චීවරයේ පුරාවත

cmadurawala
8 Min Read

ආචාර්ය එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න

බුද්ධකාලීන භාරතයේ විසූ විවිධ ශ්‍රමණ කණ්ඩායම් විසින් විවිධ වස්ත්‍ර භාවිත කරනු ලැබූ අතර, නිර්වස්ත්‍ර තාපස කණ්ඩායම් ද ඒ අතර විය. ඇතැමුන් කම්බිලි (ලොම්/කෙස්වලින් තැනූ) වස්ත්‍ර ද දැරූ හ. බුද්ධකාලීන ව විසූ අජිත කේසකම්බල කෙස්වලින් සැකසූ කේශ කම්බිලියක් දැරූ බව සඳහන් වේ. මේ හැර පක්ෂීන්ගේ පියාපත්, දැවමය කොටස්, ශාක කෙඳිවලින් නිපදවාගනු ලැබූ වස්ත්‍ර ද භාවිත විය. පසු කලෙක බුදුරදුන් ගෙන් ධර්මය අසා මහරහත් භාවයට පත් වූ දාරුචීරිය දැවයෙන් නිමවූ වස්ත්‍රයක් දැරූ අයෙකි. මීට අමතර ව ශාක කෙඳිවලින් නිම කළ වස්ත්‍ර විශේෂයක් ද ඇතැම් තාපස කණ්ඩායම් විසින් භාවිතයට ගනු ලැබිණි.

‘සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාන
සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා
පබ්බාජෙථ මං භන්තේ…’

බුදුසසුනේ ප්‍රව්‍රජ්‍යා (පැවිදි) භූමියට පත් වන සැම කුල පුත්‍රයකු ම සිය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ගෙන් (ගුරු හිමිවරුන් ගෙන්) සිවුරු පිරිකර ඉල්ලා සිටිනුයේ ඉහත කී පාඨය තෙවරක් ම ප්‍රකාශ කිරීමෙනි. එම ප්‍රකාශයෙන් අර්ථ ගැන්වෙනුයේ සියලු දුක් නැති කර නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා තමා පැවිදි කරන ලෙස ඉල්ලා සිටීමයි.

මෙයින් පැහැදිලි වන්නේ පැවිදි බිමට පත් වීම හෙවත් බුද්ධ චීවරය දරාගැනීම යනු ඒකාන්ත වශයෙන් ම නිර්වාණ සුවය ලබාගැනීමේ ඒකායන පරමාර්ථයෙන් ම සිදු කළ යුක්තක් වන බව ය.

කෙසේ හෝ භික්ෂූන් වහන්සේලාට ලබා දෙන සිව්පසයේ (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය) පළමු අංගය වන්නේ ද චීවරයයි. බෞද්ධ භික්ෂු සමාජයේ ආරම්භක අවධියේ දී භික්ෂූන් වහන්සේලා විසින් පාංශුකූලික චීවරය දරනු ලැබිණි. පාංශුකූලික චීවරය යනු මෘත දේහ වසාගෙන එන රෙදිකඩ ය. එවකට භාරතීය සමාජයේ පැවැති චාරිත්‍රානුකූල ව මළ සිරුරු වනාන්තරවලට ගෙන ගොස් දමන ලදි. එම නිසා වනාන්තරවල භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේලාට එම රෙදිකඩ ලබාගෙන චීවරයක් සකස් කරගැනීමට හැකි වීම පාංශුකූලික චිවරයේ ආරම්භය විය. කල් යත් ම ගිහි සමාජය විසින් සිවුරු පිරිකර පූජා කරනු ලැබීම නිසා අතිරේක ලාබ වශයෙන් එබඳු ගෘහපති චීවර ද භාරගැනීමට අනුදැන වදාරන ලදි.

විනය පිටකයට අයත් ග්‍රන්ථ පහෙන් පළමුවැන්න වන මහාවග්ග පාළියෙහි 8 වැනි පරිච්ඡේදය වන ‘චීවරක්ඛන්ධකය’ට අනුව සිවුරු සඳහා වස්ත්‍ර වර්ග පසක් බුදුරදුන් විසින් අනුදැන වදාරනු ලැබ ඇත.

‘අනුජානාමි භික්ඛවේ ඡ චීවරානි, බොමං
කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණ
භංගං’

මහාවග්ග පාළියේ චීවරක්ඛන්ධකයේ චීවරයේ පුරාවත දැක්වෙන උක්ත ප්‍රකාශයට අනුව කොමු (ඛෝම නම් වන ශාකයේ කෙඳිවලින් තැනූ) පිළි, කපු පිළි, පට පිළි, කම්බිලි, හණ වැහැරි (හණ කෙඳි) පිළි, මේ පස් නූලෙන් ම නිම කළ පිළි යන සිවුරු පස අනුදැන වදාරන ලදි. ඉහත කී රෙදිපිළි අතුරින් පළමුව නිර්දේශ කර ඇත්තේ කම්බිලිවලින් කළ චීවරයයි. කෙසේ වෙතත් බුදුරදුන් අනුදැන වදාරා තිබුණේ පාංශුකූලික සිවුරක් පමණක් හෙයින් ගෘහපතියන් විසින් පූජා කරන ලද සිවුරු මුලින් ප්‍රතික්ෂේප කෙරිණි. එම කරුණ පාදක කරගෙන පසුව උන්වහන්සේ ගෘහපති චීවරය අනුදැන වදාළ හ.

