අමු සොහොන හා සමාන මිනිස් ජීවිතය

cmadurawala
8 Min Read

ගුණපාල කාරියවසම්

මිනිස් ජීවිතය අමු සොහොනක් හා සමාන බව වරෙක බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. එසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ අමු සොහොනක තිබෙන ලක්ෂණ 05ක් සඳහන් කරනවා. 1. අපිරිසිදුයි 2. දුර්ගන්ධයි 3. බය සහිතයි 4. දරුණු අමනුෂ්‍යයන්ට වාස භූමියක් 5. හඬා වැලපෙන තැනක්. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ‘සීවතිකා සූත්‍රයේ’ මේ බව සඳහන් වේ.

අමු සොහොනක තිබෙන මේ ලක්ෂණ අපට හොඳින් වටහාගන්න පුළුවන්. එදා අමු සොහොන යනු, කෙනෙක් මියගිය පසු විසිකර දමන තැනක්. අද වගේ කෙනෙක් මියගිය පසු භූමදානය කිරීමක් හෝ ආදාහනය කිරීමක් එදා සිදු කළේ නැහැ. කැලයට දිනපතා ගෙන ගොස් දමන මිනී කුණුවෙවී පවතිනවා. කබරුන්, සිවලුන් වැනි වෙනත් සතුන් ඒ මළ මිනී ඇද ඇද කනවා. ඒ නිසා ඒවා හැමතැනම විසිරිලා පවතිනවා. ඒ නිසා අමු සොහොන අපිරිසිදුයි. කිසිම පිරිසිදුකමක් නැහැ. මේ නිසා බුදුන් වදාළ පළමු කාරණය අපට හොඳින් පැහැදිලියි.

මෙසේ තැන තැන මිනී මස්, ඇටකටු විසිරී පවතිනවා. ඒවා කිසිවකු පිරිසිදු කරන්නේ නැහැ. කුණුවී පණුවන් ගැවසී තිබෙන මළ මිනී තුළින් දුර්ගන්ධය හමනවා. මේ තත්ත්වය දකින්න කිසිවකු කැමැති නැහැ. ඒ අනුව බුදුන් වහන්සේ වදාළ අමු සොහොනේ පවතින දෙවැනි කාරණය වන දුර්ගන්ධය පිළිබඳව අපට හොඳින් වටහාගන්න පුළුවන්. තුන්වැනි කාරණය ලෙස උන්වහන්සේ පෙන්වා දුන්නේ, අමු සොහොන බය සහිත බවයි. එය අපට හොඳින් පැහැදිලි වෙනවා. අමු සොහොනේ තැන තැන විසිරී පවතින අධික දුර්ගන්ධය හමන මළ මිනී දකින්න බිය නොවන්නේ කවුද?

අමු සොහොනේ තිබෙන දුර්ගන්ධය හමන මළ මිනී දහවල් කාලයේදී නොයෙකුත් සතුන් විසින් කාදමනවා. රාත්‍රී කාලයේදී ඒවා කෑමට අමනුෂ්‍යයන් එනවා. සමහර අමනුෂ්‍යයන් විවිධ වෙස් මවාගෙනයි සිටින්නේ. දහවල් කාලයේදී අඳුරු සෙවණැලි වගේ ඔවුන් එහා මෙහා ගමන් කරනවා. පියවි ඇසට පේන්නේ නැහැ. ඔවුන් මිනිසුන් දුටුවොත් විවිධ ශබ්ද පිට කරනවා. විවිධ දුගඳ විහිදුවනවා. මේ නිසා අමු සොහොන දරුණු අමනුෂ්‍යයන්ගේ වාස භූමියක් බවට පත්වෙනවා. ඒ නිසයි බුදුන් වහන්සේ අමු සොහොනේ හතරවැනි ලක්ෂණය ලෙස අමු සොහොන දරුණු අමනුෂ්‍යයන්ගේ වාසභූමියක් බව අපට පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසා ඒ කාරණයත් අපිට හොඳින් පැහැදිලි වෙනවා.

කෙනෙක් මියගිය පසු ඒ මළ මිනී අමු සොහොනට ගෙන ගොස් දැමීමට දහවල් කාලයේදී අරගෙන යන්නේ තම හිතවතා හෝ ඥාතියා වෙනුවෙන් හඬා වැලපීගෙනයි. තම හිතවතා හෝ ඥාතියා අමු සොහොනේ තනිකර දමා ඔවුන් හඬා වැලපෙනවා. විලාප දෙනවා. අමු සොහොනට හිනා වෙවී කවුරුවත් යන්නේ නැහැ. හිනා වී එහි සිටින්නෙත් නැහැ. හිනා වෙවී ඉන් පිටවෙන්නෙත් නැහැ. ඒ නිසා අමුසොහොන හඬා වැලපෙන තැනක් බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ. ඒ පස්වැනි කාරණයයි.

අමු සොහොනක පවත්නා මේ කාරණා පහ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ අපගේ මනුෂ්‍ය ජීවිතයත් මේ හා සමාන බව අපට පෙන්වා දෙනවා. ඒ විස්තරය අපට ගොඩාක් වටිනවා. අපේ ජීවිත හැඩගස්වා ගන්න වගේම සාර්ථක කරගන්න ඒ කරුණු ගොඩක් වටිනවා. ඒ නිසා ඒ ගැන කරුණු ටිකක් සාකච්ඡා කරමු. පුවත්පතකට සපයන ලිපියකින් ගොඩක් විස්තර ඉදිරිපත් කළ නොහැකි බව ඔබට වැටහෙනු ඇති. ඒ නිසා මෙම ලිපිය එයට මඟපෙන්වීමක් ලෙස සලකා මෙම කරුණු ගැන තව තවත් හැදෑරීම හෝ පොත්පත් බලා දැනගැනීම හෝ දේශකයන් වහන්සේලා සිදුකරනු ලබන ධර්ම දේශනාවලට සවන් දීමෙන් හෝ තවත් කරුණු අවබෝධ කරගැනීම ඔබේ යුතුකමයි.

මිනිසුන් විසින් සිදුකරනු ලබන සෑම දෙයක්ම සිදුකරන්නේ හෝ සිදුවන්නේ සිත, කය, වචනය යන තුන් දොරෙන්. සිතෙන් හා කයෙන් වැරදි තුනක් බැගින් සිදුකරනු ලබන අතර වචනයෙන් වැරදි හතරක් සිදුකරනු ලබනවා. බොහෝවිට මේවා අපිරිසිදුයි. මෙසේ අප විසින් නිතර තුන්දොර අසංවරව කරනු ලබන දේවල් අපිරිසිදු නිසයි. මනුෂ්‍ය ජීවිතය අමු සොහොන වගේම අපිරිසිදු බවට බුදුන් වහන්සේ දේශනා කර තිබේ. අමු සොහොනේ අනෙක් ලක්ෂණත් තුන් දොර උපමා කර දේශනා කර ඇති අයුරුත් විමසා බලමු.

මිනිසා තුන් දොරෙන් වැරදි කරන විට වචනයෙන් වැරදි හතරක් සිදුකරනවා. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම හා හිස් වචන කීමයි. මේ කාරණා හතරම සමාජයට අහිතකරයි. මේවා සිදුකරනුයේ කටින්. තමාටත් අනුන්ටත් සමාජයටත් අහිතකර මේවා කියන අයගේ කටවල් ගඳගහන බව ආගම දහම අනුව වගේම පළපුරුද්ද අනුවත් අපි දන්නවා. කයෙන් වැරදි කළත් අපිට නොපෙනුණාට ගඳ ගහනවා. මසුන් මරණ අය වගේම දුම්පානය කරන අය, සුරා පානය කරන අය, ගඳගහන බව ඔබ අපි අත්දැක තිබෙනවා. සිතෙන් වැරදි කළත් එසේමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුන් දොරෙන් කරන දේවල් පිරිසිදු නැත්නම් ඉන් පිටවන්නේ දුර්ගන්ධයක් බව. දුර්ගන්ධය මුළුමහත් ප්‍රදේශය පුරාම පැතිරී යනවා වගේම ඔහු කරන වැරදි හැමතැනම පැතිරෙනවා. ඔහුගේ ඇසුර අප්‍රිය කරනවා. තමන් ළඟට එනවාටත් කැමැති නැහැ. එවැනි අය අපරාධකාරයෙක්, පව්කාරයෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක්, කෛරාටිකයෙක් ලෙසයි සමාජය සලකන්නේ. ඒ වගේම ආශ්‍රයට නුසුදුසු අයෙක් ලෙස සමාජයේ පැතිරී යනවා. පෙර සඳහන් කරන ලද අමු සොහොනේ දුර්ගන්ධ ලක්ෂණය තිදොරින් වැරදි කරන අය තුළත් පවතින බව මෙයින් වැටහෙනවා.

බය සහිත බව අමු සොහොනේ ඇති තුන්වැනි ලක්ෂණයයි. තුන් දොරින් වැරදි කරන අය අපිරිසිදු වනවිට, දුගඳ හමන විට සමාජයම බියට පත්වෙනවා. මව හෝ පියා කරන සමහර දේවල් නිසා දරුවන් බියට පත්වෙනවා. සමාජයට මුහුණදීමට බැරි වෙනවා. දරුවන් වැරදි කරන විට අහිංසක දෙමාපියන්ට බය ඇතිවෙනවා. පසුව එය වෛරය බවට පත්වෙනවා. ඒ නිසා එම දරුවන්ට කිසිවකුගේ අනුකම්පාවක් නැතිවෙනවා. යම්කිසි ආකාරයකින් ඔවුන්ට ගැහැටක් පීඩාවක් ඇතිවුවහොත් සමාජය සතුටු වෙනවා. හොඳ වැඩේ වුණේ කියා සතුටුවෙනවා.

අමු සොහොනේ ඇති හතරවැනි ලක්ෂණය ලෙස දරුණු අමනුෂ්‍යයන්ට වාසස්ථානයක් වීම බව බුදුන් වහන්සේ පෙන්වාදී ඇති බව මුලින් දක්වා ඇත. තිදොරින් වැරදි කරන අයත් ඒ හා සමාන වන බවයි බුද්ධ දේශනාව. එසේ සිදුවන ආකාරය ගැන කෙටියෙන් විමසා බලමු. තුන් දොරෙන් වැරදි කරන අය වටා එකතු වන්නෙත් එවැනිම පිරිස්. ඒ අය තමයි ඔවුන්ගේ පිරිවර. මෙය පරිවාර සම්පත්තිය නොවෙයි. පරිවාර සම්පත්තිය යනු, යහපත් දේ කරනු ලබන අය වටා එකතුවන යහපත් පිරිසටයි. වැරදි කරන අය වටා එවැනිම වැරදි කරන පිරිස් ඒකරාශිවූ විට සමාජය බියට පත්වෙනවා. මිනිසුන් වගේම දෙවියොත් ඈත් වෙනවා. මේ තත්ත්වය අමු සොහොනේ පවත්නා දරුණු අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් වීම යන ලක්ෂණයට උපමා කර අපට බුදුන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

තුන් දොරින් අසංවර වන අය අමු සොහොනේ පවතින හඬා වැලපෙන තැනක් ලෙසට පත්වන්නේ කෙසේදැයි අවසන් ලෙස සලකා බලමු. අමු සොහොනට කිසිවෙක් හිනාවෙවී නොයන බවත් හිනාවෙවී පිට නොවන බවත් මුලින් සඳහන් කර ඇත. නිවසේ වෙසෙන මව – පියා තිදොරින් අසංවර නම් දරුවන් නිතර නිතර හඬා වැලපෙනවා. මවගේ – පියාගේ ක්‍රියාකාරකම් නිසා දරුවන් දුක් වේදනා විඳිනවා. නිවසේ සතුටක් නැහැ. අධ්‍යාපනය කෙරෙහි ඇල්ම අඩු කරගන්නවා. නිවසේ නිතර අඬ දබර ඇතිවෙනවා. ඒ වගේම දරුවන්ගේ සමහර කටයුතු නිසා පෙර පරිදිම මව – පියා දුක්වේදනා විඳිනවා. ගෙදර හිනාවක් නැහැ. අම්ම – තාත්ත හඬා වැලපෙනවා. දෙමාපියන් වගේම නෑ හිත මිතුරන් ද දුක්වෙනවා. අමු සොහොනේ සිනාව, සංගීතය නැතුවාක් මෙන් තිදොරින් වැරදි කරන අය ජීවත්වන නිවසේ ද ඒවා ඇහෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇහෙන්නේ අමු සොහොනේ නිතර අසන්නට ලැබෙන හඬාවැලපීම් ලක්ෂණයි.

සීවතිකා සූත්‍රය තුළ අඩංගු ඉහත කාරණා පහ නිසා මුළු මහත් සමාජයම විනාශ වෙනවා. දියුණුව අඩපණ වෙනවා. අමාරුවෙන් ලබාගත් අපගේ මනුෂ්‍ය ජීවිතය අමු සොහොනක් කරනොගත යුතුයි. අමු සොහොනක වගේ ජීවත් වෙනවා නම් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ඵලක් නැහැ. බුදුන් වහන්සේ අපට ගමන් කළ යුතු නිවැරදි මාවත පෙන්වාදී තිබෙනවා. නොතැවී සතුටින් ජීවත්වීමට මඟ කියා දී තිබෙනවා. “මඟ හොඳට තිබේ නම් – යන්ට දෑසත් පෙනේ නම් – කිම බැඳිවල යන්නේ – මං මුළාවූ අයකු සේ” මෙය නිතර සිහියට නඟාගන්න. වරද නිවැරදි කරගැනීමට ධර්මයේ පිළිතුරු තිබෙනවා. තිදොරින් සිදුකර ගන්නා දස අකුසල් සිදුනොකර ජීවත්වීමට උත්සාහ කරමු. මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නැවත නොලැබිය හැකියි. ජීවිතය යනු, විඳීමට මිස විඳවීමට නොවේ. ඔබට තෙරුවන් සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *