පැවිද්දෙහි සිත් අලවා වෙසෙන භික්ෂූන් වහන්සේලා අපගේ නො මඳ බුහුමනට පාත්‍ර වන සේක. ප්‍රවෘජ්‍යා ලාභය යනු සසර මහ පිනැතියනට ම උරුම වූ ශාන්ත සුවයකි. පිරිසිදු සිල් පුරමින් කසාවත දරනා උතුමකු උපැවිදි වන්නට පෙලඹවීම කිසිවකු විසිනුත් අත නො ගැසිය යුතු මහ අවැඩකි. කෙසේ වුවත්, කුමන හේතුවකින් නමුත් පැවිදි කිසෙහි උකටලී ව උපැවිදි වූ සැලකිය යුතු පිරිසක් අද ගිහි සමාජය තුළ වෙසෙති. මෙම ලිපියෙන් අප ප්‍රශ්න කරන්නේ, එබඳු උපැවිදි වූවන් කෙරෙහි බහුතර ගිහි සමාජය දක්වන ප්‍රතිචාරය කොතරම් අකාරුණික ද යන්නයි. මෙහි ලා නූතන ගිහි සමාජය විසින් පටලවා ගන්නා ලද කරුණු කිහිපයක් නිරවුල් කර දෙන මෙන් අපි රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වර, රාජකීය පණ්ඩිත, මිණිපුර අමාශාන්ති තපෝවනය ප්‍රමුඛ ශාඛා මධ්‍යස්ථානයන්හි විහාරාධිපති පූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ වෙත ගෞරවයෙන් ඇරැයුම් කළෙමු.
පින්වත් ස්වාමීන් වහන්සේ ගෙන් අවසරයි! ස්වාමීන් වහන්ස, සමාජයේ අදහස් උදහස් යොමු වෙලා තියෙන්නෙ මොන දිශාවට ද කියන කාරණය සම්බන්ධයෙන්, එදිනෙදා සිදු වෙන ප්‍රසිද්ධ සිදුවීම්වලට සමාජය විසින් දක්වනු ලබන ප්‍රතිචාර ඇසුරෙන් අපට යම් ඉඟියක් ලබාගන්න පුළුවන්. මෑතක දි අපට අසන්නට ලැබුණු එක් අවාසනාවන්ත සිදුවීමක් තමයි, පැවිදි ව සිටි කාලයේ දී කාගේත් ගෞරවය ලබමින් සිට පසු ව උපැවිදි වී, ජනප්‍රිය ගායිකාවක සිය සහකාරිය කරගත් තරුණ මහත්මයෙක් හදිසි වෙඩි පහරකින් මිය යෑම. මෙහි දී මේ තරුණ මහතාටත් ඔහුගේ සහකාරියටත් අපහාස උපහාස කරමින් පොදුවේ සමාජය දැක්වූ ප්‍රතිචාරය පරිණත යි කියන්න බැහැ ස්වාමීන් වහන්ස. පොදුවේ සමාජයේ දකින්න ලැබෙන මේ කණගාටුදායක තත්ත්වය නිරාකරණය කරගන්නට අප ස්වාමීන් වහන්සේ ගෙන් කාරුණික අනුශාසනයක් පතනවා.
■ පින්වත් ස්වාමීන් වහන්ස, ශාසනික ව සලකද්දි සිවුරු හැර යෑම – නැත්නම් ‘උපැවිදි වීම’ කියන්නෙ මොකක් ද කියල සරල ව පැහැදිලි කර දෙන මෙන් මුලින් ම අයැද සිටිනවා.
පිළිතුර:- පින්වත් මහත්මා, උපැවිදි වීම කියන්නේ මහණකම අත් හැරීමටයි. පැවිදිකම අත් හැරීමටයි. ඒ කියන්නේ පැවිදි වී සිටි කෙනා සිවුරු හැර යෑමටයි.
■ පින්වත් ස්වාමීන් වහන්ස, උපැවිදි වීමෙන් යම් පාඩුවක් වෙනවා නම් විය හැක්කේ පෞද්ගලික ව ඒ උපැවිදි වෙන භික්ෂූන් වහන්සේට ද? නැත්නම් ශාසනයට හෝ සමාජයට ද?
පිළිතුර:- බුදු දහම හැම අතින් ම අංග සම්පූර්ණ දහමක්. එයට කුඩා අනුකුඩා විදිහට හෝ සම්බන්ධ වන කිසි ම කෙනෙකුට අබමල් රේණුවක් තරම් වත් අවැඩක්, පාඩුවක් වෙන්න බුදු දහමෙන් ඉඩ දෙන්නේ නැහැ.
හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වන විදිහ යි බුදුදහමෙන් උගන්වන්නේ. හැමෝගේ ම හැම දේ ම ගැන පරීක්ෂා කරලයි බුදු රජාණන් වහන්සේ සියල්ල ම විනය ලෙස පැනවීම් හෝ ධර්මය ලෙස දේශනා කිරීම් හෝ කරලා තිබෙන්නේ. උපැවිදි වීමට බලපාන හේතු බොහෝමයක් තිබෙනවා. නිවන් දැකීමේ අදහසත් ඇති ව, තවදුරටත් පැවිදි බව රැක ගැනීමට ඇති නොහැකියාවත් නිසා, උපැවිදි වීමෙන් කිසි ම කෙනෙක්ට පාඩුවක් හෝ අලාභයක් වන්නේ නැහැ. ඊට පහළින් සිවුවනක් පිරිසේ ස්ථානගත විය හැකියි. පාඩුවක් අලාභයක් වන්නේ දුස්සීල ව නො මනා ලෙස කටයුතු කළ විටයි. විනයානුකූල ව සිවුරු හැර යෑම පෝය දිනට සිල් පවාරණය කරනවා වගේ වැඩක්. විනයානුකූල ව කටයුතු කරන්න තවදුරටත් තමන්ට බැරි නම් උපැවිදි වෙන්න යි ඕන. ශාසනය තුළ සිටිමින් එහි දී නො කළ යුතු දේවල් කිරීම බරපතළ අකුසල විපාක ලබා දෙනවා. විනයානුකූල ව සිවුරු හැර යෑමෙන් ගිහි පැවිදි දෙගොල්ලටමත්, ශාසනයටත්, සමාජයටත් ලාභයක් මයි වෙන්නේ. කිසිවෙකුට කිසි ම අවැඩක් වෙන්නේ නැහැ. වැඩක් යහපතක් මයි වෙන්නේ.
ශාසනයට බැසගත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අසා ඒ අනුව ජීවත් වන ශ්‍රාවක පිරිස සතර ගොල්ලක් සිටිනවා. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසයි. දෙවි මිනිසුන් උපාසක භාවයෙන් හෝ පැවිදි වීමෙන් ශාසනයට බැස ගන්නවා. ඒ ශාසනයට බැස ගන්නා තැනැත්තාට මාර්ගය වෙන්නේ තුනුරුවන් සරණ යෑමයි.
“බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” ලෙස මම සසර දුකින් එතෙර වීම පිණිස බුද්ධ රත්නය පිහිට කරගනිමි. ධර්ම රත්නය පිහිට කර ගනිමි. සංඝ රත්නය පිහිට කර ගනිමි. කියා තුනුරුවන් සරණ යෑමෙන් ශාසනයට බැසගන්නවා. මේ ශාසනයට බැස ගැනීම ආරම්භ වුණේ පස්වග භික්ෂූන් සහ යස කුල පුත්‍රයා ඇතුළු පළමු භික්ෂූන් වහන්සේලා හැට (60) නමගේ ධර්ම දූත මෙහෙවර ආරම්භ වීමත් සමඟමයි. ඒ බව ඛුද්දක නිකායේ අටුවාවේ සඳහන් වන්නේ මෙහෙමයි.
“යස්මා ඉමිනා මග්ගෙන දෙවමනුස්සා උපාසකභාවෙන වා පබ්බජිතභාවෙන වා සාසනං ඔතරන්ති.”
යම් හෙයකින් මේ සරණාගමන මාර්ගයෙන් දෙවි මිනිස්සු උපාසක භාවයෙන් හෝ පැවිදි භාවයෙන් හෝ ශාසනයට බැස ගනිත් ද එහෙයින් ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්ගය තුනුරුවන් සරණ යෑමයි.
තුනුරුවන් සරණ යන්නේ සසර දුකින් එතෙර වීම පිණිසයි. යම් හෙයකින් උපාසක උපාසිකාවන් වූ අය වෙනත් දහමක් සරණ ගිය හොත් උපාසක කම නැති වනවා. නමුත් භික්ෂුවක් සිවුරු හැර යෑම උපාසකකම නැති වීමක් නො වේ. ඔහු තුනුරුවන් අත හැරිය හොත් උපාසකකම නැති වනවා. එහෙත් තුනුරුවන් සරණ ගොස් සිටි කාලයේ දී රැස් කර ගත් මහා කුසල් අනාගත කාලයේ දී යහපත් විපාක පිණිස පවතිනවා.
උපාසක උපාසිකාවන් ලෙස සිටින විට හෝ භික්ෂු භික්ෂුණීන් ලෙස සිටින විට ජීවත් විය යුතු ක්‍රමයක් තිබෙනවා. ගිහි පැවිදි දෙගොල්ලට ම ජීවත් වීමට තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
■ පින්වත් ස්වාමීන් වහන්ස, උපැවිදි වීම පවක් විදියට දහමෙහි දක්වා තියෙනවා ද? ඒ වගේ ම, උපැවිදි වීමෙන් මඟපල ලබන්න යම් බාධාවක් වෙනවා ද?
පිළිතුර:- කිසිසේත් ම උපැවිදි වීම පවක් නෙමෙයි. පවක් වන්නේ පැවිදි ව දුස්සීල ව නො මනා කටයුතු කරනවා නම් තමයි. ධර්මයෙහි සඳහන් වන්නේ තවදුරටත් සිල්වත් ව විනය අනුව කටයුතු කළ නොහැකි උපසම්පදා භික්ෂුව සාමණේර හෝ ගිහි බවට පත් විය යුතු බවයි. දුස්සීල ව සිටින්නේ නැතුව එය කළ යුතු ම දෙයක්. සාමණේර හිමි නමක් ලෙසත් කටයුතු කළ නොහැකි නම් සිවුරු හැර යා යුතුයි. නැවත තමන් ශක්තිමත් වූ පසුව පැවිදි විය හැකියි. නැවත දුර්වල වුව හොත් උපැවිදි විය හැකියි. පැවිදි විය හැකි වාර ගණනක් හෝ උපැවිදි විය හැකි වාර ගණනක් නැහැ. අනිවාර්යයෙන් ම පැවිදි ව සිටිනා කාලයේ දී සිල්වත් ව මහණදම් පිරිය යුතුමයි. නමුත් ශාසනයේ ස්ථවිර භික්ෂූන් සහ ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ අවසාන වරට පැවිදි වී සිටිමින් සිටින කාලය අනුවයි. වස් ගණන් ගන්නා විට කලින් පැවිදි ව සිවුරු හැර යෑම ගණන් ගන්නේ නැහැ.
මඟඵල ලබන්නට ගිහි පැවිදි කියා වෙනසක් නැහැ. දෙගොල්ලන්ට ම මඟඵල ලැබිය හැකියි. බලෙන් පන්සිල් හෝ අටසිල් දසසිල් ආදිය රැක්කවිය නොහැකියි. සාමණේර සීලය ද උපසම්පදා සීලය ද බලෙන් රැක්කවිය නොහැකියි. තම තමන් කරගන්නා කුසල් අකුසල් තම තමන්ටයි. උසස් කුසල් කර ගන්නට ශාසනයට පැමිණ තවදුරටත් අකුසල් කර නො ගෙන කර ගත් කුසල්වල විපාකය ද ලබමින් ගිහි විය හැකියි.
පැවිදි වීම කියන්නේ වරදකට දෙන දඬුවමක් නෙමෙයි නේ. සිල්වත් ව ගුණවත් ව සසරින් එතෙර වීමේ කැමැත්තෙනුයි පැවිද්දට ඇතුළු වෙන්නේ. මේ ලෝකයේ ඇති උතුම් ම උසස් ම සැපය පැවිදි සැපයයි. එහි කෙළවර වන්නේ නිවන් සැපයයි. ගිහි පැවිදි දෙගොල්ල ම තුනුරුවන් සරණ යන්නේ නිවන් සුව ලබන්න්න නේ. ඒ වෙනුවෙන් අෂ්ටාර්ය පුද්ගල උතුමන්ට ම වෙන් කර ඇති, ඒ උතුමන් ම වැඩි වශයෙන් පහළ වන පැවිදි සැපය, සකස් කර තිබෙන්නේ විනයානුකූල ක්‍රමයකටයි. ටික වේලාවක් හෝ ඒ උතුම් සැපය ලැබුවත් කාට වත් අවැඩක් නම් වන්නේ නැහැ.
පැවිදි ව සිටි කාලයේ දී පැවිදි ව සිටි අයටත්, ඔහු නිසා කුසල් සිත් ඇති කරගත් ගිහි අයටත්, ලැබෙන්නේ කුසල විපාක මයි. හැබැයි හුඟක් අය සත්‍යය නො දන්නා නිසා උපැවිදි වීම විවේචනය කරලා අද කාලේ නම් පවු මයි කරගන්නේ. කර්මයකට විපාක ලැබෙන ක්‍රමයක් තිබෙනවා. බොහෝ දෙනා ඒක දන්නේ නැහැ. සිත්වල හැටියට ම විපාක ලැබෙන අනුපිළිවෙළක් තියෙනවා. කර්මයේ බරපතළකම අනුව ඒ විපාක දෙන විදිහත් වෙනස් වෙනවා. සිවුරු හැර යෑම අකුසල කර්මයක් නෙමෙයි. ඉතා ම නිවැරදි ක්‍රමයට සිවුවනක් පිරිසේ පහළ තැනක ස්ථානගත වීමක් ලෙස නම් එය වුණේ ඒකත් කුසල කර්මයක් වෙනවා. චේතනාව අනුව තීරණයට ආ යුතුයි.
මේ සියලු ම ප්‍රශ්නවලට හේතුව වර්තමානයේ දී අති බහුතරයක් ධර්ම විනය නො දන්නාකමයි.
■ පින්වත් ස්වාමීන් වහන්ස, භික්ෂු වේශයෙන් නමුත් අලජ්ජි ව සිටිමින් මහසඟරුවනට අයත් සිවුපසය පරිභෝජනය කිරීම අපාගත වන පාපයක් බව අප අසා තියෙනවා. මෙය පැහැදිලි කර දෙන මෙන් අයැද සිටිනවා.
පිළිතුර:- ඔවු අනිවාර්යයෙන් ම. අලජ්ජී භික්ෂුවක් ලෙස කටයුතු කිරීම අතිශයින් ම භයානකයි. ඒ අකුසල විපාකය ඉතා ම දරුණු ප්‍රතිඵල ලබා දෙනවා. උපැවිදි වීමට පවා අවස්ථා ඕනෑ තරම් දී තිබිය දී අෂ්ටාර්ය පුද්ගල උතුමන්ට ම වෙන් කර තිබෙන ප්‍රවෘජ්‍යා භූමිය තුළ සිටිමින්, එය කිළිටි කරමින්, තමන්ට අයිති නැති මහා සංඝරත්නයට අයිති සිවුපසය පරිභෝජනය කිරීම ඒකාන්තයෙන් ම දරුණු දුක් සහිත ව අපාගත කරවනවා.
පවට ලැජ්ජාව පවට භය දේව ධර්ම දෙකක්. එය නොමැති ව ශාසනය තුළ රැඳී සිටීමෙන් ලැබෙන්නේ ඉතා ම නරක ප්‍රතිඵලයි. දුස්සීල ව භික්ෂු වේශයෙන් තවදුරටත් රැඳී සිටීමේ භයානක පැත්ත ගැන ‘අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ’ සඳහන් වෙනවා. එහි කරුණු රාශියක් කියවෙනවා එයින් එකක් කියන්නම්.
“පින්වත් මහණෙනි, ඔබලාට කරුණක් කියමි. දුස්සීල වූ, පාප ධර්ම ඇති, කැතකුණුවලින් පිරි කසළ ගොඩක් හා සමාන වූ, සැඟවී වැරදි වැඩ කරන, ශ්‍රමණ ය යි අඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී ය යි අඟවන බ්‍රහ්මචාරී නො වූ, ඇතුළත කුණු වූ, වැගිරෙන, කසළ හටගත්, ඒ දුස්සීල භික්ෂුව මේ ගිනිකඳ වැළඳගැනීම මැනවි. එයට හේතු කවරේ ද? ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේ ය. ඒ හේතුවෙන් ශරීරය බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොර වූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේ ය.”
දුස්සීලකමේ භයානකකම ගැන භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍රයේ දී තවත් විස්තර කරනවා. අවශ්‍ය අය එය කියවිය යුතු මයි.
■ පින්වත් ස්වාමීන් වහන්ස, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල තාවකාලික පැවිද්ද ප්‍රචලිත බව අප අසා තියෙනවා. කෙනකු කලක් පැවිදි වී සිටීම ඒ රටවල හැටියට විශේෂ ගෞරවනීය තත්ත්වයක් බවත් අසා තියෙනවා. ඔවුන් උපැවිදි වූ කෙනෙකු දෙස බලන්නේ, ‘කලක් පැවිද්දේ සිටිමින් ගුණදම් පිරූ අයෙක්’ යනුවෙන් ඔහුගේ අතීත වටිනාකම මුල් කරගත් ගෞරවනීය හැඟීමකින්. ඒත් අපේ රටේ බොහෝ දෙනා උපැවිදි කෙනෙක් දෙස බලන්නේ, උපැවිදි වෙන්න බලපෑ තාවකාලික මානසික පසුබෑම මුල් කරගෙන අවඥාසහගත හැඟීමකින්. මේ කරුණ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ගෙන් කාරුණික උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
පිළිතුර:- මහත්මා ඇත්තෙන් ම උපැවිදි වූ කෙනෙක් ගැන මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල ලොකු
පිළිගැනීමක් තියෙනවා. සිවුරු හැර විත් තමන් අතර සිටින්නේ ගුණධර්ම ගැන ඉතා ම හොඳින් දන්නා පවට ලැජ්ජා භය ඇති ඇසුරු කළ යුතු ම කල්‍යාණ මිත්‍රයෙක් නේ. ඇත්ත ම කථාව ඒක නේ. ධර්ම විනය දන්නා හොඳින් හික්මී සිටින ඔහු ගෙන් තමන්ටත් සමාජයටත් වන්නේ ලොකු යහපතක් නිසා හැමෝ ම කැමතියි උපැවිදි වූ අයව ඇසුරු කරන්න. තමන්ගේ පවුලට එකතු කර ගන්න.
අතීතයේ ලංකාවේ තත්ත්වය හරියට වර්තමානයේ තායිලන්තයේ බුරුමයේ තත්ත්වය වගේ. නමුත් වත්මන් ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්. ඇත්තෙන් ම ඉතිහාසය දිහා බලනකොට කෘත්‍රිම ව ලංකාවේ ජනතාවගේ මානසික තත්ත්වය වෙනස් කර තිබෙනවා.
දුටුගැමුණු රජතුමාගේ යෝධයන් අතරත් සිටි ථේරපුත්තාභය යෝධයාගේ සිට අතීතයේ දී සිවුරු හැර උපැවිදි වූ අයට විශාල පිළිගැනීමක් තිබුණා. සීගිරි කාශ්‍යප රජුගේ පියා වන විශාල වැව් 18ක් කළ ධාතුසේන රජු ද, කුඩා කල පැවිදි වී සිට පසුව සිවුරු හැර රට එක්සේසත් කර රජ වූ රජ කෙනෙක්.
නමුත් ඉතිහාසය දෙස බලද්දි පැවිදි වී නැවත උපැවිදි වී ශාසනයට බොහෝ හිතැති ව එහි උන්නතියට කටයුතු කරමින් ආ මේ අපූරු සම්බන්ධය වෙනස් වන්නට පටන් ගෙන ඇත්තේ ගණින්නාසේලාගේ යුගයේ සිටයි. එසේම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් ගෙන් ලංකාව බේරාගන්නට ගත් ජාතික සටන්වල බොහෝ විට ඉදිරියෙන් ම සංඝරත්නය සිටියා. උපැවිදි වී එම සටන්වලට නායකත්වය දුන් ජාතික වීරවරයන් ද සිටිනවා. ඔවුන්ව හෙලා දකිමින් අපකීර්තියට පත් කරන්නට එකල ආණ්ඩුකාරවරයන් සහ ඇතැම් නායකයන් කටයුතු කරන්නට වුණා. ගණින්නාන්සේලා පහළ වීමට බලපෑ හේතුවල සිට වර්තමාන දේශපාලන රජ පුටු දක්වා ආ දිගු ගමන් මඟක ඇති වූ සමාජ මතවාදයන් නිසා උපැවිදි වීම අවඥාවට ලක් කරන ආකාරයක් පෙනෙනවා. මෙය ඉතිහාසය පිරික්සීමෙන් දත යුතුයි.
පැවිදි ව සිටිනා කාලයේ දී වැළඳූ දානය උපැවිදි වූ අය අවඥාවට ලක් කිරීමේ ප්‍රධාන කාරණාවක් වී තිබෙනවා. දානය දීමේ කර්ම විපාක ගැන සමාජයට ඇති අනවබෝධය සහ උපැවිදි වන්නන්ට සමාජයෙන් ඇති වන ගෞරවය නැති කරවීමේ අවශ්‍යතාවයන් නිසා මෙම පරිවර්තනය සිදු වී තිබෙනවා. එයට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ ධර්ම විනය නො දන්නාකමයි.
සිවුරු හරින භික්ෂූන් වහන්සේලාට හොරෙන් භාවිත කරන නමක් ද තිබෙනවා. ඒ හීරළුවා යන්නයි. හීරළුවා කියන්නේ ‘සිවුරු හළුවා’ යන්න භාවිතයේ පහසුවට හීරළුවා විදිහට සකස් වුණ වචනයක්. අද එය උපැවිදි වූ අයට අපහාසාත්මකව කථා කරන්නට සමාජය භාවිත කරනවා.
■ පින්වත් ස්වාමීන් වහන්ස, යම් භික්ෂූන් වහන්සේ නමකට සිවුපසයෙන් සංග්‍රහ කළ සැදැහැවතුන් එයින් රැස් කරගත් මහත් වූ පින, යම් දිනෙක උන්වහන්සේ උපැවිදි වුණොත් අහෝසි වී යනවා ද? නැත්නම් පිනෙහි අඩු වීමක් වෙනවා ද?
පිළිතුර:- කිසිසේත් ම නැහැ. තමන්ට කර්මය සිදු වන්නේ අදාළ දේ කරන විට, කියන විට හෝ සිතන විටයි. ඒ ගැනත් සමාජයේ බහුතරයකට නිරවුල් අවබෝධයක් නැහැ. පළමුවෙන් ම ආත්මයක්, මම, සත්ත්වයෙක් කියා දෙයක් නැති බවත්, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍යය කියා කියන්නේ පඤ්චස්කන්ධය බවත් දැන ගත යුතුයි. එහි සංඛාරස්ඛන්ධයේ චේතනාව කියන ධර්මයට අවධානය යොමු කර ජවන් කර්ම සිත් හතේ හැටියට විපාක ලැබෙන විදිහ දැන ගත යුතුයි. එවිට එන පිළිතුර වන්නේ ඒ ඒ ඇති වන සිත්වල හැටියට විපාක ලැබෙන බවයි.
ඒ කියන්නේ සැදැහැතියන් සංඝරත්නයට සිවුපසයෙන් ඇප උපස්ථාන කරන විට කැප අකැප දේ දැනගෙන කටයුතු කළ යුතුයි. යාවකාලික, යාමකාලික, සත්තාහකාලික, යාවජීවක ආදී කාලික විභාගය දැනගෙන කටයුතු කළ යුතුයි. ඒ කැප ආකාරයට කටයුතු කළ දායක පින්වතුනට තම තමන් කරගත් කුසල්වලට අදාළ විපාක ලැබෙනවා. අදාළ අය උපැවිදි වූවා නම් ඒ අය ඇසුරු කරගෙන කටයුතු කළ හොත් සිල්වත් ගිහියන්ට කළ දානාදියේ විපාක ද ලබාගත හැකියි.
“අහං අවේරෝ හෝමි, අබ්‍යාපජ්ජෝ හෝමී, අනීඝෝ හෝමි, සුඛී අත්තානං පරිහරාමි.” ලෙස මෛත්‍රී කරන අය නාමරූප ධර්ම ගැන ද දැනගෙන කටයුතු කළ යුතුයි. වර්තමාන බොහෝ බෞද්ධයන් නාමික අය වන නිසා නුවණින් කරුණු විමසා බලන්නට දන්නේ නැහැ. ඒ නිසා බොහෝ අය පවු කර ගන්නවා.
■ පින්වත් ස්වාමීන් වහන්ස, භික්ෂූන් වහන්සේ නමකගේ උපැවිදි වීමක් මුල් කරගෙන අපහාස උපහාස කිරීමේ දී, උන්වහන්සේ පැවිදි ව පිරූ ගුණදම් පවා එල්ල වන ලෙස නිගරුවක් වීමෙන් මහත් වූ අකුසලයක් සිදු වෙන්නට ඉඩක් තියෙනවා නේ ද?
පිළිතුර:- අනිවාර්යයෙන් ම පවු කර ගන්නවා. උපැවිදි වන්නට හේතු බොහෝමයක් තිබිය හැකියි. වර්තමානයේ දී පැවිදි වීම කියන්නේ ඉතා ම අවදානම් සහගත දෙයක්. විහාරස්ථාන අලුතින් ආරම්භ කරන්නට ඉඩ නො දෙන නිසා දැනට සිටින විහාරථානයෙන් ඉවත් විය යුතු සාධාරණ කාරණාවක් (සිටින විහාරස්ථානයේ නායක හිමිවරුන් පාරාජිකා වීම වැනි) ඇති විට යෑමට හෝ කරන්නට දෙයක් නැති ව අසරණ වනවා. නායක ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් පසුව නායකත්ව ගැටලු සහ වෙනස්කම් නිසා උපැවිදි වීමට සිදු වනවා. මවුපියන්
බලාගැනීමට නොහැකි වීම නිසා උපැවිදි වීමට සිදු වනවා. නිසි පැවිදි අධ්‍යාපනයක් නො ලැබෙන තැන්වල පැවිදි වුව හොත් අසරණ වනවා. ශාසනාරක්ෂක සභාවල විරෝධය, භාවනාදී කටයුතුවලට ම වෙන් වූ නිසා කුලුපග දායකයන් හදා ගන්නට නොහැකි වූ නිසා හුදෙකලා වී පීඩාවට පත් වීම් සහ විනය පොත්වල සඳහන් වන ආකාරයට උපැවිදි වීමට බලපාන තවත් බොහෝ හේතු ඇති විය හැකියි. එසේම දායක සභා, සමිති සමාගම් ගැටලු, විහාරස්ථාන-විහාරස්ථාන සමග ඇති ගැටලු, දේශපාලන කුමන්ත්‍රණ සහ තවත් නානාප්‍රකාර හේතු නිසා උපැවිදි වීමට සිදු විය හැකියි.
ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේඅතීතයේ අමරපුර නිකායේ මහානායක ස්වාමින් වහන්සේ නමක් ශිෂ්‍යයන් දහසකට වඩා උපසම්පදා කරන්නට වුණා. ඉංග්‍රීසි ආණ්ඩුවේ උපක්‍රමික සැලැස්මක් නිසා ඒ මහානායක හිමියන් සිවුරු හැර රජයේ මුදලි තනතුරක් ලබා ගත්තා. නමුත් උන්වහන්සේ අතින් උපසම්පදා වූ ස්වාමින් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයට උපසම්පදාව අහිමි වූයේ නැහැ. එයට හේතුව ඒ සියලු ම උපසම්පදාවල් අදාළ මහනායක ස්වාමින් වහන්සේ සිල්වත් ව මහණ දම් පුරූ කාලයේ දී සිදු කළ ඒවා නිසා.
පසු කාලයේ දී උපැවිදි වූවත් වලංගු වන්නේ පැවිදි ව සිටි කාලයේ දී සිල්වත් ව මහණ දම් පිරීමයි. එම කාලයේ දී උන්වහන්සේ ඇසුරින් සංඝරත්නය අරමුණු කරගෙන කුමන හේතුවක් නිසා උපැවිදි වූවත් දායක පින්වතුන් කලින් කර ගත් පින් අහෝසි වන්නේ හෝ නැති වන්නේ නැහැ.
ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ අතීතයේ අමරපුර නිකායේ මහානායක ස්වාමින් වහන්සේ නමක් ශිෂ්‍යයන් දහසකට වඩා උපසම්පදා කරන්නට වුණා. ඉංග්‍රීසි ආණ්ඩුවේ උපක්‍රමික සැලැස්මක් නිසා ඒ මහානායක හිමියන් සිවුරු හැර රජයේ මුදලි තනතුරක් ලබා ගත්තා. නමුත් උන්වහන්සේ අතින් උපසම්පදා වූ ස්වාමින් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයට උපසම්පදාව අහිමි වූයේ නැහැ. එයට හේතුව ඒ සියලු ම උපසම්පදාවල් අදාළ මහනායක ස්වාමින් වහන්සේ සිල්වත් ව මහණ දම් පුරූ කාලයේ දී සිදු කළ ඒවා නිසා.
පසු කාලයේ දී උපැවිදි වූවත් වලංගු වන්නේ පැවිදි ව සිටි කාලයේ දී සිල්වත් ව මහණ දම් පිරීමයි. එම කාලයේ දී උන්වහන්සේ ඇසුරින් සංඝරත්නය අරමුණු කරගෙන කර ගත් පින්කම්වල විපාක අහිමි වන්නේ නැහැ. උපැවිදි වූ පසුව නින්දා අපහාස කර ගනිමින් රැස් කර ගන්නා පවු ද අදාළ අයට අනාගතයේ දී විපාක ලබා දෙනවා.
■ පින්වත් ස්වාමීන් වහන්ස, උපැවිදි වූ පින්වතුන් ගිහි සමාජයේ ගැවසීමෙන් ගිහියන්ට ධර්මය වඩාත් සමීප වේ වි කියා අපට අනුමාන කරන්න පුළුවන් ද?
පිළිතුර:- ඇත්තෙන් ම උපැවිදි වූ අය ගිහි සමාජයේ සිටීමෙන් ගිහි පින්වතුන්ට කල්‍යාණ මිත්‍රත්වය ලැබෙනවා. තමන් වාසය කරන පිරිස අතරේ ධර්ම විනය දන්නා පිරිසක් සිටීම මොන තරම් භාග්‍යයක් ද? මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ එම කරුණ ද දන්නා නිසා එයට ද ඉඩ තබා තිබෙනවා. මෑත කාලයේ දී සිවුරු හැර ගිහි වූ ප්‍රසිද්ධ චරිත කිහිපයක් ගන්න. ඔවුන් ගෙන් සමාජයට මොන තරම් යහපතක් වුණා ද? උදාහරණ කිහිපයක් කියන්නම්.
- විමල් ජී බලගල්ලේ (බලගල්ලේ විමලබුද්ධි හිමි)
කලක් පැවිදි ව සිටි මෙතුමා අපේ රටේ ජීවත් වන ජ්‍යෙෂ්ඨතම සිංහල භාෂාවේදියා වනවා.
- සුචරිත ගම්ලත්
මෑත කාලයේ ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටතම සිංහල පාලි සංස්කෘත ආදි භාෂා ගණනාවක් දැන සිටි විශාරද පඬිවරයෙක් වන්නේ මෙතුමායි.
- දොන් අන්දිරිස් ද සිල්වා පඬිතුමා (බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමා)
අපේ ජාතික වීරවරයෙකු වන මෙතුමාගේ ශිෂ්‍ය රත්නයක් වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේයි.
- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
මෙතුමා අපේ රටේ සිටි විශිෂ්ට ගීත රචකයෙක්.
- මංජු ශ්‍රී (ඥානේන්ද්‍ර හිමි)
ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය චිත්‍ර ශිල්පියෙක්.
- සාගර පලන්සූරිය (කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි)
සුදෝ සුදු කවි පොත පවා ලියූ කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවියෙක්.
- රවී ජයවර්ධන
ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එක ම පුත්‍රයා.
මේ ප්‍රසිද්ධ චරිත කිහිපයක් පමණයි. මේ සියලු ම දෙනා ගෙන් මේ රටට මොන තරම් විශිෂ්ට සේවයක් වෙලා තියෙනවා ද කියලා මේ අය ගැන දන්නෝ දන්නවා. බෞද්ධ පින්වතුන් ධර්ම විනය නො දන්නා නිසා බුදු දහමටත් තම ජාතියටත් විශාල හානියක් කරගනිමින් සිටිනවා.
එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස. අප කෙරෙහි කරුණාවෙන් මේ කරුණු නිරාකරණය කර දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට නමස්කාරපූර්වක කෘතඥතාව දක්වනවා.