මේ අන්දමට ගෘහපති චීවරය පිළිගැනීම අනුමත කිරීම නිසා තවත් සුවිශේෂී දෙයක් සිදු විය. එනම් සිවුරු පිරිකර සම්බන්ධයෙන් නිසි කළමනාකාරිත්වයක් ඇති වීමයි. සිවුරු පිළිගන්නා හිමිවරුන් එවා නිසි පිළිවෙළට නො තැබීම නිසා මීයන්, වේයන් වැනි සතුන් ගෙන් ඒවාට හානි සිදු වනන් ට විය. එබැවින් සිවුරු පිරිකර සුරක්ෂිත ව තැන්පත් කිරිම සඳහා පංච ආවාසයන් නිර්දේශ කෙරිණි.

මහාවග්ග පාළියේ චීවරක්ඛන්ධකයේ දැක්වෙන එම පංච ආවාස නම් විහාර, අඩ්ඪයෝග (වටකුරු/මහල් ගොඩනැඟිලි විශේෂයකි), හම්මියා (දිගටි හැඩැති ගොඩනැඟිලි විශේෂයකි), පාසාද (උස් වූ මහල් ගොඩනැඟිලි), ගුහා යන ඒවා ය. මේ පසෙන් ඕනෑ ම ගෘහයක සිවුරු භාණ්ඩාගාරයක් තැනීම නිර්දේශ කරන ලදි. අඩ්ඪයෝගෝති ස්වණ්ණ වණ්ණ වංග ගෙහං… මේ අනුව අඩ්ඪයෝග යනු ස්වර්ණ වර්ණ වූ වංග දේශයේ පැවැති ගෘහ විශේෂයක් වන බව විශුද්ධි මාර්ගයෙහි දක්වා තිබේ. සිවුරු ගබඩා කිරීම සඳහා ගොඩනැඟිලි වර්ග නිර්දේශ කිරීම නිසා බෞද්ධ විහාරාරාමවල වාස්තු විද්‍යාත්මක වශයෙන් සංවර්ධනයක් ද සිදු වූ බව පෙනේ. විශේෂයෙන් ම විහාර, අඩ්ඪයෝග, පාසාද, හම්මියා යන ගොඩනැඟිලි ඉතා උසස් ගණයේ නිර්මාණ ලක්ෂණවලින් යුක්ත විය.

ඉන් අනතුරුව විවිධ අය විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කරනු ලබන සිවුරු පිළිගැනීම සඳහා චීවර ප්‍රතිග්‍රාහක භික්ෂුවක් ද පත් කරන ලදි. මේ අන්දමට එම භාණ්ඩාගාරයේ සිවුරු බෙදාහරින ආකාරය පිළිබඳව ද අගනා විස්තරයක් චීවරක්ඛන්ධකයෙහි දැක්වේ. එනම් පළමුව සිවුරු කොටස් කර සම කොටස්වලට බෙදා පොදි බැඳ භික්ෂූන්ට ලබා දීමයි. මෙසේ සිවුරක් කොටස් කර දිය යුතු ආකාරය පිළිබඳව ද කරුණු අන්තර්ගත වේ.

විහාරාරාමයෙන් බැහැර ව පිටත් ව යන භික්ෂූන්ට සිවුරු පිරිකර වැඩි කොටසක් ලබා දිය යුතු බවට ද නිර්දේශ කොට තිබේ. මීට අමතර ව සිවුරු පිරිකර බෙදාහැරීම සඳහා භික්ෂූන්ගේ අනුපිළිවෙළ නම් කිරීම පිණිස කුසපත් ඇදීමේ ක්‍රමයක් ද අනුදැන වදාරා ඇත.

පාංශුකූලික චීවරයක් හෝ ගහපති චීවරයක් හෝ සකස් කිරීමේ දී මගධ රටේ පැවැති ක්ෂේත්‍රයන්ට (කෙත්වතුවලට) අනුරූප ව සතරැස් කොටස්වලට කඩා සකස් කළ යුතු ආකාරය පිළිබඳව ද බුදුරජාණන්වහන්සේ කරුණු දක්වා ඇත. මෙසේ සකස් කරගනු ලබන සිවුරක් පඬු පොවාගන්නා ක්‍රමය පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබේ.

ආරම්භයේ දී භික්ෂූන් ගොමින් ද, පඬුවන් මැටියෙන් ද සිවුරු පඬු පොවාගත් බව සඳහන් වේ. එසේ කිරීමෙන් සිවුරු දුර්වර්ණ වී ඇති අතර, පඬු පෙවීම සඳහා පඬු වර්ග පසක් වදාරා ඇති බව විනය පිටකයේ මහාවග්ග පාළියේ චීවරඛන්ධකයේ සඳහන් වේ.

‘අනුජානාමි භික්ඛවේ ඡ රජනානි
මුලරජනං, ඛන්ධරජනං, තචරජනං
පත්තරජනං, පුප්ඵරජනං, ඵලරජනං

එනම් මුල් පඬු, දඬු පඬු, පොතු පඬු, කොළ පඬු, මල් පඬු, ඵල පඬු යන වර්ග පසයි. මේ පඬු වර්ග පස උපයෝගී කරගෙන පඬු පොවන්නට පටන්ගත් අතර මුල් කාලයේ දී ඒ සඳහා පඬු සැළියක් භාවිත නො විණි. එබැවින් සිවුරු දුර්ගන්ධ විය. මේ බව බුදුරදුන්ට සැල කළ පසු පඬු සැළිය භාවිත කිරීමෙන් පඬු රත් කිරීමත්, පඬු උදුනත් නිර්දේශ කරන ලදි. එසේ ම පඬු සැළිය බිමට නැමීමට සිදු වූ බැවින් පඬු කොටස් බිම වැටීමෙන් වළක්වාගැනීම සඳහා ඒවා දැමීමට මහ පඬු සැළියක් ද නිර්දේශ කරන ලදි.

මින් පසුව ඇතැම් භික්ෂූහු තැටියෙහි ද, පාත්‍රයෙහි ද සිවුරු මඬිති. එබැවින් සිවුරු ඉරී යෑමට ලක් වූ බැවින් පඬු ඔරුව අනුදැන වදාරන ලදි. මෙසේ චීවර මඬින අවස්ථාවේ දී බිම වැටීමෙන් පස් තැවැරීම වළක්වාගැනීම සඳහා තණ ඇතිරියක් (ඇතිරිල්ලක්) භාවිත කිරීම ද නිර්දේශ කෙරිණි. මෙසේ අනුදැන වදාළ තණ ඇතිරිය වේයන් වැනි සතුන් ගෙන් සිදු වන හානිවලින් ආරක්ෂා කරගැනීම සඳහා එම සිවුරු තැබීමට උණ දණ්ඩක් ද, සිවුරු රැහැනක් ද, දෙකොනින් පඬු වැගිරීම වළක්වාගැනීම සඳහා කොන් බඳින්නට ද නිර්දේශ කළ බවට දීර්ඝ විස්තරයක් මහාවග්ග පාළියේ දක්වා තිබේ. එපමණක් නො ව සිවුරු තද වීම නිසා පොරවා සිටීම දුෂ්කර වූ බැවින් පඬු පොවනු ලැබූ සිවුරු දියේ ගිල්වා තැබීම ද අනුමත කළ බව ද එහි තවදුරටත් පැහැදිලි කෙරේ.

පාංශුකූලික චීවරයේ සිට ගහපති චීවරය පිළිගැනීමට අනුමත වීමත් සමඟ භික්ෂු චීවරය සම්බන්ධයෙන් නිසි කළමනාකාරිත්වයක් මෙන්ම ඒවා සකස් කරගැනීමේ විධිමත් ක්‍රමවේදයක් ද සකස් වූ බව ඉහත කී කරුණු මඟින් අනාවරණය කෙරේ.

භික්ෂු චීවරය සඳහා බෞද්ධ ජන සමාජය තුළ ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ වස් තුන් මස අවසානයේ දී සිදු කරනු ලබන කඨින පූජා මහෝත්සවය හේතු කරගෙන ය. වප් පුර පසළොස්වක පොහොය දිනයත් සමඟ කඨින පින්කම් ආරම්භ වේ. එසේ ම කඨින චීවරයක් පූජා කිරීම අනෙකුත් පින්කම්වලට වඩා සුවිශේෂි පින්කමක් ලෙස දක්වා ඇත. එය අට මහා කුසල්වලට අයත් බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් ය. කඨින පූජාවේ ආනිශංස අනෙකුත් පින්කම්වලින් ලැබෙන ආනිශංසවලට වඩා ඉහළ අගයක් ගන්නේ එබැවිනි. එසේ ම කඨින චීවරයක් සකස් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද බෞද්ධ විනය ග්‍රන්ථවල කරුණු ඉදිරිපත් කෙරේ.

කඨින චීවර පූජාවට අමතර ව උපසම්පදා භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කරනු ලබන අට පිරිකර අතුරින් ද චීවරයට ප්‍රධාන තැනක් හිමි වේ. අටපිරිකර පූජාවන් පවා උසස් පින්කමක් ලෙස අර්ථ ගැන්වෙනුයේ එබැවිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *