පී. චන්ද්‍රරත්න
ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහමේ පණිවුඩය රැගෙන නොවැඩියේ නම් මෙරට බෞද්ධ ශිෂ්ටාචාරය අහිමි රටක් වීමට ඉඩ තිබුණි. එබැවින් ලක්වැසි බොදු ජනතාවට පමණක් අනන්‍ය වූ පොසොන් පොහොය දිනය වනාහී මහ ඉහළින්ම සැමරිය යුතු දිනයක් වන්නේය. පොසොන් යන නම කී සැණින් සියලු දෙනාගේම සිහියට නැගෙන්නේ මිහින්තලාවය. මිහින්තලාව පිළිබඳව ගැයුණු බොහෝ බැති ගී අතර නන්දා මාලිනිය ගැයූ සදා සොඳුරු අඹ සෙවණේ සදහම් කිරණේ….. ගීතය ආධ්‍යාත්මික සුවය මෙන්ම සංගීතයේ මනමෝහනීය බව එකසේ සංකලනය වූ භාවපූර්ණ බොදු බැති ගීයක් ලෙස මෙය හැඳින්විය හැකිය. පුළුල් පරාසයක විහිදි අදහස් සමුදායක් ඉතා සංක්ෂිප්ත ලෙස ගීතයට ගොනුකළ හැකි අති විශිෂ්ට ගීත නිබන්ධකයකු වූ ඩෝල්ටන් අල්විස් මෙහි පද රචකයා වේ. අද පොසොන් පෝදා බොදු බැති ගී විමසුමට ලක් කෙරෙන්නේ ඒ අගනා බොදු බැති ගීතයකි.
සදා සොඳුරු අඹ සෙවණේ
සදහම් කිරණේ
බුදුන් දකින මල් පිපුණා
මිහින්තලාවේ
එදා පොසොන් සඳ පායා
සීලවන්ත කැළුම් දෙමින්
සැනසුන වේලේ
නිවන් දකින මල් පිපුණා
මිහින්තලාවේ
සුනාථ ලොව්තුරා පැතුම්
මනෝ විලෙන් සිනාසෙමින්
පිබිදුණු වේලේ
නිවන් දකින මල් පිපුණා
මිහින්තලාවේ
ගීතය ආරම්භ වන්නේ සදා සොඳුරු අඹ සෙවණේ යනුවෙනි. මිහින්තලාව සඳහා ව්‍යවහාර වන පර්යාය නම් කීපයක් වේ. මිහින්තලාව, අම්බස්තලය, මිස්සක පව්ව, සෑගිරිය, චේතියගිරිය යන යෙදුම් ඉන් ප්‍රධාන වේ. මිහින්තලාව යන ව්‍යවහාරය මහින්දාගමනයෙන් පසුව වූ ව්‍යවහාරය බැවින් ඊට පෙර මෙම ස්ථානය කවර නමකින් හැඳින්වූයේ දැයි දීපවංසයේ හා මහාවංසයේ ද සඳහන් වන්නේ “මිස්සක” යනුවෙනි. මිස්සකගිරි යනුවෙන් දීපවංශයේ දැක්වෙන අතර “මිස්සකං නගං” යනුවෙන් මහාවංශයෙහි සඳහන් වන්නේ එකම අර්ථයෙනි. මිස්සක (සං- මිශ්‍රක) යන්නෙහි අරුත ගල් හා පස් මිශ්‍රව සෑදුන යන්නය. මෙම ස්ථානය දේවානම්පියතිස්ස රජු අහම්බෙන් දැක මුව දඩයමෙහි ගිය ස්ථානයක් නොව ධර්මාශෝක රජු හා පැවති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් බව දීපවංශයෙහි එන පහත ගාථාවෙන් පෙනේ.
සො රහති රතනානං අභිහාරං පටිච්ඡිතුං
අහමපි දාතුං අරහාමි අග්ගං සාසන සම්පදං (දිප – 11.28)
“ඒ මා ප්‍රිය වූ සහාය වූ (දහම්සෝ) රජතෙම බුද්ධාදි රත්නයෙන් මෙහි එවීම පිළිගනන්ට සුදුසු වෙයි. ඔබත් අග්‍ර වූ සම්බුද්ධ ශාසන සම්පත්තිය ලබාගන්නට සුදුස්සෙක් වෙයි.
එබැවින් එම ස්ථානයේ හමුව පූර්ණ සැලසුම් අනුව කරන ලද්දක් බව පෙනේ. එය අම්බස්තල නමින් හැඳින්වීම ගීතයෙහි “අඹ සෙවණේ යෙදුමට පාදක වූ බව පෙනේ. පුරාවෘත්තයටද පදනම් වූ අඹ පැනය විමසීමෙන් පෙනී යන්නේ එකල ද එහි අඹ උයනක් තිබූ බවය. අඹ ගසින් පිරි තලය හෙවත් තලාව අම්බස්තල නම් විය. අඹ සෙවණ යන යෙදුමට මුල් වූයේ අම්බස්තල හෙවත් අඹ තලාව යන්නය. එම යෙදුමද පෞරාණික බව සිංහල විශුද්ධිමාර්ගයෙහි එන “…… බුද්ධ රක්ඛිත ස්වාමි උපසම්පදායෙන් අටවැසි වූයේම ථෙරම්බත්ථලයෙහි මහාරොහණගුත්ත ස්ථවීරයන්…. යන යෙදුමෙන් පෙනේ. ඓරම්බත්ථල යනු ස්ථවිර අම්බස්තල හෙවත් තෙරුන්ගේ අඹතලාව යන්නය. එය මහින්දාගමනයෙන් පසු මිස්සක පව්ව නමින්ද හැඳින් වී ඇත.
වර්තමානයේ අම්බස්තල සෑය ලෙස හඳින්වෙන්නේ කන්ද පාමුල පිහිටි කුඩා චෛත්‍යයකි. එය රජු හා මිහිදු හිමියන් හමුවූ ස්ථානය ලෙස පිළිගැණෙන අතර පැරණි අම්බස්තල සෑය යනු එහි උස් කඳුමුදුනෙහි මහා සෑය ලෙස හැඳින්වෙන ස්ථානය බව සිංහල විශ්වකෝෂයේ සඳහන් වෙයි.
මහාදාඨික මහානාග රජු විසින් කරවන ලද මේ අම්බස්තල දාගැබ මිහින්තලයේ දැනට මහාසෑය නමින් හඳුන්වනු ලබන දාගැබ බව හඳුනාගෙන ඇත. (පරණවිතාන – ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව – 1951 – 21 පිටුව) පූජාවලියෙහි සහ සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපිවල මහාසෑය හඳුන්වනු ලබනුයේ අඹුලු දාගැබ නමිනි. බුදුන්ගේ ඌර්ණරෝම ධාතුව මෙහි නිදන් කොට ඇතැයි ජනප්‍රවාදයක්ද පවතී. (සිං.විශ්වකෝෂය 690 පිටුව)
ගීතයෙහි සඳහන් අන්දමට එම සදා සොඳුරු අඹ සෙවණේ අසිරිමත් බව සඳහන් වන්නේ පොසොන් පෝදා රාත්‍රියේය. මිහිඳු හිමියන් මෙහි වැඩි දින හෙවත් පොසොන් පෝදා රාත්‍රිය ගතකර ඇත්තේ මිහින්තලාවෙහිය. ගීතයේ පළමු අන්තරා කොටසින් දැක්වෙන පරිදි එදින පොසොන් සඳ පායා සීලවන්ත කැළුම් විහිදි ඇත. නිවන් දකින මල් පිපුණු එම අසිරිමත් සිදුවීම කුමක් වීද? සැන්ඳෑ යාමයේ රජු පිටත්වීමට ප්‍රථම මිහිඳු හිමියන්ගේ ඉල්ලීම අනුව සුමන සාමණේරයන් වහන්සේ ධර්ම දේශනයට ප්‍රථම ශබ්ද නගා දේවාරාධනාව කරන ලදී. ගීතයෙහි දැක්වෙන සියලු අසිරිමත් දෑ ඒ අවස්ථාවේ සිදුවූ බව සමන්තපාසාදිකා විනයට්ඨ කථාවෙහි එන පහත සඳහන විමසන විට පෙනේ.
