සමවතක සාමය

rashi
By rashi
15 Min Read

අතුරුගිරිය ධම්මධුර භාවනා මධ්‍යස්ථානාධිපති‍ ත්‍රිපිටකාචාර්ය,‍ අභිධර්ම විශාරද,‍ ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය‍, පූජ්‍ය දිගන සුගතවංස හිමි

සමාධිය හා එහි ප්‍රභේද

සම්මා ආධියති ඨපෙතීති සමාධි

සමාධිය හෙවත් ඒකාග්‍රතාවය යනු කුසල විතර්ක මත සිත මනා ව පිහිටුවා ගැනීමේ අවස්ථාවයි. මෙකී සමාධිය අකුසල සමාධි, කුසල සමාධි වශයෙන් දෙයාකාර වේ. අකූසල විතර්කය මත එනම් ලෝභ, ද්වේශ, මෝහ යන මූලයන්ගේ මූලිකත්වයෙන් උපදින සෑම අකුසල් සිතක් පාසා උපදින ඒකාග්‍රතාවය අකුසල සමාධියයි. මෙකී අකුසල් සමාධිය පංචනීවරණ උපක්ලේශයන්ගේ ස්ථිර පැවැත්මට හේතුවකි. කුසල සමාධි යනු අලෝභ, අද්වේශ, අමෝහ, යන මුලයන්ගේ මූලිකත්වයෙන් උපදින කුසල් විපාක ක්‍රියා යන සෑම සිතක් පාසා හටගන්නා ඒකාග්‍රතා අතරින් කුසල් සිත් සමග උපදින ඒකාග්‍රතාවයයි.

මෙකී කුසල සමාධි, කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙන් සතර ආකාර වේ.

I කාමාවචර සමාධිය: කාමාවචර භූමියෙහි පවත්නා කාම ශෝභන කුසල් සිත් අට සමග උපදින ඒකාග්‍රතාවය කාමාවචර කුසල සමාධියයි.

II රූපාවචර සමාධිය: රූපාවචර භූමියෙහි පවත්නා කුසල ධ්‍යාන සිත් හතරෙහි උපදින ඒකාග්‍රතාව රූපාවචර සමාධියයි.

III අරූපාවචර සමාධිය: අරූපාවචර භූමියෙහි පවත්නා කුසල ධ්‍යාන සිත් හතරෙහි උපදින ඒකාග්‍රතාවය අරූපාවචර සමාධියයි.

IV ලෝකෝත්තර සමාධිය

ලෝකෝත්තර භූමියෙහි වූ ලෝකෝත්තර කුසල් සිත්හි උපදිනා ඒකාග්‍රතාවය ලෝකෝත්තර සමාධියයි. මෙකී සමාධීන් හා සමාධීන්හි ලක්ෂණ ධම්මසංගණි ප්‍රකරණයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “චිත්තස්ස ඨිති, සණ්ඨිති, අවට්ඨිති, අවිසාහාරො, අවික්ඛෙපො, අවිසාහටමානසතා, සමථො, සමාධින්‍ද්‍රිය, සමාධිබලං සම්මා සමාධි”

  1. චිත්තස්ස ඨිති: කුසලාරම්මණයෙහි සිත නො සැලී පවත්නා ස්වභාවය ඨිති ලක්ෂණයෙහි යුක්ත වූ සමාධියයි.
  2. සණ්ඨිති: කුසල් සිත සමග එකට උපදින සියලු පරමාර්ථ ධර්මයන් කුසලාරම්මණය තුළ ම මනා ව පිඬු කොට පිහිටීමේ ස්වභාවය සණ්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි.
  3. අවට්ඨිති: කුසලාරම්මණයෙහි සිත බහුල වශයෙන් බොහෝ වේලාවක් නො සැලී පවත්නා ස්වභාවය අවට්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි. කුසලාරම්මණයට බැසගෙන නැවත නැවත එම අරමුණට පිවිසෙමින් ඒ තුළ මනා ව පවත්නා ස්වභාවය එනම් ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා යන ධර්මතා හතරින් ම මනා ව කුසලාරම්මණයෙහි එල්ලී පැවතීමයි. දෙගොඩ තලා ගලා බසිනා සැඩ පහරක් දෙබෑ කරගෙන ගමන් ගන්නා වීර පුරුෂයෙකු සේ කුසල සමාධියට බාධා කරන අකුසල විතර්කයන් දෙබෑ කරමින් ඒ කුසලාරම්මණයට පිවිසීමේ චිත්ත ප්‍රසාදය ශ්‍රද්ධාවයි. කුසල විතර්කය මත ම මනා ව සිහිය පිහිටුවාගැනීම සතියයි. ඒ කුසලාරම්මණයෙහි ම සිත එකඟ කරගැනීම සමාධියයි.

තණ්හා, දිට්ඨි, අවිජ්ජා යන ක්ලේශයන් යටපත් කර කුසලාරම්මණය තුළට නුවණින් පිවිසීම ප්‍රඥාවයි. මෙකී ධර්මතා හතරින් කුසලාරම්මණයට පිවිසීම අවට්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි.

  1. අවිසාහාරො: උද්ධච්ච, විචිකිච්ඡා ස්වභාවයෙන් ප්‍රතිපක්ෂ වූ සමාධි ලක්ෂණය අවිසාහාරයි.
  2. අවික්ඛෙපො: උද්ධච්ච, විචිකිච්ඡා සහගත ස්වභාවයෙන් අතමිදුණු සමාධිය අවික්ඛෙප සමාධියයි.
  3. අවිසාහටමානසතා: සෑම අරමුණක ම සිත විසිරී පවත්නා ස්වභාවය උද්ධච්ච ලක්ෂණයෙන් ද, වැඩෙන සමාධිය ගැන සැක උපදවා ගැනීමේ විචිකිච්ඡා ලක්ෂණයෙන් ද යන දෙයාකාරයෙන් ම ඔබිනොබ දුවන පනින සිතින් බැහැර වූ සමාධිය අවිසාහටමානසතා සමාධියයි. අළු ගොඩකට ගලක් ගැසීමේ දී අළු විසිරී යන්නාක් මෙන් ද ගසක් මුදුනේ බඳින ලද ධජයක් සුළඟින් නිරතූරු ව ලෙලදෙන්නාක් මෙන් ද සිතේ විසිරී පවත්නා ස්වභාවය උදධච්ච ලක්ෂණයයි. මිරිඟුවකට මංමුළා වන්නා සේ නිරන්තරයෙන් වැඩෙන සමාධි ගුණය කෙරෙහි අවිද්‍යාවෙන් මුළාවට පත් ව එය තණ්හා, දිට්ඨි වශයෙන් ග්‍රහණය කර ගැනීම නිසා ඒ තුළ සැක සාංකා ඉපදවීමේ ස්වභාවය විචිකිච්ඡාවයි. මෙකී ලක්ෂණයෙන් බැහැර ව වැඩෙන සමාධිය අවිසාහටමානසතා සමාධියයි.
  4. සමථො: පක්‍ද්චනීවරණ ධර්මයන් සංසිඳවීම, මනා ව සංසිඳවීම හෙවත් පරිකර්ම වශයෙන්, උපචාර වශයෙන්, අර්පණා වශයෙන් හා අෂ්ටසමාපත්ති වශයෙන් සිතේ ඇති වන ඒකාග්‍රතාව සමථ සමාධියයි.

7.1 පරිකර්ම සමාධිය: භාවනා අරමුණ නැවත නැවත විතර්ක කරමින් ඒ අරමුණ තුළ මනා ව සිහිය පිහිටුවාගැනීමේ මූලික අවස්ථාව පරිකර්ම සමාධියයි. සමථ භාවනාවට අනුව ඒ ඒ කර්මස්ථානයන්ට අනුකූල ව මෙකී පරිකර්ම සමාධිය විවිධාකාරයෙන් ප්‍රකට වේ.

