දැන් පෙන්වනවා – ජීවිතය ළඟදීම එනවා – මරණය

rashi
By rashi
9 Min Read

ගුණතිලක මැටියගනේ

ඕනෑම පුහුදුන් මනුෂ්‍යයකුගෙ නෙත පිනවා ආස්වාදයක් විඳගැනීමේ විනෝදාංශයක් හැටියට බයිස්කෝප් එකට හෙවත් චිත්‍රපටයට ලොකු ඉඩකඩක් හිමිවෙනවා. අද වගේ නූතන දෘශ්‍ය මාධ්‍ය ඇස්බැන්දුම් රාශියක් නොතිබූ හැට – හැත්තෑව දශකවල චිත්‍රපට ප්‍රදර්ශනය ලොකු දියුණුවක් ලබමින් ජන ප්‍රසාදය දිනාගෙන තිබුණා. ප්‍රදර්ශක මණ්ඩල තුනක් යටතේ බෙදා වෙන්කරගත් සිනමාශාලා තුන්සියයක් පමණ සිරිලක සතර දිග්භාගයේ නගරවල හොඳ ආදායම් වාර්තා පිහිටෙව්වා. මීට අමතරව එදා කුඩා කඩමණ්ඩිවලත් ටෙන්ට් රෙද්දෙන් තාවකාලිකව අටවාගත් ‘ටෙන්ට්’ වශයෙන් සති කීපයක් එක දිගට චිත්‍රපට පෙන්වමින් රසික පහන් සංවේගය සමහන් කළා. මේවායින් බොහොමයක්, නම් ගන්වා තිබුණෙ ලස්සන ලස්සන කාන්තා නම්වලින්. ඒ නිසාමදෝ මේ ලියුම්කරුවාට කුඩා සන්ධියේ සිටම ලංකාවෙ කොයි අස්සක් මුල්ලක, ඕනෑම නගරයක තිබූ සිනමාශාලාවල, නම් කටපාඩමින් කියාපෑමේ දුලබ හැකියාවක් තිබුණා. අදටත් නැතුවා නෙමේ.

මේ කොයි බයිස්කෝප් මඩුවේත් ප්‍රධාන දොරටුව දෙපස ලොකු දැන්වීම් පුවරු දෙකක් නංවා තිබුණා. ඉන් එකක් එදා දවසේ ප්‍රදර්ශනය කෙරෙන දැන් පෙන්වනවා (Now Showing). අනික ඉදිරියට ප්‍රදර්ශනයට නියමිත ‘ළඟදීම එනවා’ (Coming) වශයෙන්.

මේ පූර්විකාව නිදාන කතාව හැටියට ගෙන අපි අද මෙහි වර්තමාන කතාව බුද්ධ දේශනාවෙ බැරෑරුම් මාතෘකා දෙකක් ලිහාගන්ට යෙදෙව්වොත් හොඳයි. එහිදී අපට ‘දැන් පෙන්වන්නෙ’ ජීවිතය (Life) නමැති චිත්‍රපටිය. ඒකත් එදින් එදාට පුරුද්ද පුරුද්දා අදින වැල් ටෙලිනාට්‍ය මෙන් වූ අනවරාග්‍ර සංසාරය නමැති ඒකාංග චිත්‍රපටයක්. එක ජීවිතයකින් එහි පිටුවක් නිමා වී ඊළඟ පිටුවට ඇමිණෙනවා.

හැබෑටම මොකද්ද මේ ජීවිතය කියා අපි අල්ලගෙන රඳවා තබාගන්න දඟලන ජරමරය? අපි මවකගෙ පියකුගෙ කායික සුසංයෝගයක ප්‍රතිඵලයක් හැටියට යුක්තාණුවක් ලෙසින් මවු ගැබෙහි තැන්පත්ව ටික දොහකින් ඊට විඤ්ඤාණයක් (සිතීමේ හැකියාව) එක්ක සංයෝග වෙලා මෙලොව එළිය දැක වරුස සියයක් හෝ ආයු වින්දනය කොට, දවසක ඒ කාය රූපයෙන් (ස්කන්ධයෙන්) විඤ්ඤාණය ඉවත්ව යන දිනය දක්වා රඳා හිටින අට්ටාලයනෙ. හේතූන් අනුව හටගත් දේ හේතූන් අනුවම විසිරිලා, වියැකිලා යළි ලෝ දහමට එකතුවීමයි සිදුවන්නේ.

මවු කුස තුළ මෝරා දැඩිමේනි වන විට අපට ඉන්ද්‍රියන් (අසීමාන්තිකව මහ ලොකු වැඩ ගොඩක් කරන අධිපතීන්) පහකුත් (මේ පහ අපට ලැබෙන්නෙ අපි පෙර භවයන්හි කළ පුණ්‍ය ක්‍රියාවන්ට ලැබෙන තෑගි හැටියට). ඒ සියල්ල ඒකාබද්ධ කෙරෙන සිත නම් වූ අදෘශ්‍යමාන බලවේගයකුත් ලැබෙනවා. අපි එයින් ඉස් ඉස්සෙල්ලාම පිනවන්න ගන්නෙ දිව. ඒ මවු කිරි බිඳෙන්. ඊළඟට මවු කිරි සුවඳ. මේ විදියට හරහා වැටෙනතුරුත් අනෙකුත් ඉන්ද්‍රියන් ප්‍රීනනය කිරීමට දඟලන අනවරත දැඟලිල්ලටයි ජීවිතය කියා නම පටබැඳගෙන තියෙන්නෙ. ඉඩකඩ ලැබෙන පමණට දැන් අපි එක ඉන්ද්‍රියක් අරගෙන සෝදිසි කොට බලමුකො. ඇස කියන්නෙ ඇස් ගෙඩියට. එය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගෙ එකතුවකින් නිර්මාණය වෙලා අපට ලැබෙන මහාර්ඝ සම්පතක්. මෙයින් එක ධාතුවක් හෝ අඩු වුණොත් ඇසට චක්ඛු ප්‍රසාදය යන හැකියාව ලැබෙන්නෙ නෑ. එහෙම උපදින අයටනෙ ජාති අන්‍ධයන් කියන්නෙ. හැබැයි මේ චක්ඛු ප්‍රසාදයත් ධර්මතා ගණනාවක් නිසා වෙනස් වෙන්ඩ පුළුවන්. දිරා යන්ට ගන්නවා. රෝග ව්‍යාධිවලට ගොදුරු වෙනවා. අන්තිමේ නොපෙනී යන්ටත් පුළුවන්. වයසට අනුව, දේශගුණික විපර්යාසවලට අනුව, ගන්නා කෑම බීමවලට අනුව, පමණ ඉක්මවා වෙහෙසට පත්කිරීම අනුව, ගින්දර – මඩ – අපිරිසිදු ජලය – වස විස – කෘමි හානි – බාහිර උවදුරු ආදියට ගොදුරුව වෙනසට ලක්වෙනවා. (මේ තුන් ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි කියලනෙ ව්‍යවහාරය). මෙහෙම වෙනස් වෙන වෙන ගානට ඇසේ අයිතිකාරයාට හටගන්නෙ දුක, සංතාපය, වේදනාව. ‘මගේ ඇස’ කියා අයිතියට ලියා ගත්තත් මගේ නම් මට ඕනෑ විදියට තබාගන්න හැකිවන්න එපායැ. එයා එහෙම නෑ. එහෙම නම් මේ ඇස කියන ඉන්‍ද්‍රිය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔන්න විදර්ශනාව පැත්තට මුල්ගල තියන්න නැකත.

මායාකාරයට කන, නාසය, දිව, සම (පහස) හා සිත කියන මන ධර්මයත් ඔය කියපු කෝව තුළටම බහා කලතා බලන්න. ඒ කොයිකෙත් ස්ථිර බවකුත්, සැප හිමිකැර දෙන සැටියකුත් හිමිකාරයකුත් නෑ.

අපට මේ ඉන්ද්‍රියන් කීපය කරණකොටගෙන ‘මම’ හා ‘මගෙ’ වශයෙන් යම් ඒකාධිපතියෙක් මෝදුවෙලා හිට අධිගෘහිත වෙනවා. එතැන් සිට අනික් අයගෙන් ‘මම’ වෙන්කරගෙන එයා ඔසවා තබන්නමයි වෙර දරන්නේ. ජීවිත ව්‍යාකරනෙදි එය ‘මගේ’ ‘මට’ ‘මා වෙනුවෙන්’ ‘මා ළඟ’ ‘මා හේතුකොටගෙන’ ‘මා නිසා’ මට මයි’ ‘මා නැතිව’ ආදී වශයෙන් විභක්ති ද සකස් වෙනවා.