“සුමන සාමණේරයන්ගේ ඒ තාලඝෝෂය අසා බූමාටු දෙවියෝ ශබ්ද ඇස්වූහ. මේ ක්‍රමයෙන් බඹලොව තෙක් ශබ්දය උස්ව පැනනැගී ගියේය. ඒ ශබ්දයෙන් මහත් වූ සන්නිපාතය වූයේය. මහා ස්ථවීරයන් වහන්සේ මහත් වූ ඒ දේවතා සන්නිපාතය දැක එහිදී සමචිත්ත සූත්‍රාන්තය දෙසූ සේක. දේශනාවසානයෙහි සංඛ්‍යා නොකට හැකිවූ දෙවියන්ට ධර්මාවබෝධය වූයේය. බොහෝ නාගයෝද ගරුඪයෝද තිසරණයෙහි පිහිටියහ. ශාරිපුත්‍ර මහා ස්ථවීරයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කල්හි සම්බුදුව දේවසන්නිපාතයක් වූයේද, මහා මහීන්ද්‍ර මහා ස්ථවිරයන් වහන්සේටද එබඳුම වූ දේවසන්නිපාතයක් වූයේය. (සමන්තපාසාදිකා විනයට්ඨ කථා – සිංහල පරිවර්තනය 66 පිටුව)
ගීතයෙහි දැක්වෙන ලෙසෙටම පොසොන් සඳ එළියේ මෙම අසිරිමත් සිදුවීම පූජාවලියෙහි වඩාත් සරල හා රසවත් ලෙසට මෙසේ දැක්වෙයි.
“එකෙණෙහි හිරු හඬනගත විය. පුන්සඳ උදාවිය. මාහිමියන් වහන්සේ භණ්ඩුකයන් කෙස් බාවා මහණ කොට ගෙන සුමන සාමණේරයන් වහන්සේ හඬනගා ළඟට කැඳවා “සුමනයෙනි” බණ අසන්නට දෙවියන් හඬගාට’යි වදාළ සේක. ඒ බසට බෑනණුවන් වහන්සේ “ස්වාමීනී සක්වළ දනසෙක දෙවියන් හඬගා කැඳවම්ද සියත් සක්වළ දෙවියන් හඬගා කැඳවම්ද? නොහොත් සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් මට ඇති මේ මඟුල් සක්වළ ඇසෙන සේ හඬගාම් ද නොහොත් මේ සියක් යොදුන් ලක්දිවට ඇසෙන සේ හඬගාම්දැයි විචාළ සේක. එබසට මාහිමියන් වහන්සේ මේ ලක්දිවට ඇසෙන සේ හඬ ගාවයි වදාළ සේක. ඉක්බිත්තෙන් මේ ලංකාද්වීපය මුළුල්ලට ඇසෙන සේ තුන්යලක් සුමන සාමණේරයන් වහන්සේ හඬ ගා වදාළ කල ඒ හඬ අසා මහත් වූ දිව්‍ය සමාගම විය. එවේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ බුදුන් වදාළ සමචිත්ත පරියාස නම් වූ සූත්‍ර දේශනාව කොට අසංඛයක් දෙවියන් අමාමහ නිවනින් දක්වා නාග – සුපණාදින් ශරණ ශීලයෙහි පිහිටුවා වදාළ සේක. (පූජාවලිය – උද්දේසික පූජා කථා – 820 පිටුව – වේරගොඩ අමරමොලි සංස්)
