මහාචාර්ය පිත් අභයසුන්දර
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ මැදපත්තුවේ ගම්පහ නගරසීමාව තුළ මැදගම ග්‍රාමසේවා වසම මැදිකරමින් උස්භූමියක පිහිටා ඇති විහාරස්ථානයකි. මෙම ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරය දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද කීර්තිමත් පුණ්‍ය භූමියකි. මුල්අවදියේ මේ ප්‍රදේශය අයත්ව තිබුණේ රාගම පත්තුවට ය. වර්තමානය වනවිට අලුත් ගම්පහ බිහිවී තිබේ.
මේ පිරිවෙන් මහා විහාරය ඇරඹුණේ 1890දී පිහිටුවන ලද දේශ – දේශාන්තර ධර්මවර්ධන සමිතියත්, අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ ගෙනගිය බෞද්ධ පුනරුදයේ කටයුතුවලට අනුබලයක් ලබාදීම සඳහා 1898 පිහිටුවූ ජය ශ්‍රී මහාබෝධි බෝධිපූජා සමාගමත් යන සමිති දෙක බුදු සසුන කෙරෙහි කරන ලද විශාල කාර්යභාරයත් පසුබිම් කොටගෙන බව පෙනී යයි. මේ සමිතිවල නායකත්වය ගෙන කටයුතු කළ ටී. බී. රත්නායක සහ ඩී. වෙලුන් ජයවර්ධන පොලිස් මුලාදෑනිතුමා ඇතුළු සැදැහැවත් බෞද්ධ ප්‍රභූ පිරිසකගේ සහයෝගයෙන් ධර්මදූත නමින් ශාස්ත්‍ර ශාලාවක් විහාරස්ථාන භූමියෙහි ගොඩනගා තිබේ.
අනගාරික ධර්මපාල තුමන්ගේ ඉල්ලීම මත විදේශීය රටවලට ධර්මදූත පිරිස් පිටත්කර යැවීම අරමුණු කර ගනිමින් භික්‍ෂූන් වහන්සේලා පුහුණු කොට ඉංග්‍රීසි භාෂාව හා ධර්ම විනය ඉගැන්වීම සඳහා මේ පිරිවෙන් ආයතනය 1890දී පමණ ආරම්භ කළ වග ධර්මදූත පිරිවෙන් ආදි කර්තෘවර අතිපූජ්‍ය උඩුගම්පොළ ස්වර්ණජෝති්‍යාසභ සිරි පවර නායක ස්වාමින්වහන්සේ විසින් 1901දී ලියා පළකරන ලද පුණ්‍යාප්‍රදාන පත්‍රයෙහි සඳහන් කර ඇත. එනයින් උන්වහන්සේ මේ විහාරස්ථානයේ ආදි කර්තෘවරයා වශයෙන් පින් අනුමෝදන් කරමින් සඳහන් කරමු.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඇරැඹුණේ 1864 දීය. තත් භික්‍ෂු වංශය සංවිධානය කළේ මහා ස්වාමින්වහන්සේ නමක වන අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරුඤාණසාමි මාහිමිපාණන් විසිනි. බුරුමයේ (මියන්මාරයේ) රාමඤ්ඤ රටට වැඩම කළ උන්වහන්සේ එරටදී උපසම්පදාව ලබා ගත්හ.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි ස්වාමින්වහන්සේත්, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමින්වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේලා කර්මාචාර්යවරයන් වී අති පූජ්‍ය වරාපිටියේ සුමිත්ත ස්වාමින්වහන්සේ මහෝපාධ්‍යාය පදවියෙහි තබා 1864 ජුලි මස 13දා ගාල්ල මහමෝදර උදකුක්ඛේප සීමාවේදී සාමණේරවරුන් සිව්නමක් උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්කරලීමෙන් ශ්‍රී ලංකාවේ මහා විහාර වංශික තවත් භික්‍ෂු වංශයක් ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ විය. එවක රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපාණන් කෙනකු වූ අතිපූජ්‍ය ඉලුක්වත්තේ මේධංකර ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පිරිස අතර සිටි අතිපූජ්‍ය උඩුගම්පළ සිරි ස්වර්ණජොති්‍යාසභ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයෝ කිහිප දෙනෙකි. අතිගරු හීනටියන මයුරපාද, දොඹවල ගුණරතන, වංකැපුමුල්ලේ විමලරංසි, වෙඬරුවේ ඤාණරතන, ගම්පොළ යසස්සී, ගලහිටියාවේ ගුණානන්ද, නැලිගම ධම්මජෝති, කලවානේ ධම්මදස්සි, කරදන අත්ථදස්සි නම් දැරූ මහා ස්වාමින්වහන්සේලා වෙති. 1914 ජනවාරි 21දා උඩුගම්පළ සිරි ස්වර්ණජොති්‍යාසභ නාහිමියන් අපවත් වූයෙන් අතිපූජ්‍ය වංකැපුමුල්ලේ විමලරංසි හිමිපාණෝ මේ විහාරස්ථානයේ අධිපති පදවියට පත්වූහ. කාලය ගතවන විට අතිපූජ්‍ය මාදෙල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී ස්වාමින්වහන්සේ 1937 මැයි 02දා මෙහි විහාරාධිපති වූහ.
අතිපූජ්‍ය මහින්දසෝම ස්වාමින්වහන්සේ 1997 අගෝස්තු 12දා අපවත් වූ බැවින් රාමඤ්ඤ නිකායේ කතිකාවතට අනුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අතිපූජ්‍ය තුම්මෝදර සමිතසෝම ස්වාමින්වහන්සේ සංඝ සම්මුතියෙන් මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරස්ථානයේ ද මොරගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ද නීත්‍යනුකූල ලෙස විහාරාධිපති පදවියට පත්වූහ. ඒ 1998 මාර්තු 28වන දින දීය. පූජ්‍ය පොතියාගම විමලසෝම ස්වාමින්වහන්සේ සමිතසෝම නාහිමියන්ගේ පැවිදි ශිෂ්‍ය හිමියෝ වෙති. උන්වහන්සේ මොරගොඩ ශ්‍රී මහින්දාරාමයේ විහාරාධිකාරි වශයෙන් කටයුතු කරති. මේ විහාරස්ථානය 1880 පමණ ආරම්භ කළ ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ 2016.02.16 දිනයේය.
විහාරාධිපති පූජ්‍ය තුම්මෝදර සමිතසෝම ස්වාමින්වහන්සේ

වර්තමානයේ කීර්තිමත් මෙන්ම සුවිශාල ශාසනික සේවයක් සිදු කෙරෙන මේ සිරිසුනන්දාරාම විහාරස්ථානයේ නාහිමිපාණන් වහන්සේය. කුලියාපිටිය තුම්මෝදර නම් ගමෙහි පතිරැන්නැහැලාගේ පොඩිඅප්පුහාමි හා රත්නායක මුදියන්සේලාගේ කමලාවති කුමාරිහාමි පින්වත් දෙමාපියන්ගේ වැඩිමහල් දරුවා ලෙසින් 1964.11.09 දා උන්වහන්සේ උපත ලැබූහ. ඉතා මැනවින් මූලික ද්විතීය දහම් අධ්‍යාපනය ලැබූ සමිතසෝම හිමියන් පැවිදි වූයේ 1983.10.21දා පූජ්‍ය මාදෙල්ගමුවේ මහින්දසෝම නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි.
ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1985.07.20 දින පානදුර උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා ශීලයට පත්වූහ. 1986දී තම ගුරු පියාණන්ගේ උපදෙස් මත මැදගම සිරි සුනන්දාරාම විහාරස්ථානයට අනුබද්ධ මොරගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ආගමික කටයුතු සිදුකිරීමට එහි නේවාසික වෙමින් විහාරස්ථ කාර්ය සාධක සමිතිය ආරම්භ කළහ. අවට විහාරස්ථාන සමග මනා සම්බන්ධතාවන් පවත්වමින් විහාරස්ථානය ද වැඩිදියුණු කරමින් විහාරස්ථ දහම් පාසල ද ශක්තිමත් කරමින් අවට ගම් ප්‍රදේශ වූ මුදුන්ගොඩ,
ඉහළයාගොඩ, ඔරුතොට වැනි ප්‍රදේශවල ජනතාවගේ ද ආගමික ශ්‍රද්ධාව වැඩිදියුණු කරමින් මේ විහාරස්ථානයෙන් සිදුකළ යුතු ශාසනික සේවාව සිදු කළහ. ඒ 1997 දක්වා එහි වැඩ සිටිමිනි. පූජ්‍ය මාදෙල්ගමුවේ මහින්දසෝම ස්වාමින් වහන්සේ 1997.8.12දා අපවත්වීමෙන් පසු පූජ්‍ය පොතියාගම විමලසෝම ස්වාමින්වහන්සේට මොරගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අධිකාරිත්වය පවරා එතැන් සිට යළිත් ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරස්ථානයට පැමිණ සංඝ සම්මුතියෙන් මෙහි භාරකාරත්වය ලබා උභය විහාරයන්හි විහාරාධිපතිත්වයට පත්වූහ. 1998 මාර්තු 28 දින විහාරාධිපති සම්මුතිපත්‍ර ලබා තම ජාතික, ශාසනික, සමාජීය, ආගමික මහා සේවා ඉටුකරමින් සිටිති. ජනාකීර්ණ නගරයක් මැද මහ බස්නැවතුම්පළ, දුම්රියපළ, මහ රෝහල, දිසා පාලන කේන්ද්‍රය මහ වෙළෙඳපොළ අතර හතර දිග්භාගයට දිවෙන මහ මාවත් අතර මහල් කීපයකින් ගොඩනැගුණු මෙම පුණ්‍යද්වාරය – පුණ්‍ය නිකේතනය බොහෝ ශාසනික අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික සේවා රැසක් ඉටුකොට ඇති බව පැහැදිලිව විiමාන වන්නේය.
සිරි සුනන්ද ඉංග්‍රීසි දහම් පාසල ගොඩනගා ඇත්තේ භාෂා දැනුම පෝෂණය මෙන්ම විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතුවලට රුකුලක් වන පරිද්දෙනි. සමිතසෝම නාහිමියන් විසින් මෙම ඉංග්‍රීසි දහම් පාසල ආරම්භ කරන ලද්දේ 2006 පෙබරවාරි 11දාය. එහි ආරම්භක ප්‍රධානාචාර්යවරයා වූයේ ඉංග්‍රීසි හා දෙමළ භාෂා ප්‍රවීණයකු වූ ආර්. එම්. රත්නායක බණ්ඩාර මහතාය. විශ්‍රාමලත් ගුරුවරයකු වූ ඒ මහතා හිටපු බාලදක්‍ෂ කොමසාරිස්වරයෙකි. ගම්පහ අවට හා ඉන් බැහැර ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන සිසුන්ට ද දේශීය භාෂා මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන්ට ද ඉමහත් ප්‍රයෝජනයක් ලැබී ඇත. දැනුමෙන් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරති.
සතර දිසාවට පෙණෙන පරිදි බුද්ධ ප්‍රතිමා සතරක් තැන්පත් කර සත්වන මහලෙහි සර්වඥධාතුන් වහන්සේල වැඩසිටින ධාතු මන්දිරය මනෝරම්‍ය ආකර්ෂණයක් දිනාගත් පින් මැඳුරකි.
කාගේත් සිත් පහදවන මේ පින් අරමට ඉගෙන ගන්නට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හැකියා, දැනුම අවබෝධය, විනයගරුක සංවරභාවය විශේෂ ලක්‍ෂණයකි. සිංහල මාධ්‍ය දහම් පාසල සම්භාව්‍යයත්වයට පත්වී තිබේ.

අභයදාන අරමුදල පිහිටුවා ඇත්තේ මරණයට ලක්කරන්නට ගෙන යන ගවයන් බේරා ගැනීමේ සිද්ධියත් සමගය. නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කිරීම සිදුවන අවස්ථාවල පොලිසියට හසුවන මේ අසරණ සතුන් උසාවියට පමුණුවනු ලැබේ. එම සතුන්ගේ ජීවිත බේරා ගැනීමට මෙම ක්‍රියාදාමය මහඟු පිටිවහලක් විය. සමිතසෝම නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙම පින්කිරියවත සිදු වුණි.
උන්වහන්සේගේ ශාසනික සේවාවට උපහාරයක් ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය මගින් කාරක සංඝ සභික ධුරයක් පිරිනමා ඇත. මෙම විහාරස්ථ දායක සභාව දැනුවත්, උගත්, ඇතිහැකියා මෙන්ම සත් පුරුෂ බෝසත් ගුණ පුරන ගිහි – උපාසක උපාසිකාවන්ගෙන් සැදුණු ප්‍රබල සංගමයකි. විහාරයේ සංවර්ධන කටයුතු, මහ සඟරුවන වෙත සිවුපසය ලබාදීම, විදුලිය, ජල පහසුකම්, යටිතල පොදු පහසුකම් උපයා සැපයීම විහාරයේ ආරක්‍ෂාව, සුබ සාධන සේවා සොයා බැලීමට දායක සභාව ඇප කැපවී ක්‍රියා කරති.
