ගම්පහ, අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජමහාවිහාරයේ භාරකාර විහාරාධිපති
ගම්පහ, බැණ්ඩියමුල්ල විද්‍යාශේඛර මහ පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති
සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක
ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මපාල
පූජ්‍ය කරපික්කඩ ජිනරතන නාහිමි
සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝහිවඩ්ඪති
“නො පසුබට උත්සාහයෙන් හා සිහියෙන් යුත්, පිරිසිදු ක්‍රියා ඇති, විමසා බලා කටයුතු කරන, හික්මුණු, දැහැමි දිවි පෙවෙතක් ගත කරන, නො පමා ව කටයුතු කරන (අප්‍රමාදී) තැනැත්තාගේ යසස වැඩේ.”
යසස යනු කීර්තියයි. යමෙකුගේ ගුණය, හැදියාව ප්‍රචලිත වීමයි. ඒ පිළිබඳ සමාජයේ ඇති වන කථාබහයි. බොහෝ දෙනාට අධිපති වීම, ප්‍රධානත්වයක් ගෙන ක්‍රියා කිරීම, අන්‍යයන්ගේ ගරුබුහුමනට පාත්‍ර වීම යනාදිය යසස නිසා ලැබෙන ආනිසංස වේ.
පුද්ගලයෙකුගේ යසස වැඩීමට හේතු වන කරුණු හතක් මෙම ගාථා පාඨයේ අන්තර්ගත වේ. ඊට ප්‍රථම එම ගාථා පාඨයට හේතු වූ කථා පුවත සැකෙවින් දක්වමු.
රජගහනුවර සිටු නිවසෙහි අහිවාතක නම් බෝ වන රෝගයක් හට ගත්තේ ය. රෝගයට ගොදුරු වූ සිටු මාපියෝ තම එක ම පුතු කැඳවා රෝගයෙන් බේරී පලා ගොස් ජීවිතය රැකගන්නා ලෙස දැන්වූ හ. තමන් සතු ධනය නිධන් කොට ඇති තැන ද දන්වා පසු කලෙක පැමිණ එය ලබාගෙන සුවසේ වෙසෙන ලෙස ද කී හ. රෝගයට ගොදුරු වූ මාපියෝ මිය ගිය හ.
කලක් ගත විය. තරුණ වියට පත් සිටු කුමරු රජගහනුවරට පැමිණ ධනය ගැන සොයා බැලූ අතර එය නිරුපද්‍රිත ව තිබෙන බව දුටුවේ ය. කුඩා කල නිවසින් පිට ව ගිය තමා දන්නා හඳුනන කිසිවෙකු නැති නිසා එම ධනය ලබාගත් විට උවදුරු පැමිණිය හැකි බව සිතා බැලමෙහෙවර කොට දිවිය ගෙවීමට ඉටාගත්තේ ය. ඔහු වීථියක ඝෝෂක තනතුරක් ලබා ගත්තේ ය. වීථියෙහි වෙසෙන අයට පිබිදීමටත්, ඒ ඒ කටයුතු ඇරඹීමටත් ඝෝෂා කිරීම ඔහුගේ කාර්යය විය. එනිසා ඔහු කුම්භඝෝෂක නමින් හැඳින්විණි. දිනක් බිම්බිසාර රජතුමාට ඔහුගේ කටහඬ ඇසිණි. කටහඬ අනුව ඔහු ධනවතෙකු විය යුතු බව රජතුමා තේරුම් ගත්තේ ය. රජතුමා උපාය දූතයන් ලෙස කාන්තාවක හා තරුණියක යොදවා මේ ගැන සොයා බැලීමට කටයුතු යෙදී ය. කාන්තාව, කුම්භඝෝෂක සතු නිධානයෙන් කහවණු කීපයක් ද ලබා ගැනීමට සමත් වූවා ය. දිනක් රාජපුරුෂයෝ පැමිණ කුම්භඝෝෂක රජතුමා හමුවට ගෙන ගිය හ. කුම්භඝෝෂක රජතුමාට සියලු පුවත් සැළ කර සිටියේ ය. ප්‍රසාදයට පත් රජතුමා ඔහුට සිටු තනතුර ද පිරිනමා සිය දියණිය ද සරණ පාවා දුන්නේ ය. දිනක් බිම්බිසාර රජතුමා කුම්භඝෝෂක පිළිබඳ වූ මෙම පුවත බුදුරජාණන් වහන්සේට දැන්වී ය. බුදුරජාණන් වහන්සේ කුම්භඝෝෂක ගත කළ දැහැමි දිවිය අගය කරමින් එබඳු පුද්ගලයන් කීර්තියට පත් වන බව පවසමින් ඉහත ගාථා පාඨය වදාළ සේක.
ඉහත ගාථා පාඨයේ ඇතුළත් පුද්ගලයෙකුගේ යසස වැඩීමට හේතු වන කරුණු හත මෙසේ ය.
- උට්ඨාන වීර්යය : කොපමණ බාධක පැමිණියත් ඇරඹූ කාර්යය සඵල වන තුරු උත්සාහ සම්පන්නව කටයුතු කිරීමයි.
- සතිය (සිහිය) : තමා කරන කාර්යය පිළිබඳ ව අවධානයෙන් යුතු ව කටයුතු කිරීමයි.
- සුචිකම්ම : සිත, කය, වචනය, යන තුන් දොරින් යහපත් ක්‍රියාවන්හි යෙදීමයි.
- නිසමම්කාරී : ක්‍රියාව අනුව ලැබෙන ප්‍රතිඵලය විමසා බලා කටයුතු කිරීමයි.
- සඤ්ඤත : සිත, කය, වචනය සංවර කර ගැනීමයි.
- ධම්ම ජීවි : අධාර්මික ජීවිකාවන් ගෙන් වෙන් ව දැහැමි ව ජීවිත් වීමයි.
- අප්පමත්ත : සිහි නුවණින් යුතු ව ප්‍රමාද නො වී කටයුතු කිරීමයි.
බුදුදහමට අනුව උත්සාහය ඉතා වැදගත් වූවකි. උත්සාහයෙන් තොර ව කිසිවක් ජය ගත නොහැකි ය. ලෞකික ජීවිතය ජයගැනීමට පමණක් නො ව ආධ්‍යාත්මික වශයෙන් ද උසස් තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහය උපයෝගි වන බව බුදුරජාණන් වහන්සේගේ චරිතය ඇසුරින් ම අපට වටහා ගත හැකි වෙයි. උත්සාහයේ ප්‍රතිවිරුද්ධ පැත්ත අලසකමයි. අලස පුද්ගලයා ඒ ඒ අවස්ථාවල කළ යුතු කාර්යය කල් දමයි. ඔහු ඊට හේතු ද සොයයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් අන්දමට අලස පුද්ගලයා ‘දැන් ඉතා ශීත’ ය කියමින් කළ යුතු දේ කල් දමයි. ශීතය මගහැරුණු පසු ‘දැන් ඉතා උෂ්ණ’ ය කියමින් කළ යුතු දේ කල් දමයි. මේ ආකාරයට ‘දැන් ඉතා අලුයමයි’, ‘දැන් දවල් වී ඇත’, ‘කුසගිනියි’, ‘කුස පිරී ඇත’ ආදි වශයෙන් කියමින් කාර්යයන් කිරීම කල් දමයි. එසේ කරන පුද්ගලයාගේ ජීවිතය සාර්ථක නො වේ. ධන සම්පත් පිරිහෙන අතර ඒවායේ වර්ධනයක් ද සිදු නො වේ. ඔහුගේ මෙලොව දිවිය පමණක් නො ව පරලොව දිවිය ද අසාර්ථක වේ.
සිහියට බුදුදහමේ දී ඇත්තේ සුවිශේෂී තැනකි. වරෙක බුදුරජාණන් වහන්සේ “මහණෙනි, සිහිය සියලු අර්ථසිද්ධි සාදා දෙයි. ක්‍රමානුකූල ව වැඩූ සිහිය නො දෙන යහපතක් නැත” යි වදාළ සේක. සසර දුක් කෙළවර කිරීමේ මාර්ගය වශයෙන් දැක්වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද සිහියට දී ඇත්තේ වැදගත් තැනකි. එහි ‘සම්මා සති’ යනුවෙන් සිහිය පිළිබඳව පැහැදිලි කරයි. සිහියෙන් යුතු ව කටයුතු කිරීම දෛනික දිවියේ අතුරු අන්තරාවලින් වැළකී සිටීමට පමණක් නො ව භෞතික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් ලැබීමට හේතු වේ. එසේ ම සිහියෙන් යුතු ව කටයුතු කිරීම නිවනට ඒකායන මාර්ගය ද වේ.
සිත, කය, වචනය සංවර කරගැනීමේ හෝ අසංවර කරගැනීමේ හෝ ප්‍රතිඵල මෙලොව දී ම භුක්ති විඳිය හැකි වේ. ‘කෙසේ හෝ මුදල් සොයාගෙන’ සැපවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයෙකු ගැන බලන්න. ඔහුගේ සිතිවිලි මෙන් ම වචනය ද, ක්‍රියාව ද අයහපත් ය. ඒ අනුව ඉක්මනින් දියුණු වීමට මත්ද්‍රව්‍ය සමාජය තුළ බෙදාහරින්නේ නම් ඔහු පැතූ සැපවත් ජීවිතය කෙටි කලකට පමණක් සීමා වෙයි. සමාජයෙන් නින්දා අපහාස ලැබ නීතිමය ප්‍රශ්න හමුවේ සිරගෙදරක දිවි ගෙවීමට ඔහුට සිදු වේ. එහෙත් යහපත් ජීවන මාර්ගයක් ඔහු තෝරාගත්තේ නම් සමාජයෙන් කිත් පැසසුම් ලබනවා පමණක් නො ව නිදහස් නිවහල් සාර්ථක දිවියකට හිමිකම් කියනු ඇත.
දැහැමි දිවියක් ගත කිරීමේ දී අනුන්ටත්, සමාජයටත් කරදරයක් නො වන කිනම් හෝ ජීවන වෘත්තියක යෙදිය හැකි ය. එම කාර්යය අවංක ව හා උද්‍යෝගිමත් ව ඉටු කිරීම ඔහු සතු වගකීමකි. එසේ වූ විට එය ධාර්මික ජීවිකා වෘත්තියක් වේ. වෙළෙඳාම ජීවිකා වෘත්තියක් වශයෙන් තෝරාගන්නේ නම් මස් පිණිස සතුන් වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම, වසවිස වෙළෙඳාම, මස් වෙළෙඳාම සහ මත්පැන් වෙළෙඳාම යන වෙළඳාම් පස තෝරා නො ගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම වෙළෙඳාම් පහෙන් සමාජයට සිදු ව ඇති හානිය විමසා බැලීමෙන් මේවා ‘වැරැදි වෙළෙඳාම්’ වශයෙන් හඳුන්වා දී ඇත්තේ ඇයි ද යන්න පැහැදිලි ය.
වර්තමාන සමාජයේ විමසා බලා වැඩ කටයුතු කරන පිරිස් ඉතා අඩු ය. බොහෝ දෙනෙක් ‘දුවන්නන් වාලේ දුවති’. එසේ දුවන්නන් වාලේ දිවීම නිසා අසහනය, දුක උරුම කරගත්තෝ සමාජයේ බහුල වෙති. ජීවත් වීමට අවශ්‍ය ම නො වුණත් අනවශ්‍ය බඩුබාහිරාදිය ලබාගැනීමට මුදල් නොමැති නිසා ණය වෙති. අවසානයේ ණය ගෙවාගැනීමට නොහැකිව අසරණ වෙති. ඔවුහු අත් විඳින්නේ විමසා බලා කටයුතු නො කිරීමේ විපාකය නො වේ ද? ණය ගැනීමට පෙර ණය ගෙවිය හැකි ද යන්න විමසා බැලීම කළ යුතු ව තිබිණි.
අප්‍රමාදී ව කටයුතු කිරීම නිසා ලොවට ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහි වූ හ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සිට බුද්ධත්වය දක්වා පැමිණි ගමන ඒ සඳහා හොඳ ම උදාහරණය වේ. ලොව පහළ වූ ආගමික නායකයන්, විද්‍යාඥයන්, මානවහිතවාදීන්, ලේඛකයන්, කලාකරුවන්, දේශමාමක ජනනායකයන් ආදින් ගැන අදත් අපි කථා කරමු. ඒ ඔවුන් පුද්ගල අභිවෘද්ධියට වඩා පොදු අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කළ නිසා ය. ඔවුන්ගේ යසස සදා නො මැකෙන්නේ එම නිසා ය. ඔවුහු කළ යුතු දේ පිළිබඳව අවබෝධයකින් යුතු වූ හ. එසේ ම ඔවුහු යුතුකම, වගකීමක් සේ සැලකූ හ. එනිසා අද අප බොහෝ දේ භුක්ති විඳින්නේ ඔවුන් නිසා යැ යි කිව හොත් එහි වරදක් නැත.
සක්දෙවිඳු එම තත්ත්වයට පත් වූයේ මවුපිය පෝෂණය, කුල දෙටුවන් (පරම්පරාවේ වැඩිහිටියන්) පිදීම, දන්දීමෙහි මසුරු සිත් නොමැති වීම, යහපත් වචන භාවිතය, කේළාම් නො කීම, බොරු නො කීම, ක්‍රෝධ නො කිරීම යන සප්තව්‍රතය සමාදන් ව ගත කළ හෙයිනි. මගධ රට මචල ග්‍රාමයේ මඝ නම් මානවකයෙකු ව ඉපිද සිටිය දී ඔහු මෙම සප්තව්‍රතය සමාදන් ව වාසය කළේ ය.
ඉහත ගාථා පාඨයේ සඳහන් කරුණු වටහාගෙන අප්‍රමාදී ව ක්‍රියා කරන්න. එවිට ඔබගේ දිවිය දිනෙන් දින වර්ධනය වනවා පමණක් නො ව, යසස ද පැතිරී සාර්ථක දිවියක් උරුම කරගත හැකි වෙයි.