7.2 උපචාර සමාධිය: පරිකර්ම සමාධියෙන් බලසම්පන්න වූ යෝගාවචරයා ඒ පරිකර්ම සමාධිය පැය දෙක, තුන දක්වා වැඩීම හේතු කරගෙන ආලෝක නිමිති සහිත ව උපදින බලවත් සමාධිය උපචාර සමාධියයි. මෙකී සමාධිය කාම ශෝභන කුසල් සිත් සමග උපදී. විශේෂයෙන් ම උපචාර සමාධියේ දී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත වීමත්, විතර්ක, විචාර ආදි ධ්‍යානාංග ප්‍රකට වීමත් යෝගාවචරයාට නුවණින් දැකිය හැකි ය.

7.3 අර්පණා සමාධිය: උපචාර සමාධිය වශයෙන් වැඩුණු සිත තව තවත් පැය ගණන් වශී කිරීම හේතු කරගෙන ලැබුණු සමාධි ආලෝකය හෙවත් පටිභාග නිමිත්ත උපකාරයෙන් ධ්‍යානාංගයන් ගෙන් මනා ව ප්‍රකට වන අර්පණා සමාධිය යෝගාවචරයාට නුවණින් දැකිය හැකි ය. මෙකී අර්පණා සමාධිය රූපාවචර අර්පණා, අරූපාවචර අර්පණා, ලෝකෝත්තර අර්පණා වශයෙන් තුන් ආකාර වේ. රූපාවචර කුශල වශයෙන් ඒ ඒ භාවනා අරමුණුවලින් උපදින ප්‍රථම ධ්‍යාන, දුතියධ්‍යාන ආදි ධ්‍යානයන් රූපාවචර අර්පණා නම් වේ. ආකාශ කසිණය හැර සෙසු කසිණ අරමුණකින් පරිකර්ම උපචාර වශයෙන් සමාධිගත කරගත් යෝගාවචර තෙමේ රූපාවචර අර්පණා සමාධිය උපදවා ඉන් අනතුරු ව රූපයේ ආදීනව දකිමින් අරූපයේ ආනිශංස ප්‍රත්‍යවේක්ෂාවෙන් ආකාසානඤ්චායතන ආදී ධ්‍යානයන් උපදවාගැනීම අරූපාවචර අර්පණා නම් වේ.

සමථ වශයෙන්, විපස්සනා වශයෙන් හෝ සුද්ධ විපස්සනායානික වශයෙන් සිත දියුණු කරගත් යෝගාවචර තෙමේ සෝළස විපස්සනා ඤාණයන්ගේ කෙළවර උපදවා ගන්නා සෝතාපත්ති මාර්ග ආදි මාර්ග සමාධීන් ලෝකෝත්තර අර්පණාවයි.

  1. සමාධින්‍ද්‍රිය: කුසල් සිතේ වැඩෙන ඒකාග්‍රතාව ඉන්‍ද්‍රිය ධර්මයන්ගේ ඊශ්වරත්වයෙන්, නායකත්වයෙන් ඒ ඒ කුසල සිතට බලවත් වීම සමාධින්‍ද්‍රියයි.
  2. සමාධිබල: සිතේ වැඩෙන කුසල සමාධිය නො සෙල්වී අචල ව, බලවත් ව ඒ කුසල් සිතට බලවත් වීම සමාධි බලයයි.
  3. සම්මා සමාධි: මනා ව සිතේ පිහිටුවා ගත්තා වූ, ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මෙකී සමාධිය යාථාව සමාධි, නිය්‍යානික සමාධි, කුසල් සමාධි වශයෙන් සම්මා වචනය අනුව කොටස් තුනකට බෙදා අර්ථ විග්‍රහ කෙරේ.

10.1 යාථාව සමාධිය: නිවැරදි වූ වැරදි බවින් අතමිදුණු සමාධිය යාථාව සමාධියයි.

10.2 නිය්‍යානික සමාධිය: ඒකාන්තයෙන් නිවනට පමුණුවන, නිවන ගෙන දෙන සමාධිය නිය්‍යානික සමාධියයි.

10.3 කුසල සමාධිය: අකුශලයන් බැහැර කරමින් කුසල සිතේ පමණක් වැඩෙන සමාධිය කුසල සමාධි නම් වේ. මෙකී සම්මා සමාධිය ලෝකීය සම්මා සමාධිය, ලෝකෝත්තර සම්මා සමාධිය ය යි දෙයාකාර වේ.

ලෝකීය සම්මා සමාධිය: ආශ්‍රව සහිත ව වැඩෙන පුණ්‍ය භාග්‍යය සහ ඉන් ලැබෙන උපධි විපාකය ලෝකීය සම්මා සමාධියයි. එනම් ලෞකික වශයෙන් වැඩෙන දාන ශීල භාවනා ආදි දස පුණ්‍ය ක්‍රියා නිසාවෙන් හා කාම රූප, අරූප වශයෙන් වැඩෙන කුසල සංස්කාර ධර්මයන් ලෞකික පුණ්‍යභාග්‍ය නම් වේ. එකී ලෞකික පුණ්‍ය භාග්‍ය සිත්හි පවත්නා සමාධිය ලෝකීය සම්මා සමාධියයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, මාර්ගාංග හතර සම්මා සමාධියට සම්ප්‍රයුක්ත වීමෙන් ලෞකික සමාධිය හටගනී. මෙකී ලෝකීය සම්මා සමාධිය නිසා ලැබෙන උපධි විපාකය කොටස් කිහිපයකට බෙදනු ලැබේ.

i. ඛන්ධූපධි: පංච උපාදානස්කන්ධ නමැති උපධි විපාකය ලැබීම.

ii. ක්ලේස උපධි: රාග, ද්වේශ ආදී ක්ලේශයන් ක්ලේශ උපධියයි.

iii. අභිසංඛාර උපධි: කුසලාකුසල කර්මයන්ගේ රැස්වීම අභිසංඛාර උපධියයි.

ලෝකෝත්තර සම්මා සමාධිය

අරියා අනාසවා ලොකුත්තරා මග්ගංගා” අරියා: ආර්යය උතූමන් වහන්සේලාගේ මාර්ග සිත්හි පවත්නා සමාධිය ආර්යය සමාධියයි.

අනාසවා: කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීමෙන් ලැබෙන සමාධිය අනාසව සමාධියයි.

ලොකුත්තරා: කාම, රූප, අරූප යන ලෝකත්‍රයෙන් එතෙර වූ සමාධිය ලෝකෝත්තර සමාධියයි.

මග්ගංගා: සම්මා දිට්ඨි ආදි මාර්ගාංග හතෙන් සම්මා සමාධියට සම්ප්‍රයුක්ත වීමෙන් ඇතිවන සමාධිය මග්ගංග සමාධියයි

“ලභති අත්‍ථවෙදං ලභති ධම්මවෙදං ලභති ධම්මූපසංහිතං පාමුජජං පමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායො පස්සම්භති පස්සද්ධකායො සුඛං වෙදෙති සුඛිනො චිත්තං සමාධියති”

යම්කිසි යෝගාවචරයෙක් බුදුගුණ මනසිකාර, සදහම් ගුණ මනසිකාර, මහ සඟගුණ මනසිකාර යන භාවනාවන්හි යෙදෙන අවස්ථාවන්හි හා සජ්ඣායනා භාවනා ක්‍රමයෙන් බැහැර ව නුවණින් අරමුණ දෙස බලා සිටිමින් ගුණ වඩන තැනැත්තා තුළ සමාධිය වැඩෙන පිළිවෙළ මෙම සුත්‍ර දේශනා අන්තර්ගතයේ සවිස්තර වී ඇත.

කිළිටි වස්ත්‍රයක ඇති කිළිටි ගතිය නො යවා එම වස්ත්‍රය වර්ණ ගැන්වීමට යොමු කරන්නේ නමුත් එහි ඇති කිළිටි ගතිය නිසා තව තවත් දුර්වර්ණ වන්නාක් සේ කෙලෙසුන් ගෙන් කිළිටි වූ සිතැති තැනැත්තා කෙලෙස් ගැන අනවබෝධයෙන් එම මඟට පිළිපන්නේ නමුත් සිත පිරිසිදු කර ගත නොහැකි ය.

තව ද පිරිසිදු වස්ත්‍රයක්, පහසුවෙන් තමන් කැමැති වර්ණයක් ගල්වන්නට හැකි වන්නා සේ පිරිසිදු සිතේ පමණක් ම සමාධි ගුණ ආනිසංස ප්‍රකට වන්නේ ය. එබැවින් අප සිත කිළිටි කරන උපක්ලේශ ධර්මයන් හොඳින් හඳුනාගෙන උපක්ලේශ ධර්මයන් තදංග, විෂ්කම්භන ආදි වශයෙන් යටපත් වීමෙන් සමාධිගුණය යෝගාවචර සන්තානය තුළ වැඩේ. මූලික පුහුණුවේ දී ඒ පුහුණු වන ක්‍රියාවේ අර්ථය නුවණින් තේරුම් ගැනීම හෙවත් නුවණින් වැටහීම “‍ලභති අත්ථ වේදං” යි.

එසේ වැටහෙන අර්ථය නිසා ධර්ම රසාස්වාදය “ලභති ධම්මං වේදං” නම් වේ.

එසේ අර්ථ රසයත් ධර්ම රසයත් වැඩෙන යෝගාවචරයාගේ සන්තානය තුළ තරුණ ප්‍රීතිය හටගනී. එසේ හටගත් තරුණ ප්‍රීතිය මුහුකුරා යෑමෙන් ශරීරය පුරා විහිදී යන ඵරණ ප්‍රීති, උද්වෙගා ප්‍රීති අහසට ඔසවන්නාක් මෙන් ඇති වන්නා වූ ප්‍රීතිය “පීති ජායති” නම් වේ. එසේ නාම කය තුළ හටගන්නා ප්‍රීතිය ශරීරය පුරා පැතිරී යෑමෙන් ඇති වූ පස්සද්ධි රසය “කායො පස්සම්භති” නම් වේ. අඛණ්ඩ ව පහළ වූ ප්‍රීතිය සෝමනස්ස සහගත කුසල් සිත් පරම්පරාවන් නිසා නාම කයේ සංසිඳීමත් එකී චින්තනයන්ගේ බලයෙන් උපදනා චිත්තජ රූපයන් ශරීරය පුරා පැතිරී යෑම හේතුවෙන් රූප කයේ පස්සද්ධිය ද යන සැහැල්ලු බව “පස්සද්ධ කායෝ හෝති” නම් වේ. මෙසේ වැඩෙන පස්සද්ධිය හේතු කරගෙන මානසික සුවය සහ කායික සුවය හෙවත් සැප වේදනාව “සුඛං වේදියති” නම් වේ. එකී සැප වේදනාව බහුල වශයෙන් ප්‍රගුණ කිරීම හේතුවෙන් ඇති වන ඒකාග්‍රතා බලය “සමාධි” නම් වේ.

මෙකී සමාධිය කොටස් 2කින් යුතු වේ.

I. ආරම්මණ උපනිජ්ඣායන ලක්ඛණා සමාධිය

II. ලක්ඛණ උපනිජ්ඣායන ලක්ඛණා සමාධිය

ආරම්මණ උපනිජ්ඣායන ලක්ඛණ සමාධිය

සමථ වශයෙන් කමටහන් ගෙන එය පරිකර්ම කරමින් එම අරමුණ මත සිත එකඟ කර ගැනීමේ සමාධිය ආරම්මණ උපනිජ්ඣායන සමාධිය නම් වේ. මෙහි දී උපනිජ්ඣායන යනු කුසල විතර්කය පිටුපස හඹාගෙන නැඟෙන නීවරණ ධර්මයන් දවන පුළුස්සන ස්වභාවයෙන් යුක්ත වූ සමාධියකි. පරියාය වශයෙන් සමථ සමාධි ය යි හඳුන්වන්නේ ද මෙම සමාධියයි.

ලක්ඛණ උපනිජ්ඣායන ලක්ඛණ සමාධිය

සමථ වශයෙන් වඩන සම්මුති අරමුණ ලක්ෂණ වශයෙන් දැක ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නංවා විදර්ශනා කිරීමේ සමාධිය ලක්ඛණ උපනිජ්ඣායන ලක්ඛණ සමාධියයි. එය විදර්ශනා සමාධිය වශයෙන් ද හඳුන්වයි.

සමාධිය දියුණු කිරීමට උපකාරක ධර්ම

  1. වත්‍ථු විසද කිරියතා 2. ඉන්‍ද්‍රිය සමත්තපටිපාදනතා 3. නිමිත්ත කුසලතා 4. සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා 5. සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා 6. සමයෙ චිත්තස්ස සම්පහංසනතා 7. සමයෙ අජ්ඣුපෙක්ඛණතා 8. අසමාහිත පුග්ගල පරිවජ්ජනතා 9. සමාහිත පුග්ගල සේවනතා 10. ධ්‍යානවිමොක්ඛ පච්චවෙක්ඛණතා 11. තදධිමුත්තතා

  1. වත්‍ථු විසද කිරියතා

සමාධිය දියුණු කිරීමට කැමැති

යෝගාවචර තෙමේ ආධ්‍යාත්මික හා බාහිර වස්තුන් කෙරෙහි පිරිසිදු භාවය පළමුව ඇති කර ගත යුතු ය.

  1. ඉන්ද්‍රිය සමත්තපටිපාදනතා

එම යෝගාවචර තෙමේ ඉන්‍ද්‍රිය ධර්මයන් සම ව පවත්වාගත යුතුයි. එනම් භාවනා අරමුණ සමග මෙකී ඉන්‍ද්‍රිය ධර්ම (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා) සමබර ව පවත්වා ගැනීම සමාධිය වැඩීමට හේතු කාරණාවකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, භාවනා උපදේශක කෙරෙහි දක්වන ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය ශ්‍රද්ධාවයි. මේ සද්ධින්‍ද්‍රිය, වීර්යය ඉන්‍ද්‍රිය දියුණු කිරීමට උපකාරකයි. සතින්‍ද්‍රිය අකුශලයන් ගෙන් සිත් බේරා භාවනා අරමුණ මතු කර දීමට උපකාරකයි. එසේ මතු කරගත් කුශලාරම්මණය තුළ මනා ව සිත පිහිටුවා ගැනීමට සමාධිඉන්‍ද්‍රිය උපකාරකයි. ඒ අරමුණ කෙරෙහි නුමුළා වී නුවණින් විමසීම ප්‍රඥා ඉන්‍ද්‍රියට උපකාරකයි. මෙකී ඉන්‍ද්‍රිය ධර්මයන් භාවනා අරමුණෙහි සමබර ව පවත්වා ගැනීම සමාධිය වැඩීමට උපකාරකයි.

  1. නිමිත්ත කුසලතා

භාවනාවට ගත් අරමුණෙහි නිමිත්ත සිතට ගැනීමේ දක්ෂ බවයි. එනම් එම යෝගාවචරයා භාවනා අරමුණේ දී තම සිත හකුළාගන්නේ නම්, එහි පසුබසින්නේ නම් එම භාවනා නිමිත්ත දක්ෂාකාරයෙන් පවත්වා ගැනීමට අපොහොසත් වේ. තමන් අරමුණු කර ගන්නේ මොනයම් කමටහනක් ද ඒ කමටහන තුළ ම සිත මනා ව පිහිටුවා ගැනීමේ දක්ෂතාවය හේතු කරගෙන සමාධි නිමිත්ත පහළ වේ. සිහිය සහ නුවණ ප්‍රධාන වශයෙන් උපකාර වීම නිසා සමාධිය වැඩේ.

  1. සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා

සුදුසු අවස්ථාවන්හි දී සිතට අනුබල දෙන ස්වභාවයයි. සිත දුබල වු අවස්ථාවේ දී වීර්යන්‍ද්‍රිය බලවත් කොට ගෙන සිත අරමුණ තුළ නඟා සිටුවා ගත යුතුයි. අරමුණෙහි පැහැදීමක් නැති අවස්ථාවේ දී ශ්‍රද්ධාවෙන් අරමුණ පිහිටුවා ගත යුතු ය. මෙසේ දුබල වන අවස්ථාවේ දී සිත මනා ව නැඟිටුවා ඒ ඒ භාවනා අරමුණ තුළ ම නැවත නැවත පිහිටුවාලීම සමාධිය වැඩීමට තවත් උපකාරක ධර්මයකි.