මේ ලෝකෙ අශ්‍රැතවත් පෘථජ්ජනයා පමණක් නොව තිරිසන් සතා පවා ජීවිතය සතුටින් පමණක් පුරවාගන්නමයි කැමැති. ‘සුඛ කාමාති’ හැම නිමේෂයක්ම අපි ‘සැපය’ ලුහුබඳිමින් තමයි දුවන්නෙ. ඒ බුදු වදන ප්‍රකාරව ලෝකය පිහිටා ඇත්තෙ දුක මත්තෙයි. ‘දුකෙඛ පතිට්ඨිතො ලොකො’ අපි එක ක්‍ෂණයක සැපක්, ආස්වාදයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයක්ම කට්ටක් කනවා.

අශ්‍රැතවත් සත්ත්වයා මෙලෙස මෙලෝ සිහියක් නැතිව සැපත සොයා දුවන දිවිල්ල බුදුපියාණන් විසින් උපමා කරන්නෙ මිරිඟු දිය පසුපස ලුහුබැඳි විඩාවෙන් මියයන මුවාගෙ ගමනට.

ඒත් මේ ක්‍ෂණයක සැපය මුළු ජීවිත කාලයටම හිත කීරිගහන දුකක් බවට පත්වෙන්න ඇසිපිය හෙළන මොහොතකට වැඩි කාලයක් ගතවෙන්නෙ නෑ. මේ සංසිද්ධිය ඇස්පනාපිට පත්තු වෙන්නට කරුණු යෙදුණු අවස්ථාවක් මීට වසර ගණනාවකට එපිටදි කුරුණෑගල, වැල්ලව නම් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එක ගෙදරක තරුණ දියණියකගෙ සරණ මංගල්‍යය. බැලු බැලූ අත නන් විසිතුරු ඇඳුම් කැඩුම්, ආභරණ මුළුමනින්ම නෙතට උළෙලක්. ඇසක් ලැබීමේ වරප්‍රසාදයේ උපරිම සුවය සතුට. අනෙක් ඉඳුරන්ටත් එසේමැයි. කනට මියැසි නාද ගෝට්ටිය, මියුරු තෙපුල් ඇමතුම්, රටේ ඉහළම විලවුන් සංකලන නැහැයට. ගතට දුහුල් පටපිළියෙහි සුමුදු පහස, දිව නැටවෙන රස මසවුලු තෙලෙහි කිරෙහි පදම්වන සුවඳ සත් සියයක් රස නහර කුල්මත් කරවයි.

මේ අතරෙ උයන මඩුගේ තුළින් නිවේදනයක් “කුකුළු මස් මදිවෙන හැඩයි. තව කිලෝ දහයක්වත් ඇන්න එන්න..’ මනාලියගෙ මල්ලියි තවත් ඥාති පුත්‍රයකුයි වහාම යකඩ අස්සයකුගෙ පිට නැඟී ඉගිළී යනවා. ඔවුනට රේල් පාරක් හරහා යන්ට තියෙන්නෙ. මේ ඉසව්වෙ කුඩා දරුවන් පවා ඉඳහිට උතුරු මාර්ගයෙ දුවන කෝච්චි වේලාවන් හඳුනාගෙනයි ඉන්නෙ. ඒත් මේ ඉළන්දාරි දෙන්නගෙ ඉඳුරන් අතර රඟදෙන්නෙ මඟුල් ගෙදර උත්කර්ෂය. කන ළඟ ගිගුරුම් දුන් යකඩ යකාගෙ පිඹිල්ල පරදා ඔවුන්ගෙ දෙසවනේ රැව් දෙන්නෙ දඩබඩ සංගීත නාදය. මොහොතකින් පාර අයිනෙ ඉතුරු වුණෙ යකඩ හපේකුයි තරුණ අතපය කැබලි කීපෙකුත් විතරයි.

ඊළඟට දර්ශන තලය මාරුවෙන්නෙ අර මඟුල් ගෙදරට. එතැන එකම විලාප සංධ්වනියක්. කුලී ගෙවා දමාගත් වරලස මෝස්තර දෑතින් ඉදිරි ඉදිරි වැටෙනවා. ලෙහි ගසා ගන්නා අත්වලින් රන් මාල කැඩි කැඩී විසිවෙනවා. මඟුල් ගෙදර යන නම පේඩ් වෙවී ගිහින් මළගෙදර යන නම වැටෙනවා.

බලන්නකො ඇසිපිය ගහන නිමේෂයකින් ඉන්ද්‍රිය සන්තර්පණයෙ උපරිමය මිහිපිට අපා දුක් දෝමනස්සයක උපරිමය බවට පත්වෙන සැටි!

කොයි මොහොත හෝ කාටවත් නොදන්වා සත්ත්වයා වෙත පතිත වන මරණ ධර්මයත් එසේමැයි! ‘උපත’ යන වචනය ලියා ‘ත’ යන්නෙන් උඩට පෑන ඔසවන විටම එතැනට සැපත් වන්නේ ‘විපත’ යන වචනයේ ‘වි’ යන්න.

හේතූන් අනුව මේ තුන් ලෝකයේ කොතැනක වුවද හටගන්නා ඕනෑම සංඛත ධර්මයක් හේතූන් අනුවම විහිදී විසිරී කැඩී බිඳී, ක්‍ෂය වී වාෂ්ප වී යෑම මරණයට පත්වීම, දිවංගත වීම, අපවත් වීම, පිරිනිවීම, කලුරිය කිරීම, කාලක්‍රියා කිරීම, අභාවය, නැසී යෑම, චුතවීම, ආයුක්ඛය යනාදී විවිධ නම් ගැන්වීමෙන් අවසන් වනවා. එය ජාති කුල මල වර්ණ දිළිඳු ධනවත් කිසිම භේදයකට අඩංගු නොවී බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාටත් පොදු වූ ධර්මතාවයක්.

ලෝකයේ හතරෙන් එකකට පමණ ලන්සු තබන්නට තරම් ධනව්‍යයක් ගොඩනඟාගෙන සිටි මයිකල් ජැක්සන් නම් අසහාය ගායකයාට අවශ්‍ය කරනවා මෙලොව මිනිසකුට විඳිය හැකි උපරිම ආයුෂය විඳින්නට. ඔහු ඒ සඳහා තම ශරීර කූඩුවේ සියලු කොටස් නියෝජනය කරමින් ඒ ඒ අංශයට විශේෂඥභාවයක් දක්වන වෙදැදුරන් 16ක් පැය 24 පුරාම සේවයට බඳවා ගන්නවා (මනුෂ්‍ය ශරීරය කුණ්‍ය කොටස් 32කින් යුක්තයි යන බණ පදය අසා තිබුණා නම් මිනිහා දොස්තරලා 32ක්ම සල්ලිවලට ගන්නවා සිකුරුයි). ඒ වගේම නොමැරී සිටින්නට අවශ්‍ය ආහාර සම්පාදනය සඳහා පෝෂණවේදීන් 20ක් පමණ ද ඉහළම පෙළේ ලෝක ප්‍රකට සූපවේදී විශේෂඥයන් 15ක් පමණ ද තම ශරීර කූඩුව නිසි පරිදි ක්‍රියාත්මක කරවන්නට භෞත චිකිත්සක විශේෂඥයන් ගණනාවක් ද ළංකර ගන්නවා. ඊටත් අමතරව කායවර්ධන උපදේශකයන් රාශියක්ම බඳවා ගන්නවා. ඒ ඒ රෝගාබාධ සඳහා සැණෙකින් භාවිත කළ හැකි ඉහළම පෙළේ ඖෂධ හා විටමින්, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය ද්‍රව්‍ය සපිරි ජංගම ෆාමසියක් ද හෙද හෙදි උපස්ථායක බළඇණියක් ද on duty තබාගන්නවා. මේ සියල්ලන් පැය 24 පුරාම ඔහුගේ සිරුර රැකබලා ගන්නට කැපවී සිටිය යුතු වුණා. එමෙන්ම සුපිරි ගිලන්රථ කීපයක්ම ස්ටාට් එකේම තබාගෙනයි සිටියේ.

ඒත් අනේ! මෙහෙව් මුරකාවල් මැද අවුරුදු 57 පිරුණා විතරයි දවසක් ඉර පායන විට ඔහු ඒ සියලු සේනාංකවලටම නොකියා නිදි ඇඳේම අවසන් ගමන් ගිහින්.

එහෙයින් අපි කවුරුත් මෙතෙක් බැලූ සිහින බයිස්කෝප්වල සැබෑ නිස්සාරභාවය පිරිසිඳ දැක අප්‍රමාදී වන්නට බුදු වදන ඉදිරිපිට පෙළගැසිය යුතු නොවෙම්ද?

අප්පමාදෙන සම්පාදේථ

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *