අයාලෙ දුවන හිත

rashi
By rashi
8 Min Read

මෙහිදී අප යෙදූ සාමකාමී උපක්‍රමය නම්, බාධාවට “පල නොකියා පලා බෙදීමයි”. මහා සුඤ්ඤත සූත්‍රයෙහි විස්තර වන පරිදි බුදුරදුන් ද අවේලාවල පැමිණෙන අයාලේ යන්නන් පිළිබඳව ක්‍රියා කළේ මේ ආකාරයටය. පවිවේකය සඳහා නැමුණු සිතැතිව, පවිවේකී සිතින් යුතුව, අයාලේ යන්නන් පලවා හැරීමේ සංසිද්ධිය ගැන සාකච්ඡා කරමින් ආචාර්ය ශාන්තිදේව විසින්, අඥානයන් ගැන ක්‍රියා කළ යුතු යැයි දක්වන ලද ආකාරය ද මීට සමානය. කෙනකුට අයාලේ යන්නන්ගෙන් වෙන්වීමට නොහැකි නම් මධ්‍යස්ථ බවකින් යුක්තව විනීතව ඔවුන් ගැන ක්‍රියා කළ යුතුය.

  1. බාධාව තවදුරටත් පවතී නම්, ඉවසිල්ලෙන් ආධුනිකයකු ලෙස නැවතත් සති මාත්‍රය පුහුණු කළ යුතුය. ශක්තිය දුර්වලව ගිය විට එම බාධාව ඉබේම අතුරුදන් වනු ඇත. මෙහිදී යෝගාවචරයා දක්වන ආකල්පය නම්, නැවත නැවත එන බාධාවලට “එපා” යන මුහුණින් පිළිතුරු දීමයි. තමාගේ ගෝචර අජ්ඣත්ත අරමුණෙන් හෙවත් මූල කර්මස්ථානයෙන් බැහැරවීමට අකැමැත්ත ඍජුවම දැක්වීමයි. මෙය ශාන්තියේ හා ඍජු භාවයේ ආකල්පයයි. සෝදිසියෙන් පරීක්ෂා කිරීමේ හැකියාව සඳහා, ඉවසා සිටීමේ හා තම ස්ථාවරයෙහි නොසැලි සිටීමේ හැකියාව උපකාර වේ.

ස්වභාවයෙන්ම දුර්වල වූ අයාලේ යන සිතිවිලි හා දවල් සිහින ආදිය සම්බන්ධයෙන් මේ උපක්‍රම දෙක සාර්ථක වනු ඇත. එසේම අනෙක් බාධා දෙක වන බාහිර උපද්‍රව සහ කෙලෙස් සඳහා ද බොහෝ විට ප්‍රයෝජනවත් වනු ඇත.

  1. එහෙත් යම් හේතුවක් නිසා හෝ මේ බාධක යටත් නොවී නම්, ඒ ඒ බාධාවට අවධානය යොමු කොට එයම සතියෙහි අරමුණ බවට හරවා ගත යුතුය. එනම්, බාධකය සාධකයක් බවට හරවා ගැනීමයි. එමගින් ඔහු භාවනාවට පටහැණි කරුණ ඉවත් වන තුරු එයට මුහුණ දිය යුතුය. එසේ නැතහොත්, එයට අදාළ හේතුව ඉවත් වන තුරු හෝ ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් දිගින් දිගටම එයම අරමුණු කොට හෝ භාවනා කළ හැක.

බාධකය බලවත් ශබ්දයක් නම් එයට අපගේ සම්පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවේ. මෙහිදී අප පරෙස්සම් විය යුත්තේ ඒ බාධාව කෙරෙහි ප්‍රතික්‍රියා නොකර සිටීමටයි. අවිරුද්ධව සිටීමටයි. ඉදින් ප්‍රතික්‍රියාවක් ඉබේටම මෙන් සිදුවූයේ නම් එම ප්‍රතික්‍රියාව පැහැදිලිව හඳුනා ගැනීමට පුරුදු විය යුතුය. මෙසේ කිරීමෙන් සතිපට්ඨාන සූත්‍රයේ පහත දැක්වෙන ඡේදයට අනුව ධම්මානුපස්සනාව පුහුණු කරන්නෝ වෙමු.

“සොතඤ්ච පජානාති, සදේද ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤේඤාජනං තඤ්ච පජානාති”

ඔහු, කන හා ශබ්ද දැනගනී. ඒ දෙක නිසා හටගන්නා සංයෝජන ද (උදා: ක්‍රෝධය) දැනගනී. ශබ්දය නොනැවතී පවතී නම් හෝ අඩු වැඩි වේ නම් කෙනකුට එයින් උගැන්වෙන ඇතිවීම හා නැතිවීම (උදයබ්බය) හඳුනාගැනීමට පුළුවන. එය අනිත්‍යය පිළිබඳ තමාගේ විදර්ශනා ඥානයට තවත් රුකුලක් වනු ඇත.

වරින් වර පැමිණෙන රාග උද්ධච්ච ආදී කෙලෙස් ධර්ම ගැනත් ඇතිකරගත යුතු ආකල්පය ද එයමය. ඒවාට ඍජුව මුහුණ දීමට අවශ්‍යය. එහෙත් ඒවා තමාගේ ක්‍රෝධය, බිය ආදී ප්‍රතික්‍රියාවලින් වෙන්කර හඳුනාගැනීමට පුරුදු විය යුතුය. මෙසේ කිරීමෙන් කෙනකු “නම් කිරීමේ” අභ්‍යාසය ද පුහුණු කරන අතර, කලින් දක්වන ලද එහි ප්‍රතිඵල ද භුක්ති විඳිනු ඇත. වරින් වර ඇතිව – නැති වන රාග උද්ධච්ච නමැති කෙලෙස් දිය රැලි අතර කෙනකුට උස් – පහත් වීම හෝ ඇතිවීම – නැතිවීම නමැති විවිධ අවස්ථා දැකගත හැකිය. ඒවායේ ස්වභාවය පිළිබඳව තමාගේ භාවනාවට අදාළ වැදගත් කරුණු ඔහුට ඉගෙන ගත හැකිය. මේ ක්‍රමය අනුව හෙතෙම සතිපට්ඨානය ඇතුළත සිටිමින් චිත්තානුපස්සනාව ද ධම්මානුපස්සනාව ද පුරුදු කරන්නේය. හැසිරීම අපගේ මනාපය අමනාපය ගැන නොතකා අදාළ න්‍යායට අනුව සිදුවේ. එහෙත් සති මාත්‍රය යෙදීමෙන් ඒ බාධාවල බලපෑම්වලට යට නොවී සිටීමට, අපගේ කර්මස්ථානයෙන් ඉවත් නොවී සිටීමට අපට පුළුවන. සතිය නමැති ගෝචර භූමියේ ස්ථාවර ලෙස සහ ශාන්ත ලෙස අපේ පා තබමින් අප ද කරන්නේ බෝ මැඬදී බුදුරදුන් වැඩ සිටි භූමිය ගැන මාරයා අයිතිවාසිකම් පළ කිරීමේ ඓතිහාසික සිද්ධිය නැවතත් අත්හදා බැලීමකි. සතියේ ඇති බලමහිමය ගැන අපේ දෘඪ විශ්වාසය තබමින් බුදුරදුන් බුද්ධත්වයට පෙර කළ ඒ ප්‍රාර්ථනය මෙහිදී නැවත සිහිපත් කරමු. “මා මං ඨානා අචාවයි” මාර තෙමේ මා මෙතනින් ඉවත් නො කෙරේවා.

සති මාත්‍රය පුරුදු කිරීමේදී අපේ සුපරීක්ෂාකාරී ඇස් ඉදිරියේ ගලා යන විශාල මානසික හා කායික චින්තනයේ අනික් සාමාජිකයන් මෙන් කරදරකාරී අයාලේ යන්නන්ගේ ද යාම් – ඊම් වේවා! යන්න සිත්හි ධාරණය කරගත යුතුය.

මෙහි අපගේ වාසිය හැටියට සැලකිය යුතු දේ නම්, චිත්තක්ෂණ දෙකක් එක වර පහළ නොවිය හැකිය යන පැහැදිලි සත්‍යයයි. ඇත්ත වශයෙන් අවධානය යෙදෙන්නේ වර්තමානයට නොව ඉකුත් වූ මොහොතටයි. එහෙයින් එසේ නොවී සතිය ස්ථාවර තාක් “බාධකයක්” හෝ “දූෂ්‍ය” සිතිවිල්ලක් හෝ ඇති විය නොහැකිය. මෙමගින් අපට අපගේම නිර්මල නික්ලේශී භූමියේ රැඳෙමින් අනාගත කෙම්බිම ගැන බලාපොරොත්තු තැබිය හැක.

ඉහත දැක්වූ ත්‍රිවිධ උපක්‍රම මගින් ඇතිවන දුරස්ථ නිරීක්ෂණවල නොගැටෙනසුලු අභ්‍යාසය නිසා, භාවනාවේදී ඇතිවන බාධාවල දැවිලි – තැවිලි දිගින් දිගටම දුර්වල වීම සිදු විය හැක. ඇත්ත වශයෙන්ම මෙම භාවනාව “විරාගී” ක්‍රියාවක් හැටියට ඔප්පු වන්නේය. විරාගී යන්නෙහි අදහස නම් විරංජනයයි. වෙන විධියකින් කියතොත් ඉහත දැක්වූ අත්දැකීම්වල රාග, ද්වේෂ, මෝහාදි කෙලෙස් අවුස්සන ඉතා චාම් මෙන්ම විචක්ෂණ වූ ද මෙම ක්‍රමය භාවනාමය බාධක, සාධක බවට පත්කර ලන අතර, ඒ සඳහා උපායශීලී විය යුතුය. එමගින් අපි අවිරුද්ධ ප්‍රතිපදාවේ උච්චතම අවස්ථාවට පිවිසෙමු. සියලුම අත්දැකීම් ප්‍රතිපදාවේ ආධාරකරුවන් හැටියට හරවා ගැනීම සතිපට්ඨාන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වේ. මේ ආකාරයෙන් සතුරෝ මිතුරන් බවට පත් වෙති. මක්නිසාද යත්, බාධා සහ කරදර අපගේ ගුරුවරුන් බවට පත්වන හෙයිනි. ගුරුවරුන් කවුරුන් හෝ වේවා, මිතුරන් හැටියට සැලකිය යුතුය.

මෙහිදී වැදගත් කුඩා පොතකින් ගත් උද්ධෘතයක් ගෙනහැර දක්වන්නට කැමැති අතර, එය අමතක නොකළ යුත්තකි. එය වූකලී අප්‍රතිහත ධෛර්යය හා ප්‍රායෝගික ඤාණය පිළිබඳ මහඟු ලේඛනයකි. ඒ ලේඛනය කැතරින් බට්ලර් හැතවේ යන කතුවරියගේ කෘතියකි. එහි නම ”The Little Locksmith” වේ.

තමන්ට අරුචි දේ විසිකර දමන ඇතැම් පුද්ගලයන්ගේ මෝඩකම සහ නාස්තිකාරකම නිසා මම කම්පාවට පත් වෙමි. තමන් අකැමැති නිසා අත්දැකීම්, මිනිසුන්, විවාහ, මහඟු අවස්ථා ආදී හැමදෙයක්ම ඔවුහු ඉවතට විසිකර දමති. ඔබ යමක් විසි කළහොත් ඔබෙන් එය සදහටම ඈත් වේ. කලින් ඔබට යම් කිසිවක් තිබුණ නමුත් දැන් කිසිවක් නැත්තේය. ඔබේ දෙඅත් හිස්ය. ඒ අත්වලට කිරීමට දෙයක් දැන් නැත්තේය. එසේ වුවද විසිකර දමනු ලැබූ හැම දෙයක්ම මඳක් නුවණ පාවිච්චි කිරීමෙන් පසු ඊට වෙනස් දෙයක් බවට හරවා ගැනීමේ පුළුවන්කම තිබේ… එහෙත් බොහෝ මනුෂ්‍යයන් සිහි නොකරන දෙයක් ඇත. එනම් හැම නරක දේකම ඇති හොඳ පැත්ත හෙවත් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව ය. එමගින් අරුචි දේත් රුචි දේ බවට හරවා ගත හැක.

භාවනාවට පටහැණි යට කී ත්‍රිවිධ බාධාවල පැමිණීම, වළක්වන්නට නොහැකි දෙයක් බව කලින්ම මතක් කළේ මේ නිසාය. ඒ බාධා අපගේම ලෝකයට අවශ්‍ය, අපට අයත් කොටස්ය. ඒවායේ රසාත්මක ලක්ෂණය තුරන් වී යෑමෙන් අත්දැකීම් නික්ලේශී ශුද්ධ ධර්ම බවට පත් වේ.

සති මාත්‍රය උගන්වන අවිරුද්ධ ක්‍රමය, සිතෙහි පවතින තියුණු දුර්දාන්ත ස්වභාවය පාලනය කිරීමට ද, ජීවිතයේ දුෂ්කර අවස්ථා හා බාධකවලදී ඒවා ගැන කටයුතු කිරීමට ද යෝගාවචරයාට අවශ්‍ය වන අහිංසක බව ලබා දේ. භාවනා මගින් ධ්‍යාන ඇතිකරගැනීමට අවශ්‍ය වූ වීර්යය විස්තර කිරීමේදී එක්තරා උපමාවක් විශුද්ධි මාර්ගය මෙසේ දක්වයි.

එනම් වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම පිළියම ඉගෙන ගත්තා වූ පැරණි ශිෂ්‍යයන් විසින් ස්වකීය දක්ෂතාව ඔප්පු කිරීම සඳහා කළ යුතු වූ පරීක්ෂණයකි. නෙළුම් පතක් ජල භාජනයක පාවෙන විට ශිෂ්‍යයකු විසින් කළ යුත්තේ එම නෙළුම් පත දිගේ ඇති නහර දැලිපිහියකින් සියුම් ලෙස පැළීමයි. මෙයට “ශිරාවේදය”යි කියනු ලැබේ. නහර ය සම්පූර්ණයෙන් නොකැපෙන ලෙසට (දියට කිඳා නොබසින ලෙසට) ශිල්පය සිදු කළ යුතු විය. අධිවේගී තැනැත්තා නෙළුම් පත දෙපළු වන ලෙසට කපයි. කෝල වන තැනැත්තා දැලිපිහිය ළං කිරීමට ද අසමත් වේ. චිත්තාභ්‍යාසවල දී ද අවශ්‍ය වන්නේ ශල්‍යකර්ම වෙදැදුරුගේ මෘදු, එහෙත් සුඛනම්‍ය හස්තය වැනි ආකල්පයකි. මෙම කාර්යක්ෂම වූ සමබලැති ස්පර්ශය, සති මාත්‍රය මගින් පුරුදු කරනු ලබන අවිරුද්ධ ප්‍රතිපදාවේ ප්‍රතිඵලය වනු ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *