බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි
වර්තමානයේ පවත්නා දුෂ්කර කාලයේ දී පවා දුර්ලභ ව ලැබූ මෙම උතුම් මනුෂ්‍ය භාවයේ උතුම් වූ අවස්ථාවට හානි නො කර ගත යුත්තේ ය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භවය සහ පැවැත්ම දුකක් බව බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙයි. අනමතග්ග සංයුත්තයේ දී එය මැනවින් පැහැදිලි කොට ඇත. ‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං, දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං’ මහණෙනි, මේ සසර කෙළවරක් දක්නට නැති ය. පූර්වාරම්භයක් නො පෙනේ. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්ත්වයෝ හැසිරෙති දිව යති. නුඹලා දීර්ඝ කාලයක් දුක් විඳින ලද්දාහු ය.
හේතුඵල දහම අවබෝධ නො කරගන්නා තෙක් ලෝභාදී කෙලෙස් සිතෙහි උපදිති. හේතූන් ප්‍රත්‍ය කොට ගෙන හටගන්නා වූ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක යම් ඵලයක් විපාකයක් වේ ද ඒ හේතූන්ගේ ම විසිර යෑමෙන් ඵලය ද විනාශයට යයි. මේ බව සිතට පුරුදු පුහුණු කරමින් ලෝභාදී කෙලෙස්වලින් සිත මුදවා ගැනීම හෙවත් වළක්වා ගැනීමට ‘සක්කෝ’ නම් වූ හැකියාවක් ධර්ම මාර්ගය තුළ සකස් කර ගැනීම අවශ්‍ය ය. එහි දී සිදු විය යුත්තේ මෙයයි. සම්මුතියට ප්‍රඥප්ති පනවාගෙන ‘මම ය, මගේ ය’ නම් වූ දැක්මෙන් අරමුණු පරිහරණය කළත්, පරමාර්ථ ධර්මයට අනුව කිසිදු සංඛතයක් ‘මගේ නො වේ, මම නො වෙමි, මගේ ආත්මය නො වේ’ නම් පරම සත්‍යයට අනුව සිහිය සහ ඥානය පිහිටුවාගෙන කටයුතු කිරීමයි. මෙම අදහස ‘සතිපට්ඨානයට’ අනුව සඳහන් කරන්නේ නම් මෙසේයි. ‘අනිස්සිතෝච විහරති නචකිඤ්වි ලෝකේ උපාදියති.’ මෙම සත්ත්ව සංස්කාර ලෝකයේ කිසිවක් හෝ කිසිවෙක් කෙලෙස් ඇසුරු කරමින් පරිහරණය කරන්නේ නැත නම් වූ අදහසයි. යමක් යටගන්නේ ද ඒ සියල්ල නැසී යන්නේය. නොනැසෙන කිසිවක් හෝ හටගන්නේ නැත. මේ බව අවබෝධ කරමින්, ඇසට රූප, කණට ශබ්ද ආදි වශයෙන් අරමුණු පරිහරණය කිරීමේ දී ලෝභාදී කෙලෙස්වලින් බැහැර ව සිත සිහිය පවත්වාගැනීමට සිත සකස් විය යුත්තේ නම් වූ අදහසයි. එසේ නොමැති වීමෙන් සිදු වන්නේ අන්ධ බාල පෘථග්ජන මනෝභාවය ක්‍රියාත්මක වීමයි. එනම් ප්‍රිය අරමුණුවල ‘මම ය මාගේ ය’ නම් වූ දෘෂ්ටියෙන් ඇලීමයි. අකැමැති අරමුණුවල පටිඝයෙන් යුතු ව ගැටීමයි. මෙය ලෝභාදී කෙලෙස්වල ක්‍රියාත්මක වීම සහ ආශ්‍රව ධර්මයන්ගේ වැඩීමයි. ආශ්‍රව ධර්ම වැඩීම නිසා මනුෂ්‍යයෝ ප්‍රාණඝාත, සොරකම් ආදී පස්පව් සහ දස අකුසල්වල නිරත වෙති. තෘෂ්ණාවෙන් බැඳෙති. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස (බලවත් සිත්තැවුල්) ආදියට උරුමකම් කියති. ගොදුරු වෙති. මරණින් මතු සතර අපායේ ඉපදීම ඉලක්ක කරගනිති. භවය නිර්මාණය කරගනිති. මේ අනුව කෙළවරක් දක්නට නැති, පූර්වාන්තයක් හෙවත් ආරම්භයක් නො පෙනෙන දිගු සසර ගමනේ අපමණ දුක්විඳින සංසාර චක්‍රයට හෙවත් භව ගමනට එකතු වෙති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙසේයි. මහාමේරු පර්වතය යම් දිනෙක වියැකේ ද, සිඳේ ද, නැසේ ද එය දැකිය හැකි ය. මහා සාගරය යම් දිනෙක වියකේ ද, සිඳේ ද, නැසේ ද එය දැකිය හැකි ය. මහ පොළොව යම් දිනෙක වියැකේ ද, නැසේ ද, වැනසේ ද එය ද දැකිය හැකි ය. එනමුත් අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ දුක කෙළවර කිරීමක් නම් දැකිය නොහැකි බවයි. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඉගැන්වීම අපට පහසුවෙන් අමතක කළ හැකි ද? නො සලකා හැරිය හැකි ද? විශේෂ කොට සිතන්නට නොහැකි මන්දමානසික පුද්ගලයන් සේ කෙලෙස් සමගින් අරමුණු පරිහරණය කරමින් ජීවිතය පවත්වාගත යුතු ද? දුර්ලභ ව ලැබූ මෙම උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ වටිනා අර්ථය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන්නේ ද? කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසුවෙන් ලද මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබන්නේ ද නො ලබන්නේ ද? එමෙන් ම මනුෂ්‍ය ජීවිතය ලබන විට අතිදුර්ලභ ව මුණගැසුණු ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නො ලබන්නේ ද? ගිහි හෝ වේ වා පැවිදි හෝ වේ වා මෙම ප්‍රශ්නාවලියට සාධනීය පිළිතුරක් ඔබ මා සතු ව පවතින්නේ ද? මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවට අනුව උන්වහන්සේගේ බුදු සිරිතෙහි අවසන් කාලයේ දී දෙසූ දහම් සිහිපත් කළ යුතු වන්නේ ය.
ආරභථ නික්ඛමථ
යුඤ්ජථ බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනෝ සේනං
නළාගාරංව කුඤ්ජරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ
අප්පමතෝ විහෙස්සති
පහාය ජාති සංසාරං
දුක්ඛස්සන්තං කරිස්සති
‘ආරම්භ කරන්න, ප්‍රතිපදාවෙහි ගමන් කරන්න. මේ උතුම් බුදු සසුනෙහි වැඩ වඩන්න. හස්තිරාජයෙකු බටදඬු ගෙයක් පහසුවෙන් තලා පොඩි කොට සුනු විසුනු කොට දමන්නා සේ මාර සේනාව විනාශ කරන්න.’
‘යමෙක් අප්‍රමාදය හෙවත් කුසල් මඟට යොමු වී මේ ධර්ම විනයෙහි හැසිරෙන්නේ ද සසර සකස් වීම බැහැර කොට හෙවත් ඉපදීම නැති කොට සියලු දුක් කෙළවර කරන්නේ ය’ මේ වෙනුවෙන් අප විසින් කළ යුතු හෙවත් අනුගමනය කළ යුතු ධර්ම මාර්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරති. භාග්‍යවතුන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දෙසූ සියලු දහම් මෙහි දී පිඬු කොට දේශනා කොට ඇත්තේ මෙසේ ය.