ගීතයෙහි දෙවන අන්තරා කොටසෙහි එන සුනාථ ලොව්තුරා පැතුම් මනෝ විලෙන් සිනාසෙමින් පිබිදුණු වේලේ… යන්න මනාව අර්ථ නිරූපණය වන්නේ ඉහත පූජාවලිය සදහනෙනි. සුනාථ යනු හොඳින් ශ්‍රවණය කිරීමය. සුමන සාමණේරයන් වහන්සේට කෙතරම් ශබ්ද නගා දේවතාරාධනය කීමට හැකියාව තිබුණේදැයි උන්වහන්සේ විමසන දුරෙන් පෙනේ. සුනාථ යන යෙදුම සුභාවිත බව ඉන් වටහා ගත හැකිය. එම ශ්‍රවණය මනෝ විලෙන් සිනාසෙමින් පිබිදීමට හේතුවිය. රචකයා ඉතා ප්‍රවේශමෙන් යෙදුම භාවිතා කර ගීතයට ආලෝකයක් ලබාදීමට සමත්ව ඇත. එසේම ගීතයෙහි එන පිබිදුණු වේලේ යන්නද සරළ යෙදුමක් නොවන බව පූජාවලියෙහි දැක්වෙන එම වේලාව කෙබඳුද යන්න විමසීමෙන් වටහා ගත හැකිය. රචකයා “වේලේ යන්න මෙම පූජාවලී පාඨයෙහි එන.. ඒ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ බුදුන් වදාළ…” යන්න හා කදිමට සමපාත වේ. සැරියුත් මාහිමියන්ට හා සමාන ලෙසින්ම උන්වහන්සේ ද සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළ ආකාරයෙන් ඒවේලෙහි ලොව්තුරා පැතුම් මනෝවිලෙන් සිනාසුනා පමණක් නොව මිහින්තලාවේ නිවන් දකින මල් ද පිබිදී ඇත. එම මල් පිපුණේ ලක්ෂ ගණනාවක් වූ දිව්‍ය සමූහයා නිර්වාණාවබෝධය ලැබීමෙනි.
මෙම ගීතයෙහි විශේෂය වන්නේ මිහිඳු මාහිමියන් හෝ දේවානම්පියතිස්ස රජු ගැන හෝ යටත් පිරිසෙයින් ධර්ම පාඨයක් හෝ අඩංගු නොවීමය. සමස්ත ගීතය පුරා දැක්වෙන්නේ යම් හේතුවක් නිසා මිහින්තලා පරිසරයේ සිදුවූ අසිරිමත් බවය. එම අසිරිමත් බවට හේතුවූයේ මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම හා ධර්ම දේශනා කිරීම බවත් ඉන් මිහින්තලා පරිසරයම විචිත්‍රවත් වූ බව පමණක් සඳහන්ය. වක්‍රෝකක්ති හා උපමා උපයෝගී කරගනිමින් ලක් ඉතිහාසයේ අසිරිමත් සිදුවීම විචිත්‍ර ලෙස මනෝභාවයේ සටහන් කිරීමට ඩෝල්ටන් අල්විස් නම් ප්‍රබුද්ධ ගීත රචකයා සමත් වී ඇත. එම විචිත්‍ර බව සමාධිගතව ශ්‍රවණය කිරීමට උචිත භාවපූර්ණ තනුවක් යෙදීමට ඔස්ටින් මුණසිංහ නම් ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා සමත්ව සිටී. එම දෙපළගේ වෑයම වසර 2500කටත් වැඩි අතීතයේ මිස්සක පව්ව අසලදී පොසොන් පෝදා රාත්‍රියට අප කැඳවාගෙන යාමට නන්දා මාලිනියගේ සැදැහැවත් ගායන විලාසය සමත්ව සිටී.

