කපිල පීරිස්
සත්වයා යනු ප්‍රසාද රූප ලෙස දැක්වෙන ඉන්ද්‍රිය හයක් සහ ඊට සබැඳුන නාම ධර්ම පහක් සහිත ධර්මතාවයකි. මේ ධර්මතාවයට භාහිර සයාකාර රූප මගින් ලැබෙන අරමුණු – සංවේදන නිසා නාම-රූප ක්‍රියාවලිය පණ ගැන්වේ. මෙහිදී චිත්තවිථියක් ලෙස සිත් (වැල්) පහල වේ. බාහිර රූපයක් ආශ්‍රිත අරමුණක් ආදළ ඉන්ද්‍රියේ ගැටුණ විට එය මූලිකව දැන ගැනීම් වශයෙන් ඒ ඉන්ද්‍රිය ඇසුරු කරගත් මූලික විඤ්ඤාණය හට ගනී (චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය..) මෙහි බාහිර රූපය අදාළ ඉන්ද්‍රිය සහ අදාළ විඤ්ඤාණයේ එකතුව නිසා ඵස්සය ඇති වේ. ඒ නිසා හටගන්නේ වේදනාවය (සෝමනස්ස, දොමනස්ස, උපේක්ෂා) අප බැඳෙන්නේ හෝ ගැටෙන්නේ මේ වේදනාවටය. එනම් තණ්හාව ඇති වන්නේ වේදනාවටය. මේ සඳහා පාදක වන්නේ එතෙක් සිතේ පැවති විවිධාකාර දිට්ඨි සංස්කාරයන්ය. මේ දිට්ඨි සංස්කාරයන් මගින්ය අදාළ අරමුණේ හොඳ නරක ඒ සඳහා ඇති කැමැත්ත අකැමැත්ත තීරණය වන්නේ. ඇත්තටම වේදනාව සෝමනස්ස, දෝමනස්ස ලෙස අරුත්ගන්වන්නේ සංස්කාරයන්ය. ඒ අරුත්ගැන්වීම අනුව ඒ වේදනා ඔස්සේ හඹායන්නේ තණ්හාවය. අදාළ අරමුණ හොඳ, කැමති එකක් නම් සෝමනස්සයක්ද නැති නම් දෝමනස්සයක්ද, එසේ නැති නම් ඒ දෙකෙහි මිශ්‍රණයක්ද ලෙස වේදනාව හට ගනී. දැන් මේ වේදනාව සෝමනස්ස එකක් නම් ඊට අපව ඇලීමෙන් බැඳී යයි එනම් උපාදාන වේ. එනම් ඒ සෝමනස්ස තව දුරටත් තළු මරමින් රහ කරමින් පවතින දිට්ඨි සංස්කාර සමඟ සසඳමින් තවත් සංස්කාර ගොඩ නැඟීම සිදු වේ. දෝමනස්සයන් නම් ගැටීමෙන් උපාදාන වී ද්වේෂය මූලිකව සංස්කාර ගොඩනැඟේ. වේදනාව උපේක්ෂා සහගත නම් මුලාව තුළ තවත් සංස්කාර ගොඩනැඟේ. මේ උපාදාන ක්‍රියාවලිය නිසා හට ගන්නේ භවයයි. මෙය උප්පත්ති හා කර්ම ලෙස දෙයාකාර වේ. උප්පත්ති කර්ම මතු උප්පත්ති සඳහා අදාළ වන අතර සෙසු කර්ම (භවය) නැවත පෙර සඳහන් මූලික විඤ්ඤාණ පහල වීමට අදාළ වේ. මේ තමයි භග්‍යවතුන් වහන්සේ විසින් අපට දුක්ගෙන දෙන අනිත්‍ය වූ චිත්තාභ්‍යන්තර දිට්ඨි – සංස්කාර ඇති වන අයුරු පටිච්ච සමුප්පාදය ඔස්සේ විස්තර කර වදාළ ආකාරය.
අරමුණ අදාළ ඉන්ද්‍රියේ ගැටුණ විගස ඇති වන්නේ මූලික වේදනාවකි. (ඉන්ද්‍රිය ආශ්‍රිත විඤ්ඤාණය තුළ) එය අපට මූලිකව උලක් ඇණීමක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත. මේ වේදනාවට චිත්තාභ්‍යන්තර දිට්ඨි සංස්කාර මත පිහිටමින් ප්‍රතිචාර දක්වමින් තවත් දිට්ඨි සංස්කාර ගොඩනැඟීමේදී එනම් උපාදානයේදීය. දෙවැනි වරටත් උල ඇණෙන්නේ. එය ප්‍රබලය නැවත භව – සංස්කාර ගොඩනැඟෙන්නේද මෙහිදීය. රහතන් වහන්සේගේ සිත නික්ලේශීය එනම් එහි කිසිදු දිට්ඨි සංස්කාරයක් නැත. කැමැති අකැමැතිකම් හොඳ නොහොඳ පිළිබඳ විනිශ්චයක් දෙන ආකෘති කතා මතවාද කිසිවක් එහි නැත (Unconditioned mind) මේ නිසා උන්වහන්සේගේ සිතේ අරමුණු ගැටීමට කිසිවක් නැත. ඒ නිසාම වේදනා (මානසික) නැත! එයයි දුකින් මිදීම, නිවීම උන්වහන්සේ ක්‍රියාත්මක වන්නේ වේදනාව ඔස්සේ නොවේ,එනම් වේදනාවලට රාගයෙන් ද්වේෂයෙන් හෝ ඒ තුළ මුලා වීමෙන් නොවේ. උන්වහන්සේ ක්‍රියාත්මක වන්නේ පූර්ණ කුසලයෙනි.
කවරාකාරයේ හෝ චිත්තාභ්‍යන්තර සංස්කාරයකින් අපට දුකින් මිදීමක් සැනසීමත් (සදාකාලික) ලැබෙන්නේ නැත. කවරාකාරයේ සංස්කාරයක් ගොඩනැගුවත් (විවිධාකාරයට, විවිධ තර්ක, මතවාද ඔස්සේ) ඒ සියල්ල තවත් සංස්කාරයන්ම පමණය. ඒ සියල්ල ඇති වන විටම නැති වන ඒවාය. මේ නිසා දුකින් මිදීමට නම් කළ යුත්තේ මේ දිට්ඨි-සංස්කාර වලින් මිදීමය ඒ සඳහා එක් ක්‍රමයක් වන්නේ මේ දිට්ඨි සංස්කාර වල අනිත්‍ය මෙනෙහි කිරීමය, වැඩීමය.
රූපය අනිත්‍යය (ඇත්තටම විපරිණාමීයයි) ඇසද එසේමය මේ නිසා හට ගන්නා විඤ්ඤාණයද ඒ අනුව අනිත්‍යය. එහෙත් මේ නිසා හටගන්නා ඒ විඤ්ඤාණය ආශ්‍රිතව හට ගන්නා දිට්ඨි සංස්කාරයන්හීය සැබෑ අනිත්‍ය ඇත්තේ. එනම් අපට දුක ගෙන දෙන අනිත්‍යය ඇත්තේ. කිසිදු රටාවකින් තොරව කවරාකාරයකට ගොඩනැගුවත් අපගේ සතුට ඉවත් කෙරෙන පරිදි වෙනස් වන්නේ මේ සංස්කාරයන්ය. වාසනාවකට අපට ඉවත්කරගත හැක්කේද, සමනය කරගත හැක්කේද මේ සංස්කාරයන්මය. අපට භාහිර රූප ආශ්‍රිතව අනිත්‍ය (විපරිණාමය) වෙනස් කළ නොහැක. ඉවත් කළ නොහැක. රහතන් වහන්සේද ඒ බාහිර අනිත්‍යයට (විපරිණාමයට) යටත්ය. ඒ නිසා පංචේන්ද්‍රියන් ආශ්‍රිතව ඇති වන සැප දුක් උපේක්ෂා වේදනාවන් උන්වහන්සේට ද පොදුය. ඒවා පොදු පංචනියාම ධර්ම තුළ ක්‍රියාත්මක වේ.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ මේ චිත්තාභ්‍යන්තර සංස්කාරවල අනිත්‍ය යන්න තරම් ගැඹුරු අදහසක් තවත් නොමැති තරම්ය. මේ අනිත්‍ය යන්න ප්‍රත්‍යක්ෂ කළ හැකි නම් එකෙණහිම සියලු සංස්කාරයන් (දිට්ඨි) වලින් මිදී නිවී සැනසිය හැකිය. මෙය හුදු වෙනස්වීමක් නොව මෙයයි දුකේ උපත (යදනිච්චං තංදුක්ඛං) වෙනස්වීම තුළ තාවකාලික සුළු සුවයක් – සතුටක් ඇතැම්විට ලැබෙන බව සැබෑය. එහෙත් නැතිවීම උරුම කර ගෙන උපදින ඒ සතුට පෙරළා ඇති කරන්නේ දුකකි. වෙනස්වීම නිසා ඇතැම් විට ඍජුවම දුක ඇතිවේ. ඇතැම්විට නැතිවීම උරුම කර ගත් සතුට ඇතිවේ. එවිට මේ සතුට නැතිවීම නිසා හට ගන්නේ දුකය. අවසානයේ මේ වෙනස්වීම ඇති කරන්නේ දුකය !
අප චිත්තාභ්‍යාන්තර දිට්ඨි සංස්කාර ගොඩනගන්නේ අපගේ අජ්ජත්තයට සාපේක්ෂවය. අප සෑම දෙනාටම අපගේ හොඳ-නොහොඳ කැමැති අකැමැතිකම් පැතිර ගිය වපසරියක් ඇත. මේ වපසරිය යනු අප සමස්ත සංකතයෙන් වෙන් කර ගත් කොටසකි. සංකතයේ ඉතිරි කොටස බහිද්ධයයි. මේ බහිද්ධයට බැඳුන අපේ බලාපොරොත්තු පැතුම්, හොඳ-නොහොඳකම් කැමැති අකැමැති කම් කිසිවක් නැත. මේ නිසාම අපගේ චිත්තාභයන්තරයේ මේවා පිළිබඳ දිට්ඨි-සංස්කාර නැත. ඒ නිසාම මේ බහිද්ධය අපගේ දුකට අදාළ වන්නේද නැත. මේ අජ්ජත්ත බහිද්ධ භේදය වියැකුන විට එනම් අපගේ චිත්තාභ්‍යන්තරයේ සමස්ත සංකතයේ කිසිවක් පිළිබඳව කිසිදු හොඳ- කරතත් කැමැති අකැමැති කමක් ඇලීමක් ගැටීමක් නොමැකි වූ විට එනම් අදාළ සංස්කාර – දිට්ඨි නොමැති වූ විට ඇති වන්නේ දුකින් මිදීමය – නිවීමය.
අපගේ දරුවන් යනු අපගේ අජ්ජත්තයන්හි ප්‍රබල කොටස්ය. දරුවන් පිළිබඳ විවිධ බලාපොරොත්තු, පැතුම් කැමැති අකැමැතිකම් සපිරි දිට්ඨි සංස්කාර රාශියක් අපගේ සිත්වල ඇත. ඒ නිසාම මේ අනිත්‍ය දිට්ඨි සංකාර අපට විශාල වේදනා ගෙනදේ. එහෙත් වෙනත් දරුවකු යනු බහිද්දයේ සංකතයක් පමණි. ඒ පිළිබඳව අපගේ සිත්වල දිට්ඨි සංස්කාර නැත. ඉතින් ඒ පිළිබඳව දුකක් ද නැත. සමස්ත සංකතයෙන් කොටසක් අපගේ සතුට, සොම්නස උදෙසා වෙන්කරගෙන විවිධ බලාපොරොත්තු – පැතුම් ආදේශ කර අපගේ කැමැත්ත පරිදි පවත්වා ගැනීමට ඒවා ආශ්‍රිතව අපි විවිධ දිට්ඨි සංකාර ගොඩනගමු. එහෙත් මේ සංස්කාර යනු අනිත්‍ය වූ පරඬැල් බඳු ඒවාය. ඒවා ඉපැදෙමින් වහ වහා නැති වී යයි එයයි දුක.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනු මූලික භූත රූපයන්ය. ඒවායින් සමස්ත සංකතය සෑදී ඇත. එනම් දරුවන්, ඉඩකඩම්, යාන වාහන ආදියයි. දැන් මේ සංකතයෙන් කොටසක් (අජ්ජත්තය ලෙස) මගේ සතුට – කැමැත්ත පිණිස වෙන් කර ගෙන ඊට අදාළ සංස්කාර දිට්ඨි ගොඩනැඟීමය ගැටලුව. ඉතින් මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ කළ හැකි නම්, තවදුරටත් මේ අභව්‍ය ක්‍රමය ඔස්සේ සිතේ සතුට – සහනය නිවීම සොයන්නේ නැත. එවිට මේ ප්‍රත්‍යක්ෂය කළ උතුමා ලබන්නේ උත්තර නිවීමකි. සහනයකි. එවිට ඒ උතුමා මේ සංකත ලෝකයේ ක්‍රියාත්මක වන්නේ මහත් ප්‍රබෝධයකිනි. එයා ලෝකයෙන් සතුට සැනසීම සොයමින් ක්‍රියාත්මක වන්නේ නැත. එයා ක්‍රියාත්මක වන්නේ මහත් සැනසීමකිනි. මහත් කරුණාවකිනි. සැනසීම ලබන්නේ හුදු ක්‍රියාවෙන් සමණය. ඒ ක්‍රියා පිටුපස ඇති ප්‍රතිඵල බලාපොරොත්තුවකින් නොවේ. මේ ක්‍රියාත්මක වන්නේ “කිරිය” සිතය. එහි දිට්ඨි සංකාර සමග බැඳුනු කිසිවක් නැත.
කිරිය සිත ක්‍රියාත්මක වන්නේ මේ මොහොතේය. එහි අතීතයට බැඳුන උද්ධාමයන්, පශ්චාත්තාප ආදී කිසිවක් නැත. එසේම අනාගතයට බැඳුණ බිය සංකා, මනෝරාජික උද්ධාමයන් කිසිවක් නැත. වෙනස්වීම නිසා ඕනෑම මොහොතක මහත් දුක් කඳු ඇතිකර ලිය හැකි සංස්කාර – ආකෘති – කතා පොදි වලින් සෑදී පරඬැල් කැදලි ඒ සිතේ නැත. මේ දුක්ඛිත සංස්කාරයන්- දිට්ඨින් සිතෙන් ඉවත්වන්නේ මේ දුක උපදින යාන්ත්‍රණය පසිඳා ගැනීම තුළය. සිත් පිරිසිඳ ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ මෙයයි. තම සිත තුළම ක්‍රියාත්මක වන මුළුමනින්ම තම වසගයේ පවත්නා මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ වීමත් සමග භාහිර යැදීම්, පිළිසරණයන්, හඬා වැලපීම් වලින් මිදී සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම සිදු වේ.

