් මිහිර අමතක කළ ඔහු ඇගේ මුතු මැණික් ආදී රන් අබරණ කෙරෙහි ම ලොබ බැන්දේ ය. තමන් වධක භූමියට ගෙන ගිය දින තමන් බේරා ගන්නා හැටියට චෝර පබ්බතයෙහි අධිගෘහිත දේවතාවුන්ට බලි කර්මයක් කරන්නෙමි යි භාරයක් වූ බවත් එය බොහෝ කල් ඉක්ම යා නො දී ඔප්පු කොටලිය යුතු බවත් තම බිරිඳට දැන්වූ සන්තුක සොරු ද දිය නා ඊට සූදානම් විය. ප්‍රේමණීය බිරිඳක වූ ඇය සිය සැමියා මනදොළ සපුරන්නෙමි යි සියලු අබරණ පැළඳ බලි පූජාව සඳහා යෑමට සූදානම් වූවා ය.
පිරිවර සමග චෝර පබ්බතයට නැඟෙනුයේ නම් ඇගේ අබරණ ද සියලු වස්තුව ද සොරාගත නොහැකි වෙතැ යි සිතූ සන්තුක තමා ම බලි බඳුන ගෙන පර්වතය නඟින්නට පටන්ගති. බිරිඳ සමග ප්‍රිය මනාප කතා බහක් ද නො කළේ ය. එහෙත් සිත පත්ලෙහි තැන්පත් ව සැඟව තිබූ ප්‍රඥා නිධානයක් ඇති කුමරියට සොරුගේ අදහස වටහා ගන්නට අපහසු වූයේ නැත. ඕතොමෝ ඉඟියෙන් මෙන් සියලු අදහස් දැනගත්තා ය. චෝර පබ්බතයට නැඟගත් සන්තුක සිය බිරිඳ අමතා ඇගේ උතුරු සලුව බිම එලා සියලු අබරණ හා පැළඳුම් එක පොට්ටනියකට බැඳ තබවැ යි කීවේ ය.
“හිමියනි මගේ කවර වරදක් දැ” යි විමසූ කල්හි “බලි කර්මයක් කිරීමේ ව්‍යාජයෙන් අප පැමිණියේ තිගේ අබරණ පැහැර ගැනීමට” යි කී විට “මේ අබරණ කවරෙකු උදෙසා ගෙන යන්නෙ ද යි නො දනිමි. කවරෙකුට වේ වා කම් නැත. එහෙත් මගේ එක ම අභිප්‍රායක් ඇත. එය පමණක් ඉටු කර දෙන්න” යි ඉල්ලා සිටියා ය. එනම් පෙර දී ඔබ වැළඳගත් ප්‍රේමණීය හැඟීමෙන් අවසන් වරට ප්‍රදක්ෂිණා කොට ඔබ සිප වැළඳ ගන්නට ඉඩ දෙනු මැනවි. මා ඔබට ප්‍රාණ සම ව ප්‍රේම කළ බව ඔබ දන්නෙහි ය.” සොරා කොතරම් දරුණු කපටියෙකු වුව ද ආභරණ හා සම්පත් කෙරෙහි බැඳි තණ්හාව පමණක් ඉස්මතු ව විත් ලාමක විය. ඔහු අදහස් කළ බොළඳ ස්ත්‍රියකගේ මායා බසෙහි මුළා විය. එයින් ඔහු එය ඉවසා ඉඩ ලබා දුන්නේ ය. එකෙණෙහි ඇය ඉදිරියෙන් පැමිණ ප්‍රදක්ෂිණා කරමින් ඔහු වැළඳ පිටුපසින් ද වැළඳගන්නා බව අඟවා ඔහු පර්වතයෙන් පහළට තල්ලු කොට මරණයට පත් කළා ය. ඇය කළ ආශ්චර්යය දුටු පර්වතයෙහි අධිගෘහිත දේවතාවා ඇගේ ස්ථානෝචිත ප්‍රඥාව පසසා “හැම තැන්හි ම පුරුෂයා නැණවතෙක් නො වේ. ඒ ඒ තැන්හි ස්ත්‍රිය ද ප්‍රඥා පාටවය ප්‍රකාශ කරන්නී ය. ස්ත්‍රිය ද මොහොතකට හෝ සිතා නැණවත් ව ක්‍රියා කරන්නී ය” යනුවෙන් ප්‍රකාශ කළේ ය.
මෙ සිදුවීම අබුද්ධෝත්පාද කාලයක දී සිදු වී නම් කුමරිය විසින් කළ මිනිස් ඝාතනය ඇයට මතු මත්තෙහි මහත් දුක් විපාක ලබා දෙන අකුසල කර්මයක් විය හැකි ය. සියලු කර්ම ක්ෂය කිරීමට ඇති හැකියාව යනු බුද්ධෝත්පාදයක ඇති මහා අසිරිමත් ගුණ සම්පතකි.
ඉක්බිති භද්දා “මේ තත්ත්වය අනුව මට යළි ගෙදර යා නොහැකි ය. මම මෙතැනින් ගොස් යම් පැවිද්දක් ලබා ගන්නෙමැ” යි නුවට අරමකට ගොස් නුවටුන් ගෙන් පැවිද්ද ඉල්ලා සිටියා ය.
ඒ පැවිද්දෝ උතුම් යැ යි සැලකූ ආකාරයට තල් ඇටයකින් කෙස් උදුරා පැවිදි කළාහු ය. නැවත හිසෙහි කෙස් වැඩෙන්නේ කුණ්ඩලාකාර ව වැඩිණ. එතැන් පටන් ඕ තොමෝ කුණ්ඩලකේසා නමින් පතළ වූවා ය. ඕ එහි උගත යුතු සියල්ල ම ඉගෙන “මොවුන් දන්නේ මෙපමණෙකි. මෙයට වඩා යමක් මොවුන් වෙත නො වෙතැ” යි සෑහීමකට පත් නො වී එයින් නික්ම ගොස්, යම් තැනෙක උගත්තු වෙසෙත් ද ඒ ඒ තැන්හි ගොස් ඔවුන් දන්නා ශිල්ප ද ඉගෙන තමා හා කතා කිරීමට සමතෙකු නො දැක යම් ගමකට හෝ නිගමකට යා ද එහි වාසල් දොරටුව සමීපයෙහි වැලි ගොඩක් ගසා දඹ අත්තක් සිටුවා “යමෙක් මා හා වාද කිරීමට කැමැත්තේ නම් මේ දඹ අත්ත ඉවත් කරත් වා” යි කියා ඒ සමීපයෙහි කෙලි සෙල්ලම් කරන දරුවන්ට ඒ බව දන්වා ඇය වෙසෙන තැනට යන්නී ය. සත් දිනක් ඉක්ම යාදී කිසිවෙකුත් වාදයට ඉදිරිපත් නො වී නම් එය වෙනත් තැනකට ගෙන යන්නී ය.
තුන්ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ දහම් අමා මිහිර බෙදමින් අසරණ ලෝක සත්ත්වයාට අමා නිවන් සුව දෙමින් දෙවුරමෙහි වැඩ සිටින සමයෙහි කුණ්ඩලකේසී ද ගම් නියම් ගම් රජ දහන්වල හැසිරෙන්නී සැවැත් නුවරට පැමිණ නුවර දොරටුවෙහි වැලි ගොඩක් ගසා ඊ මත දඹ අත්ත සිටුවා එහි සිටි දරුවනට දැනුම් දී ඉවතට පිවිසියා ය.
ඒ අවස්ථාවේදී ප්‍රඥාවන්ත රහතන් වහන්සේ අතර අග්‍ර වූ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ හුදකලා ව ම නගරයට වැඩම කළ හ. ඒ දඹ අත්ත දැක ඇය දමනය කරනු කැමැත්තෙන් මේ සිටවූවෝ කවුරුන් දැ යි විමසූ හ. දරුවෝ සියලු තොරතුරු දැන්වූ හ. මහ තෙරණුවන් වහන්සේ එය පොඩි කර දමන්නැ යි කීයෙන් දරුවෝ එසේ කළ හ.
කුණ්ඩලකේසී දිවා ආහාරයෙන් පසුව නගරයෙන් නික්ම යන විට ඒ ශාඛාව මැඬ තිබෙනු දැක කවුරුන් විසින් කරන ලද දැ යි ඇසුවා ය. තෙරුන් වහන්සේ විසින් කරන ලද බව අසා තනි ව වාද කිරීම ද නොහොබනේ ය යි සිතා අපගේ වාදය බලවැ යි මහ ජනයාට දැනුම් දෙමින් සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කතා කොට එකත් පසෙක හිඳ මා විසින් සිටුවන ලද දඹ අත්ත මඬනා ලද්දේ දැ යි ඇසුවා ය. නාහිමියන් විසින් “එසේ ය මා විසින් එය මැඬ පොඩි කර දැමීමි” යි පැවසූ විට “එසේ නම් ඔබ සමග වාද කිරීමට කැමැත්තෙමි” යි ඕ කීවා ය. පළමු කොට ප්‍රශ්න විමසන්නේ කවුරුන් විසින් දැ යි ඇසූ කල ඇය ඒ සඳහා පළමු කොට ඉදිරිපත් වෙමින් දැන සිටි සියලු ම වාදයන් ප්‍රශ්න කළා ය. සාරිපුත්තයන් වහන්සේ සියල්ල විසඳූ හ. තවත් ඇසිය යුත්තක් නො වූයෙන් ඈ නිහඬ වූවා ය. ඉක්බිති තෙරුන් වහන්සේ ඇය අමතා තමන් වහන්සේ ද එක ම එක ප්‍රශ්නයක් අසන්න දැ යි විමසූ හ.
“ඇසුව මැනවැ” යි ඇය කීයෙන් උන්වහන්සේ එක නම් කුමක් දැ යි ප්‍රශ්න කළ හ. කුණ්ඩලකේසී එහි අග මුල සොයාගත නොහැකි ව මහා අඳුරකට පිවිසියාක් මෙන් වී “නො දනිමි යි වහන්ස” කියමින් නිරුත්තර වූවා ය.
“ඔබ මෙපමණක් වත් නො දන්නේ නම් ගැඹුරු දහමක් කෙසේ දන්නේ දැ” යි පවසා ධර්මය දේශනා කළ හ. අනතුරුව ඕ තොමෝ සාරිපුත්තයන් වහන්සේ දෙපා මුල වැඳ වැටී “ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යමි” යි කීවා ය.
“භද්දා, ඔබ මා සරණ යෑමෙන් පලක් නො වේ. දෙවියන් සහිත සමස්ත ලෝකයාට ම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අසම සම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න” යි අනුදත් හ. “එසේ ය ස්වාමීනි” යි පැවසූ ඕ බුදුන් වහන්සේ සවස දම් දෙසන වේලෙහි එහි ගොස් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක සිටියා ය.
මුළු ලොව ම අතැඹුල සේ දැන වදාළ බුදුන් වහන්සේ ඇගේ නුවණ මුහුකුරා තිබෙනු දැක
සහස්සම්පි චේ ගාථා –
අනත්ථ පද සංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යා –
යං සුත්වා උපසම්මති
අර්ථ ශූන්‍ය වූ පදවලින් යුත් ගාථා දහසකට වඩා මනස සන්සුන් කරවන ගාථාවෙක එක පදයක් පවා ශ්‍රේෂ්ඨ ය යන ගාථාව දේශනා කළ හ. අවසානයෙහි ඕ හුන් අයුරින් ම සිව්පිළිසිඹියා සහිත මහ රහත් භාවයට පැමිණ පූර්වේ නිවාසානුස්මෘති ඥානය ලබා සිය පෙර භවයන් සිහිපත් කළා ය.
මෙයින් කල්ප සියක් දහසකට පෙර තුන්ලෝ ධාතුව දහමින් සනසාලමින් ලොව පහළ වූ පදුමුත්තර බුදුරදුන් සමයෙහි හංසවතී නුවර රන්රුවනින් බැබළුණ සැප සම්පතින් සපිරුණු සිටු කුලයක උපත ලද්දී ය. නිතර නිතර බණ අසන්නට යන එතුමිය මහත් වූ සැදැහැ සිතින් බුදුන් සරණ ගියා ය.
එකල ඒ බුදුන් වහන්සේ එක්තරා භික්ෂුණියකට වහා ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂුණීන් අතර අග්‍ර වන්නී යි අග තනතුරු දී වදාරනු දැක බෙහෙවින් සතුටු ව මහ පින්කම් කොට අනතුරු බුදුන් වහන්සේ ශ්‍රී පා වැඳ එම තනතුර ම පැතුවා ය. ඒ ලෝකනාථයාණන් වහන්සේ දිවැසින් අනාගතය බලා වදාරා එය අනුදැන “ඔබ පැතූ ඒ සියල්ල ම එලෙසින් ඉටුවන්නේ ය ඔබ නිවී සුවපත් වේ වා” යි විවරණශ්‍රී ලබා දුන් සේක. මෙයින් කල්ප සියක් දහසක් ගිය තැන ක්ෂත්‍රිය කුලයෙහි උපත ලබන ගෞතම නම් වූ බුදුරදුන් සමයෙහි එම පැතුම් ඉටු කරගන්නා ඔබ භද්දා කුණ්ඩලකේසි නම් වන්නී ය. ඒ බුදු බසින් සතුටු වූ මම පින්කම්හි චේතනාව පිහිටුවීමෙන් මිනිස් කය හැර තවුතිසා දෙව්ලොව උපන්නෙමි. සදෙව් ලෝ තලවල ම දෙව් සැප වින්දනය කළෙමි. උපන් සියලු දෙව්ලෝවල දෙව් රජවරුනට අග මෙහෙසීන් වීමි. මිනිස් ලොව සක්විති රජවරුන්ට ද අග මෙහෙසීන් වීමි.
මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදු රදුන් සමයෙහි කිකී නම් රජුගේ සංඝදාසී නම් සිව්වැනි දියණිය වීමි. එම බුදුන් ගෙන් බණ අසා ගිහි බවෙහි ආදීනවයන් දැක පැවිදි වන්නට අවසර පැතුව ද පිය රජු ගෙන් අවසරයක් නො ලද කල විසි දහසක් අවුරුදු කල් ම ගිහිගෙයි දී මුත් බඹසර රකිමින් ම සිල්වත් ව දිවි ගෙවීමි. ගෞතම බුදු රදුන් සමයෙහි සියලු පැතුම් ඉටු කොට ගතිමි.
මෙයින් කල්ප සියක් දහසකට පෙර දී අනාගතය බලා වදාළ පදුමුත්තර බුදු පියාණන් වහන්සේ විසින් වරම් දී වදාළ කාරණය එලෙස ම ඉෂ්ට විය. ලොව්තුරා බුදු වරුන්ගේ වචනය නො සිස් බව සේ ම තිර බවත් බුදු වරුන්ගේ අසම සම බවත් නිරන්තරයෙන් ම අප සියලු දෙන ම සිහිපත් කළ යුතු ය. බුදු වරුන්ගේ සර්වඥතා ඥානය හා මහා කරුණා ගුණය ද මෙබඳු අවස්ථාවල මැනවින් ප්‍රකට කෙරේ.
යමෙක් එළඹි කාරණය එකෙණෙහි ම අවබෝධ කරගනී ද ඔහු සියලු සම්බාධකවලින් වහා මිදේ. ඇය සන්තුකයා ගෙන් පමණක් නො ව සංසාර කටු අකුලින් ම මිදී නිවන නමැති ක්ෂේම භූමියට පැමිණියේ එලෙස ක්ෂණික ව සුදුසු ලෙස ක්‍රියා කළ නිසාවෙනි.
දහම වහා වැටහෙන්නට නම් සිත වහා දහමට නම්මවාගත යුතු මයි. සුළු බාහිර නිමිත්තෙකින් පවා වහා දහමට නැමෙන සිතක් භද්දාවට තිබූ වග එක්තරා සිදුවීමකින් මනා ව හෙළි වේ. ඇය නුවටුන්ගේ සමාගමයෙහි ඔවුන්ගේ සමය හදාරමින් ඉන්නා අතර දීත් සිත වහා දහමට නැමී නුවණ මුහුකුරා ගිය ආකාරය මහ අසිරියෙකි. එසමයෙහි දී ඇය සමීපයට බල්ලකු විසින් ගෙනවිත් දමන ලද කුණු වූ මිනිස් අතක් දැක අසුභය ද අනිත්‍ය ලක්ෂණය ද මෙනෙහි කරන්නට හැකියාව ලදුයේ දිගු වූ සසර ගමනේ දී පුරුදු පුහුණු කරන ලද භාවිත චිත්තය හේතුවෙනි.
භවයෙහි උප්පත්තිකාරකයන් නසා දමා සසර ගමන නිමා කොටගත් එතුමින් වහන්සේ අපගේ බුදුරදුන් හමුවෙහි වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අග්‍ර වන්නී යි අග තනතුර ද ලබා ගත්තා ය.
මේ සියල්ල බුද්ධ ශාසනයක ම පවත්නා වූ අසිරියයි. බුදුසසුන නමැති කෙත් බිමෙහි වපුළ ශ්‍රද්ධා බීජයන් සත්ත්වයනට ඒකාන්තයෙන් ම සරුඵල ලබා දෙන්නේ ය. එසේ හෙයින් අප හැමදා පින් කුසල් උපදවා ගැනීමට උත්සුක විය යුත්තේ ම ය යි අදිටන් කළ යුතු ය.
සැමට තෙරුවන් සරණයි!