මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න
නෙළුම් මලෙන් නිකෙලෙස් බෞද්ධ දිවිපෙවෙත සංකේත කර දැක්වේ. නෙළුම් මල ගොහොරු මඩෙහි ඉපිද අපිරිසුදු මඩ වතුර ඇසුරු කර වැඩෙයි. එහෙත් එය පිරිසුදු ලෙසත්, පියකරු ලෙසත් විකසිත වී අපිරිසුදු පොකුණෙන් ඉහළට නැඟී සිටියි. එය හාත්පසින් හා ප්‍රභවයෙන් ද අපිරිසුදු වුවත් එහි පවිත්‍රත්වය හා අලංකාරය නරඹන්නා තුළ ආධ්‍යාත්මික පහන් බවක් ඇති කරවයි.
පුද්ගලයා නමැති නෙළුම් මල මිනිස් සමාජය නමැති පොකුණෙහි විකසිත වෙයි. පුද්ගලයාගේ උත්පත්තිය හා පිළිසිඳ ගැනීමත්, බිහිවීමත් අපිරිසුදු බවින් යුක්තය. ඔහුගේ වැඩීම හා අභිවෘද්ධියත්, වියපත්වීම හා අධ්‍යාපනයත්, ඔහුගේ ඇදහීම, බොරුව සහ අසහනය, දුප්පත්කම හා පෞද්ගලිකත්වය, බලාපොරොත්තු කඩවීම හා අධෛර්ය, ජයග්‍රහණය හා පරාජය, වාසිය හා අවාසිය, නම්බුව හා අවනම්බුව, ප්‍රශංසාව හා නින්දාව, සතුට හා අසතුට ආදී සියලුම තත්ත්වයන් දුක් සහිතය. මේ සියල්ල මිනිස් ලෝකය හා සම්බන්ධ කරන තත්ත්වයන්ය. එහෙත් ප්‍රඥාවන්ත වූ නියම බුද්ධ ශ්‍රාවක (ආර්ය ශ්‍රාවක) තෙමේ මෙවැනි දුක් සහිත ලොවක ඉපිද වරදින් තොරව, පවිත්‍රත්වයෙන් හා ආධ්‍යාත්මික පරිපූර්ණත්වයෙන් බබළයි. ඒ වූ කලී ආර්ය ශ්‍රාවකයන්ට නියමිත වූ කර්තව්‍යයයි. බෞද්ධ ඉගැන්වීමේ පරමාර්ථය එයයි. මේ පාරිශුද්ධ ජීවිතයට එළඹෙන්නේ කෙසේ ද?
මිනිස් ජීවිතය පෞද්ගලික හා සාමාජික යැයි දෙවැදෑරුම්ය. මිනිසා ජන සමාජයේ එක් කොටසකි. පෞද්ගලික ශුභ සිද්ධියටත්, පාරිශුද්ධතාවයටත් සමාජය උපකාරී වෙයි. හොඳ ජීවිතයක බීජ වැපිරීමට අවශ්‍ය සාරවත් ක්‍ෂේත්‍රයක් ඇති කරන්නේ සමාජයයි. දුකය, සැපය යනුවෙන් ජීවිතය වර්ග කළ නොහැක. තමා විසින් තමාගේ විමුක්තිය සඳහා කටයුතු කිරීම ලෞකික වශයෙන් තමාගේ ප්‍රීතියටත්, ලෝකෝත්තර වශයෙන් විමුක්තියටත් උපකාරි වේ. එහෙත් ප්‍රමාණ වශයෙන් විශ්වය හා සැසඳීමෙන් එය නොවැදගත් කොටසක් පමණක් වෙයි.
අපගෙන් අපට පමණක් නොව අප අවට ලෝකයටත් ඉටුවිය යුතු යුතුකම් ඇත. ඥානය හෙවත් ප්‍රඥාව අපගේ විමුක්තියට උපකාරි වෙයි. එහෙත් අප ලවා අවට ලෝකයාගේ විමුක්තිය පිළිබඳව සෙවීමට අප මෙහෙයවන්නේ දයාව හෙවත් කරුණාවයි.
