පද්මා ගුණසේකර
පබස්සරෙහිමිදං භික්ඛවෙ චිත්තං
ආගන්තුකෙන උපක්ඛිලෙසෙති උපක්ඛිලිසං
(අංගුත්තර නිකාය)
මේ තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අපේ හිත ගැන කියලා තියෙන හැටි. උන් වහන්සේ කියනවා අපේ හිත ප්‍රභාස්වරයි. පිටතින් එන කෙලෙස් නිසා තමයි සිත අපිරිසිදු වෙන්නෙ කියලා.
ස්වභාවයෙන් ම සිත ප්‍රභාස්වරයි. ඒ සිතෙහි නරක සිතුවිලි නැහැ. නමුත් ඒ සිත ක්‍රමයෙන් කිලිටි වෙනවා. ඒකට හේතුව තමයි පිටතින් නරක සිතුවිලි ඒම. එහෙම උනහම සිතේ තියෙන පැහැදිලි බව නැතිව යනවා. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් පැහැදිලි වතුර වීදුරුවක් ගැන සිතන්න. වතුර පිරුණු මේ වීදුරුව තමයි අපේ මුලින් තිබුණු සිත. ඒ වතුර වීදුරුවෙ හැම තැනම පේනවා, අඩියෙ තියෙන දෙයක් වුණත් පේනවා. මේ වතුර වීදුරුවට අපි පාට බින්දුවක් කළවම් කළොත් මොකද වෙන්නෙ? අපට ඒ වීදුරුවෙ අඩිය පැහැදිලිව පේන්නෙ නෑ. අපේ හිතට වෙන්නෙත් ඒ ටිකයි. මුලින් පැහැදිලිව තිබුණු සිතට යම් යම් සිතුවිලි ආවාම සිතේ තිබුණ පැහැදිලි බව නැතිව යනවා.
අපට උවමනා දෙයක් නොලැබුණහම අපේ සිතට දුකක් ඇතිවෙනවා. එයින් අප තුළ අමනාපයක් නැත්නම් දොම්නස් බවක් ඇති වෙනවා. මේ විදිහට අපේ සිතේ ඇති වන අමනාප තත්ත්වය අපගේ ශරීරයට ද බලපානවා. අපේ ශරීරයත් සිතත් එකිනෙකට බලපානවා. සිතේ අමනාප නැත්නම් දෝමනස්ස සහගත තත්ත්වයක් ඇති වුණා කියන්නේ සිත ලෙඩ වීමක්. සිත ලෙඩ වුණහම අපේ ශරීරයෙන් නොයෙකුත් රිදුම්, කැක්කුම් ඇති වෙනවා. සිත ලෙඩ වුණහම අපේ ශරීරයේ තියෙන රසායනික ද්‍රව්‍යවල වෙනසක් වෙනවා. ඒකෙන් අපේ ශරීරයේ ලෙඩවලට ඔරොත්තු දෙන ස්වභාවය අඩු වෙනවා. අපි ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා.
අපි අමනාප සිතුවිල්ල නැති කරගෙන මෛත්‍රි සිතක් ඇති කර ගන්න උත්සහ කරන කොට අප තුළ ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රතිවිරුද්ධ අන්දමට ක්‍රියා කරනවා. අපේ ලෙඩවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙනවා.
දවසක් කොසොල් රජ්ජුරුවෝ බුදු හාමුදුරුවන් දකින්න ආවා. ඇවිත් මෙහෙම ඇහුවා. “බුදුරජාණන් වහන්ස, අපි දිනපතාම ඉතා රසවත් කෑම බීම ගන්නවා. ඒ වගේම ඒවා රසයෙන් මෙන්ම ගුණයෙනුත් යුක්තයි. ඔබ වහන්සේටත් සංඝයාටත් රස ගුණ තියෙන ආහාර ලැබෙන බව ඇත්තයි. ඒත් සමහර දවසට ඔබ වහන්සේලා යැපෙන්නෙ පිණ්ඩපාත ආහාරයෙන්, රළු ආහාරයි ඔබ වහන්සේලාට ලැබෙන්නේ. නමුත් දිනපතාම රස ගුණ ඇති ආහාර අනුභව කරන අපට වඩා ඔබ වහන්සේලා බොහොම ප්‍රසන්නයි. දැක්කම සිත් ඇදිලා යනවා. ඒකට හේතුව කුමක්ද?”

බුදු හාමුදුරුවෝ කොසොල් රජ්ජුරුවන්ට කියනවා, “මහරජ, අපි එකිනෙකා කෙරෙහි මෛත්‍රි සහගත සිතින් කල් යවනවා. ඒකයි ඒ ප්‍රසන්න බවට හේතුව” කියලා.
අප කාගේත් සිත්වලට පිටතින් කෙලෙස් එකතුවෙලා තියෙන නිසා සිත තුළ ද්වේෂය නැත්නම් තරහ තැන්පත් වෙලා තියෙනවා. හරියට අළු යට තියෙන ගිනි පුපුරක් වගේ. ඒ ගිනි පුපුර ගිනි දල්ලක් බවට පත් වෙන්නේ ඒකට සුදුසු පරිසරයක් ලැබුණහම තමයි.
බුදු හාමුදුරුවන්ගෙ කාලෙ සැවැත් නුවර එක්තරා කුල කාන්තාවක් සිටියා ‘වේදහිත’ කියලා. “මේ කුල කාන්තාව බොහොම සිල්වත්, කවදාවත් ඈට තරහ යන්නේ නෑ” කියලා කතාවක් නගරයේ තිබුණා. මේ කුල කාන්තාවගේ ගෙදර හිටියා මෙහෙකාර කෙල්ලක්. ඇගේ නම කාලි. ඇයට හිතුණා තමන්ගෙ ස්වාමි දියණියට ඇත්තටම තරහ යන්නෙ නැද්ද කියලා බලන්න. මෙහෙම හිතලා ඈ දවසක් දා උදේ වැඩිපුර නිදා ගත්තා. ස්වාමි දියණිය ඇවිත් සේවිකාව නිදාගෙන ඉන්නවා දැකලා නළල රැලි ගන්නාගෙන ගියා. එදා මොකුත් කීවේ නැහැ.
දෙවන දවසෙත් සේවිකාව වැඩිපුර නිදා ගත්තා. එදා ස්වාමි දියණිය ඇයට බැණ වැදුණා.
තුන්වන දවසෙත් සේවිකාව තවත් ටිකක් වැඩිපුර නිදා ගත්තා. එදා ස්වාමි දියණියගෙ තරහ ඉහවහා ගියා. ඇය මොකද කළේ. දොර පොල්ල අරගෙන සේවිකාවගෙ ඔළුවට පහර දුන්නා. සේවිකාව ලේ පෙරා ගෙන දුවමින් ගොස් අහළ පහළ අයට තම ස්වාමි දියණියගෙ නියම තත්ත්වය පෙන්නුම් කළා. මේ ස්වාමි දියණියගෙ හිත වගේ තමයි අපි බොහොම දෙනකුගෙ සිත්, සමහර අවස්ථාවල සිතේ තියෙන කෝපය අපි දන්නෙම නැතුව ඉස්මතු වෙනවා. එතකොට අපේ හිත නටන උණු වතුර තියෙන භාජනයක් වගේ. ඒ තරමට දරුණුයි. කරන්නේ මොනවද කියලා අපිම දන්නේ නැහැ.
මේ විධියට, අපි තරහ සිතකින් ඉන්න වෙලාවක මැරුණොත් හෙම අපි උපදින්නේ සතර අපායෙයි. බුද්ධ ධර්මය අනුව ඒක එහෙමමයි.
මේ නිසා තරහක් ආ විට අපි අපේ අරමුණ වෙනස් කර ගත යුතුයි. ඇතැම් වෙලාවට එකේ සිට දහයට ගණන් කරන්න පුළුවන් නම් ඒක අපට ලොකු උදව්වක් වෙනවා තරහ අඩුකර ගන්න. මෛත්‍රි සිතක් ඇතිකර ගැනීමට උත්සාහ කරන්න. මේක එක විටම කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ක්‍රමයෙන් පුරුදු කරගන්න වෙනවා. කොහොම හරි මෛත්‍රි සහගත සිතක් ඇතිකර ගන්න පුළුවන් නම් ඒකෙන් අපට ලොකු යහපතක් වෙනවා. මෛත්‍රි සහගත සිතක් තියෙන කොට පස් පවින් අපි වැළකෙනවා. අපි මෛත්‍රි සහගත නම් ප්‍රාණඝාත අකුසලය කරන්නේ නැහැ. තමන්ව මරනවා නම් තමන් ඊට අකමැති නේද කියලා හිතලා තවත් ප්‍රාණියකු මරන්නෙ නැතුව ඉන්නවා. අනෙක් සිල් පද රැක ගන්නෙත් ඒ ආකාරයට තමයි. තමන්ගේ දෙයක් තවත් කෙනෙක් අපට හොරෙන් ගන්නවාට අපි කැමති නැහැ. ඒ වගේ අනුන්ගේ දෙයක් ගන්න හිතෙන කොටත් තමා ගැන හිතලා එයින් වළකින්න පුළුවන් වෙනවා.

