ලිප ගිනි මොළවන තෙක් සැලියේ රඟන්නෝ

rashi
By rashi
6 Min Read

ගුණතිලකක මැටියගනේ

අද රටේ දෙ කෝටියකට ආසන්න පොදු මහජනතාවට නිතැතින් ම ‘නෝදෝමකින්’ කියා කියැවෙන ජනප්‍රිය වචන දෙකක් නම් දේශපාලනය හා දේශපාලකයා යැ යි පැවසුවොත් එය මුසාවක් නො වේ. ඒ තරම් නම්බුකාර අඩියකට මේ රට ඇද දමා ඇත්තේ 75 වසරක් තිස්සේ තට්ටු මාරු හවුල් ක්‍රමයට රට පාලනය කළ ඇත්තත් බවත් නොරහසක්. ඒ උන්දලාත් මේ අර්බුදයේ සුලමුල නො දන්නා තරමට ම අඥානයනුත් නෙමේ. හැබැයි වෙලා තියෙන්නෙ ජරාවට ඇති කෑදරකම උන්දලාගෙ ඇට මිදුලු දක්වා නිදන්ගත වෙලා තියෙන හන්දා, දාලා යන්ටත් ලෝබයි. ජනතා කෝපය තවදුරටත් විදාරණය වී ගියොත් මෙතෙක් උපයා සපයාගත් සබ්බ සකල මනාව ම අහිමි වී යා වි යන බය නිසා ඉන්ටත් බයයි වීමයි.

මෙහෙම වෙලාවට කූඨ දේශපාලකයන්ට මතක් වෙනවා ජරාව නාගෙන වසුරු වළේ ජබි ගහන තමන්ගෙ ගොඩට ම රටේ යම් යම් අංශවලින් විද්වතුන් යැ යි පතළ වූ කීප දෙනකුත් ඒ වළට ඇදගත්තොත් ඔවුන්ගෙ කීර්ති නාමයෙන් තමනුත් බබලා වි කියලා. මේ දේශපාලන ඇටවුම සජීවී උදාහරණයකින් ම මතක් කර දුන්නොත් අපේ සිරස්තලය වඩාත් ඔපවත් වේ වි.

මීට කලකට පෙර රටේ පොදු මහජනතාව ගැන බොහොම කැක්කුමක් තිබුණු රාජ්‍ය නායකයකුට තිබුණා උගතුන් පිළිබඳ හීනමානයක්. ඒ යටි අරමුණ තබාගෙන උන්නැහැ කළේ යම් යම් අංශවලින් ප්‍රාමාණික කීර්ති නාමයක් දිනාගත් හය හත් දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් දියවන්නා සබේට පත් කරගන්න එක. ප්‍රසිද්ධ නැට්ටුවෙකුත්, චිර ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකුත්, අභිධර්මය පිළිබඳ පතපොත ලියා දේශන පතළ කළ ඉංගිරිසිකාර නමක් තිබූ විද්වෙතෙකුත් ඒ අතර වුණා.

අනේ ටික දවසයි ගියෙ. අරුන්නැහැලගේ ජරාජීර්ණ දේශපාලනයෙන් අර විද්වතුන්ගෙ සුදු රෙදිත් අපවිත්‍ර වෙන්න ගත්තා. අර සමහරුන්ගෙ පෞද්ගලික ජීවිතය පවා නඩු හබ, පවුල් ආරවුල්වලින් අලකලංචියට පත් වෙලා ඔහුට අකල්හි ජීවිතයෙන් සමුගන්නටත් කරුණු යෙදුණා.

මේ ප්‍රස්තාවනාව මත පිහිටා සිට අපි බුද්ධකාලීන අපූරු සිදුවීමකුත් විමසා බලන විට සැපෙන් සතුටින් දෙලොව ජයග්‍රහණය කරගන්නට මහෝපකාරී වන ප්‍රතිපදාවන් කීපයක් ජීවිතයට බද්ධ කරගන්න එක අසීරු නො වන ව්‍යායාමයක් බැව් පැහැදිලි වේ වි.

මේ බණ කතාව ඇරඹෙන්නෙ ලොව්තුරා බුදුන් හිමාල වන පෙදෙසේ පුංචි කුටියක වැඩ සිටින සමයෙ. උන්වහන්සේට දැන ගන්න ලැබෙනව රටේ පාලකයන්ගෙ අත්තනෝමතික ව බදු, දඩ මුඩ නිසා ජනතාවට බොහෝ සෙයින් දුක් පීඩාවලට ගොදුරුවන්ට සිදු ව ඇති බව. (අද වගේමයි හොඳේ…)

එවිට බුද්ධ සිතිවිල්ලක් පහළ වෙනවා මේ පාලකයන්ට ධාර්මික ව රට පාලනය කරන්ට සිත් පහළ වෙන්නෙ ම නැද්දැ යි වශයෙන්. බුදු පියාණන් එසේ සිතන විට ම විරුද්ධ පක්ෂයෙන් මාරයාට ද එය දැනෙන්නට ගන්නවා. ඇයි මාරයාත් පර සිත් දන්නා නුවණැති දිව්‍ය පුත්‍රයෙක් නෙ. එයත් පෑ විසි හතර ම ‘ඔන් ඩියුටි’ පිට සිත දල්වාගෙන ඉන්නෙ බුදුන්ගෙ පැත්තෙන් තමන්ට වාසිදායක ලෞකිකත්වයට බර ප්‍රකාශයක් නිකුත් වෙන්නෙ කොයි මොහොතෙ දැ යි කියා.

දස බිම්බරක් මාර සහචරයන් පිරිවරාන ඇවිත් බෝධි මූලයෙ දි පරාද කරගන්න බැරි වුණත් මාරයා බලාගෙන හිටියෙ නරකින් බැරි නම් හොඳින් හරි බුදුන්ගෙ දහම් මඟට සම්බාධක පනවන්ට.

එවන් පසුබිමක සිටයි මාරයා බුදුන්ගෙ මේ සිතිවිල්ල තමන්ට වාසිදායක පොටක් හැටියට අල්ලා ගත්තෙ. මෙන්න වැඩේ, ශ්‍රමණ භවත් ගෞතමයන්ටත් බුද්ධ පදවිය ඇති වෙලා ද කොහෙද ධාර්මික ව රට කරවන්ට හිතිලා.

මාරයා හනික තම නිල ඇඳුම හා පදක්කම්වලින් සැරසී හිමාලය තරණය කර බුදුන් හමුවට පැමිණෙනවා. “අන්න හොඳයි බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේට රාජ්‍ය පාලනය කියන්නෙ මහ අමුතු හෙයියම්මාරුවක් යැ. ඒක බෝම ප්‍රශස්ථ කාලීන අදහසක් තමයි”

“කවුද රජවෙන්ට හිතුවෙ…?”

“ඔබ වහන්සෙ දක්ෂයි. අනික රාජ්‍ය පාලනය කියන්නෙ ඔබ වහන්සෙගෙ පොල්මඃකාර අයිතියක්. පරම්පරාගත උරුමයක්. අනික ඔබ වහන්සෙගෙ උපන් නැකතෙ ම කොටලා තිබුණ නෙ සක්විති කිරුළ හිමියි කියා. භාරගන්ට බුදු හිමියනේ. ඔය වජ්‍රාසනයෙන් බැස ගොහින් සක්විති සිහසුනට නඟින්ට. සක්විති රජ සැප කියන්නෙ එසේ මෙසේ සැප කන්දරාවක් යැ”

“පාපී මාරය, නුඹ මොනව ද මේ දොඩවන්නෙ?”

“ඔබ වහන්සෙ යම් අධිෂ්ඨානයක් කළොත් ඒක ඉෂ්ට වෙනවා වෙනවා මයි. ඒක වළක්වන්න ශක්‍රයාටත් බැහැ. ස්වාමීනි, ඔබ වහන්සේ හිතුවොත් මේ මුළු හිමාල පර්වතය ම රත්රන් කන්දක් වේ වා කියා, සත්තයි ඒක එහෙම ම සිදු වෙනවා. මේ යමුනා නදිය ම කිරි පැණි ගංගාවක් වේ වා කියා පැතුවොත් එය එලෙස ම සිදු වෙනවා. එවිට මේ දිළිඳු ජනතාවට කොච්චර සංතෝෂයක් ද? රට රන් රිදියෙන් කිරියෙන් පැනියෙන් උතුරා යා වි. මුළු රට ම එකා වන් ව එක හඬින් ජයගොස නගා වි”

මේ විදියට මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේ මුරුංගා අත්තේ තබන්නට පුරේගම් කියනවා. කරච්චලය බැරි ම තැන බුදු පියාණො මාරයා බිය ගන්වා පලවා හැර, සැප ලබන්නට නම් පූරණය කළ යුතු පිළිවෙත් සතරක් ගැන එක් ගාථාවකින් අප කාටත් බණ පදයක් දේශනා කරනවා.

සුඛං යාව ජරා සීලං
සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛෝ පඤ්ඤාය පටිලාභෝ
පාපනං අකරණං සුඛං

“මහලු වියට පැමිණෙන තුරුත් සීලය ආරක්ෂා කර ගැනීම සැපවත් දිවියකට මඟපාදයි. අචල ශ්‍රද්ධාව සැප ගෙන දෙයි. නැණ නුවණ ලැබීම ද සැපයකි. පාප ක්‍රියාවන් ගෙන් වෙන් වීම සැප ලැබීමට හේතුවකි.”

පුද්ගල ජීවිතය යාම තුනකින් යුක්තයි. බාල, තරුණ, මහලු විය. ශීලය පුද්ගලයාට ආභරණයක්. මේ එක් එක් කාල වකවානුවල දී ඊට ගැළපෙන ආභරණ විවිධාකාරයි. මහලු විය දක්වා ම සීලය ආභරණයක් ලෙස රකින්නාට මහ පුටුවලට නො නැග්ගට සැප සතුට සොම්නස හා අස්වැසුමෙන් අඩුවක් නෑ.

තෙරුවන කෙරහි අචල ශ්‍රද්ධාවක් දක්වන තැනැත්තාට දහමින් ම රක්ෂාවරණය ලැබෙනවා. එය නිරාමිස සැපතක්. ‘දස්සන කාමෝ සීලවතෝ’ ඔහු සිල්වතුන් දැකීමට පවා ප්‍රිය උපදවනවා. බණ දහම් වෙත නිතොර ඇඟෑලුම් පානවා. මසුරුකම දුරු කර පරිත්‍යාගය වඩනවා.

බුද්ධිය ප්‍රඥාව බවට හරවාගෙන යෝනිසෝමනසිකාරය පෙරට දමා එන එන සිතිවිලි බෙදා බෙදා බලන්නාට සැපත සංතුෂ්ටිය අත ළඟ මයි.

යමෙක් පාප ක්‍රියාවල නිරත වෙමින් සිට, යම් මොහොතක එහි ආදිනව දැක ඉන් විරමණය වූයේ ද, ඔහු එතැන් සිට ම කුසලය හා බැඳෙනවා. එය ම ඔහුට සැප උල්පත් පාදා දෙනවා.

මෙනයින් අද ඔය බලවත් යැ යි සම්මත පුටුවලට අධිගෘහිත ව අනේක වරප්‍රසාද, වරදාන, මුක්ති සක්ති භූක්ති විඳින අය විඳිනවා යැ යි කියන සැප සම්පත්වල ආයුෂ ලිප ගිනි මොලවන තෙක් පමණක් බැව් තරයේ සිහි තබාගත යුතු වීම වටී.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *