ශාස්ත්‍රපති සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමි
සාමණේර පඤ්හා හෙවත් සාමණේර ප්‍රශ්නයන්ගෙන් පළමු වැන්න නම් “ඒක නාම කිං” හෙවත් “එක නම් කිම” යන්න යි. ඊට ලබාදී ඇති පිළිතුර නම් “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන්න ය. එනම් සියලු සත්හු ම ආහාරයෙන් යැපෙන බවයි. කිසි ම ජීවියකුට ආහාර නොමැතිව ජීවත්වීමට බැරි බව එයින් දැක්වේ. මේ බුදු වදන යි. එසේ ම බුදුරජාණන් වහන්සේ බඩගින්න ඉතා දැඩි ම රෝගය ලෙසත් හඳුන්වා දී ඇත. (ජිගච්ඡා පරමා රෝගා) මෙසේ බලන කල පැවිදි ජීවිතය සාර්ථකව ගෙන යෑමට ගිහි පිරිස විසින් දෙනු ලබන දානය කෙතරම් වැදගත් දැයි සෑම විටම දානයක් දීමේ දී සිහියෙහි තබා ගත යුත්තේය.
ඇතැම් භික්ෂූන් වහන්සේ දන් වළඳන්නේ දවසට එක් වරක් පමණි. පිණ්ඩපාතයේ දෙවරක් යෑම සිරිතක් නොවේ. එවන් අවස්ථාවල දී එක් ආහාර වේලකින් කුසගින්න නිවාගෙන සිය කාරියෙහි යෙදීම සිදුවන්නකි. කෙසේ හෝ දවල් 12.00ට පෙර දානය වළඳා අනිත් දිනයේ පෙරවරුව වනතුරු පාන වර්ග හා ගිලන්පස ගෙන නිරාහාරව සිටීම බුදු පිළිවෙත යි. රාත්‍රී ආහාර නොගෙන සිටීමේ අනුසස් එක් අවස්ථාවක දී භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. පැවිද්දන් ගිහියන් විසින් දෙනු ලබන දානයෙන් යැපෙන හෙයින් ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නේ උන්වහන්සේලාගේ සෞඛ්‍යයට ඍජුව ම එය බලපාන හෙයිනි.
මේ පොත් පිංච ප්‍රකාශයට පත් කිරීමට හේතු වූයේ කරුණු දෙකක් මුල් කරගෙනය. මැදි වයස් වනවිට බොහෝ භික්ෂූන් වහන්සේ රෝගී තත්ත්වයට පත් වී ඇති හෙයින් එය වළකා ගැනීම ඉන් එකකි. අනික දානයක් භික්ෂූ සංඝයාට පිළිගැන්වීමේ දී බොහෝ ඌනතාවන් දක්නට ලැබීම යි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කර ඇති සමීක්ෂණයක් අනුව ප්‍රතිශතයක් ලෙස මැදි වියේ දී දියවැඩියාව, ස්වසන පද්ධතිය හා හෘදය ආශ්‍රිත රෝග, අධි රුධිර පීඩනය හා ආතරයිටිස් ආදී රෝග භික්ෂූන් වහන්සේලාට වැඩි ය. මේ රෝග සියල්ල ම ගන්නා ආහාරත් ව්‍යායාමය නැතිකමත් හේතු කොටගෙන බහුල වශයෙන් ඇති වේ.
අපගේ සංඝ පිතෘන්වහන්සේලා ආරක්ෂා කිරීම ගිහි පින්වතුන්ගේ යුතුකමකි. උන්වහන්සේලා විසින් රටට, ජාතියට හා ශාසනයට කරනු ලබන සේවය අනුපම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ලාංකිකයන් අතර ලුණු පරිභෝජනය වැඩිය. එසේ ම සීනි පරිභෝජනයත් වැඩිය. මේ දෙකම දානය, ගිලන්පස සකස් කිරීමේදී පාලනය කළ හැකිය. දානය සකස් කිරීමේදී ලුණු භාවිතය අඩු කිරීමෙන් හා ගිලන්පස සාදන විට සීනි නොමැතිව සාදා අවශ්‍යතාව අනුව සීනි යෙදීමට පුරුදු වීමෙන් එය ඉටු කළ හැකිය. මෙය ගිහි පින්වතුන්ගේ සෞඛ්‍යයට ද හිතකර ය.
මෑතක සිට සෞඛ්‍ය සම්පන්නව දානය පිළියෙල කිරීම පිළිබඳ පොත් එළිදැක්වීම ඉතා හොඳ ප්‍රවණතාවකි. ශාස්ත්‍රපති පූජ්‍ය කහවත්තේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ “ඉමං භික්ඛං” යන පොත් පිංච එයට උදාහරණයකි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ විෂයට අදාළව සංඝයා වහන්සේලා සඳහා දානය පිළිගැන්වීමේදී අනුගමනය කළයුතු උපදෙස් තේමා කොට ප්‍රකාශනයක් නිකුත් කර ඇත. එහි සුළු සංශෝධන සහිතව මෙම ග්‍රන්ථයෙහි පළ කොට ඇත්තේ වැඩිදෙනා අතට එම පණිවුඩය ගෙන යෑම මෙන්ම බෞද්ධයන් දැනුවත් කොට සැදැහැතියන් අතර මේ ප්‍රශ්නය පිළිබඳව හැඟීමක් හා අවබෝධයක් ඇති කිරීම සඳහා ය.
ඇතැම් ගිහි පින්වතුන් පවසන දෙයක් නම් භික්ෂූන් වහන්සේට පිළිගන්වන සෑම දෙයක්ම නොපිළිගෙන සිටිය හැකි බවයි. එසේ කිරීම අපහසු වන්නේ දානයට වඩා හිඳුවන භික්ෂූන් වහන්සේ තමා ඉදිරියට ගෙනෙන තුරු දානය සඳහා පිළියෙල කර ඇති දේ ගැන දැනුමක් නොමැති නිස යි. ඉදිරිපස තබා පිළිගැන්වීමට අදහස් කරන දාන මාන සාංඝික කිරීමෙන් පසුව නිරාවරණය කරනවිට සාමාන්‍ය දැනුමක් ලබාගත හැකි ය. එහෙත් ප්‍රමාණාත්මකව දැන ගැනීමට කිසිසේත් බැරි ය. ගිහි පින්වතුන් තම ඥාතීන් හා ළමයින් ලවා දානය පිළිගැන්වීමට උනන්දු වුවත් දානය පිළිගන්වන අනුපිළිවෙළ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වනු ලැබේ.
නූතන ආහාරවේදීන් අනුව සම්පූර්ණ ආහාර වේලක් සඳහා එම ආහාරය කොටස් හතරකින් යුක්ත විය යුතු ය. එනම් බත් වැනි ධාන්‍ය වර්ගයක්, පරිප්පු, කවුපි, මුංඇට වැනි රනිල වර්ගයක්, පලා ඇතුළුව එළවළු වර්ග කිහිපයක් හා පලතුරු ය. සම්පූර්ණ ආහාර වේලක් සඳහා මස් මාංශ අවශ්‍ය නොවන බව ලොව පිළිගෙන ඇත. කිරි ආහාර සම්පූර්ණයෙන් වර්ජනය කරන ජනගහන ද ලෝකයේ වැඩිවෙමින් පවතී. ලක් වැසියන්ගේ සරල ආහාර ක්‍රමය හා සරල ජීවිත පැවැත්ම පිළිබඳව 18 වැනි සියවසේ නුවර රාජධානියේ වසර 17 ක් විසූ රොබට් නොක්ස් සිය කෘතියෙහි සඳහන් කොට ඇත. ගිහි පින්වතුන්, විශේෂයෙන් ළමයින් අතර ස්ථුල භාවයෙහි වැඩිවීමක් දක්නට ලැබෙන්නේ වැරදි ආහාර රටාවන් අනුගමනය කරන නිසා ය. දානයක් සඳහා අධික වියදමක් දරා දානය *වළඳන භික්ෂූන් වහන්සේ වැඩි වැඩියෙන් ලෙඩ වන්නේ නම් එම දානය මහානිශංස වන්නේ කෙසේ දැයි අප අපගෙන් විමසිය යුතු කාලය එළැඹ ඇත.
දානයක් නිසි අයුරු පිළියෙල කළත් එම දානය පිළිගැන්වීමේ දී බොහෝ අඩුලුහුඩුකම් දක්නට ලැබෙන හෙයින් එය නිවැරදි කරගැනීම බෞද්ධ පින්වතුන්ගේ තවත් වගකීමකි. ඉංග්‍රීසි ක්‍රමයට සුප් හා කෝසස්වලින් දානය පිළිගැන්වෙන අවස්ථා ද දක්නට ඇත. මේ හේතුවෙන් ප්‍රත්‍යවේක්ෂණය කිරීමට අපහසු වන්නේ ප්‍රධාන ආහාරය වන බත් හා වෑංජනය පසුව පිළිගැන්වීම නිසයි. කැවිලි පිඟාන මුලින්ම පිළිගැන්වූ අවස්ථා දැක ඇත. දානයක් දීමේ බෞද්ධ සම්ප්‍රදායයන් ටිකෙන් ටික ගිලිහෙමින් තිබෙන බව ද කිව යුතු ය.
නවතම ප්‍රවණතාව නම් කේටරින් ක්‍රමයට දානය පිළිගැන්වීම යි. එනම් උත්සව ආදියට ආහාරපාන සපයන ක්‍රමයට දානය පිළියෙල කිරීම හා පිළිගැන්වීම ඒ සපයන පුද්ගලයන්ට හා ආයතනවලට භාර දීමයි. භික්ෂූන් වහන්සේ ඉතා ගෞරවයෙන් වඩා හිඳුවා සිය අතින් සැලකිලිමත්ව පිළියෙල කරන ලද දානය වැළඳීමට ලැබීම ගම්බදව කෙසේ වෙතත් නගරබදව නම් කලාතුරකින් සිදුවන්නකි. පරම්පරාගතව ආ උතුම් චාරිත්‍ර විධි ගිලිහෙමින් පවතින බව කිවයුතු ය. දහම් පාසල් මගින් මෙම හුරුව වැඩෙන පරම්පරාවට ලබාදීම අපගේ වැදගත් චාරිත්‍ර විධි ආරක්ෂා කරගැනීමට හේතු වනු ඇත.

