කැමැති පරිදි නො පැවතීම සහ කැමැතිකම් නො පැවතීම

rashi
By rashi
14 Min Read

කපිල පීරිස්

භාග්‍යවතුන්වහන්සේ නමක් සියලු සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඉදිරිපත් කරන්නේ සියලු සත්ත්වයන් දුකින් මුදාලන පරම විද්‍යාව වන ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවතුන්වහන්සේ අපගේ පරම විද්‍යාඥයා වන්නේ ඒ නිසා ය. දුක නමැති ගැටලුව විසඳීමට උන්වහන්සේ එළැඹෙන්නේ ඉතා ම විද්‍යාත්මක ව ය. දුක යන්න බාහිර ලෝක සාධක මත කොපමණකට දෘෂ්‍යමාන ව සබැඳී තිබුණත් එහි දී අතිශය ප්‍රබල ලෙස මූලික වන්නේ අපගේ චිත්ත සන්තානයන් ය. ඒ අනුව උන්වහන්සේ මූලික ව ම පිරික්සන්නේ චිත්ත සන්තානයයි. දුක ඇති කිරීමේ මූලික ම සාධක අවසානයේ රැඳී ඇත්තේ අපගේ චිත්ත සන්තානයේ බව උන්වහන්සේ පිරිසඳ දත් සේක. නූතන බටහිර විද්‍යාව දුක ඇති වීම (ඒ නිසා ම නැති කිරීම) බාහිරට පවරා ඇත. ඔවුන් චිත්ත සන්තානගත ක්‍රියාවලිය මුළුමනින් ම පාහේ අමතක කර ඇත. එසේම එදා මෙදාතුර පහළ වූ සියලු ආගම්, දර්ශන, යෝගක්‍රම, පටිපදා සියල්ල යම් යම් මට්ටමින් චිත්තාභ්‍යන්තර විමසුමක යෙදුණත් අවසානයේ ගැටලුව බාහිර පුද්ගල හෝ නිෂ්පුද්ගල බලවේගවලට භාර කරයි. ඒ නිසා ඒ කිසිවක් මූලික ව ම ‘පච්චත්තං වේදිතබ්බෝ, ඕපනයිකෝ, විඤ්ඤූහී ති, සන්දිට්ඨික’ වන්නේ නැත.

චතුරාර්ය සත්‍ය දේශනාවෙන් සංසාරගත මූලික ම සත්‍ය සතර එළිපෙහෙලි කරන භාග්‍යවතුන්වහන්සේ අනතුරු ව පටිච්ච සමුප්පාදය ඔස්සේ වේදනා, තණ්හා, උපාදාන, භව (කර්ම-සංස්කාර) ඇති වන අයුරු සහ ඒ නිසා ම ජාති, ජරා, මරණ, ව්‍යාධි, අප්පිය සම්පයෝග, පියවිප්පයෝග ආදි වූ ඕලාරික දුක පිළිබඳව දේශනා කොට අනතුරු ව සංඛිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා ලෙස දක්වා ඇත.

එසේම සංසාරගත ත්‍රිලක්ෂණය ලෙස අනිච්ච, දුක්ඛ, අනත්ත යන්න දේශනා කරති. යමක් අනිත්‍ය නම් දුකක් වන බව ද, ඒ නිසා අනත්ත වන බව ද මෙහි දී දැන ගැනීම අතිශය වැදගත් ය.

මෙහි දී ඉතා වැදගත් වන්නේ අපට දුක හටගන්නේ කවරක (කවර සංස්කාරයක) අනිත්‍යය ද යන්න ය. හේතුප්‍රත්‍යයෙන් හටගත් සියල්ල එනම් සියලු සංඛතය අනිත්‍ය ය යන්න සාමාන්‍යයෙන් දහම තුළ සඳහන් වන්නකි. එසේ ම එය ඉතා රළු-ඕලාරික ලෙස මතුපිටින් බැලූ විට සත්‍ය ලෙස ද පෙනේ. එහෙත් ගැඹුරින් බැලූ විට අපට සැබැවින් ම දුක ගෙන දෙන්නේ කවර සංස්කාරවල අනිත්‍යය ද? එනම් බාහිර අපගේ ශරීරය, නෑයන්, ගේ දොර, ගහකොළ, යාන වාහන ආදියේ අනිත්‍යය ද? (වෙනස් වීම් ද?) එසේ නොමැති නම් ඉන් ඔබ්බට ගිය චිත්තාභ්‍යන්තර සංස්කාරවල අනිත්‍යය ද? මේ බාහිර අනිත්‍යය යන්න රහතන්වහන්සේට ද පොදු ය. එහෙත් උන්වහන්සේට දුක නැත. ඇත්තට ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ අපේ දුක්වල සැබෑ මූලය ඇත්තේ චිත්තාභ්‍යන්තර සංස්කාර වල අනිත්‍යයේ බව ය. මේ චිත්තාභ්‍යන්තර සංස්කාර ඇතිතාක්, බාහිර ලෝකයේ අනිත්‍යය ද අපගේ දුක්වලට නිමිති සපයන බව සැබෑ ය. එහෙත් ඒ බාහිර නිමිති සියල්ල ‘දුක්’ නිමිති බවට පත් කරන්නේ අන් කවරක් හෝ නො ව චිත්තාභ්‍යන්තර සංස්කාරයන් ය. මේ චිත්තාභ්‍යන්තර සංස්කාරයන් යනු වෙන මොනවත් නො ව අපේ සිත්වල දිට්ඨි ලෙස පැළපදියම් වී ඇති දෑ ය. එනම් අපේ විවිධ කැමැති අකැමැතිකම් ය. මේ දිට්ඨි සැකසෙන්නේ අපේ මූලික ම දිට්ඨිය වන සක්කාය දිට්ඨිය පිනවීමට ය. මේ දිට්ඨිවලට අනුව එනම් එම කැමැති අකැමැතිකම් ලබා ගැනීමට ක්‍රියාත්මක වන්නේ තණ්හාව ය. (රාග, ද්වේශ)

අප ඇත්තට ම දුක් විඳින්නේ මේ කැමැති- අකැමැති, දිට්ඨි-සංස්කාරවල අනිත්‍යය නිසා ය. මේ වෙනස් වන සංස්කාර සාගරයේ අපි අපේ කැමැති-අකැමැති (දිට්ඨි) ඔස්සේ සතුට සොයමින්, නොසතුට ප්‍රතික්‍ෂේප කරමින් මහා පොරයක නියැළෙමු. එයයි දුක. ඇතැම් සුළු කාල පරාසයක් තුළ බාහිර ලෝකය අපට දැනෙන පරිදි වෙනස් නො වුණත් අපගේ චිත්තාභ්‍යන්තර කැමැති-අකැමැති නැමැති සංස්කාර නිරතුරු ව ඉතා වේගයෙන් කිසිදු පිළිවෙළක් නැති ව වෙනස් වේ. මේ මොහොතේ සතුටක් ගෙන දෙන සංස්කාරයන් තව සුළු මොහොතින් වෙනස් වී දුකක් ගෙන දේ. එය පෙන්වා දෙන්නේ වේදනාවේ අනිත්‍යයයි. මේ වේදනාවේ අනිත්‍යය ඔස්සේ අපට ඒ වේදනා ගෙන දෙන චිත්තාභ්‍යන්තර දිට්ඨි සංස්කාරවල අස්ථිර-අනිත්‍යභාවය යම් පමණකට හෝ හඳුනාගත හැකි නම් ඒ දිට්ඨි-සංස්කාර යම් පමණින් හෝ දිය කර හැරීමට එය ද ඉවහල් වනු ඇත. මේ සියලු දිට්ඨි (කැමැති-අකැමැතිකම්)වල වියැකීම යනු අවසානයේ සක්කාය දිට්ඨියේ ද වියැකීමයි. එසේම එය මේ දිට්ඨි වෙනුවෙන් මෙහෙවර කළ තණ්හාවේ ද (රාග-ද්වේශ) අවසානයයි. සතර සතිපට්ඨානය නැමැති දුක නිවීමේ මහා විද්‍යාත්මක මෙහෙයුමෙන් සිදු වන්නේ එයයි. ආර්ය පර්යේෂණය යනු එයයි. මෙහි දී සිදු වන්නේ අපේ කැමැති-අකැමැතිකම් පිළිබඳ දිට්ඨි-සංස්කාර නිරෝධයයි. එවිට තවදුරටත් කැමැති-අකැමැතිකම් අර්ථවත් නැත. බාහිර ලෝකය අප කැමැති පරිදි පවතින්නේ නැත. ඒ නිසා කිරීමට කිසිවක් නැතැ යි සිතා සිත සනහා ගැනීමක් නො වේ. මෙලෙස සිතා වුව ඉතා රළු-ඕලාරික ලෙස මතුපිටින් යම් පමණට ඇතැම් දුක් වේදනා අඩු කරගත හැකි වුවත් සැබෑ නිරෝධය එය නො වේ. භාග්‍යවතුන්වහන්සේ කිසා ගෝතමියට මූලික වශයෙන් ලබා දුන්නේ එවන් අස්වැසිල්ලකි. විවිධ ආකාරයේ දුක්ඛදායක අවස්ථාවල දී මෙවැනි අස්වැසිලි, එනම් ‘කාටත් ඔවැනි දේ වනවා, සියල්ල අනිත්‍යය යි’ වැනි කතා මඟින් යම් අස්වැසිල්ලක් සිතට ළඟා කරගත හැකි වුවත් සැබෑ දුකින් මිදීමක් නම් ඉන් සිදු නො වේ.

මේ අනුව දුක සහ චිත්තාභ්‍යන්තර සංස්කාර අතර සබැඳියාව පැහැදිලි විය යුතු ය. භාග්‍යවතුන්වහන්සේ කිසි විටෙක බාහිර ලෝකයේ අනිත්‍යයන් ගැන දුකට සබැඳා දේශනා කර නැත. රූපය අනිත්‍ය ය, ඇස අනිත්‍ය ය, චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය ය, ඒ නිසා දුක ය ලෙස දේශනා වන තැන දුක ඇති වන්නේ හුදු බාහිර රූපයේ, ඇසේ අනිත්‍යය නිසා නො ව ඒවා ඇසුරු කරගත් කෙලෙස් සංස්කාරවල අනිත්‍යය නිසා ය. මේ බාහිර රූපයේ අනිත්‍යභාවය ඒවා නැත ලෙස ගැනීමට නො ව ඒවායේ උපාදාන වීමට දෙයක් නොමැති ලෙස දුටු විට ඒ පිළිබඳ චිත්තාභ්‍යන්තර කැමති-අකැමැතිකම් ඇති කරන දිට්ඨි සාදාගැනීම වැළකී යයි.

චිත්තාභ්‍යන්තර-සංස්කාර-දිට්ඨි-කැමැති-අකැමැතිකම් මුළුමනින් ම දුරු වූ විට, ඒ නික්ලේශී උත්තමයාට ‘ග්‍රහණය’ වන්නේ ‘අතම්මයයි.’ එය තථතා, ශුන්‍යය ලෙස ද දැක්වේ. එය වූ කලී නාම-රූප ද්වන්ධයේ නික්ලේශී අවස්ථාවයි. (end of subject – object duality.)

මේ පසුබිමේ දැන් අපි ධර්මයේ බොහෝ තැන්වල හමු වන අජ්ඣත්ත, බහිද්ධ භේදය ගැන විමසමු.

මෙහි දී බහිද්ධය යන්න බාහිර වස්තුවකට වඩා බාහිර නිමිති ලෙස ගැනීම සුදුසු බැව් පෙනේ. මේ ‘බහිද්ධය’ ඇත්තට ම ‘අතම්මය’ චිත්තාභ්‍යන්තර සංස්කාර- දිට්ඨිවලින් කෙලෙසුණ විට අජ්ඣත්තය සැකසේ. එවිට ය අජ්ඣත්ත-බහිද්ධ භේදයන් හටගන්නේ. නික්ලේශී වීමට ආසන්න ව සිටි ස්වාමින්වහන්සේ නමක් මාගේ අජ්ඣත්ත-බහිද්ධ භේදය නැති වන්නේ කවදා දැ යි විමසූ බව ත්‍රිපිටකයේ සඳහන් ය. පඨවි ආදි සතර මහා රූප ධාතුවලට අජ්ඣත්ත-බහිද්ධ භේදයන් නැතැ යි සඳහන් වන්නේ බාහිර රූප නිමිතිවල (නාම-රූපවල) මෙන්ම චිත්තාභ්‍යන්තර නාම-රූපවල ද නික්ලේශී අවස්ථාවේ දී ඒ වෙනස නොමැති බව විය යුතු ය.

සතර සතිපට්ඨානයේ දී ද මේ අජ්ඣත්ත-බහිද්ධ භේදය දක්නට ඇත. එහි බොහෝ විට අර්ථවත් වන්නේ බහිද්ධවය යනු අන් අයගේ කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිබඳව වන බව සහ අජ්ඣත්තය යනු තමන්ගේ කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිබඳව වන බව ය. එහෙත් අන් අයගේ කාය, වේදනා ආදිය ගැන දැන – දැක ගැනීමෙන් ඒ අයටත් මම මෙන්ම මේ සියල්ල ඇත යන රළු, මතුපිට, ඕලාරික කල්පනාව ඇති වනවා මිස ඊට වැඩි යමක් පිරිසිඳ දැකිය හැකි වේ ද? තමාගේ නාම-රූප ක්‍රියාවලිය හා අනුන්ගේ ඒ ක්‍රියාවලිය අතර වෙනසක් නැතැ යි යන්න ‘මමායනය’ මතුපිටින් අඩු වීමට හේතුවක් විය හැකි වුවත් සතර සතිපට්ඨානය වැනි කෙලෙස් දුරු කරන මහා චිත්ත විච්ඡේදනයේ දී මෙවැනි ඕලාරික උපක්‍රම යෙදිය හැකි ද?

එහෙත් මේ අජ්ඣත්ත, බහිද්ධව යන්න බාහිර නිමිති (ඇත්තට ම අතම්මය අවස්ථාව) සහ ඒවා චිත්තාභ්‍යන්තර ගත ව දිට්ඨි-සංස්කාරවලින් කෙලෙසුණ අවස්ථාව විය නොහැකි ද? මේ වෙනස ප්‍රඥාවෙන් දැකිය හැකි නම් බාහිර නිමිතිවල (අතම්මයේ) කිසිදු දුකක්-සතුටක් නොමැති බවත් එනම් ඒවා අර්ථවත් නොමැති බවත් මේ සියලු දුක්-සතුටු කැමැති-අකැමැතිකම් ඇති වන්නේ මේ පිළිබඳව නිමිති චිත්තාභ්‍යන්තර කෙලෙස් (දිට්ඨි-සංස්කාර)වලින් දූෂිත වූ විට පමණක් ය යන්නත් විශද වනු ඇත. එවිට දුකෙහි ප්‍රභවය ඇත්තේ චිත්තාභ්‍යන්තර අනිත්‍ය වූ දිට්ඨි-සංස්කාරවල බවත් නො පෙනේ ද? ඒ සමග ම මේ කිසිදු ස්ථිරත්වයක් නොමැති දිට්ඨි-සංස්කාරවල වියැකීම, අතහැරීම සිදු නො වනු ඇත් ද? අප දුක් විඳින්නේ කිසිදු ස්ථිරත්වයක් නොමැති අතිත්‍ය වූ අප විසින් ම සසර තුළ සාදා ගත් කෙලෙස් පරඬැල් බඳු දිට්ඨි-සංස්කාර කළු ගල්වල කෙටූ පිඹුරුපත් මෙන් සලකා බදාගැනීම නිසා බව එවිට පසක් නො වේ ද? මේ දිට්ඨි සමඟ බැඳුණ කැමැති අකැමැතිකම් යනු කොතරම් අර්ථ ශුන්‍ය දෑ දැ යි පසක් නො වේ ද?

මෙලෙස ගත් විට ‘අනිත්‍ය’ යන්න අනිච්ච ලෙස ගෙන එය අකැමැති පරිදි වෙනස් වීම ලෙස අර්ථ දැක්වීමේ දෝෂය ද තේරුම් ගත හැකි ය. අකැමැති ලෙස වෙනස් වීම නිසා හටගන්නා ඕලාරික, මතුපිට, රළු තේරුම් ගත් පමණින් නිරෝධයක් ඇති වන්නේ නැත. එය පෙර ද සඳහන් කළ පරිදි හුදු සිත සනසා ගැනීමක් පමණි. ගැඹුරු දුක (දුක්ඛ ආර්ය සත්‍යය) හඳුනාගෙන ඉන් මිදිය හැක්කේ කැමැති-අකැමැතිකම් ලෙස චිත්තාභ්‍යන්තරයේ ඇති දිට්ඨි-සංස්කාරවල අනිත්‍යය තේරුම් ගෙන ඉන් මිදීමනි. අවසාන වශයෙන් අපට දුක (පංච උපාදානස්කන්ධ දුක) ඇති වන්නේ මේ සංස්කාරවල අනිත්‍යයයි. එනම් බාහිර ලෝකයෙන් අප පතන කැමති අකැමැතිකම්වලින් මිදීමෙනි.

සතර සතිපට්ඨානයේ දී ද මේ අජ්ඣත්ත-බහිද්ධ භේදය දක්නට ඇත. එහි බොහෝ විට අර්ථවත් වන්නේ බහිද්ධවය යනු අන් අයගේ කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිබඳව වන බව සහ අජ්ඣත්තය යනු තමන්ගේ කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිබඳව වන බව ය. එහෙත් අන් අයගේ කාය, වේදනා ආදිය ගැන දැන – දැක ගැනීමෙන් ඒ අයටත් මම මෙන්ම මේ සියල්ල ඇත යන රළු, මතුපිට, ඕලාරික කල්පනාව ඇති වනවා මිස ඊට වැඩි යමක් පිරිසිඳ දැකිය හැකි වේ ද?

ත්‍රිපිටකය ලෙස පසු කාලීන ව සංගෘහිත වී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථාවල දී ඒ ඒ අයගේ දුක නිවාලීම පිණිස දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයයි. මේ ත්‍රිපිටක (පමණක් නොව අටුවා ටීකාවල) ගොනුවේ විවිධ පාලි වදන්වල පාලි පාඨවල අර්ථ නිරුක්තීන් ගෙනහැර දක්වා ඇත්තේ බොහෝ කොට පටිපදාව වැඩූ උතුමන් වහන්සේ විසින් ය. ඒ උන්වහන්සේලාගේ අර්ථකතන ඉතා පරිස්සමෙන් විකෘති නො කොට ඉදිරියට ගෙන යා යුතු ය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නො තිබිය යුතු ය. එහෙත් මේ ත්‍රිපිටක පාලිය වනපොත් කිරීම දුකින් මිදීමට ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා මේ සමස්ත ධර්මයේ සාරය දැනගෙන තම තමනට ගැළපෙන ධර්ම පර්යායන් ගොඩනඟාගත යුතු ය. මෙවැනි ලිපි මඟින් අප අපේක්ෂා කරන්නේ එයයි. මේවා ධර්මය පිළිබඳ නව මත නො වේ. එහෙත් දුකින් (ඉතා අල්ප වශයෙන් හෝ) මිදීම සඳහා යොදාගත හැකි ධර්ම යාත්‍රාවන් ය.

මේ ලිපියේ දිට්ඨි, සංස්කාර යන වදන් මඟින් අදහස් වන්නේ අපේ සිත්වල (චෛතසික ලෙස) පවත්නා අපගේ කැමැති-අකැමැතිකම් (මේ දෙකේ ම මිශ්‍රණ) තීරණය කර කතා ය-අකෘති ය. අපගේ සිත් මේ කතා-ආකෘති මඟින් සකස් වී,

හැඩගැසී පිරී ඇත. අජාන් සුමේධෝ හිමියන් විසින් "Conditioned mind" තත්ත්වගත මනස ලෙස හඳුන්වනු ලබන්නේ මෙවැනි මනස ය. මේ සකස් කිරීම්-සංස්කාරවල අනිත්‍යය ය අපට දුක ඇති කරන්නේ.

අපට කැමැති-අකැමැතිකම් එනම් සතුට-අසතුට-මැදහත්කම් (උපේක්ෂා) ඇති වන්නේ මේ මානසික සකස්කෙරුම් ඔස්සේ ය. මේ අනුව උපේක්ෂා සහගත අවස්ථාව ද ඇති වන්නේ මේ සකස් කෙරුම් තුළ ම ය. කැමැති අරමුණක් ලබන විට ලෝභය ද අකැමැති අරමුණක් ලබන විට දෝසය ද මේ දෙකේ මැද අවස්ථාව වන උපේක්ෂා සහගත අරමුණක දී අපි මෝහය ද වෙළාගමු. එය සිදු වන්නේ මානසික සකස් කෙරුම් (mind conditions) වලින් පරිබාහිර ව නො ව ඒ සකස් කෙරුම් තුළ ම ය.

මේ මානසික සකස් කෙරුම්-සංස්කාර-දිට්ඨි නිසා විවිධ බාහිර නිමිතිවලින් අපට සතුට-නොසතුට, අතරමැද උපේක්ෂා වේදනා ඇති වේ. ඉතින් මේ වේදනා පිරිසිඳමින් ඒ පසුපස ඇති සංස්කාර-දිට්ඨිවල අනිත්‍යය දැකිය හැකි නම් ඒ කෙණෙහි ම මේ සංස්කාර-දිට්ඨි යම් ආකාරයකට හෝ ප්‍රහාණය නො වේ ද? දුක පිරිසිඳ දැනගැනීම යනු මෙලෙස දුක ඇති කරන සංස්කාර දිට්ඨිවල උත්පාද-වැය දැකීමයි. මේ උත්පාද-වැය-අනිත්‍ය දකින විට තව දුරටත් ඒවා ඔස්සේ බාහිර නිමිතිවලට ඇති තණ්හාව පවතී ද? ඒ අනුව මේ ලිපියේ දැක්වෙන සංස්කාර-දිට්ඨි-ආකෘති යන සාමූහික යෙදුමේ එන දිට්ඨි යන්නෙන් මුළුමනින් මිදුණ විට තවදුරටත් තණ්හාව තිබිය නොහැකි ය.

මේ ලිපියෙන් උත්සාහ ගැනෙන්නේ වේදනා ඔස්සේ ඒ පසුපස ඇති චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාර-ආකෘතිවල උදය-වැය-අනිත්‍යය දකිමින් මේ චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාර-ආකෘතිවලින් මිදීම ප්‍රකට කිරීමට ය. එවිට බාහිර නිමිතිවල කැමැති-අකැමැති රුචි-අරුචිකම් වියැකී යයි. මෙය වූ කලි බාහිර නිමිති නො විඳිනා (අවේදයිත) තත්ත්වයයි. සැබෑවට ම දුකින් මිදීම යනු මෙය නො වේ ද?

කෙනෙකුට දුකින් මිදීමේ කරුණු කාරණා ඇත්තේ පාලි ත්‍රිපිටකයේ ය. මේ ත්‍රිපිටකය සිසාරා එහි භාරය-චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුපාදය, ත්‍රිලක්ෂණය, පංචස්කන්ධ ක්‍රියාවලිය, නාම-රූප ගැන දැනගෙන අදාළ පටිපදාව ඒ ඒ කෙනා සුදුසු ධර්ම තොටුපළකින් ප්‍රවේශ විය යුතු ය. මේ නිසා මූලික පාලි ත්‍රිපිටකයේ යම් වෙනසක් කෙරෙන්නේ නම් එය ධර්ම විකෘතියකි. ධර්මයේ සාරය කෙනෙකුට දැන ගැනීමට ඇති මඟ ඇහිරීමකි. එය බලවත් පාපයකි. එහෙත් මේ ධර්ම සාරය දැනගත් පසු ඒ ඒ කෙනා තමාට ගැළපෙන පරිදි ඒ ධර්ම සාරය තුළ විවිධ පර්යායන් ඔස්සේ පටිපදාව වැඩීම, ඒ පිළිබඳව විග්‍රහ කිරීම ධර්ම විකෘතියක් ලෙස සැලකිය නොහැකි ය.

‘අනිත්‍යයේ’ අරුත පිළිබඳව මැතක දී සිදු වූ වෙනස නම් ඇත්තට ම ධර්ම විකෘතියකි. එය දුකින් මිදීමේ මඟ අහුරාලන්නකි.

සැ.යු. - මේ ලිපියේ දැක්වෙන සතිපට්ඨානයේ අජ්ඣත්ත බහිද්ධ භේදය පිළිබඳව පාඨක පිංවතුන්ගේ අදහස් දැන ගැනීමට ඉතා කැමැත්තෙමි. එය මේ ලේඛකයාගේ දුකින් මිදීමේ මග නිවැරදි කර ගැනීමෙහි ලා ඉතා වැදගත් ය.

කපිල පීරිස්
Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *