සක් දෙවිඳු හා බිසෝවරු සිව්දෙනා

cmadurawala
11 Min Read

ගුණපාල කාරියවසම්

මනු ලොව උපත ලබා සිටියදී කරන ලද නොයෙකුත් සමාජ සේවා හා යහපත් කටයුතු නිසා ‘මඝ මානවක’ නම් වූ තැනැත්තා ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස තව්තිසා දිව්‍ය ලෝකයේ පහළ වූ කථා පුවත බෞද්ධ ඔබ අපි කවුරුත් හොඳින් දනී. එකල ඔහු පාරවල් කැනීම්, ඒවා පිරිසිදු කිරීම්, ළිං පොකුණු තැනීම්, ශ්‍රමදාන කටයුතු සිදුකිරීම් වැනි යහපත් දේ කරමින් ප්‍රසිද්ධ සමාජ සේවකයකු ලෙස ප්‍රසිද්ධ වී සිටි අයෙකි. මෙම කටයුතුවලට ඊර්ෂ්‍යා කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන් අද මෙන්ම එදා රාජ්‍ය පාලකයා හෙවත් රජුට ගතු කේලාම් කියා ඔහු මැරවීමට පවා උපක්‍රම යෙදුවේය. නමුත් සත්‍ය ජය ගනිමින් ඒවා ව්‍යර්ථ විය. කෙසේ වෙතත් එදා එම මඝ නමැති තරුණයා සමග කලණ මිතුරන් තිස්දෙදෙනෙක් ද ඔහු සමග එක්වී එම කටයුතුවලට උදව් උපකාර කළ බව ඔබ අසා ඇත.

මඝ මානවක මනුලොව සිටියදී මහමග ගමන් කරන පිරිසගේ විඩාව සංසිඳුවා ගැනීම සඳහා විශ්‍රාම ශාලාවක් හදන්න අදහස් කළා. මේ සඳහා සතරමං හන්දියක් තෝරාගෙන සතර දිශාවෙන් එන අයට සුව පහසුව හා නවාතැන් ලබා දෙන්නයි මේ විශ්‍රාම ශාලාව හදන්න තීරණය කළේ. එහි සැලැස්ම හැදුවෙත් ඔහු විසින්මයි. සතර දිගින් එන අයට ශාලාවට ඇතුළුවීමට දොරටු හතරකුත් හදන්න කල්පනා කළා. මේ සඳහා දක්ෂ නිර්මාණ ශිල්පියෙක් හෙවත් වඩුවෙක් තෝරාගත්තා. හොඳ වැඩවලට උදව් කරන කලණ මිතුරන් තිස්දෙදෙනාත් මේ ක්‍රියාව අනුමත කළා. තම භාර්යාවන් හතරදෙනාටත් මේ ගැන කීවා. සුධර්මා, නන්දා හා චිත්‍රා එය අනුමත කළත් සුජාතා නම් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. එම කටයුතු සඳහා තමන්ටත් හැකි අයුරින් උපකාර කරන බව සුජාතා හැර අනෙක් තිදෙනා ප්‍රකාශ කළා.

ඒ අනුව ‘මඝ’ තරුණයා විශ්‍රාම ශාලාව ඉදිකර අවසන් වූ පසු එහි අලංකාරය තවත් වැඩි කිරීමට ‘සුධර්මා’ බිසව ශාලාව ඉදිරියේ ගල් පර්වතයක් නිර්මාණය කළා. එය හරිම ලස්සනයි. නන්දා බිසවත් ලස්සන පොකුණක් ඉදිකළා.චිත්‍රා බිසවත් නිකම් හිටියේ නැහැ. ඇය ලස්සන උයනක් නිර්මාණය කළා. සුජාතාව ඒ කටයුතු විවේචනය කරමින් මොකුත්ම නොකර කාලය ගතකළා. දැන් මේ විශ්‍රාම ශාලාව හරිම අලංකාරයි. අද කාලයේ හැටියට කියනව නම් ‘පාර්ක්’ එකක් වගෙයි. දකින දකින කවුරුත් ප්‍රශංසා කළා. හැබැයි සුජාතා බිසව ඒවා අගය කළේ නැහැ. ඇය අහංකාර ලෙස මෙහෙම හිතුවා. “මම කිසිවක් නොකළාට මගේ සැමියා කරන හොඳ දේවල්වල කුසල් මටත් ඉබේටම ලැබේවි. සැමියාගේ දේවල් බිරිඳටත් අයිතියිනේ. ඒ අය දිව්‍ය ලෝකේ ගියොත් මටත් ඉබේටම එහි යන්න ඉඩ ලැබේවි. එතකොට අපි දෙගොල්ලම එකයි. එහෙම බැරි වුණොත් මගේ නෑදෑයන් මට උදව් කරාවි.”

කළ හොඳ පස්සෙන් එනවා වගේම නරකත් තමා පසුපස්සෙන් එනවා. මේ මඝ මානවක කථා පුවත ඊට හොඳම සාක්ෂියක්. මනු ලොවදී විශාල සමාජ මෙහෙවරක් කරමින් ළිං, පොකුණු හා විශ්‍රාම ශාලා ඉදිකරමින් ශ්‍රමදාන කටයුතු සිදුකරමින් මහජන සුභසිද්ධිය උදෙසා විශාල මෙහෙවරක් කළ ‘මඝ’ නමැති තරුණයා හෙවත් මානවකයා මරණින් පසු සදෙව් ලොවෙහි දෙවෙනි දිව්‍ය ලෝකය වන ‘තව්තිසා’ දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස පහළ වුණා. මනු ලොවදී ඔහුගේ කලණ මිතුරන් ලෙස කටයුතු කළ මිතුරන් තිස්දෙදෙනාත් එම දිව්‍ය ලෝකයේම පහළ වුණා. ඒ විතරක් නොවෙයි ශක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු මේ දිව්‍ය පුත්‍රයන් තිස්තුන්දෙනාට තවත් දෙවිවරු කෝටියක් බැගින් එම දිව්‍ය ලෝකයේම පහළ වුණා. දැන් තව්තිසා දිව්‍ය ලෝකයේ තිස්තුන් කෝටියක් දෙවිවරු පහළවී සිටිනවා. ඒ විතරක් නොවෙයි මනු ලොවදී මඝ මානවකගේ ඉදිකිරීම් කටයුතුවලදී නිර්මාණ ශිල්පියා හෙවත් වඩුවාත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලෙස පහළ වී සිටිනවා. ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ කටයුතුවලදී මෙම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තම දස්කම්-විස්කම් දැක්වූ ආකාරයේ කථා පුවත් ඔබ ඕන තරම් අසා ඇති.

මඝ මානවක සමයේ ඔහුගේ බිරින්දෑවරු හතර දෙනාගෙන් ‘සුජාතා’ හැර අනෙක් තිදෙනා ඔහුගේ වැඩ අනුමත කරමින් උදව් උපකාර කළ නිසා ඔවුන් තිදෙනාත් තව්තිසා දෙව්ලොවම පහළ වුණා. ඒ විතරක් නොවෙයි ‘සුධර්මා’ කළ යහපත් වැඩ නිසා සුධර්මා ශාලාව පහළ වුණා. ‘නන්දා’ කළ කුසල් බලයෙන් නන්දා පොකුණ පහළ වුණා. චිත්‍රා කළ කුසල් නිසා චිත්‍රා මල් උයන පහළ වුණා. මෙම තිදෙනාම තම දිව්‍ය ලෝකයේම පහළවී සිටින බව දැනගත් සක්දෙව් තෙමේ එම දිව්‍යාංගනාවන් තිදෙනාම ශක්‍ර භවනට කැඳවා ගත්තා.

ඊළඟට ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ තම ගිහි කල බිරිඳව සිටි සුජාතා බිසව සිටිනුයේ කොහේද කියා සොයා බැලුවා. එසේ විපරම් කර බලද්දී දිව්‍ය ලෝක හයේම ඇය පහළවී නැති බව හොඳින්ම වටහාගත්තා. මනුලොව දෙස බැලුවත් එහි ඉපිද නැහැ. තවදුරටත් විමසා බැලීමේදී හිමාලය අවට විල් තෙරක් අසල කණ කෙකණියක ලෙස ඉපිද සිටින බවත් සමහර දිනවල නිරාහාරව සිටින බවත් වටහා ගත්තා.

ඇයගේ කථා පුවත ඉතා අනුවේදනීය කථා පුවතක්. ලිපිය දිග වැඩි වුණත් කෙටියෙන් විමසා බලමු. දිනක් සක්දෙව් තෙමේ කණ කෙකණිය ගැන අනුකම්පා කර ඇය ද තම දිව්‍ය විමාණයට ගෙන්වා ගත යුතු යැයි තීරණය කළේය. මනුෂ්‍ය වේශයක් මවාගෙන කණ කෙකනිය වෙත පැමිණි සක් දෙව් තෙමේ “ඔබ ඔය විල් තෙර අසල මොනවා කරනවා දැ’යි ඇසීය.

“ඔබ කව්ද? කණ කෙකනිය ඇසීය.

“මම මීට පෙර ආත්මයක ඔබේ ස්වාමි පුරුෂයා”

“ඔබ දැන් කොහේද ඉන්නේ?”

“මම දැන් ඉන්නේ දිව්‍ය ලෝකයේ. මම ශක්‍ර දෙවියෝ”

“ඉතින් මොකටද? මාව හම්බවෙන්න ආවේ”

“ඔබත් එක්ක හිටිය අනෙක් භාර්යාවන් තුන් දෙනාම දැන් මා සමග දිව්‍ය සම්පත් විඳිනවා. ඔබ එක්කගෙන ගොස් ඔවුන්ට පෙන්වන්නයි මෙහි ආවේ.”

මෙසේ පැවසූ ශක්‍ර දෙවියන් කෙකනිය

රැගෙන දිව්‍ය ලෝකයට ගෙනගොස් අනෙක් දිව්‍යාංගනාවන්ට පෙන්වීය. තම අතීත සොයුරිය ගැන ඔවුන්ට ඇතිවූයේ ඉමහත් දුකකි. අනුකම්පාවකි. මා කියන ආකාරයට කටයුතු කළහොත් ඔබත් මේ දිව්‍ය ලෝකයට ගෙන්වාගත හැකි බවට සක් දෙවිඳු පැවසූයෙන් ඇයට ඇතිවූයේ ඉමහත් සතුටකි.

“ඉතින් මම මොනවද කරන්න ඕනේ” ඇය ඇසුවාය.

“පන්සිල් රකින්න. ඒවා ආරක්ෂා කරන්න. ඉතුරු ටික මම බලාගන්නම්”

“පන්සිල් රැක්කොත් මට බඩගින්නේ ඉන්න වේවි. මම මොනවද කන්නේ”

“පණ නැති මැරුණු සතුන් අල්ලාගෙන කන්න” ශක්‍රයා ඇයට උපදෙස් දුන්හ. ඉන්පසු ඇය නැවත තමන් සිටි විල් තෙර අසලටම ගෙනවිත් දැමීය.

තම අතීත ස්වාමි පුරුෂයා වන සක් දෙවිඳුගේ නියමය හා ඉල්ලීම පරිදි එදින සිට කණ කෙකනිය මාළුන් අල්ලාගෙන කෑමෙන් වැළකී මියගිය මසුන් පමණක් ආහාරයට ගත්තාය. මෙසේ පන්සිල් රකින තම අතීත බිරිඳගේ ශීලය පරීක්ෂා කිරීමට සක් දෙවිඳු තීරණය කළහ.

දිනක් මාළුවකුගේ වෙස් ගෙන මියගිය මාළුවකු සේ ජලයෙහි පාවෙමින් කෙකනිය ඉදිරියට පැමිණෙත්ම දියෙහි පාවී ආ මැරුණු මාළුවා අල්ලාගෙන කෑමට කණ කෙකනිය සැරසුණි. එවිට මාළුවා දඟලන්ට විය. කෙකනිය තම ශීලය මතක් වී ඌ අතහැර දැමුවාය. මෙසේ ශක්‍රයා අවස්ථා තුනකදීම කෙකනියගේ ශීලය පරීක්ෂා කළහ.

කාලයක් ගතවෙත්ම බඩ කට පුරා ආහාර නොලැබීමෙන් කෙකනිය දුකසේ මියයෑමත් සමගම ආරක්ෂා කළ ශීලයේ ආනිශංස බලයෙන් බරණැස්නුවර කුඹල්කරුවකුගේ නිවසක දියණියක් ලෙස උපත ලැබුවාය. පෙර ආත්මයේ පන්සිල් රැකීමේ පුරුද්ද අනුව ඇය කුඩා කාලයේ සිටම පන්සිල් රකිමින් කාලය ගතකළාය.

මේ අතර සක් දෙවිඳු, මියගිය කණ කෙකනියගේ උපත පරීක්ෂාකර බලනුයේ මිනිස් ආත්මයක් ලැබ ඉතා දුප්පත් නිවසක එහෙත් සිල්වත් තරුණියක් ලෙස උපත ලබා සිටින බව දුටුවේය. ඒ වනවිට ඇය වයස අවුරුදු දහසයක තරුණියකි. ඇයට පිහිටවීමට කල්පනා කළ සක් දෙවිඳු තෙමේ මිනිස් වේශයක් මවාගෙන රත්‍රන් තොගයක් කරත්තයක පුරවාගෙන පෙහෙකාර නිවස කරා ළඟාවනුයේ එම රත්‍රන් අනෙක් අයට කැකිරි ලෙස පෙනීමට අධිෂ්ඨාන කළහ.

“කැකිරි, කැකිරි කවුද ගන්නෙ” යනුවෙන් පවසමින් එන කැකිරි වෙළෙන්දා වෙත පැමිණි පිරිස් තමන් ළඟ තිබෙන වෙනත් ධාන්‍ය වර්ග දී කැකිරි ඉල්ලා සිටියහ. එදා බඩු හුවමාරු කිරීමේ ක්‍රමය යටතේ වෙළෙඳාම පැවතුණි.

“කුරක්කන් දෙන්නම් කැකිරි ගෙඩියක් දෙන්න”

“වී දෙන්නම් කැකිරි ගෙඩියක් දෙන්න”

එහෙත් එම කැකිරි වෙළෙන්දා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් “මේව එහෙම දෙන්නේ නැහැ. සිල් ආරක්ෂා කරන අයට පමණයි දෙන්නේ.” එහෙත් සිල් කියන වචනයේ තේරුමවත් කිසිවෙක් දැන නොසිටියහ.

“අපි නම් ඔය සිල් ගැන දන්නේ නැහැ.”

“මොනවද සිල් කියන්නේ” ආදී වශයෙන් වෙළෙන්දාගෙන් ප්‍රශ්න කළහ. ඒ අතර තවත් අයෙක් කැකිරි වෙළෙන්දා ඉදිරියට පැමිණ “අන්න අර ගෙදර නම් ගැහැනු ළමයෙක් මස් මාංශවත් කන්නේ නැතිව සිල් කියල මොනවද රකිනවලු. එහෙනම් ඒ ගෙදරට ගිහින් බලන්න” යැයි පැවසීය.

කැකිරි වෙළෙන්දකුගේ වෙස් ගත් ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ එම නිවසට ගොස් එම තරුණියගෙන් “ඇත්තද මේ ළමය සිල් රකිනවා කියන්නේ” යැයි ඇසූහ.

“ඔව්” ඇයගේ පිළිතුර විය.

“මොන සීලය ද රකින්නේ”

“පන්සිල්”

“එහෙනම් මේ කැකිරි සේරම ඔය ළමයට. හැබැයි මේව කැකිරි නොවෙයි. කැකිරි වගේ පෙනුනට රත්‍රන්. මේව විකුණල ඔය ළමය හොඳට පින් දහම් කරන්න. තවදුරටත් සිල් රකින්න. මම ශක්‍රයා” යැයි පවසමින් අතුරුදන් වූහ.

එම රත්‍රන් විකුණා එම මුදල් වැයකර දන් දෙමින්, වෙනත් පිංකම් කරමින් එම පෙහෙකාර පවුලේ අය ඉතා හොඳින් කල්ගෙවූ අතර කර්ම ශක්තිය ගෙවී ගොස් එම සිල්වත් තරුණිය එම පින්කම්වල බලයෙන් අසුර භවනේ ප්‍රධාන අසුරයාගේ දියණියක් ලෙස උපත ලැබුවාය. ඇය ඉතා රූමත්ය. ඇයගේ අතගැනීමට බොහෝ අසුර පිරිසක් ඉදිරිපත් වූහ. එහෙත් ඔවුන්ගේ මොනවා හෝ අඩුපාඩුවක් ප්‍රධාන අසුර තෙමේ ඉදිරිපත් කළේය. ටික කලක් ගතවෙත්ම අසුර නායකයා තම දියණියට ස්වයං වරයකට අවස්ථාව ලබාදුන්නේය. එනම් තමන් කැමති ඕනෑම අසුරයකු තම මනාපය පරිදි තෝරා ගැනීමේ අවස්ථාවයි.

තම පැරණි බිරිඳ ගැන නිතර විමසිල්ලෙන් පසුවන ශක්‍ර තෙමේ ඇය ගැන දිවැසින් පරීක්ෂා කර බලනුයේ ඇය අසුර භවනේ රූමතියක් ලෙස සිටින බවත්, ස්වයං වරයක් ලබාදී ඇති බවත් දැනගත්හ. ඊට නියමිත දිනය උදාවිය. ශක්‍රයා ද අසුර වෙස් මවාගෙන අසුර භවනට ළඟා වූහ. අසුර දියණියට තම අතීත භවය ආවර්ජනය වී අසුර වෙස් ගෙන අසුරයන් අතර සිටින සක් දෙවිඳුගේ කරෙහි තම අත තිබූ මල් මාලාව දැමුවාය.

මීට පෙර කිසිදිනෙක දැක නොතිබූ මේ තරුණ අසුරයා කවරෙක්දැ’යි ප්‍රධාන අසුර තෙමේ කලබලයට පත්ව ඒ ගැන විමසිලිමත් වෙත්ම අසුර වෙස් ගත් ශක්‍ර තෙමේ නියම ශක්‍ර වේශය මවාගෙන අසුර දියණිය ද සමග මාතලීගේ දිව්‍ය යානාවට නැඟී පවනට බඳු වේගයෙන් තව්තිසාව වෙත රිය පැදවීය. අසුර නායකයා හා පිරිස එම රථය ලුහුබැඳ ගිය නමුත් උත්සාහය අසාර්ථක විය. තව්තිසාවට කැඳවාගෙන පැමිණි රූමත් අසුර දියණියට මඝ මානවක කාලයේ තිබූ “සුජාතා” යන නාමයම තබන ලදී. දැන් ශක්‍ර භවන පෙරට වඩා සුන්දරය.

මේ කථා පුවතින් අපි හොඳ පාඩමක් ඉගෙනගත යුතුයි. සමහර ගෙවල්වල කාන්තාව පින්දහම් කරන විට ස්වාමි පුරුෂයා ඇතුළු දරුවෝ හිතනවා අම්මා පින් කරන නිසා, බිරිඳ පින් කරන නිසා අපි පින් නොකළාට කමක් නැහැ කියා. ඒ වගේම ස්වාමි පුරුෂයා පින් දහම් කටයුතු කරනකොට භාර්යාව ඇතුළු දරුවො හිතනවා ඒ පිනෙන් තමන්ටත් ප්‍රතිඵල ලැබේවි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. තමන් කරන හොඳ නරක අනුවයි කුසල් අකුසල්වල විපාක ලැබෙන්නේ. තමා වපුරන දෙයම අස්වැන්න වශයෙන් ලැබෙන බව ඒ කියන්නේ මුං වැපුරුවොත් මුං ලැබෙන බවත් තල වැපුරුවොත් තල ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. හැකි සෑම අවස්ථාවකම හොඳ යහපත් වැඩ කළයුතු බව අප මතක තබාගත යුතුයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *