ඇසළ උදානය
හෝමාගම පුරාණ විහාරාධිපති නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
මාදෝවිට වජිර බුද්ධි නාහිමි
ඇසළ පෝය දිනය වෙසක් පොසොන් පෝය දින මෙන් වැදගත් පෝය දිනයකි. ශාසනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද මෙම ඇසළ පෝය දිනය බෞද්ධ ජනතාවට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් දිනයක් මාසයක් ලෙස අගය කළ හැකිය.
ශාසනික වශයෙන් ගත් කල ශාසන ඉතිහාසය ආලෝකවත් කරන ඇසළ මාසය පින්බර මාසයක් ලෙස විශේෂයෙන් බෞද්ධ ජනතාව විසින් අගය කරනු ලැබේ. ඉන් පළමු කාරණය වශයෙන් සිද්ධාර්ථ කුමරු තම මව වූ මායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම දැක්විය හැකිය. සුදු ඇත්පැටවෙකු සුදු පියුමක් ගෙන මව් කුසට ඇතුල්වීම හරහා මෙම සිද්ධිය බෝසත් සිරිතට අන්තර්ගත වී ඇත.
සිද්ධාර්ථ බෝසත් කුමරු ගිහි ගෙයින් නික්ම යෑම සංකේතවත් වන්නේ ද ඇසළ පුන් පෝයදා සිදු වූ සංසිද්ධියක් වශයෙනි. මෙය මහාභිනිෂ්ක්‍රමණය ලෙස ශාසන ඉතිහාසයට එකතු වේ. ලොවට බුදුවරයකු පහළ වීම සටහන් කරන මෙම සිදුවීම ලොව අසිරිමත් සිදුවීමකි. තමන් නව භද්‍ර යෞවනයේ සිටියදී මව්පියන් හඬා වැලපෙද්දී කෙස් රැවුල් කපා දමා කසාය වස්ත්‍රයක් පෙරවාගෙන ලබාගන්නා කුසලය කුමක්ද? සත්‍යය කුමක්ද? සොයමින් සුදු වැලිතලාව සහිත නේරංජනා නදී තීරය අසබඩට පැමිණි බව අභිනිෂ්ක්‍රමණය සම්බන්ධ පුවත බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හෙළි කළ ආකාරය මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ මැනවින් විස්තර වේ. සය අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු ආලාර කාලාම ආදීන්ගේ දේශනා තුළ තමන් සොයන සසර දුක නිවාලන ක්‍රමවේදය නොමැති බව වටහාගත් සිද්ධාර්ථ කුමරු හේතුඵල දහමට අනුව ලොව සියල්ල ක්‍රියාත්මක වන බව වෙසක් පුන් පොහෝ දිනක අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වූ සේක.

අනතුරුව තමන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරවන ලද්දේ ඇසළ පෝය දිනක වීම අනුස්මරණීය සිදු වීමකි.
බරණැස ඉසිපතන මිගදායේදී පෙර නොඇසූ විරූ ආලෝකය උදාකරන ඥානය පහළ කරවන ප්‍රඥාව ලොවට දායාද කරන විද්‍යාව උදානය කරන මෙම සූත්‍ර දේශනාව ප්‍රථම වරට කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන්ට දේශනා කරන ලදී. දුක, දුකට හේතුව තෘෂ්ණාව, දුක නැති කිරීම නිවන සහ නිවන් මාර්ගය වූ මධ්‍යම ප්‍රතිපදාව ලෙස හඳුන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්විත දේශනාව අන්තර්ගත ධම්මචක්ක පවත්තන සූත්‍රය ත්‍රිපිටක සාහිත්‍යයේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ අන්තර්ගත වේ.
ඉන්දීය ජන සමාජය මිථ්‍යා දෘෂ්ටියෙන් මුදා සම්මා දිට්ඨි ආදී ආර්ය මාවතට ප්‍රවිෂ්ට කළ ඇසළ පෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවද බැතිබරව සමරන්නේ එම දිනය බොදු ජනතාවට සංසාර ගත සහ සමාජගත දුකෙන් මිදීමට මාවත හෙළි කළ දිනය නිසාවෙනි. එසේම ඉන්දීය භූගෝලීය පරිසරය අනුව ඇසළ මාසය වස්සාන ඍතු ආරම්භ වන මාසයයි. එකල වෙනත් ජෛන ආදී පිරිස් වර්ෂා ඍතුවේ ගම්මානවල සංචාරය කිරීමෙන් වැළකී ආරාමවලම කාලය ගත කළහ.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද එම ක්‍රමයට අනුගත වෙමින් වර්ෂා ඍතුවේ තෙමස වස් සමාදන්ව ආගමික සහජීවනයෙන් ගිහි පැවිදි පිරිස් සමග පින් දහම් කරමින් කාලය ගත කිරීමට අනුදැන වදාළ සේක. බුදුරදුන්ගේ ප්‍රථම වස් සමාදානය සිදු වූයේද ඇසළ පෝය දිනයේදීය. වෙසක්, පොසොන් මාසවල ලාංකික මහා විහාර ආශ්රිත උපසම්පදා උත්සව පැවැත්වෙන අතර අලුත උපසපන් වූ භික්ෂූන් ද සමඟ ලක්දිව වෙහෙර විහාරවල වස් සමාදන්වීම ද ඇසළ පෝයදා සිදු වේ. ගෘහස්ථ ජනතාව ද ආගමික මෙන්ම සාමාජික වශයෙන් ද ගිහි-පැවිදි සබඳතාවය ඔප් නංවා ගනු ලබන දිනෙක ආරම්භය ඇසළ පොහොය දින සිදු වේ. විහාරස්ථානවල වර්ෂයකට එකවරක් පමණක් සිදු කළ හැකි කඨින මහා පිංකම සඳහා ප්‍රාරම්භය සිදුවන්නේ ඇසළ පෝ දිනක බව ශාසනාලයෙන් සිහිපත් කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ තාවතිංස දිව්‍ය ලෝකයේදී මාතෘ දිව්‍ය රාජයාට විජම්බන හෙවත් අභිධර්මය දේශනා කිරීම ද ඇසළ පෝය දින සිදු විය. ත්‍රිපිටක ධර්මය සහිත බුද්ධ දේශනාව පර්යාප්ති ශාසනය ලෙස හැඳින්වේ. පර්යාප්තිය යනු මේ අනුව සූත්‍ර පිටකය, විනය පිටකය හා අභිධර්ම පිටකය යන තුනයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගත වනවිට මිථ්‍යා ලබ්ධික දුර්මතධාරීන්ගෙන් පිරිසිදු වූ බුදුදහම සකස් කර ගැනීම පිණිස ධර්ම සංගායනාවක් පැවැත්වීමට පියවර ගත්තේය. බුදුරදුන් දවස ජීවමානව වැඩ සිටි මහා කාශ්‍යප උපාලි, ආනන්ද යන ක්ෂීණාශ්රව මහා තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත්ත රජුගේ බැතිබර දායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කරන ලද්දේ ද ඇසළ පෝය දිනක වීම සාසන ඉතිහාසයේ අමරණීය සිදුවීමකි. රජගහ නුවර සත්තපණ්ණි ගුහාද්වාර මණ්ඩපයක මෙය සිදු විය.
ලක්දිව ප්‍රථම වස්සාන සමාදානය අදින් වසර දෙදහස් තුන්සියයකට පෙර ඇසළ පෝ දිනක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ලක්දිව ප්‍රථම වස් සමාදානය මිහින්තලේ දී සිදුවූ අතර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ද ලක්දිව ප්‍රථම වරට පැවිදි වූ මහාරිට්ඨ තෙරුන් ප්රමුඛ හැටදෙනමක් මහරහතන් වහන්සේ පළමු වස් සමාදානයට එළඹි බව මහාවංශය 16 පරිච්ඡේදයේ සඳහන් වේ.
ලක්දිව ආගමික ප්රබෝධය මෙන්ම සංස්කෘතික පුනර්ජීවනය උදාවන්නේ ද ඇසළ පුර පොහෝ දිනක බව සිහිපත් කළ යුතුය. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සෙංකඩගලපුර ඇසළ පෙරහැරේ සමාරම්භය ද ඇසළ මාසයේ සිදු වේ. අප රටට දායාද වූ නැටුම් ගැයුම් වැයුම් මෙන්ම හස්තිරාජයාණන්ගේ එකට හමුවීමත් ජාති ආගම් කුල මල භේද වලින් තොරව නර්තනයන්ගේ අනභිභවනීය පෙළහර පෑමද ඇසළ පොහොයත් සමග උදා වේ. මහනුවර මහ පෙරහැර පමණක් නොව රුහුණු කතරගම, බෙල්ලන්විල, ගඩලාදෙණිය, මැදවල විහාර කේන්ද්‍ර කරගත් ප්‍රාදේශීය පෙරහැර රාශියක් ඇසළ මාසයේ පැවැත්වේ.
අපේ රටට ආවේණික වෙස් නැටුම් උඩරට පහතරට සබරගමු නර්තන කලාවන්ගේ අසිරිමත් චමත්කාරය ඔස්සේ අපේ රටේ සංස්කෘතික දායාදයන් ශිෂ්ඨාචාරයේ අභිමානවත් ප්‍රෞඪ අනන්‍යතාවය ලොවට හෙළි කරන මෙවැනි අසිරිමත් සිදුවීම් පෙළහරක් ඇසළ මාසය සමඟ බද්ධ වන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
මෙසේ ජාතික ආගමික සංස්කෘතික වශයෙන් ඇසළ පෝය සහ ඇසළ මාසය වැදගත් වන අතර වර්තමාන ධර්ම ශාස්ත්‍ර උන්නතියේ සහ ශාසනික පුනර්ජීවනයේ නියමුවා වූ වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් “සංඝරාජ” පදවිය ප්රදානය කළේ ද ක්‍රිස්තු වර්ෂ 1753 මහනුවර අවධියේ ඇසළ පොහොය දිනකදීය. මල්වතු අස්ගිරි අති උතුම් මහා නායක පදවි සඳහා නාහිමිවරුන් පත්කොට ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය විධිමත් කිරීම ද ඇසළ මාසයේ සිදු විය.
ශ්‍රී ලාංකික ජනතාව විශේෂයෙන් ඇසළ පෝය ස්මරණය කළ යුත්තේ බුද්ධාගම සම්බන්ධ පුරාවෘත්ත රැසක් ජාතියට දායාද වූ දිනයක් නිසා බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