සම්බුදු සසුනේ විශේෂ අංශයක් වන්නේ උපාසිකා මාතාවන්ගේ ක්‍රියාකාරිත්වයයි. මේ විහාරයේ ක්‍රියාත්මක වන ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය එබඳු සුවිශාල ක්‍රියාදාමයක් සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරය ආශ්‍රිතව සිදු කරන බවට මහ ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් විහාරස්ථානය ඇසුරේ නිල වශයෙන් පිළිගන්නා සංවිධානය විහාරස්ථ කාර්ය සාධක සමිතිය බැවින් විහාරස්ථ දායක සභාව 2018 ජුනි මාසයේ
රැස්වූ අවස්ථාවේ විහාරස්ථ කාර්ය සාධක සමිතිය පිහිටුවනු ලැබීය. එම ව්‍යවස්ථාව අනුව සියලුම සමිති නිලධරයන් නියෝජනය වන පරිදි තෝරාගත් නිලමඬුල්ලෙහි සභාපති පදවිය උසුලන්නේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසිනි.
ශ්‍රී ලාංකික ජන සමාජයේ වැඩිහිටි රැකවරණය අභියෝගයට ලක්වූවකි. වැඩිහිටියන් රැකබලා ගැනීමට උපාධි ඩිප්ලෝමා පාඨමාලා පවා ඇතිකර තිබේ. ගම්පහ කොස්ඕවිට සුවසෙවණ වැඩිහිටි නිවාසය සුනන්දාරාම විහාරය කේන්ද්‍රගත කොට පිහිටුවා ඇත්තේ 1990.06.01 දිනය. ස්වෙච්ඡාවෙන් ඇපකැපවී ක්‍රියාකරන බෞද්ධ කල්‍යාණමිත්‍ර සත්පුරුෂයෝ මෙහි ක්‍රියා කරති.

ශ්‍රී විජය ශ්‍රී පුස්තකාලය 1940දී පමණ ධාතු මන්දිරය සහිත පුස්තකාල ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ මාදෙල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී නාහිමියන්ගේ අනුශාසනා පරිදිය. අදටත් මෙම වටිනා පොත්ගුල ක්‍රියාත්මක වේ.
අප රට පුරා බෝවන රෝගයක් මෙන් පැතිර ඇති පිළිකා රෝගයට ගොදුරුවූවන් උදෙසා ගම්පහ පිළිකා සුව සරණ සාධු සමාජය ගොඩනගා ඇත. ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට කායික මානසික සුවතාව සඳහා මූල්‍ය පරිත්‍යාග, ද්‍රව්‍යමය ආධාර, ඖෂධ සපයා දීමට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියාකරන ප්‍රජා සත්කාරය මහත් පිං කටයුත්තකි.
සිරි සුනන්ද නැණසල තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවීමෙන් තොරතුරු තාක්‍ෂණය, ආදී උපකරණ පහසුකම් සේවා මගින් ඉමහත් සේවයක් එම පළාතට සිදුකරන බව විශේෂයෙන් කිව යුතුය.
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට විශේෂයෙන් මූල්‍යමය හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදුවන ධර්මදූත ශිෂ්‍යත්ව භාරය මේ සුනන්දාරාම විහාරය මගින් සිදු කෙරෙන තවත් සමාජ සත්කාරයකි. 2015 වසරෙහි ඇරඹුණු මේ ශිෂ්‍යත්ව පිරිනැමීමට අවශ්‍ය ප්‍රතිපාදන පිරිනැමුයේ විහාරාධිපති නාහිමියන් ඇතුළු පරිත්‍යාගශීලී විහාරවාසී ස්වාමින් වහන්සේලාය. නිරන්ත ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා අතරට 1998 වසරේ සිට මාසිකව භාවනා වැඩසටහනක් සිදු කරන්නට ආරම්භ කොට ඇත. මාසයෙහි පළමු වැනි සෙනසුරාදා උදේ 8.00 – සවස 4.00 දක්වා පැවැත්වෙන භාවනා වැඩසටහනට සහභාගි වන සැදැහැවතුන්ට දහවල දානය උදේ සවස ගිලන්පස පිරිනමනු ලැබුයේ එක් එක් පරිත්‍යාගශීලී දායක දායිකාවන් විසිනි. මුල් වසර කීපය තුළ පොල්ගහවෙල මහමෙවුනා ආශ්‍රමාධිපති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙය සිදු කරනු ලැබිණි. විශේෂ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවන්ට මෙහිදී මුල්තැන ලැබිණි.
මැදගම ධර්මදූත සදහම් පොත් මැඳුර විහාරයට පැමිණෙන සැදැහැවතුන්ගේ අවශ්‍යතා ඉටුකරන දහම් පොත්පත්, ධර්ම දේශනා, පිරිත් දේශනා ඇතුළත් කැසට්, සී. ඩී., වීඩියෝපට පහසුවට ලබාගත හැකි කදිම පොදු පහසුකමක් ඇති ස්ථානයකි.
බුදුමඟ විශේෂ සටහන සකස් කළේ සෙනඟ බහුල නගරයක් වූ ගම්පහ මනරම් පින් කෙතක් වූ සිරි සුනන්දාරාම ධර්ම දූත පිරිවෙන් මහා විහාරය පිළිබඳවයි. වර්තමාන විහාරස්ථ ශාසන සේවා සමිතියේ සභාපති සරත් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධීකරණය සිදු කළේය.
ගම්පහ – මැදගම සිරි සුනන්දාරාම ධර්ම දූත පිරිවෙන් මහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය රාජ්‍ය වර්ෂ 1895 සිට රාජ්‍ය වර්ෂ 1997 දක්වා පැවැරුණු අයුරු.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිර්මාතෘ ස්වාමින්වහන්සේ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි ස්වාමින්වහන්සේ ප්‍රථම උපසම්පදාවේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා
අති පූජ්‍ය වරාපිටියේ සුමිත්ත නාහිමි, අති පූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි, අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි නාහිමි, අති පූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ, අති පූජ්‍ය ඉලුක්වත්තේ සිරි මේධංකරාසභ ස්වාමින්වහන්සේ (ශිෂ්‍ය), අති පූජ්‍ය ඉලුක්වත්තේ සිරි මේධංකරාසභ ස්වාමින්වහන්සේ (ශිෂ්‍ය), අති පූජ්‍ය උඩුගම්පළ – සිරි සුවර්ණජෝත්‍යාසභ සිරිපවර ධර්මකීර්ති ස්වාමින්වහන්සේ, (මැදගම සිරි සුනන්දාරාම ධර්ම දූත පිරිවෙන් මහා විහාරස්ථානයේ ආරම්භක විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1895 – 1914 ජනවාරි 21 දක්වා) (ශිෂ්‍ය), පූජ්‍ය වංකැපුමුල්ලේ විමලරංසි ස්වාමින්වහන්සේ (විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1914 ජනවාරි 21 දින සිට 1937 මැයි 02 දක්වා) (ශිෂ්‍ය), පූජ්‍ය මාමැල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී ස්වාමින්වහන්සේ (විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1937 මැයි 02 දින සිට 1968 මැයි 17 දක්වා) පැවිදි සහෝදර, පූජ්‍ය මාදෙල්ගමුවේ විමලධම්ම ස්වාමින්වහන්සේ (විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1968 මැයි 17 දින සිට – 1993 ජුනි 30 දක්වා), පූජ්‍ය මාදෙල්ගමුවේ මහින්දසෝම ස්වාමින්වහන්සේ 1975 වසරෙහි සිට 1993.06.30 දක්වා ද විහාරාධිපති ධුරයේ වැඩ බැලූහ., පූජ්‍ය මාදෙල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී ස්වාමින් වහන්සේ (ශිෂ්‍ය), පූජ්‍ය මාදෙල්ගමුවේ මහින්දසෝම ස්වාමින්වහන්සේ (විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1993 ජුනි 30 සිට 1997 අගෝස්තු 12 දක්වා) (ශිෂ්‍ය), පූජ්‍ය තුම්මෝදර සමිතිසෝම ස්වාමින්වහන්සේ (විහාරාධිපති රාජ්‍ය වර්ෂ 1997 අගෝස්තු 12 සිට වර්තමානය දක්වා)

