බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක,
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“නහි මය්හං මාලා ගන්ධාදිහි පූජං කරොන්තා මම පූජං කරොන්ති නාම, ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒව පන මං පූජෙන්ති නාම”
“මල් සුවඳ ආදියෙන් මට පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නො වෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ ම (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්.”
(ධම්මපදට්ඨ කථා ධම්මාරාම ථෙර වත්ථු)
බුදුරජාණන් වහන්සේ මෙයින් තෙමසකට පසුව පිරිනිවන් පාන්නෙමි යි වදාළ විට දහස් ගණනින් භික්‍ෂුහු රැස් ව භාග්‍යවතුන් වහන්සේගේ වටා වැඩ සිටිය හ. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත් අතර පුහුදුන් අය ශෝකයට පත් වූ හ. මේ අතර ධම්මාරාම නම් භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අර්හත්වයට පත් වෙන්නෙමි යි අදිටන් කරගෙන භාවනාවෙහි යෙදුණ හ. ධම්මාරාම භික්‍ෂුව ගැන භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව, භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මාරාම භික්‍ෂුව කැඳවන ලද හ. අනෙක් භික්‍ෂුන් ගෙන් වෙන් ව හුදකලාව වැඩ සිටින්නේ කවර කරුණකින් දැ යි විමසන ලදුව මෙසේ පැවැසී ය.
“භාග්‍යවතුන් වහන්ස, මම තවමත් අවීතරාගී වෙමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරාතුව අර්හත්වයට පත් වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දෙසූ මඟ අනුගමනය කරමින් සිටිමි. මම ඒ පරමාර්ථ ධර්මය ම මෙනෙහි කරන්නෙමි” යි පැවැසූ විට භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දී මෙසේ වදාළ හ. “මලින් සුවඳ ආදියෙන් පූජා පවත්වන්නෝ නියම ලෙසින් මා පුදන්නෝ නො වෙති. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ම මට සිදු කරන උතුම් වූ පූජාවයි.” භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නය ද වදාළ හ.
“ධම්මාරාමෝ ධම්මරතෝ
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති”
“සමථ විදර්ශනා ධර්මයෙහි නිතොර යෙදෙන බැවින් ධර්මය වාසස්ථාන කොට ඇති, ඒ ධර්මයෙහි ම ඇලුණා වූ, ධර්මය නැවත නැවත මෙනෙහි කරන භික්‍ෂුව බෝධි පාක්‍ෂික ධර්මයන් ගෙන් නො පිරිහෙයි.”
මෙම ධර්ම කථාව ඔබ අප සියලු දෙනාට ම මහත් වූ ධර්ම අවවාදයක් දීමකි. වක්කලී නම් භික්‍ෂුන් වහන්සේට ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෙවැනි ම අදහසකි. භාග්‍යවතුන් වහන්සේගේ බාහිර රූපකාය ගැන ඇලුණු වක්කලී තරුණයා පැවිදි වූයේ රුව නිතොර බලා සිටින්නට ය. පැවිදි ව භාග්‍යවතුන් වහන්සේගේ රූප කාය දෙස බලා සිටි වක්කලී භික්‍ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ දෙතිස් කුණපයන් ගෙන් පිරුණු ශරීරය දෙස බලා සිටිනවාට වඩා පරමාර්ථ ධර්මය ම දකින ලෙස ය. පටිච්චසමුප්පාද ධර්මය ම මෙහි පරමාර්ථ ධර්මය වෙයි. අප අතරින් බොහෝ පිරිසක් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට වඩා භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් සේ ප්‍රශංසා නො කරන ලද ආමිසයෙහි නියුක්ත ව සිටිති. ආමිස පූජාව නො කළ යුතු ය යන්න මින් අදහස් නො කෙරේ. ශ්‍රද්ධාව පහළ කර ගැනීම පිණිසත්, පස්පව් දස අකුසල්වලින් මිදී සීල සමාධි ප්‍රඥා මඟට යොමු වීමේ පළමු පියවර සේ ම, පිළිවෙත් මාර්ගය පිරිසුදු කර ගැනීමටත්, තම සිත උනන්දු කර ගැනීම පිණිසත් මල්, පහන්, සජ්ඣායනා ආදී පූජා පැවැත්වීම කළ යුතු වන්නේ ය. එනමුත් බොහෝ පිරිසක් එම ආමිස පූජාවෙහි ම නතර වී සිටිනු විනා, භාග්‍යවතුන් වහන්සේ වදාළ ‘සසර දුකෙන් නිදහස් වීම’ නම් වූ මඟට උපකාර වන විදර්ශනා මඟ පුරුදු කිරීම අල්ප ය. විදර්ශනා මඟට පැමිණි බව පවසන පිරිස් ද නියමාකාරයෙන් ඒ මඟට සකස් වී නොමැති බව වැටහෙන්නේ කණ්ඩායම්වලට බෙදෙමින් ලෞකික අරමුණුවලට වක්‍රාකාරයෙන් යොමු වී කටයුතු කරන බැවිනි.
ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගය උගන්වන බොහෝ සූත්‍ර දේශනා අතර මහා සුඤ්ඤත සූත්‍ර දේශනාව ද ප්‍රධාන තැනක් ගනී. එහි මෙසේ දැක්වෙයි
“නාහං ආනන්ද, ඒකරූපම්පි සමනුපස්සාමි, යත්ථ රත්තස්ස යත්ථාභි රත්තස්ස රූපස්ස විපරිනාමඤ්ඤථාභාවා න උප්පජ්ජෙය්‍යුං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා”
“ආනන්ද යම් රූපයක රාග වශයෙන් හා තදින් ඇලුණු කෙනෙකුට, ඒ රූපයේ වෙනස් වීම, අන්‍ය ස්වභාවයට පත් වීම හේතුයෙන් ශෝක, හඬා වැළපීම්, දුක් දොම්නස්, බලවත් සිත්තැවුල් නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දකිමි.”
එබැවින්, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසට ම රූපාදී අරමුණු, කෙලෙස් ඉපදීම පිණිස හේතු වන නිමිති නො ගෙන, තම ආධ්‍යාත්මයෙහි කෙලෙස් සන්සිඳෙන ඵල සමාපත්තිය පිණිස වාසය කිරීම පිණිස ම දහම් දෙසන ලද හ. මේ බව මැනැවින් අවබෝධ කරගන්නා වූ ගිහි වූ ද පැවිදි වූ ද ශ්‍රාවක ශ්‍රාවිකාවන් පළමුව, මනා කොට කායික වාචසික හික්මීම නම් වූ සීලයෙහි පිහිටීම අවශ්‍ය ය.
“අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවි” යනුවෙන් සඳහන් පරිදි කුඩා අණුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් යුතු බිය දක්නා යුතු බැවින් ම සීලයෙන් හික්මීමට පැමිණීම අවශ්‍ය යැ යි සෝණදණ්ඩ සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ “සීලපරිධෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා, පඤ්ඤාපරිධෝතං සීලං” යනුවෙනි. එනම්, ප්‍රඥාව සීලයෙන් පිරිසිදු වෙයි. සීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. මේ නිසා මේ සම්බුදු සසුනට පැවිදි හෝ උපාසක ස්වභාවයෙන් පැමිණෙන සෑම අයෙකු ම මනා කොට සිල් ඇත්තෙකු වීම අවශ්‍ය ය. සිත කය වචනය නම් වූ තිදොරින් අසංවර ව “චාරිත්‍ර වාරිත්‍ර”වලට පමණක් පුරුදු වී සිටින පිරිසකට සැබෑවට ම භාග්‍යවතුන් වහන්සේට ගෞරව කළ නොහැකි ය. සිරිත් විරිත් වුව ද සීලයක් සේ අවබෝධයෙන් පවත්වන්නේ නම් එය යහපත් ය. එහෙත් වර්තමාන බොහෝ “සිරිත් විරිත්වල” ඇත්තේ ඇලීම් සහ ගැටීම් ය. එනම් තණ්හා මද මාන වඩන මාර්ගයන් ය. මෙසේ සිරිත් ලෙස දන් දෙන්නෝ ද, සිරිත් ලෙස සිල් සමාදන් වෙනවා යැ යි පවසන්නෝ ද, අසවල් පිංකම් කරන්නේ යැ යි පවසන්නෝ ද වෙති.
භාග්‍යවතුන් වහන්සේට හැබෑ ආකාරයෙන් කරන පූජාව නම් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමයි. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බැහැර කරමින් සප්ත බෝධි අංග වැඩෙන මඟ අනුගමනය කිරීම අවශ්‍ය ය. සීල විසුද්ධියේ පටන් සප්ත විසුද්ධි පවත්වමින් උදයව්‍යය ඤාණ, භංග ඤාණ ආදී ලෙසින් නව මහා විදර්ශනා මාර්ගයට අවතීර්ණ වීම කළ යුත්තේ ය. එසේ නොමැති ව, දැඩි මසුරුමලින් ද, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ද, අකෘතඥ බවින් ද, තම වැරදි සඟවා අන් අයගේ නිතොර වැරදි දැක ගනිමින් ද, තමා උසස් කොට හුවා දක්වමින් අන් අය පහත් කොට දක්වමින් ද ආදී ලෙසින් ජීවිත පවත්වන්නෝ හැබෑ ලෙස ධර්මය නො දකින්නෝ ය. තමා තමාට කල්‍යාණවන්තයෙකු විය යුත්තේ ය. ඒ තමා තමා විසින් ම අත්හැරීමෙනි. තමා අත්හැරීම යනු අපිරිසිදු ව සිටීම හෝ තම ශරීරය නීරෝගී ව පවත්වා නො ගැනීම හෝ ලෞකික ඉගෙනීම, වෘත්තිය, ගේදොර පවත්වා නො ගැනීම යැ යි අදහස් නො කෙරේ. සීලයෙහි පිහිටා ඒ සියල්ල ම දැහැමි ව අවශ්‍ය ආකාරයෙන් කළ යුතු වන්නේ ය. එනමුත් මේ ස්කන්ධ පඤ්චකය නම් වූ “මම” අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් බවට සිත පුරුදු කොට, තමා කෙරෙන් හෝ බාහිර ආරම්මණ නිසා හෝ උපාදානයන් සකස් නො විය යුත්තේ ය. සම්මුතියෙහි “මම” පැවැත්වුවත් පරම සත්‍යයෙන් “මම” යැ යි ස්ථිර වූ යමෙකු හෝ යමක් නැති බව භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘත්වයෙහි පවත්වාගෙන ම ධර්ම මානසිකාරය කළ යුතු වන්නේ ය. මෙහි දී “තමා අත්හැරීම” වැටහෙන්නට පටන් ගන්නේ ය. එනම්, අවබෝධයෙන් ම පස්පව් දස අකුසල්වලට සිත, කය, වචනය නතු නො වීමෙනි. සම්මතයෙහි කොපමණ ප්‍රිය යමෙක් හෝ යමක් වුව ද උපාදානය නො කර ගනී. කවර අකැමැති හෝ අශුභ අරමුණක් කෙරේ වුව ද ගැටීමක් ඇති නො වේ. කර්ම සංස්කාර රැස් වීම දුර්වල වෙයි. සතිය, සම්පජඤ්ඤය, වීර්ය, මාර්ග ඵල සමාධි මඟ වැටහිය යුත්තේ ය. ජීවිතයේ වැඩිපුර ම කාලයක් බාහිර පුද පූජාවන් සමග රැඳුණු අයෙකුට හැබෑ ම බුද්ධ පූජාව කුමක් දැ යි ධම්මාරාම ථෙර කථා පුවතින් අවබෝධ කොටගත හැකි වන්නේ ය.
උතුම් වූ චතුසච්ච අවබෝධය පිණිස ම වේ වා!