අනුරාධපුර අභයගිරිය රාජමහාවිහාරාධිකාරී, කොළඹ 08, මැනිං ටවුන්හි රාජායතන බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය පූජ්‍ය
කල්ලංචියේ රතනසිරි හිමි
සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද
මිනිසා, ගහකොළ, සතා සිවුපාවා ඇතුළු විශ්වය මොහොතින් මොහොත වෙනස්වීම්වලට ලක් වෙයි. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්වයේ වෙනස් වීම අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පදනම් කරගෙන පැහැදිලි කළ සේක.
අනිත්‍යය යනු ස්ථිර නො වන බවයි. කුඩා පරමාණුවේ සිට සෑම මහ වස්තුවක් කෙරෙහිත්, සියලු සත්ත්වයා කෙරෙහිත් මෙම ධර්මතාව පිහිටා ඇත. මවුකුසෙහි කලල රූපයක් ලෙස හටගන්නා සියුම් ශරීරය ඝන වී දරුවෙකු බවට පත් ව බිහි වීම, එයින් පසු කුඩා දරුවා සෑම මොහොතක ම වෙනස් වී තරුණයෙකු/තරුණියක වීම, ඔහු/ඇය මහලු වීම, මිය යෑම මේ අනිත්‍යය නිසා ම වන බව පෙනී යයි. කුඩා පරමාණු එක් වී වැලි කැටයක් වීමත්, වැලි කැට එක් වී බොරළු කැට වීමත්, ඒවා එක් වී මහා පර්වත සෑදීමත්, නැවතත් ඒවා විනාශ වී පරමාණු බවට පත් වීමත් මේ අනිත්‍යය ස්වභාවය නිසා සිදු වන්නේ ය. එදිනෙදා ජීවිතයේ අප වටා පෙනෙන්නට ඇති සෑම තැනක ම, සැම දෙනෙකු ම කෙරෙහි මේ අනිත්‍යය ප්‍රකට ව හෝ අප්‍රකට ව හෝ තිබේ. අනිත්‍ය වූ සැම දෙයක් ම දුක්ඛ ලක්‍ෂණයෙන් යුක්ත ය. දුක්ඛ යනු හිස්, අසාර බවයි. යමක් අනිත්‍ය නම් එහි ඇත්තේ හිස්, අසාර බවකි. වෙනස් වන තැන, ඇතිවීම් නැතිවීම් ස්වභාවයෙන් යුත් තැන ඇත්තේ සැපතක් නො ව දුක් සහගත බවකි. අනාත්ම යනු ආත්ම ස්වභාවයක් නැතිකමයි. කිසිවක හෝ කිසි තත්ත්වයක හෝ ආත්ම නමින් ගත හැකි කිසිදු ස්ථිර සදාකාලික දෙයක් නැත.
අප ජීවත් වන වටපිටාවෙහි එනම් ව්‍යවහාරික පරිසරයේ ඇත්තේ සම්මතයෝ ය. මේස, පුටු, ගෙය, දොර, ඉරහඳ, කාලය, සත්ත්වයා ආදි සියලු දේ මීට අයත් වෙයි. බුදුදහම මෙම සම්මතයන් ප්‍රතික්‍ෂේප නො කරයි. බුදුදහම සම්මුති හා පරමාර්ථ වශයෙන් කරුණු දක්වා ඇත. සම්මුති යනු ලෝක ව්‍යවහාරයේ සම්මත කර ගත් දේවල් ය. පරමාර්ථ යනු ලෝකයේ සැබෑ වශයෙන්, සත්‍ය වශයෙන් පවත්නා දේවල් ය. ඒවා සියල්ල සංස්කාර යන පොදු නමින් හැඳින්වේ. එනිසා ලොව පවතින ජීව අජීව සියලු දේ ත්‍රිලක්‍ෂණ ධර්මතාවට යටත් ව තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම පරමාර්ථ වශයෙන් විශ්වය ගැන, ජීව අජීව සියලු දේ ගැන වටහාගැනීමකි.
මිනිසත් බව ලැබීම දුර්ලභ බව ‘කිච්ඡො මනුස්ස පටිලාභො’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එනිසා ‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’ යනුවෙන් නො සිතා විමසුම් බුද්ධියෙන් යුක්ත ව කුසල පක්‍ෂය වඩාලමින් ජීවත් වීමට නව වසර ආරම්භයෙහි ඔබ සැම අදිටන් කර ගත යුතු ය.
සමාජයක ජීවත් වන මිනිසාට ආත්ම සංයමයක් අවශ්‍ය ය. ආත්ම සංයමය සඳහා බුදුදහම නිර්දේශ කර ඇත්තේ පංචශීල ප්‍රතිපදාව සුරැකීම ය. ප්‍රාණඝාතය, නුදුන් දේ ගැනීම, කාමමිථ්‍යාචාරය, බොරු කීම, රහමෙර පානය යන කයින් හා වචනයෙන් සිදු වන අකුසල ක්‍රියාවන් ගෙන් වෙන් ව ජීවත් වන බවට තමා විසින් තමාට ම වන පොරොන්දුවක් ලෙස පංචශීල ප්‍රතිපදාව දැක්විය හැකි ය. එනිසා පංචශීලය සුරකින්නේ කිසිවෙකුගේ නියෝගයක් නිසා හෝ කිසිවෙකුට බියෙන් හෝ ලාභ ප්‍රයෝජන නිසා හෝ නො වේ; තමන්ගේ කැමැත්තෙනි. එනිසා පංචශීලය සුරැකීමෙන් කයත්, වචනයත් සංවර වේ.
ගුණදහමින් පිරි සාමකාමී සමාජයක් උදා වීමට මිනිසාගේ සංවරකම කෙතරම් දුරට බලපාන්නේ ද යන්න වර්තමාන සමාජයේ ඇති ගැටුම්කාරී තත්ත්වයන් දකින විට පැහැදිලි වේ. මතින් තොර වීම වර්තමාන සමාජය මුහුණ දෙන බොහෝ ආර්ථික, සාමාජික ගැටලු සඳහා සාර්ථක විසඳුමකි. සාමකාමී යහගුණයෙන් පිරි සමාජයක් උදෙසා අවංකකම, සත්‍යවාදී බව, නිවැරැදි බව විශ්වාසය ආදි ගුණධර්ම අවශ්‍ය වේ. ඒ සඳහා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ්‍රහ්ම විහරණ ජනතාව අතර පැවතිය යුතු වේ. මේ සියල්ල පංචශීල ප්‍රතිපදාව සුරැකීමෙන් සම්පූර්ණ වේ. එනමුත් පංචශීල ප්‍රතිපදාව අද සමාජය තුළ ඇත්තේ ඉතා ම අල්ප වශයෙනි. ඒ බව සමාජය වෙළාගෙන ඇති බොරුව, වංචාව, රැවටීම, මනුෂ්‍ය ඝාතන, මංකොල්ල කෑම ආදියෙන් ගම්‍ය වෙයි.
රාජ්‍ය සේවාව තුළ බොහෝ දුරට අල්ලස, දූෂණය, වංචාව ඔඩුදුවා ඇත. ජනතාවට අවශ්‍ය සේවය ප්‍රමාද නො වී ලැබීමට නම් ‘සන්තෝෂම’ ලබා දීම හෝ හිතවත්කම් මත වීම හෝ අවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. මෙය බුදුදහමේ සඳහන් සම්මා ආජීවයට (යහපත් දිවිපැවැත්මට) පිටුපෑමක් නො වන්නේ ද? එනිසා දුර්ලභ වූ මිනිසත් බව ලැබූ අප එය අර්ථවත් ව පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගැනීමට නව වසරක ආරම්භය වූ මෙම කාලය ඉතා යෝග්‍ය වේ.
අනුකරණයෙන් තොර ව විමසා බලා කටයුතු කිරීම ද සමාජයේ පමණක් නො ව පෞද්ගලික ව ඔබගේත් යහපතට හේතු වේ. ඇතැමෙක් දේශීය සංස්කෘතියට, සභ්‍යත්වයට නො ගැළපෙන දේ දේවත්වයෙහි ලා සලකා කටයුතු කරති. ඒ හේතුවෙන් ජාතික අනන්‍යතාව නැති කර පරගැති චින්තනයකට නතු වී ක්‍රියා කරති. එනිසා එවැනි චින්තනයන්, මතවාද අත්හැර දැමීමට ක්‍රියා කිරීම ද දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය, ජාතික අනන්‍යතාව සුරක්‍ෂිත වීමට මහෝපකාරී වේ.
බුදුදහම පුද්ගලයාගේ ලෝකෝත්තර දියුණුව පමණක් නො ව ලෞකික දියුණුව ද අපේක්‍ෂා කරයි. මෙහි දී ලෞකික දියුණුව, මෙලොව ජීවිතය සුරක්‍ෂිත කරනු පිණිස දක්වා ඇති සිඟාලෝවාද සූත්‍රය හා ව්‍යග්ඝපජ්ජ සූත්‍රය කැපී පෙනේ.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය පුද්ගලයා සංවර්ධනය කොට සමාජයේ දියුණුවට මංපෙත් හෙළි කර දී ඇත. ලැබුවා වූ 2024 නව වසරෙහි එම දහම් පිළිවෙතට යොමු වීම වර්තමානයේ අප රට මුහුණ පා ඇති ආර්ථික සාමාජීය අර්බුදයට සාර්ථක විසඳුමක් ද වේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ මෙලොව හිතසුව පිණිස පවත්නා කරුණු හතරක් ද, පරලොව හිත සුව පිණිස පවත්නා කරුණු හතරක් ද සඳහන් වේ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යනු මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු හතර වේ.
උට්ඨාන සම්පදා යනු අලස නො වී ධෛර්යෙන් යුක්තව වැඩ කිරීමයි. ජීවන වෘත්තීන් සඳහා මෙම පිළිවෙත කැපී පෙනේ. ජීවන වෘත්තීන්හි නියැළීමේ දී විවිධ බාධක පැමිණෙයි. අලස නො වූ උත්සාහවන්තයා මේ සියල්ල මැඬගෙන කටයුතු කරයි.
වෙර වීර්යය යොදා ධාර්මිකව උපයාසපයා ගන්නා ධනය ආරක්‍ෂා කර ගැනීමට නො දන්නේ නම් ඒ ධන සම්පාදනයෙන් පලක් නැත. ධන සම්පත් ආරක්‍ෂා කර ගැනීමේ පිළිවෙත ආරක්ඛ සම්පදාවෙන් පැහැදිලි කෙරේ. ජලගැලීම්, නියඟ වැනි ස්වාභාවික විපත් දේපළවලට හා වස්තූන්ට හානි ගෙන දෙයි. එසේම යම් රජයක් ජනතාවට දරාගත නොහැකි සේ අධික බදු පැනවීම, මංකොල්ලකරුවන් පැහැර ගැනීම වැනි අතුරුඅන්තරාවලින් ද ධන සම්පත් ආරක්‍ෂා කර ගැනීමට පුද්ගලයා උත්සුක විය යුතු ය.
යමක්කමක් ඇති පුද්ගලයා දෙස අන් අය බලන්නේ වපර ඇසිනි; ඊර්ෂ්‍යා පරවශ සිතිනි. මෙය මිනිස් ස්වභාවයයි. අප එය අවබෝධ කොට ගෙන ක්‍රියා කළ යුතුය. ධාර්මිකව උත්සාහ සම්පන්නව ධනසම්පත් උපයා සපයා ගන්නා පුද්ගලයාට ආශිර්වාද කරමින් තව තවත් ධනසම්පත් වැඩි වේ වා යි පතන්නන් අප අතර ඇත්තේ ම නැති තරම් ය. එනිසා දැහැමි ව උපයාසපයා ගන්නා ධනසම්පත් ආරක්‍ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු ය.
පුද්ගලයා ඇසුරු කරන සමාජය ද ඔහුගේ/ඇයගේ දියුණුවට හේතු කාරක වේ. යමෙක් දුසිරිත්වලින් පිරුණු අය ඇසුරු කරන්නේ නම් ඔහුගේ පරිහානිය වැඩි ඈතක නොවේ. එසේ නොවී සුසිරිතෙන් යුතුවූවන් ඇසුරට ලැබීම කල්‍යාණ මිත්තතාවයි.සිඟාලෝවාද සූත්‍රයේ යහපත් මිත්‍රයන් හා පාප මිත්‍රයන් යනුවෙන් කොටස් දෙකක් පිළිබඳව කරුණු දක්වා ඇත. ඔවුන් අතරින් ඇසුරු කළ යුත්තේ කවුරුන් ද ඇසුරු නොකළ යුත්තේ කවුරුන් ද කියා තෝරා බේරාගැනීම අපහසු නැත. මිතුරු වෙසින් පෙනී සිට මිතුරා වනසන්නෝ ද වෙති. ඔවුන්ගෙන් දුරින් දුරුවීම මෙලොව පමණක් නොව පරලොව අභිවෘද්ධියට ද හේතු වේ. වයස් මට්ටම කෙබඳු වුව ද ශ්‍රද්ධා, සීිල, ත්‍යාග, ප්‍රඥා යන ගුණධර්මයන්ගෙන් හෙබි අය කල්‍යාණ මිත්‍රයන් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
පුද්ගලයෙකුගේ ජීවන රටාව සකස් විය යුත්තේ ඔහුගේ ආදායමට සරිලන පරිද්දෙනි. ආදායම (අය) හා වියදම (වැය) සමබර නොවන කල ණය වීමට සිදුවේ. ණයබරින් මිරිකෙන විට ඇති වන අසහනය පුද්ගලයාටත්, ඔහු වටා සිටින්නන්ටත් පමණක් නොව සමාජයට ද බලපායි. එනිසා ආදායමත් වියදමත් සමව පවත්වා ගැනීමසමජීවිකතා නම් වේ. උපයාසපයා ගත් ධනය ඉතා වැඩිත් නොකොට ඉතා අඩුත් නොකොට වියපැහැදම් කිරීමට පුරුදු පුහුණු විය යුතුය. උපයා ගත් ධන සම්පතින් සිය අඹුදරුවන්ට, ඥාතිමිත්‍රාදීන්ට හා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට සංග්‍රහ පිණිස විය යුතු බවත් බුදුදහම උගන්වයි.
එකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති
යනුවෙන් ධන සම්පත් සිවුකොටසකට බෙදා පරිහරණය කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් රැකියා කර්මාන්තයේ දියුණුවට ද, අනික් කොටස ආපදා අවස්ථාවක දී ප්‍රයෝජනය පිණිස තබා ගැනීම එයින් නිර්දේශ කර ඇත. මෙය පරමාදර්ශී වැය ක්‍රමයක් ලෙස අකුරටම ක්‍රියාත්මක කළ නොහැකිය. නමුත් මෙය ආදර්ශයක් කොටදිවි මග සකසා ගත් විට උපයන ආදායමින් තෘප්තිමත් විය හැකිය. වර්තමානයේ ක්‍රියාත්මක බැංකු හා රක්‍ෂණ ක්‍රම ද මීට බාධාවක් නොවේ. ඒ මගින් ද උපරිම ඵල නෙලා ගැනීමට මෙකී බෞද්ධ උපදේශය මනා පිටිවහලකි. ජාති ආගම් බේදයකින් තොරව මෙම බෞද්ධ උපදේශය පිළිපැදිය හැකි වීම ද විශේෂත්වයකි.
සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඤා සම්පදා යන කරුණු හතර පරලොව හිත සුව පිණිස පවත්නා බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ.
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් විෂයෙහි ඇති කර ගනු ලබන ශ්‍රද්ධාව සද්ධා සම්පදා යන්නෙන් අදහස් වේ. ගිහියන් සඳහා අනුදත් පංචශීල ප්‍රතිපදාව මනා කොට ආරක්‍ෂා කිරිම සීල සම්පදාවයි.
චාග (ත්‍යාග) සම්පදා යනු පරිත්‍යාගය හෙවත් දීමයි. මසුරු මල හෙවත් ලෝභ සිත දුරලීමට මෙයින් පිටිවහලක් ලබාදේ. ධනය පරිභෝජනය සඳහා මිස රැස් කිරීම සඳහා නොවේ. බුදුදහම අධි පරිභෝජනය මෙන්ම මන්ද පරිභෝජනය ද ප්‍රතික්‍ෂේප කරයි. ‘ලොව ජීවත් වන්නේ තමා පමණක් නොවේ’යන සංකල්පයෙන් ආත්මාර්ථකාමී පටුසීමාවන්ගෙන් බැහැරව පරාර්ථකාමී පුළුල් දෘෂ්ටියකින් බැලීමට චාග සම්පදාව බෞද්ධයාට උපකාරී වේ.
බෞද්ධයාගේ අවසාන පැතුම නිර්වාණයට පත්වීමයි. ඒ සඳහා සීලයෙහි පිහිටා සමාධිය වඩා පඤ්ඤාව (ප්‍රඥාව) උපදවා ගත යුතුය. යථා භූත ඥානය උපදාව ගැනීම (ඇත්ත ඇති සැටියෙන් දැකීම) පඤ්ඤා සම්පදාවයි.
දැහැමි දිවියක් ගෙවන ගිහියාට සිය දිවියට මග පෙන්වන දහම් මාර්ගයක් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය බෞද්ධයාගේ ජීවන මාර්ගයයි. එසේ ආගමික පදනමක් ඔස්සේ දිවි ගෙවීමට ඉහත සඳහන් කළ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන සම්පදා හතර ද අවශ්‍ය වේ. එනිසා ගිහි සැප සොයන සැදැහැති බෞද්ධයාට මෙලොව පරලොව හිත සුව පිණිස පවත්නා පූර්වෝක්ත කරුණු ඉතා වැදගත් වේ.
ලැබුවා වූ 2024 නව වසර පුරා මෙකී යහපත් පිළිවෙත් ක්‍රියාත්මක කිරිමට අදිටන් කර ගැනීම ඔබගේත් සමාජයේත් රටේත් දියුණුවට මං පෙත් විවර කරන බව අවධාරණය කරමු.