  1. සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා

සිත දුබල වන කල්හි එයට නිගරු කරමින් ඒ ඒ අවස්ථාවන්හි චිත්ත බලය පිහිටුවා ගැනීමයි. යෝගාවචර තෙමේ භාවනා පුහුණුව ලබන කල්හි රාග, ද්වේශ ආදී ලාමක ක්ලේශ ධර්මයන් ගෙන් භාවනා අරමුණ දුබල කරන මොහොතේ දී සිත දුබල බව ඇති කරන ඒ අකුසලයන් හඳුනාගෙන ඒවාට නිගරු කරමින් සසර භය, ක්ලේශයන්ගේ භය, ආදීනව සිහි කොට සිත නැවත නැවත භාවනා අරමුණෙහි පිහිටුවා ගැනීම සමාධි භාවනාවට උපකාරක ධර්මයකි.

  1. සමයෙ චිත්තස්ස සම්පහංසනතා

සතුටු කළ යුතු අවස්ථාවන්හි දී සිත සතුටු කරවන බවයි. භාවනාවට බැසගත් යෝගාවචර තෙමේ සෑම භාවනා ආසනයක් අවසානයේ දී ම ඒ භාවනාව තුළින් ලැබූ සතුට හා ආනිසංස හඳුනාගෙන සිත නැවත නැවත සතුටු කරවමින් ඉදිරියට රැගෙන යෑම කළ යුතුයි. එසේ කිරීමත් සමාධියට උපකාරක ධර්මයකි.

  1. සමයෙ අජ්ඣුපෙක්ඛණතා

සමව පවත්නා කල්හි සිත මධ්‍යස්ථ වන බවයි. මනා ව අරමුණෙහි සිත පිහිටුවා ගත් විට එය හැකිළීමක් හෝ වික්‍ෂේප බවක් හෝ ආශ්වාද සහිත බවක් හෝ යන භාවනාවට බාධා කරන සිතිවිලිවලින් බැහැර ව එම අරමුණෙහි ම සිත ශාන්ත ව එක දිගට පවත්වාගෙන යෑමයි. සමාධිය වැඩෙන අවස්ථාවේ දී හා වැඩීමෙන් අනතුරුවත් ඒ සමාධිය තුළ ම බැසගෙන එක දිගට එහි පැය ගණන් සිත පිහිටුවා ගැනීම සමාධියට උපකාරක ධර්මයකි.

  1. අසමාහිත පුග්ගල පරිවජ්ජනතා

භාවනාවට අකැමැති, සමාධි ගුණයට අකැමැති සමාධිගුණයක් නො වඩන, සමාධියට නිග්‍රහ, අවමන් කරන, වැඩෙන සමාධියට බාධා කරන පුද්ගලයන්ගේ ඇසුරින් බැහැර කිරීම සමාධියට තවත් උපකාරක ධර්මයකි.

  1. සමාහිත පුග්ගල සේවනතා

භාවනාවට කැමැති, සමාධි ගුණයට කැමැති, සමාධි ගුණයන් වඩනා සමාධි ගුණය ගැන වර්ණනා කරන, වැඩෙන සමාධියට උපකාර කරන පුද්ගලයන් ඇසුරු කිරීම සමාධියට තවත් උපකාරක ධර්මයකි.

  1. ඣාන විමොක්ඛ පච්චවෙක්ඛණතා

ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කරන බවයි. ගැඹුරු සමාධිය උපදවා ගත් ධ්‍යාන, මාර්ග ඵල ඔබට ඇත්තේ නම් විශේෂයෙන් ම ධ්‍යාන ගුණයන්හි මනාව ප්‍රගුණ බවක්, වශී බවක් හදාගත් යෝගාවචර තෙමේ නිරන්තරයෙන් ම එකී ධ්‍යානයන්ට සමවැදී සමවතින් නැඟී සිටීම නිතර නිතර පුහුණු කළ යුතුයි. මෙය සමාධිය දියුණු කරගැනීමට තවත් උපකාරක ධර්මයකි.

  1. තදධිමුත්තතා

සමාධිය දියුණු කරගැනීමට බැසගත්, දියුණු කර ගත් සිතක් ඇති බව සමාධියට තවත් උපකාරක ධර්මයකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *