පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි
(පෙර පළ වූ ලිපි පෙළ හා සම්බන්ධයි)
වේදනාව
පසුගිය ලිපියෙන් වේදනාව නිසා හටගන්නා තණ්හාව පිළිබඳව සාකච්ඡා කළෙමු. මෙම ලිපියෙන් තණ්හාව හට ගැනීමට හේතුව වූ වේදනාව පිළිබඳව ඉගෙන ගනිමු. බොහෝ දෙනකුට වේදනාව යන වචනය ඇසෙන විට රිදීම, කැක්කුම යන අදහසක් ඇති වේ. එහෙත් දහමෙහි සඳහන් වේදනා යන්නෙහි අදහස විඳීම යන්නයි. විඳීම් තෙවදෑරුම් ය.
- සුඛ වේදනා (සෝමනස්ස වේදනා)
- දුක්ඛ වේදනා (දෝමනස්ස වේදනා)
- අදුක්ඛමසුඛ වේදනා (උපේක්ඛා වේදනා)
වේදනා හටගන්නා ආකාරය අනුව සවැදෑරුම් ය. ”චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝත සම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝ සම්ඵස්සජා වේදනා, අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා” යනුවෙන් ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, මනසෙහි ස්පර්ශයෙන් හටගන්නා වේදනාව යනුවෙන් වේදනාව සවැදෑරුම් වෙයි. ස්පර්ශය පිළිබඳව ඊළඟ ලිපියේ දී සාකච්ඡා කරන බැවින් මෙහි දී ඒ පිළිබඳව යමක් සඳහන් නො කරමි.
ඇස රූපය හඳුනා ගන්නවාත් සමග ම ඒ ස්පර්ශය තුළ සැප දුක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හටගනී. සෙසු ඉන්ද්‍රියන් හා සම්බන්ධයෙන් ද එසේ ම ය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන මුල්කොටගෙන හටගන්නා වූ වේදනාවන් ඒ නාමයන් ගෙන් ම හඳුන්වා තිබේ. ඒ අනුව ඉන්ද්‍රියන් මූලික ව ම වේදනා උපදනා බව පැහැදිලි වෙයි. ඒ ඒ ඉන්ද්‍රියන් ගෙන් ලැබෙන සැප හෝ වේ වා දුක් හෝ වේ වා ඒ දෙකෙන් ම තොර වූ හෝ වේ වා යම් වේදනාවක් ඇත්නම් ඒ ඒ තැන්හි සිත හැසිරෙයි. අට්ඨාරස මනෝ පවිචාර යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ එම කාරණයයි.
වේදනාවෙන් මිදී සිටීමට කිසිවකුට නොහැකි ය. කෙලෙස් ප්‍රහීණ කළ ආර්ය ශ්‍රාවක උතුමන්ට ද වේදනාව ඇත. එහෙත් ඒ ආර්ය ශ්‍රාවක උතුමෝ ඒ තුළ තණ්හා මාන දිට්ඨි දුරු කළෝ ය. සුව, දුක් හා ඒ දෙකෙන් ම තොර අදුක්ඛමසුඛ වේදනාවන් කෙලෙස් ප්‍රහීණ කළ උතුමන්ට දැනුණ ද උන් වහන්සේලාට ඒ තුළ රාගානුසය පටිඝානුසය හෝ අවිද්‍යානුසයක් නොමැත. ඉන් මෙහා අනාගාමී උතුමන්ට රාග හා අවිද්‍යා අනුසය ද ඉන් පහළ
සකෘදාගාමී සෝවාන් පුහුදුන් අය තුළ අඩු වැඩි වශයෙන් වේදනාව නිසා රාගානුසයත්, පටිඝානුසයත්, අවිද්‍යානුසයත් ක්‍රියාත්මක වේ. ඒ තුළින් සංසාර චක්‍රය ක්‍රියාත්මක වේ.
වේදනාව තුළ රාග, පටිඝ හා අවිජ්ජානුසයන් ඇති නො කරගෙන වාසය කිරීම පිණිස වේදනාව පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගත යුතු ය. ඒ දැක්ම කෙසේ ඇති කරගත යුතු ද යන්න
“යෝ සුඛං දුක්ඛතෝ අද්ද – දුක්ඛමද්දක්ඛි සල්ලතෝ
අදුක්ඛමසුඛං සන්තං – අදක්ඛිනං අනිච්චතෝ
සවේ සම්මද්දසෝ භික්ඛු – පරිජානාති වේදනා”
යනුවෙන් වදාරා ඇති පරිදි සුව වේදනාව දුකක් ලෙස ද, දුක් වේදනාව හුලක් ලෙස ද, අදුක්ඛමසුඛ වේදනාව අනිත්‍ය ලෙස ද දැකිය යුතු ය. යම් සුව වේදනාවක් ඇත්නම් එය හටගන්නේ අනිත්‍ය වූ ඉන්ද්‍රියන්ගේ අනිත්‍ය වූ ස්පර්ශයකිනි. අනිත්‍ය වූවකින් හටගන්නා වේදනාව ද නිත්‍ය වූවක් නො වේ. එය වෙනස් වේ. එබැවින් සුව වේදනාව වෙනස් වීම ම දුකකි. එබැවින් සුව වේදනාවට යම් ඡන්ද රාගයක් වේ නම් එය දුරු කර ගැනීම පිණිස ඒ සුව වේදනාව තුළ දුක ඇති බව අවබෝධ කර ගැනීම වඩාත් උපකාරී වේ. දුක් වේදනාව සැලකිය යුත්තේ හුලක් ලෙසයි. හුලක් ඇනුනහු විසින් කළ යුත්තේ වහා ඒ හුල ගලවා දැමීමයි. එසේ නො කළ හොත් තව තවත් දුක් පීඩා වැඩි වේ. එසේ ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වේදනාව දුක් සහිත වූවක් නම් එම වේදනාවට ද පටිඝයෙන් ගැටීම දුරු කිරීම පිණිස එය හුලක් ලෙස සලකා එකී වේදනාවට ද උපාදාන නො වී ඉන් මිදිය යුතු ය. අදුක්ඛමසුඛ උපේක්ෂා වේදනාව පැවතීම හොඳ යැ යි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එම අදහස තුළ පවතින්නාට හටගෙන තිබෙන්නේ අවිද්‍යා අනුසයයි. උපේක්ෂා වේදනාව ද අනිත්‍ය ය. නිත්‍ය නො වන්නක් තුළ අනිත්‍යය ම පුරුදු කළ යුතු ය. භාග්‍යවතුන් වහන්සේ වේදනාව උපමාවකින් දක්වන්නේ දිය බුබුළක් හා සමාන ය යනුවෙනි. (වේදනා බුබ්බුලූපමා) දිය බුබුළ හට ගන්නවාත් සමග ම නැසී යයි. වේදනාව ද එසේ ම ය. ස්ථිර පැවැත්මක් නැත. අනිත්‍ය ය. අනිත්‍ය නිසා දුක ය. දුක නිසා අනාත්ම ය.
වේදනාවන්ට තණ්හා ඇතිකර ගැනීමෙන් උපාදාන සිදුවී සත්වයා නොයෙක් නොයෙක් කර්ම රැස්කර ගනිමින් සසර ගමනට ම එක්වේ. ධ්‍යානාදි සුඛයන්ට තෘෂ්ණාවෙන් බැඳෙන්නෝ ධ්‍යාන කර්ම සකසමින් බඹ ලෙව්හි සැරිසරති. දිව්‍ය මනුෂ්‍ය ලෝකවල සාමිස සුඛ වේදනාවෙන් ඇලුනෝ ඊට අදාල කර්ම සකසා දිව්‍ය මනුෂ්‍ය ලෝකවල සැරිසරති. සුඛ වේදනාව නිත්‍ය සේ ගෙන එය පවත්වා ගැනීම උදෙසා නොයෙක් අකුසල කර්ම රැස් කොට ඇතැම්හු සතර අපායට වැටී බොහෝ දුක් විඳිති. වේදනාවෙහි මුළා වූවෝ නොයෙක් අකටයුතුකම් කොට, යම් හෙයකින් කුසල චේතනාවකින් සුගතියෙහි උපන්නේ වී නමුත් අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙති.
භාග්‍යවතුන් වහන්සේ කෙරෙන් දෙව්දත් තෙරුන් තුළ හටගත් දෝමනස්ස වේදනාව තුළ ක්‍රියාත්මක වී තමන්ගේ දුගතියත් අජාසත්ත වැනි ශ්‍රද්ධාවන්ත, මාර්ගඵල අවබෝධයට සුදුසු ව සිටි රජුන්ගේ දුගතියත් සිදු වූයේ වේදනාවට තණ්හා කර උපාදාන වීමෙනි. ස්වකීය දිවි රැක දුන් චුල්ල පදුම කුමාරයන් පර්වතයකින් හෙලා දිවි තොර කරන්නට ඔහුගේ බිරිඳ තැත් කළේ වේදනාවෙහි මුළා වීම නිසා ය. චුල්ලධනුද්දර ජාතකයෙහි එන පරිදි ස්වකීය ස්වාමි පුතණුවන් වූ චුල්ලධනුද්දරයන් මරන්නට මස් වැද්දාට කඩුව දෙන්නේ වැද්දාගේ දර්ශනයෙන් හටගත් වේදනාවට මුළා වීමෙනි. අගසව් තනතුරකට පෙරුම් පුරා ගෙන පැමිණෙන මුගලන් මහරහතන් වහන්සේ එක්තරා භවයක දී මවුපියන් ඝාතනය කරන්නට පෙලඹෙන්නේ බිරිඳගේ තෙපුල් ඇසීමෙන් හටගත් වේදනාවට මුළා වීමෙනි. සසර දුකින් මිදෙන්නට බුදුරදුන් සමීපයෙහි පැවිදි වූ එක්තරා භික්ෂුවක් ස්වකීය මවු සමග අනිසි දහම්හි යෙදීමට පෙලඹුණේ වේදනාවෙහි මුළා වීමෙනි. (මාතාපුත්ත සූත්‍රය). මේ කතා කරන මොහොතේ නමුත් ලොව තුළ එබඳු දරුණු ඛේදවාචක අනන්තවත් සිදු වේ. එහි දී අපි එක් එක් පුද්ගලයා පිට වරද පටවමින් එකී කරුණු විශ්ලේෂණය කරන්නට පුරුදු වී සිටිමු. එහෙත් එය සිදු වන්නේ සත්ත්වයා වේදනාවෙහි නිත්‍ය, සුඛ, ආත්ම සංඥාවන් ගෙන මුළා වී කටයුතු කරන බැවිනි. වේදනාවට මුළා වීම එතරම් බිහිසුණු භව කර්ම සකසන්නකි. ඊට කලකිරුණු ඇතැම්හු පුණ්‍යාභිසංඛාර හා ආනෙඤ්ජාභි සංඛාර කරගනිති. එය අපුඤ්ඤාභිසංඛාරයන්ට වඩා ප්‍රණීත වුව ද එය ද සසර පැවැත්ම ම ය. වේදනාව තුළ නිර්වේදයට පැමිණ සසර දුකින් මිදීමට වෑයම් කළ යුතු ය.