ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
ගිහි බව ආර්ය ශ්‍රාවකයකු වීමට බාධාවක් නො වේ. එසේ ම අප මෙතෙක් දිවිය ගත කළ ආකාරය ද ඒ සඳහා බාධාවක් නො වේ. ඇතැම් විට එක් සිදුවීමක් එතෙක් යටපත් ව තිබූ අප කළ කුසල ධර්මවල පල අපට මතු කර දීමට හේතුවක් ද විය හැකි ය. හත්‍ථිගාම උග්ගත සිටුතුමාගේ පුවත එවැනි තත්ත්වයකට පවතින හැකියාව අපට මතක් කර දෙයි. අප මහා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි වැදැරට හස්තිගාමයෙහි සිටුවරයාගේ පුත්‍රයා ලෙස උපත ලද මෙතුමාට උග්ගත යන නම ලබාදෙන ලදි. පසුව උග්ග යන නමින් ද හඳුන්වනු ලැබූ මෙතුමා සිය පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත් කරන ලදි. උග්ගත සිටුවරයා නාගවන උයනට පැමිණ උයන් කෙලියෙහි යෙදීමට පුරුදු ව සිටියේ ය. මෙසේ එක් කලෙක හෙතෙම නාගවන උයනට පැමිණ, නාටක ස්ත්‍රීන් පිරිවරාගෙන, සත් දිනක් මත්පැන් පානය කරමින් කල් ගත කරමින් සිටියේ ය. මෙසමයෙහි ම බුදුරජාණන්වහන්සේ ද භික්ෂු සංඝයා පිරිවරාගෙන හස්තිග්‍රාමයට පැමිණ, නාගවන උයනට වැඩ එහි විසූ සේක. දින හතක් පුරාවට මත්පැන් පානය කරමින් සුරා මතින් සිටි උග්ගත සිටුවරයා නාග වන උයනෙහි සිටි බුදුරජාණන්වහන්සේ දැක බලවත් බයට හා ලැජ්ජාවට පත් විය. බුදුරජාණන්වහන්සේට ළං වෙත් ම ඔහුගේ මත් බව හිඳී ගොස් පියවි තත්ත්වයට පත් විය. අනතුරු ව බුදුරජාණන්වහන්සේ වැඳ එකත්පසෙක සිටි සිටුවරයාට බුදුරජාණන්වහන්සේ දහම් දෙසූ සේක. එම දහම් දෙසුම අතරතුර අනාගාමි පලයට පත් වූ සිටුවරයා තමා සමඟ සිටි නාටක ස්ත්‍රීනට තමා කැමැති තැනකට යන ලෙස පවසා පිටත් කර හැරියේ ය (මනොරථපූරණි, උග්ගගහපති වස්ථුව හා උග්ගගහපති සූත්‍ර වර්ණනාව).
එතැන් පටන් ගෘහස්ථ බ්‍රහ්මචාරී දිවියක් ගත කළ මෙතුමා භික්ෂු සංඝයාට උපස්ථාන කිරීමෙහි ඇලී වාසය කළේ ය. හස්තිග්‍රාමයෙහි උග්ගත සිටුතුමා කරුණු දෙකක් නිසා අපට වැදගත් වේ. පළමු කරුණ වන්නේ ගෞතම බුදු සසුනෙහි සංඝයාට උපස්ථාන කරන්නවුන් අතරින් අග්‍ර තනතුර මෙතුමන් විසින් දරනු ලැබීම ය. එම තනතුර උග්ගත සිටුතුමාට හිමි වන්නේ, මෙතුමන් විසින් පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනයක් අනුව ය. පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කුලගෙයක මෙතුමා උපත ලැබී ය. එම බුදුරජාණන්වහන්සේ ගෙන් දහම් අසන අසමින් සිටින අතරතුර දී, පියුමතුරා බුදුරජාණන්වහන්සේ විසින් සිය සසුනෙහි සංඝයාට උපස්ථාන කරන්නවුන් අතරින් අග්‍ර තනතුර උපාසකයකුට පිරිනමනු දැක, එයට පැහැදුණ මෙතුමා, පින් දහම් කර එම තනතුර ප්‍රාර්ථනා කළේ ය. අනතුරු ව කල්ප ලක්ෂයක් එම තනතුර අපේකෂාවෙන් කුසල් රැස් කර, අප බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි භික්ෂු සංඝයාට උපස්ථාන කරමින් එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තේ ය (මනොරථපූරණි, උග්ග ගහපති වත්‍ථු).
බුදුරජාණන්වහන්සේ විසින් පැසසීමට ලක් කරන ලද ගුණාංග අටක් මෙතුමන් සතු ව පැවතීම උග්ග ගහපතියන් අපට වැදගත් වන දෙවන කාරණයයි. බුදුරජාණන්වහන්සේ හස්ති ග්‍රාමයට වැඩි අවස්ථාවක භික්ෂු සංඝයා අමතා හස්ති ග්‍රාමවාසී උග්ග ගහපති සතු ව ආශ්චර්ය අද්භූත ධර්මයන් අටක් පවතින බව ධාරණය කරගන්නා ලෙස ප්‍රකාශ කර විහාරයට වැඩිසේක. එම ආශ්චර්ය අද්භූත ගුණාංග අට දැනගැනීමෙහි අදහසින් එක් භික්ෂුවක් උග්ග ගහපතිගේ නිවසට ගොස්, ඒ පිළිබඳව ගහපති ගෙන් විමසා සිටියේ ය. එවිට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ ආශ්චර්ය අද්භූත ධර්මයන් අට තමන් නො දන්නා බවත්, නමුත් තමන් සතු බව දන්නා ආශ්චර්ය අද්භූත ධර්මයන් අටක් පවතින බවත්, එය ධාරණය කරගන්නා ලෙසත්, පවසන ගහපතියෝ පහත දැක්වෙන ආශ්චර්ය අද්භූත ධර්මයන් අට එම භික්ෂුවට ප්‍රකාශ කළ හ.
- “ස්වාමින්වහන්ස, යම් කලෙක මම නාගවන උයනෙහි ඉඳුරන් පිනවමින් හැසිරෙන්නෙම්, පළමු කොට දුර දී ම භාග්‍යවතුන්වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන්වහන්සේ දැකීම හා සමඟ ම මාගේ සිත පහන් විය. සුරාමදය පහ විය. ස්වාමින්වහන්ස, මේ මාගේ පළමු ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, පහන් සිත් ඇති මම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ ඇසුරු කළෙමි. එසේ පැමිණි මට උන්වහන්සේ අනුපූර්ව කථාව එනම්, දාන කථාව, සීල කථාව, ස්වර්ග කථාව, කාමයන්ගේ ආදිනවය, ලාමක බව හා කෙලෙස් සහිත බව, නෛෂ්කර්මයෙහි අනුසස් ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන්වහන්සේ මාගේ සිත යම් අවස්ථාවක නීරෝගී, මොළොක්, නීවරණ රහිත, ඔදවැඩී ගිය පහන් තත්ත්වයට පත් ව ඇති බව දත් සේක් ද, එවිට බුදුරජාණන්වහන්සේලා විසින් ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරනු ලබන්නා වූ, දුක, දුක්‍ඛ සමුදය (දුකට හේතුව), දුක්‍ඛනිරෝධය (දුක නැති කරගැනීම), දුක්‍ඛ නිරෝධගාමිණි පටිපදාව (දුක නැති කරගැනීමේ මාර්ගය) යන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. හොඳින් පිරිසිදු කළ වස්ත්‍රයක් හොඳින් වර්ණයන් (සායම්) උරාගන්නා ලෙස, එම අසුනෙහි දී ම, මට ඇති වන (සමුදය), යමක් ඇත්තේ ද ඒ සියල්ල නැති වන (නිරුද්ධ) ස්වභාවය ඇති බව අවබෝධ වන කෙලෙස් දුහුවිලි (රජස්) හා කෙලෙස් මල නැති දහම් ඇස (අනාගාමි මඟ) පහළ විය. එසේ මා විසින් දකින ලද හාත්පසින් බැස ගන්නා ලද ආර්ය සත්‍ය ධර්ම ඥානය ඇත්තෙමි. එම නිසා පහ වූ සැක හා විචිකිච්ඡා ඇත්තෙම්, විශාරද බවට පැමිණ, ශාස්තෘ ශාසනයෙහි අන් සහායක් නොමැති ව ම තෙරුවන් සරණ ගියෙමි. බ්‍රහ්මචර්යාව පස්වෙනි වූ ශික්ෂාපද (බ්‍රහ්මචරිය පංචමක ශීලය) සමාදන් වීමි. ස්වාමින්වහන්ස, මේ මාගේ දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මට තරුණ භාර්යාවෝ සිව් දෙනෙක් වූ හ. මම එම භාර්යාවන් වෙත එළඹ එම භාර්යාවන්ට, මම බ්‍රහ්මචර්යාව පස්වෙනි වූ ශික්ෂාපද සමාදන් වූ බවත්, යම් භාර්යාවක් කැමැති නම් මෙහි ම සම්පත් පරිභෝජනය කරන ලෙසත්, කුසල් කරන ලෙසත්, එසේ නොමැති නම් සිය නෑ කුලයන් වෙත හෝ යන ලෙසත්, කවරකු හා විවාහ වීමට කැමැති නම් ඒ බව පැවසුවොත් එම පුරුෂයාට විවාහ කර දෙන බවත්, පැවසීමි. එවිට මාගේ දෙටු බිරිඳ මෙනම් ඇති පුරුෂයාට මාව විවාහ කර දෙන ලෙස මට පැවසී ය. මම එම පුරුෂයා කැඳවා වමතින් භාර්යාව අල්වාගෙන දකුණතිත් පැන් කෙණ්ඩිය ගෙන අතපැන් වත් කර ඇයව එම පුරුෂයාට විවාහ කර දුනිමි. එසේ මාගේ තරුණ බිරිද අත්හැරීමෙහි දී මාගේ සිතෙහි වෙනස් බවක් ඇති වූ බව නො දන්නෙමි. ස්වාමින්වහන්ස, මේ මාගේ තෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මාගේ කුලයෙහි බොහෝ භෝගයෝ ඇත්තා හ. එම භෝගයෝ යහපත් ගුණදහම් ඇති සිල්වතුන් හා ප්‍රමාණ ලෙස වෙන් නො කර පොදුවේ බෙදාගෙන පරිභෝග කරමි. ස්වාමින්වහන්ස, මේ මාගේ සිව්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මම යම් භික්ෂුවක ඇසුරු කරන්නේ නම්, ගෞරව සහිත ව මනා සේ පැමිණෙන්නෙමි. එසේ නොමැති ව නො පැමිණෙන්නෙමි. එම භික්ෂුව මට දහම් දේශනා කරන්නේ නම්, මම ගෞරව සහිත ව මනා සේ සවන් දෙන්නෙමි. එම භික්ෂුව මට දහම් දේශනා නො කරන්නේ නම්, මම එම භික්ෂුවට ධර්මය දේශනා කරමි. ස්වාමින්වහන්ස, මේ මාගේ පස්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මම සංඝයා බතින් පැවරූ විට දෙවියෝ මා වෙත පැමිණ, අසවල් භික්ෂුව උභතෝවිමුක්ත ය, අසවල් භික්ෂුව ප්‍රඥාවිමුක්ත ය, අසවල් භික්ෂුව කාය සාක්ෂි ය, අසවල් භික්ෂුව දෘෂ්ටිප්‍රාප්ත ය, අසවල් භික්ෂුව ශ්‍රද්ධාවිමුක්ත ය, අසවල් භික්ෂුව ශ්‍රද්ධානුසාරී ය, අසවල් භික්ෂුව ධර්මානුසාරී ය, අසවල් භික්ෂුව කලණ දහම් ඇති සිල්වතෙකි, අසවල් භික්ෂුව ලාමක ගති ඇති දුසිල්වතෙකි යි සැල කරති. එය ආශ්චර්යය නො වේ. මම දන් වළඳවන විට මෙම භික්ෂුවට වැඩියෙන් හෝ මෙම භික්ෂුවට අඩුවෙන් හෝ දෙමි යි සිතක් මට ඇති නො වෙයි. සියලු ම භික්ෂුනට සම සිතින් ම දෙමි. ස්වාමින්වහන්ස, මේ මාගේ සයවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, දේවතාවෝ මා වෙත පැමිණ, ‘ගෘහපතිය භාග්‍යවතුන්වහන්සේ විසින් මනාකොට ධර්මය දේශනා කරන ලද්දේ ය’ යි සැල කරති. එවිට මම ඔවුනට ‘දේවතාවනි, ඔබ මට නො පැවසුවත් භාග්‍යවතුන්වහන්සේ මනා කොට ධර්මය දේශනා කරන කරන සේක’ යි පවසමි. එමනිසා දෙවිවරු මා වෙත පැමිණෙති. එසේ දෙවිවරු මා වෙත පැමිණ කථා කරන්නේ ය යි විශේෂ හැඟීමක් මට ඇති නො වේ. ස්වාමින්වහන්ස, මේ මාගේ සත්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මම භාග්‍යවතුන්වහන්සේට පෙර කළුරිය කළ හොත්, යම් සංයෝජනයක් නිසා යමකු නැවත මෙලොවට එන්නේ ද, හස්ති ගාමවාසී උග්ග ගහපතිට එවැනි සංයෝජන නැතැ යි භාග්‍යවතුන්වහන්සේ, මා පිළිබඳව පවසන්නේ නම්, එය ආශ්චර්යක් නො වේ. ස්වාමින්වහන්ස, මේ මාගේ අටවන ආශ්චර්ය අද්භූත ධර්මයයි. (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය, හත්‍ථිගාමක උග්ග සූත්‍රය).”
මෙම ආශ්චර්ය අද්භූත ධර්ම අට හස්තිග්‍රාමවාසී උග්ග ගහපතියන් ගෙන් දැනගත් භික්ෂුව තමා හා ගහපතියන් අතර සිදු වූ සාකච්ඡාව බුදුරජාණන්වහන්සේට දැනුම් දුන් විට, බුදුරජාණන්වහන්සේ එම ආශ්චර්ය අද්භූත ධර්ම අට හස්තිග්‍රාමවාසී උග්ග ගහපතියන් සතු බව ප්‍රකාශ කළ සේක. හස්තිග්‍රාමවාසී උග්ග ගහපතිතුමන් සතු වූ මෙම ආශ්චර්ය අද්භූත ධර්මයන් අපට පැහැදිලි කරන්නේ සැබෑ බෞද්ධයකු වීමෙහි දී වැදගත් වන්නේ පරිබාහිර කරුණු නො ව සිතෙහි ස්වභාවය බවයි. තමන් කුමන කාර්යය කළත්, අන් අයගේ ක්‍රියාවන් මත නො ව තමාගේ සිත, පවතින යථාර්ථය අවබෝධ කරගෙන නොවෙනස් ව පවත්වා ගැනීමට, බෞද්ධයන් ලෙස අප පුරුදු පුහුණු කළ යුතු ය. ඒ සඳහා හස්තිග්‍රාමවාසී උග්ග ගහපතිතුන්ගේ පුවත පරමාදර්ශයක් කර ගනිමු.