ලෝකයත් අප අවටත් තේරුම් ගැනීමට අපට ඥානය උපකාරි වේ. අපගේ ගැටලු නිරාකරණය කර ගැනීමට පෙර ඒ පිළිබඳව සිතා බැලීමට අපට පුළුවන. වස්තූන්, සිදුවීම්, පුද්ගලයන් යනු කිසියම් හේතු ප්‍රත්‍ය සමූහයකින් පාලනය කරනු ලබන තත්ත්වයන් බව ඥානය අපට පැහැදිලි කරයි. අපගේ අතීතය, වර්තමානය හා සම්බන්ධ කරන්නේ ද ඒ ඇසුරින් ආවරණය වූ අනාගතයක් ගැන සිතන්නට අපට හැකි වන්නේ ද මේ හේතුඵල සම්බන්ධය නිසාය. ඉපදීම, මරණය හා අනන්ත දුක් වේදනා සංඛ්‍යාත කොට ඇති මිනිස් ජීවිතය වූ කලී එකිනෙක වෙළී සම්බන්ධ වූ කායික හා මානසික සක්‍රීය හේතු ප්‍රත්‍යයන්ගේ නොනවතින ප්‍රවර්තනයකි.
සිතිවිල්ලෙන්, වචනයෙන් හා ක්‍රියාවෙන් සිදුවන අපගේ හැසිරීම අවිද්‍යාව මුල්කොට ඇති වන අකැමැත්ත හා සම්බන්ධ ආශාවන් විසින් පොලඹවනු ලබන පාලනය කොට මෙහෙයවනු ලබන තත්ත්වයකි. ආශාවන් යනු අනාවරණය නොවූ පුද්ගල කාමය ඉස්මතු වීමකි. ආශාවන් මගින් පොලඹවා අප ක්‍රියා කරනතුරු, අපි සත්‍යයට හා යථා තත්ත්වයට (යථාභූත) අමුත්තෝ වෙමු. හේතු ඵලවාදය අපගේ ජීවිතය පාලනය කරන අයුරු වටහා ගැනීමට අපගේ ක්‍රියාවන්හි වරද නිවරද ස්වභාවය කෙරෙහි අප සිත් යොමු විය යුතුයි.
ලෝභ, දෝෂ, මෝහ යන අකුසල් මුල් තුන විසින් අපගේ ජීවිතය නමැති දම්වැලට නොපැහැදි අනාගතයකට අලුත් පුරුක් එක් කරනු ලබයි. එහෙත් දම්වැලෙහි ශක්තිය රඳා ඇත්තේ එහි දුර්වලම පුරුක මතය. එහි දුර්වල පුරුක නම් තණ්හාව හා උපාදානයයි. මේ තණ්හාව හා උපාදානයත් මිනිස් මනසෙහි ප්‍රවර්තනයන් දෙකට සම්බන්ධ වෙයි. මේ මූලික ප්‍රවර්තනයන් නොවැළැක්විය හැකි ස්වාභාවික තත්ත්වයක් වන අතර, ඉන්ද්‍රිය අනුභූතිය සඳහා මෙය අත්‍යවශ්‍ය වෙයි.
බාහිර ලෝකයේ උත්තේජකයන් අපගේ ඉන්ද්‍රියයන් මත ගැටෙන විට ඇතිවන ඉන්ද්‍රිය විඤ්ඤාණය නිසා අපට වේදනා ඇති වේ. මේ මානසික ප්‍රවර්තනයෙන් වැළකීමට කෙලෙස් රහිත ප්‍රඥාවන්තයාට ද නොහැක. එහෙත් ඊළඟ තත්ත්වය වැළැක්විය හැක්කකි. මේ ප්‍රවර්තන තත්ත්වය හා සම්බන්ධ වන්නේ තණ්හාව හා උපාදානයයි. කෙටියෙන් කියතහොත් බුදුන් වහන්සේ සොයා ගත්තේ මෙයයි. ධර්ම ඉගැන්වීමේ පරමාර්ථය මෙයයි. ප්‍රඥාවේ පරිපූර්ණත්ව යනු මේ පිළිබඳ අවබෝධයයි.
ප්‍රඥාව පුද්ගලයා වෙත අවශ්‍ය සතුට හා සැපත ගෙන දෙයි. එමෙන්ම ලෝකය පිළිබඳ සත්‍යය හා යථාභූතය පැහැදිලි කර මිනිසා සම්පූර්ණත්වයට පමුණුවයි. එහෙත් ඔහු සමාජයට ණයගැතියි. ඔහු ලෝකය වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් ඉතිරිව ඇති බැවිනි. මේ වැඩ කොටස නම් කරුණා ගුණයේ ක්‍රියාත්මක භාවයයි. කුරුල්ලන් වන සතුන් හා මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ගහ කොළ ඵලදරයි. එමෙන්ම ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඔහුගේ සමාජය උදෙසා කැප වෙයි. ප්‍රඥාවන්තයා සමාජයෙහි විසුව ද සමාජය පිළිබඳ කරදරයෙන් තොර වූවකි. ඔහු ලෝකයෙහි විසූව ද ලෝකයෙහි නොගැලෙයි. (ලොකෙඨිතො ලෝකෙන අනුපලිත්තො) යම් පුද්ගලයකු තමාගේ පාරිශුද්ධිය සඳහා වීර්ය වඩයි ද අන්‍යයන්ගේ ද පාරිශුද්ධිය ගැන සලකා සමාජය අතරට පැමිණේ ද ඔහු බෝධි සත්ත්වයකු ලෙස හැඳින්වේ. හැමවිටම, හැම කල්හිම, ඔහුගේ කාර්යය වනුයේ මිනිස් ජීවිතයේ ශිෂ්ටත්වයට හා විශිෂ්ටත්වයට පත් කිරීමයි. බෝධි සත්ත්ව තෙමේ බුදුන් වහන්සේගේ නියම ශිෂ්‍යයා වෙයි. නෙළුම් මලින් අර්ථවත් කරන්නේ මේ ආදර්ශවත් වක්තෘවරයාගේ දිවි පෙවෙතයි.
ලෝකය දෙස විවිධ දෘෂ්ටියෙන් යුක්තව බැලීමට කරුණාව අප මෙහෙයවයි. මිනිස් වර්ගයාට සේවය කිරීමට අප මෙහෙය වන්නේ මානව භක්තිය අප තුළ ඇති කරන්නේ, දුක පිළිබඳව අපට ඇති වන වැටහීමයි. මනුෂ්‍ය සමාජයේ ගැටලු හේතුඵල සම්බන්ධයකින් ලෝකයේ ගැටලු හා සම්බන්ධ වී ඇති අයුරු අපට දැනගන්නට පටන් ගනී. මේ නිසා සියලුම පරිත්‍යාගයන්ට වඩා අතිඋත්තම වූ මිනිසාට සේවය කිරීම සඳහා අපේ ජීවිත කැපකිරීමට අපි උනන්දු වෙමු. අපේ ජීවිතය විමුක්තිය සොයා යන වන්දනා ගමනක් බඳුය. අපේ දුක් කරදර ද අවුල්සහගත ලෙස අපේම අසල්වැසියන් හා සමාජය සමග බැඳී ඇත. සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මිකව වර්ධනය වීමට නම් අභ්‍යන්තර වශයෙන්, භාවමය හා බුද්ධිමය පක්ෂයෙන් වෙනසක් ඇති විය යුතුය. එහෙත් සාමාජීය වශයෙන් දියුණුවීමට නම් මෙවැනි අභ්‍යන්තර දියුණුවක් පමණක් නොව බාහිර වශයෙන් සමාජ ක්‍රමයට අනුකූලව පරිසරයේ වෙනසක් ඇති විය යුතුය.
මිනිස් ක්‍රියාකාරිත්වයට තුඩු දෙන මූලික පෙලඹවීම් දෙකක් ඇති බව ඉතිහාසයෙන් පෙනේ. කාලය හා සම්ප්‍රදාය විසින් සංශෝධනය කරන ලද සමාජ ක්‍රමය උසස් කර සැලකීමටත් එයට එකඟ වීමටත් එයින් මුල පෙලඹවීම අප මෙහෙයවයි. අපේ ජීවිතයේ සියලු දෙයක්ම වෙනස් වීමට ඉඩ ඇත. අලුත් සමාජ තත්ත්වය විසින් පැරණි සමාජ ක්‍රමයන් නිෂ්ප්‍රයෝජන කරනු ලබයි. පවතින සමාජ ක්‍රමයෙහිම තදින් එල්බ ගෙන සිටීමට තැත් කළහොත් අපි පැරණි දේවල් අවිචාරයෙන් එල්බ ගන්නා පරණ හණමිටිකාරයන් බවට පත්වෙමු. මෙය දෙවැනි පෙලඹවීමට හේතු වෙයි. එයින් වන්නේ පැරණි ක්‍රමයටම අනුව ක්‍රියාකරමින් ඒ ක්‍රමයෙහිම පුරුෂාර්ථ ක්‍රියාත්මක කිරීමයි. මේ පෙලඹවීම් එකින් එක ගැටෙන විට වාද විවාද, සාකච්ඡා ආදිය ඇති වෙයි. මේ වූ කලී බුදුන් වහන්සේ අපෝහක ගවේෂණයෙන් බිඳකි. සමාජ පරිණාමය හා සක්‍රීය සමාජයේ වර්ධනයෙහි ප්‍රභවය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනයෙන් බිඳකි.
වෙනස්වීම සාමාන්‍ය සත්‍යයකි. එහෙත් එය ගැඹුරු දහමෙකි. මිනිස්සු වෙනස්වීම් නිසා හොඳ හෝ නරක වෙති. වෙනස්වීම යහපත සඳහා යොමු කර ගැනීමට හැම උත්සාහයක්ම ගැනීමට කරුණාව අප පොලඹවයි. පුද්ගලික හා සාමාජීය දියුණුවට යොමු කරවිය හැකි සම්භාව්‍යතාවක් අනිත්‍ය වූ මේ ලෝකය තුළ ඇති බව බුද්ධ ශ්‍රාවකයන්ට පෙනේ. බුද්ධ ශ්‍රාවක තෙමේ තමන් ජයගෙන එම ජයග්‍රහණය සමාජයේ පොදු යහපත සඳහා කැප කරයි.
බුදුන් යන සංකල්පය ධර්මයේ ප්‍රතිමූර්තියක් බඳුය. ධර්මය නෙළුම් මලක් මෙනි. නෙළුම් මල බෞද්ධ කලාවෙහි සංකේතයක් ලෙස වැදගත් තැනක් ගනී. එය සමහර විට ධර්මය හා බුදුන් වහන්සේ ද එකවිට නියෝජනය කරමින් සංකේතවත් වෙයි. බෞද්ධ වෙහෙර විහාර තුළ විචිත්‍ර ලෙස නෙළුම් මල සිත්තම් කර ඇත. බුදු පිළිමය වැඩ සිටින්නේ ද නෙළුම් මල මත්තෙහිය. බුදුන්ගේ හා ධර්මයේ ගුණ ගයන කවීන් හා ලේඛකයන් නෙළුම් මල විශිෂ්ට රූපයක් ලෙස යොදා ගෙන ඇති සැටි සාහිත්‍යයෙන් පෙනේ. බුදුන් වහන්සේට ගෞරව දැක්වීමට බැතිමතුන් අතින් බුදු පා නමැදේ.