සුගත් වීරසූරිය
අඳුර පැමිණී ආලෝකයේ කවුළු පියන් පත් වසන්නට තවත් හෝරා කිහිපයක් ඉතිරි වී තිබුණේ ය. ගම්මානයේ තඹවන් වෙල් ඉපනැල්ල වසා රාස්සිගේ අව්ව වැටී පැවතිණ. තෙරක් නොමැති දිගු ගමනකට වැටී හිටි ඇළ අද්දර අරලිය ලන්දේ මල් ගොමු බරණැස් නුවර පුරාවට ම මිහිරි සුවඳක් අරන් ආවේ ය. හැම ලියද්දක ම ගොයම් කපා ඇත. ඇළ ඉදිබු ගමනින් ගලා ගියත් වෙල්වල වතුර ඔක්කෝ ම හිඳිලා ය. අහස තුළ වලාකුළකුදු නො වී ය.
බරණැසට මෙහායින් සැතපුම් දහයකට හෝ දොළහකට පමණ දුරින් මේ ගම් පියස පිහිටා තිබුණේය. එහි අතන මෙතන ඉදි කර තිබූ ගෙවල්වල ලොකු සොඳුරු සිරියක් තිබුණේ නැත. බිත්ති මැටියෙන් කළ ඒවායෙහි වහල තුළ සෙවෙණි කළ ඉලුක් දිරා කාට්ටු වී තිබුණේ ය. මහ බෝසතාණන් වහන්සේ මේ ගමේ ජීවත් වූ කෙනෙක් විය. උන්වහන්සේගේ දිවිය නිමක් නැති දිළිඳු කම්වලින් වට කොට තිබිණි. එහෙත් උන්වහන්සේ කාටත් ප්‍රිය මනාප සොඳුරු රූ සිරි සරක් ඉසිලී ය. වරක් ඔහු දෙස බැලූ කෙනෙක් යළිදු වරක් හැරී බැලුවේ එනිසාවෙන් ම විය යුතු ය. ඔහුට යන හැම තැනෙක දී කළ හැම දෙයකින් ම ජය ද ලැබුණේ ය. එය නැතක් විට ඔහුගේ ජීවන මං පෙතට විශල් සතුටක් ද රැගෙන ආවේ ය. එනමුදු ඔහු ජීවිතය ගැන සතුටු නො වී ය. මොහොතින් මොහොත ජීවිතය වෙත එන අපේක්ෂා නො කළ දුක් කම්කටොලු, ඔහු තුළ ලොකු ජීවන කලකිරීමක් ඇති කළේ ය.ඒ ප්‍රකම්පනීය කලකිරීම උච්චතම තැනට ඇවිලී දිනක් බෝසතාණන් වහන්සේට පීඩා කළේ ය. එදා හේ හැම දෙයක් ම අතැර දැම්මේ ය. එයින් ඉක්බිති මහ හිමාලයට ගොස් කහ සිවුරු දරා ගත් හෙතෙම තනි ව ගල් ගුහාවකට වී තවුස් දම් පුරන්නට පටන් ගත්තේ ය.
කාලයට තෙමුණු හැම දෙයක් ම මහලු විය. සිය සිරුරේ බාහිර හැටිය ද මහලු බවක සලකුණු දෘශ්‍යමාන කරද්දී තවුස් තෙම සීලයෙන් විශල් පොහොසතෙකු බවට පත් වුණේ ය. අෂ්ට සමාපත්ති හා පංච අභිඤ්ඤාවන් තවුස් සිත සැනසුම් සිහිලසින් සරසද්දී ඔහු නිවන් මං පෙතට පිවිසුණේ ය.
එක දිගට පැතිර ගිය මහ වනය නිහඬ විය. අත්තක් බිදී වැටෙන සියුම් හඬකුදු ඉතා පැහැදිලි ව ඇහෙන තරමට නිසංසල වූ වනයේ මහා විවේකයක් තිබුණු බව ඇත්ත ය. ඒත් මිනිස් පුළුටක් පවා නො තිබුණු එහි ගත කරන ජීවිතය කටු මෙන්ම කටුක වී. දුක්බර ද වී. ගසකින් බිමට වැටුණු ගෙඩියකින් එහා යමක් ආහාරයට කවදා වත් ම ලැබුණේ නැත. එහෙයින් තවුසකුට වුව පිණ්ඩපාතය සොයා හිමවතින් මෙහා ගමකට හෝ නුවරකට නෑවිත් බැරි විය. මේ ජීවන දුෂ්කර බවින් පහර ලත් බෝසත් තාපසයාණන් වහන්සේ එක් දිනක් බරණැස් නුවරට පිඩු පිණිස වැඩියෝ ය.
“සෝබමාන තාපසයන් වහන්සේ නමක් බරණැස් නුවරට පිණ්ඩපාතෙ වැඩම කරලා.” හැම හැම මුවගක ම එදින රැව් දුන් කතාවක් වූවේ ය. මේ කතාව බ්‍රහ්ම දත්ත මහ රජතුමාට ද ආරංචි වුණේ ය. රජු තවුසා හමු වුණේ ය.
“ස්වාමීනි, ඔබ වහන්සේ ආයෙමත් හිමාල වනයට වැඩම කරන්න එපා. අපට අනුකම්පා පිණිස මගේ රාජ උද්‍යානයේ නවාතැන් ගන්න. ඔබ වහන්සේගේ සිව් පසය මට සපයා දිය හැකියි.” රජතුමා කීවේ ය. තවුස් තෙම නිහඬ වී එම ආරාධනය පිළිගති.
කාලය හෙමින් හෙමින් ගත වී ගියේ ය. උයන බොහෝ දැකුම්කලු හා නිහඬ ස්වරයක් ඉසිලී ය. එහෙත් තාපස සිතට එය එතරම් විවේක සුවයක් ලබා දුන්නේ නැත. එහෙයින් ම තවුසාට උයන හැර යන්නට සිතිණි. නමුදු නො ගියේ රජුගේ හිත රිදෙන නිසා ය.
හැම දෙයක් ම සමථයට පත් වී බරණැස් නුවර නිවී සැනහී ගියාක් මෙන් පැවතුණේ ය. එහෙත් සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නො වූ සිදු වීමකි. බරණැස් රාජ්‍යයට විශාල සතුරු කරදරයක් ආවේ ය. බඹදත් රජතුමා ලොකු සේනාවක් ද රැගෙන ඒ සතුරන් විනාශ කිරීමට ගියේ ය. මඟුල් උයනෙහි විසූ තාපසයාගේ උපස්ථාන කටයුතු රාජ මහේෂිකාවට භාර කරන ලදී. තාපසයාණන් වහන්සේගේ දානය රාජ මාළිගය තුළ පිළියෙල කෙරිණි. තවුසා දන් පිළිගනු පිණිස අහසින් රජ මැඳුර වෙත වැඩම කළ හ. අග මෙහෙසිය නො ඉවසිල්ලෙන් බලා හිටියේ දන් පූජා කිරීමට ය. තවුසා මැඳුරට පැමිණියේ ය. බොහෝ වේලාවක් වැඩ කර වෙහෙසට පත් ව සිටි අග මෙහෙසියට තද නිදිමතක් දැනිණි. ඇයට මාළිගයේ යහනක් තුළ නින්ද ගියේ ය. තවුසා මාළිගයට පැමිණි බව ඇයට සිහිනයෙන් මෙන් දැනුණේ ය. ඇය කගබලයට පත් වී. එනිසා ම ඇයගේ උඩු කයෙහි වූ දුහුල් සළුව ලෙහී බිම වැටිණ. තවුස් තෙම එය දිටී. තවුසාගේ සිත ඉමහත් වියවුලක පැටලුණේ ඔහු සිල් බිඳී ගියේ මහ උණුසුමකට හසු වූ ඊයම් බරු දිය ව යන්නාක් මෙන් ය. ලොව හැම දෙයක ම ඇති අසුබය ඔහු මේ තාක් ම මෙනෙහි කර ඇත. එතෙකුදු වුවත් අද තවුසාට එය මතක නැති වී ගියේ ය. හෙතෙම ගල් ගැසුණාක් මෙන් අග මෙහෙසිය දෙස ම බලා හිටියේ ය. “තවුසාණන් වහන්ස, මේ දන්
පිළිගන්න” දේවිය කීවා ය. එහෙත් තවුසා දේවිය දෙස බලා ගත් වන ම ය. අමාත්‍යයෝ ද අසල සිටියෝ ය. අග මෙහසියට සිදු වී ඇති දෙය තේරුම් ගියේ ය. ඇයට මහත් වූ ශෝකයක් ඇති වුණේ ය. ඇය තාපසයාණන් වහන්සේගේ පාත්තරයට දන් බෙදුවා ය. තවුස් තෙම ආපසු යන්නට සැරසුණේ ය. එතෙක් කෙලෙස් වසඟයට පත් වී සිටි උන්වහන්සේගේ ධ්‍යාන සියල්ල පිරිහී තිබිණ. එහෙයින් උන්වහන්සේට අහසින් වැඩම කිරීමට නොහැකි විය. උන්වහන්සේ පා ගමනින් ම රාජ උද්‍යානයට ගිය හ. එහිමි තෙම එහි වූ පන්සලට වී කල්පනා කළ හ. මට සතුරු වූවේ කවුද? අන් කවරෙකු වත් නො වේ. මාගේ සිත ම ය. එහි නෙ වැනසී තවමත් හොල්මන් කළ කෙලෙසුන් ම ය. එයින් මා බොහෝ අසරණ බවකට පත් වූවා නො වේ ද? මේ නියායෙන් ම උන්වහන්සේ යළිත් බවුන් ලොවට පිවිසියේ ය. ඒත් සමග ම උන්වහන්සේට නැති වී ගිය ධ්‍යාන නැවත ලැබුණේ ය. උන්වහන්සේ අහසට පැනනැඟී යළිත් මහ හිම වතට වැඩම කළ හ. එයින් ඉක්බිති යළි කවරදාක වත් අන්තරාදායක මිනිස් වාසය තුළ උන්වහන්සේ දක්නට නො ලැබිණි.