අප්පමත්තා සතිමන්තෝ
සුසීලා හෝථ භික්ඛවෝ
සුසමාහිත සංකප්පා
සචිත්ත මනුරක්ඛථ
අප්‍රමාදී වන්න. සතිමන්ත හෙවත් පරමාර්ථ ධර්ම වශයෙන් සිහි ඇත්තෙක් වන්න. මනා කොට සීලයෙන් පිරිපුන් වෙන්න. මනා කොට එකඟ වූ සිත් හා සිතුවිලිවලින් යුක්ත වෙන්න. කෙලෙස් හෙවත් ආශ්‍රව ධර්මයන් ගෙන් සිත රැකගන්න. මෙම ධර්ම අවවාදය භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසට ම එක හා සමාන ය. නැවත නැවතත් සිහිපත් කරමු ය යි අපට ම සිහි කැඳවීම් කර ගනිමු. භාග්‍යවතුන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධත්වය ලබා තම ජීවිත කාලය ම කාලසටහනකට අනුව කටයුතු කරමින් සියලු සත්ත්වයන් කෙරේ මහා කරුණාවන් මඟ පෙන්වූ හ. තථාගතයන් වහන්සේලා මඟ පෙන්වා දෙන්නෝ පමණකි. නුඹලා විසින් අවබෝධයෙන් යුතු ව මාර්ගය හෙවත් ප්‍රතිපදාව අනුගමනය කරමින් විමුක්තිය සකසා ගත යුතු වන්නේ ය. ‘ධම්මියා කථාය සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේපේසි, සම්පහංසේසි’ කුසල් සිත් උපදවන දහම් කතාවක් දේශනා කළේ ය. එහි සමාදන් කළෝ ය. උනන්දු කළෝ ය. ධර්ම අවබෝධයෙන් ලබන සන්සිඳීම හෙවත් ප්‍රහර්ෂය ඇති කළෝ ය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම් පිළිවෙළයි. ආශ්‍රව ධර්ම බැහැර වන ආකාරයට මනසින් හුදකලා ව යථාර්ථය අවබෝධ කර ගැනීමට ප්‍රධන් වීර්ය වැඩිය යුත්තේ ය. සියලු සංස්කාර ධර්මයෝ වහා නැසෙනසුලු ය. ස්කන්ධ පඤ්චකය මූලික කොටගත් සියලු සංඛත ධර්මයෝ අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයට යටත් ය. එබැවින්, සැපතේ දී උපාදානය නො වෙන්නත්, දුකේ දී දෝමනස්සයට හෝ පටිඝයට නො එන්නටත් භාවිත බහුලීකත බවක් සමාධිය සහ සම්මා ප්‍රඥාව ඔස්සේ ඇති කරගත යුත්තේ ය.
වර්තමානයේ පවත්නා දුෂ්කර කාලයේ දී පවා දුර්ලභ ව ලැබූ මෙම උතුම් මනුෂ්‍ය භාවයේ උතුම් වූ අවස්ථාවට හානි නො කර ගත යුත්තේ ය. මේ ජීවිත පැවැත්ම කෙටිකාලීන වූවකි. සියලු දෙනාට ම නො වුණත් සම්මතයේ පවත්නේ සියක් ආයු කාලයකි. එනමුත් අතීත දුකින් පිරි සසර කොපමණ දැ යි අපි දැනගත්තෙමු. පවත්නා සම්මුතියේ ඇති ගැටලුවලට සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිඥාවන්ට හානි නො වන ආකාරයෙන් යම් වූ ද විසඳුම් සොයාගත යුත්තේ ය. එසේ ලෞකික ආර්ථිකමය සහ සමාජයීය ගැටලුවලට පිළියම් දහමෙහි පෙන්වා දී ඇත්තේ ය. සිඟලෝවාද ව්‍යග්ඝපජ්ජ සූත්‍ර එහි ප්‍රධාන ය. පවත්නා ගැටලු හටගත්තා වගේ ම විසඳුම් ද ඇත්තේ ය. මේ සියල්ල තාවකාලික ය. උපරිමය නම් මේ ජීවිත කාලයට පමණ ය. කෙටිකාලීන ජීවිත පැවැත්මක ඇති වූ ගැටලු නිසා කෙළවරක් දක්නට නැති භවය ම අප්‍රමාණ දුකකට හෙළා ගත යුත්තේ දැ යි එහි නුවණින් කල්පනා කොට බලමු. ලෝක ඉතිහාසය සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ දවස විසාලා මහනුවර පටන් මෙනෙහි කොට බලන්න. කලින් කල, වරින් වර විවිධ ගැටලු පැනනැඟේ. මේවාට මුහුණ දීමට බුදුරදුන්ගේ ශ්‍රාවික ශ්‍රාවිකාවන්ට දැනුමක් මෙන්ම අවබෝධයක් පැවතිය යුත්තේ ය. යම් ආකාරයකින් පවතිනා ගැටලුවලට සහනදායි විසඳුම් ලැබිය හැකි වන්නේ ය. එනමුත් භවයෙන් නිදහස් වීම පිණිස දබර කරගනිමින්, තණ්හා, මද, මාන, දිට්ඨි ඔස්සේ පිළිතුරු සෙවිය හැකි ද? සිතන්නට ය යි ආරාධනා කරමු.