මහාචර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි
තාණ, ලෙණ, ඛෙම යන පර්යාය පදවලින් ද ප්‍රකාශ වන ආරක්ෂාව, පිහිට, ආවරණය වැනි අරුත් ඇති සරණ යන්නෙන් භය, සන්ත්‍රාසය, දුඃඛ, දුර්ගති, පරික්ලේශයන් හිංසනය, හනනය, විනාශනය කෙරෙයි යනු ප්‍රකාශ වෙයි. එය ‘ඍ – හිංසායාම්’ යන ධාතුමූලක පදයකි. ඒ අනුව තමන්ට මුහුණ පෑමට සිදුවන අපල උවදුරු දුරු කරගැනීම, අභිවෘද්ධි, අදහස් සඵල කරගැනීම අරභයා අන්‍යයකුගේ හෝ අන් වස්තුවක පිහිට ආරක්ෂාව අපේක්ෂා කිරීම, සරණාගමනයෙන් සිදුවෙයි. මෙම සංකල්පය බුද්ධ පූර්ව යුගයේ සිට භාරතීය සමාජයේ පැවැති බව බුද්ධ දේශනාවලින් පැහැදිලි වෙයි. අනුන් වෙත පවත්නා අදෘශ්‍යමාන බලවේගවලට මෙබඳු පිහිටවීමේ ශක්තියක් ඇතැයි විශ්වාස කළ මිනිස්සු බියෙන් තැතිගැනීමෙන් යුතුව පර්වත, වනාන්තර, වෘක්ෂ, යකුන්, දෙවියන්, අධිගෘහිත යැයි විශ්වාස කළ ආරාම චෛත්‍යස්ථාන සරණ ගියහ. සිය දුක්ගැනවිලි පිළිබඳවත්, අභිවෘද්ධිය පිළිබඳවත් ආයාචනා කළහ. පුද පූජා පැවැත්වූහ. ගින්න, වැස්ස, වාතය වැනි ස්වභාවධර්මයට අයත් දේ දේවත්වයට ආරෝපණය කොට ඒවා සතුටු කොට රැකවරණය හා සැප සම්පත් බලාපොරොත්තුවෙන් සිදුකළ යාග හෝම ගීත ජල්පනාදී වේද විහිත කාර්යයන්ට මුල්ව ඇත්තේ ද බිය තැතිගැනීම වැනි අදහස්ය. මොහෙන්ජොදාරෝ නෂ්ටාවශිෂ්ට අතර දක්නට ලැබෙන වෘක්ෂ වන්දනා ජගන්මාතා වන්දනා සිහිගන්වන ලාංඡනවලින් පෙනී යන්නේ ද මේ අදහසම බව පිළිගත හැකිය.
ලොව පැවැති මෙකී චිරන්තන සරණ සංකල්පය අනුව පර්වත, වනගහන, ආරාම, චෛත්‍යස්ථාන, මිනිසාට උතුම් සරණක් නොවන බව බෞද්ධ මතයයි. ඉහත උද්ධෘතයෙන් පැවසෙන පරිදි එම සරණය උතුම් නොවනවා පමණක් නොව එම සරණයට පැමිණීමෙන් සියලු දුක් දුරු නොකළ හැකි බව ද පෙන්වා දී තිබේ.
ඉහත සඳහන් පරිදි බිය, සන්ත්‍රාස, දුඃඛ, දුර්ගති, පරික්ලේශ යන සකලවිධ දුකට පිහිට තිසරණය බව බුදු දහම පෙන්වා දෙයි. මේ අනුව සරණ සංකල්පය වෙනුවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ තිසරණ සංකල්පයයි. තිසරණය නම් බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණයයි. අනඤ්ඤසරණ, අත්තසරණ, ධර්මයක් වූ බුදුදහම තිසරණය උතුම් සරණය බවත්, තිසරණගත වීමෙන් සියලු දුකින් මිදිය හැකි බවත් පවසා තිබේ. මෙය විචාරාත්මක ලෙසින් වටහා ගත යුතු කරුණකි. බිය සන්ත්‍රාසය පාදක කොට අන්‍ය සරණ වීමෙන් ගැති බව ඇති වන අතර ස්වකීය අශක්නුතා මගහැරීමේ වගකීම තමන් අත නොව අනුන් අත පවත්නා බව පිළිගනී. මෙකී ගෞරව සම්ප්‍රයුක්ත බිය මිනිසා වඩාත් දුබලයකු බවට පත් කරයි. තෙරුවන් සරණ යෑම මීට ඉඳුරා වෙනස් වූවකි. මෙය ඉතා කෙටියෙන් විස්තර කරන ගුරුළුගෝමීන් පවසා ඇත්තේ ‘තත්ප්‍රසාදක චිත්තෝත්පාදය සරණගමන නම් වේ කියා ය. තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇතිකිරීම සරණාගමනය බවයි. මේ පහන් සිත අවෙච්චප්පසාද, සද්ධා යන නම්වලින් ද හැඳින්වෙන අතර බිය සැක පදනම් කොටගත් අන්ධ එනම් අප්‍රත්‍යක්ෂ විශ්වාසයෙන් ඇතිවන භක්තියක් නොව ගුණ දැක ගුණ දැන විචාරයෙන් ඇති කොට ගන්නා පැහැදීමයි. බුදුහු මේ මේ ගුණ ඇත්තාහ. ධර්මයෙහි මේ මේ ගුණ ප්‍රකාශිතය. සංඝයා වෙත මේ මේ ගුණ ඇත්තේය. ඒ සද්ගුණ සාධුචර්යා මාගේ ඓහලෞකික, පාරලෞකික ආරක්ෂාව, පිහිට සඳහා පවත්නේය යි දැක දැක බුද්ධිමත්ව ප්‍රායෝගිකව තදනුගතවීම සරණාගමනය වෙයි.
බොහෝ සූත්‍රාන්තයන්හි දැක්වෙන ‘භවත් ගෞතමයෙනි, ඉතාමත් කදිමයි, ඉතාමත් හොඳයි, භවත් ගෞතමයන් වහන්සේ යටට හැර වූ දෙයක් උඩට හරවන්නාක් මෙන් ද වැසූ දෙයක් වැහුම් අරින්නාක් මෙන් ද මංමුලාවූවකුට මඟ කියා දෙන්නාක් මෙන් ද ඇස් ඇත්තෝ රූප බලත්වා කියා අඳුරෙහි තෙල් පානක් අල්ලන්නාක් මෙන් ද, නොයෙක් අයුරින් දහම් දෙසූ සේක. ඒ මම අද පටන් භවත් ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද සරණ යමි’ යන බණ අසා ගුණ දැක පැහැද තෙරුවන් සරණ යන පුද්ගලයන් තුළ ඇත්තේ බියක් ත්‍රාසයක් නොව විචාරාත්මක පැහැදීමක් බව පෙනේ. එසේම ඥාතිත්වය, බිය, ආචාර්යත්වය නිසා සරණාගමනය නොසිදුවන අතර අනුදක්ෂණීයත්වය පිළිගැනීමෙන්ම සරණාගමනය සිදුවන බව සඳහන් කිරීමෙන් ද වටහා ගත යුත්තේ බුද්ධාදී ගුණාවලම්බනවම සරණාගමනය සිදුවන බවයි. මෙපමණක් නොව සිවුවනක් පිරිස වශයෙන් හැඳින්වෙන බෞද්ධ සමාජයේ උපාසක උපාසිකා බව ලැබීමට තිසරණගත වීම අවශ්‍යය. තිසරණගත වීමෙන් ගෘහස්ථයකු උපාසක නම් වන බව ශාක්‍ය මහානාමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. තෙරුවන් උපාසනය කරන හෙයින් උපාසක නම් වෙයි. වෙත පැමිණීම, ඇසුර, තදනුගත ගුණානුගමනය යන සියල්ල උපාසක යන්නෙන් සැලකේ. මේ අනුව ගුණ දැක ගුණ දැන පැහැද ගුණානුලම්බනව ගුණානුසංගතවීම සරණාගමන සංකල්පයෙන් අදහස් වන අතර මෙය සියලු දුක් නැසීමට හේතුවන බැවින් උත්තම සරණය වෙයි.
සරණාගමන ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙපරිදි වේ. සරණාගමනයට බාධක උපක්ලේශ යටපත් කොට රත්නත්‍රය ගුණාවලම්බන වශයෙන් ලෞකික සරණාගමනය සිදුවෙයි. මගපල මගින් උපක්ලේශ නැසීමෙන් නිර්වාණාවලම්බනව ලෝකෝත්තර සරණාගමනය සපිරෙයි. එය කැඩී බිඳී යෑමෙන් නොසිදු වෙයි. ලෞකික සරණාගමනයෙන් භව සැප ලබන අතරම සෝවාන් ඵලය ලැබීමට පිළිපන්නෙක් වෙයි.
සරණාගමනය සතර ආකාරයකින් පවත්නා අයුරු ද විස්තර කොට ඇත. ආත්මනිර්යාතන, තත්පරායණ, ශිෂ්‍යභාවෝපගමන, ප්‍රණිපාත යනු ඒ සතරයි. තුනුරුවන් වෙත ජීවිත පරිත්‍යාගයෙන් සරණගත වීම ආත්මනිර්යාතනයයි. තුනුරුවන් උතුම් පිහිට වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණාගමනය තත්පරායණයයි. තෙරුවන්හි ශිෂ්‍ය බවට පැමිණෙමියි සරණාගමනය ශිෂ්‍යභාවෝපගමනයයි. තුනුරුවන්ටම මාගේ අභිවාදනාදිය වෙයි කියා සරණාගමනය ප්‍රණිපාතයයි.
මෙසේ විමුක්තිය අපේක්ෂාවෙන් බුද්ධාදී ගුණාලම්බනව සාරධර්ම සම්පාදනය සඳහා ප්‍රායෝගිකව ක්‍රියා කිරීමත් එයම අත්තසරණය බවත් බෞද්ධ සරණ සංකල්පයෙන් අපේක්ෂිත බව පෙනේ. එය ඥාන මාර්ගය විනා අන්ධ භක්තියක් හෝ විශ්වාසයක් නොවන අතර ආත්ම ශක්තිය වළලා ගැතිවීමක් නොවන බව සිතාගත හැකිය. යථාර්ථවත් ලෙස මිනිස් සිත මෙකී බුද්ධි මාර්ගයට මෙහෙයවීම සඳහා තිසරණ ග්‍රන්ථ රචකයන් තිසරණ ගුණ කථනයට ඔවුන්ගේ කෘතිවලින් ද අවස්ථාව සලසාගෙන ඇති බව ද පෙනේ.